සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

*********************************************

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

(25.12.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් තිදෙනෙකු (3) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මීට අමතරව මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ නිලධාරියෙකු කල්මුණේ අශ්‍රොෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු නිලධාරියාගේ තත්ත්වය බරපතළ බැවින් මේ වනවිටත් හෙතෙම ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ බවටයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ඇතුළත් කෙරුණේ, අක්කරෙයිපත්තුව මූලික රෝහලටයි.

කෙසේවෙතත්, මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් සැරයන්වරයා වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් (2) සහ පතරොම් ගැබ් 18 ක් ද සමඟ තිරුක්කෝවිල් පොලීසියට කිලෝමීටර් 80 ක් පමණ දුරින් පිහිටි ඇතිමලේ පොලිසියට භාර වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

ඊයේ (24) රාත්‍රි 10:00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් සැරයන්වරයෙකු මියයයි

(25.12.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඊයේ (24) රාත්‍රී 10:30 ට පමණයි.

වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් තිදෙනෙකු (3) ප්‍රතිකාර සදහා ඇතුලත් කෙරුණේ කල්මුණේ රෝහල වෙතටයි.

එම පොලිස් නිලධාරීන් තිදෙනා (3) අතර සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද පසුව මියගියා.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගොස් තිබෙනවා.

ස්ථානාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සැරයන්වරයා යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් පසු සිය ගම් ප්‍රදේශය දක්වා පලාගිය සැකකාර පොලිස් සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර වී ඇත්තේ ටී 56 ගිනි අවි දෙකක් (2) සහ පතොරම් ගැබ් 19 ක් ද සමගිනුයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

නිවාඩු ගැටලුවක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට මත පළ වූව ද අදාළ සැරයන්වරයා මිට දින කිහිපයකට පෙර නිවාඩු ගොස් පැමිණි අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පොලිස් නිලධාරියා මානසික පිඩනයකින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

38 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර මූලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ දී පොලිස් නිලධාරින් සිව්දෙනෙකුට (4) සැරයන්වරයෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා ෴

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ දී පොලිස් නිලධාරින් සිව්දෙනකු (4) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන් අත් අඩංගුවට ගනු ලැබූ සැකකාර පොලිස් සැරයන්වරයා ජනවාරි මස 06 වැනි දින තෙක් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴

+++++++++

තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයා සහෝදර නිලධාරීන්ට වෙඩි තැබුවේ නිවාඩු නොදුන් නිසා බව හෙළි වේ

(25.12.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් සැරයන්වරයෙකු අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදු කළ වෙඩි තැබීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ සිදුකළ එම වෙඩි තැබීමෙන් තිරුක්කෝවිල් පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

වෙඩිතැබීම සිදු කිරීමෙන් අනතුරුව පලා ගිය පොලිස් සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අද (25) අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 10:30 – 11:00 අතර කාලය තුළදීයි.

රාත්‍රී 10:30 ට පමණ පොලිස් ස්ථානයට පැමිණි මෙම පොලිස් සැරයන්වරයා විසින් පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ ටී-56 ගිනි අවිය උදුරාගෙන පොලිස් ස්ථානය තුළට ගොස් චෝදනාගාරය තුළ දී පළමු වෙඩි තැබීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිට නැවත පැමිණෙමින් සිට ඇති අතර, ඔහු පැමිණි ජීප් රථයට ද පොලිස් සැරයන්වරයා පසුව වෙඩි තබා ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 03 දෙනෙකු එම ස්ථානයේදීම මියගියා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා කල්මුනේ රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධියේදී තුවාල ලැබූ තවත් දෙදෙනෙකු (2) ඇතුළත් කෙරුණේ තිරුක්කෝවිල් සහ අක්කරෙයිපත්තු රෝහල්වලටයි.

කල්මුණේ රෝහලට ඇතුළත් කළ පොලිස් නිලධාරීන් තිදෙනා (3) අතර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද පසුව මියගොස් තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔලු‍විල් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් නමැති පොලිස් සැරයන්වරයෙක්, බිබිල – පිටකුඹුර ප්‍රදේශයේ පදිංචි ප්‍රබුද්ධ ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයෙක්, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අලගරත්නම් නවීනන් නමැති පොලිස් කොස්තාපල්වරයෙක් සහ මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි හේමන්ත පුෂ්පකුමාර නමැති පොලිස් කොස්තාපල් රියදුරෙක්.

වෙඩි තැබීමෙන් පසු සැකකාර පොලිස් සැරයන්වරයා කැබ් රථයකින් සිය ගම් ප්‍රදේශය වන මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයට පළා ගොස් ඇත්තේ ගිනි අවි දෙකක් (2) ද සහිතවයි.

ඔහු අලු‍යම 12:30 ට පමණ සිය නිවස වෙත ගොස් ඇති අතර, මව ඇතුළු ඥාතීන්ගේ උපදෙස් මත අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාර වී තිබෙනවා.

එහිදී ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ‘තමාට නිවාඩු ලබා නොදීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට වෙඩි තැබූ බව’ යි.

අනතුරුව මව්පියන් බැලීමට නිවස වෙත ගොස් පසුව පොලිසියට භාර වූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු තිරුක්කෝවිල් පොලිසියෙන් රැගෙන ආ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් (2), උණ්ඩ 562 ක් සහිත පතරොම් ගැබ් 19 ක් සහ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ උපසේවයේ ආරක්ෂක පෙටිටියේ යතුරු කැරැල්ල ද ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

එහිදී 37 හැවිරිදි මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත භාර දී ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටයි.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ නිවාඩු ගැටලු‍වක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇතත්, ඔහු මීට දින කිහිපයකට පෙරද නිවාඩු ගොස් පැමිණ ඇති බවටයි.

මේ අතර, වෙඩි තැබීම සිදු වූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා අක්කරෙයිපත්තු දිසා විනිසුරුවරයා අද එහි පැමිණියා.

ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ හෙට (26) අම්පාර රෝහලේදී සිදු කිරීමට නියමිතයි ෴

******************************************

කංසා වවලා,ගණිකා වෘත්තිය නීතිගත කරලා, සම ලිංගික විවාහ නීතිගත කරලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න, විදේශ විනිමය හොයන්න යෝජනා කරන අමනයෝ ඉන්නවා – ජාතික සංවිධාන එකමුතුව

(25.12.2021 – 11:17 +0530 – lankaleadnews.com)

රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා විසින් කංසා නීතිගත කිරීම සඳහා ගනු ලබන උත්සාහය පිළිබඳව ජාතික සංවිධානවල මතය කුමක්දැයි ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය විසින් විමසන ලද අවස්ථාවේදී ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ දක්වමු :

“ගංජා දුම් පානය කරණ විද්වතුන් යැයි කියා ගන්නා මෝඩයන්ගේ උපදෙස් අනුව තමයි මේ ඇමතිවරු මහා අනාගත ව්‍යයසනයකට දායක වන්නේ. ඔවුන්ට මෙහි ගැඹුර වැටහෙන්නේ නැහැ. කංසා නීතිගත කිරීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, සම ලිංගික විවාහ නීතිය නීතිගත කිරීම, මේවා සියල්ල එකට බැඳිලා තියෙන්න්නේ. එක් පැත්තකින් සංස්කෘතික ආක්‍රමණය එක් සටන් පෙරමුණක්. අනෙක් පැත්තෙන් ආර්ථික ඝාතන ක්‍රියාවලිය ඉදිරියට යනවා. ලෝකයේ හොඳම මිනිරන් තිබෙන අපේ රටේ ‘කළු රත්තරන්’ හෙවත් ‘ග්‍රැෆින්’ වලින් සහ ඛනිජ වැලි වලින් ටයිටේනියම් හදනවානම් අවුරුද්දකට ඩොලර් බිලියන 8000 ක් හොයන්න පුළුවන්. ඒ ගැන කතා නොකර කංසා පිටරට පටවලා ඩොලර් මිලියන 500 ක් හොයාගන්න තමයි මේ කතා කරන්නේ. සංචාරක කර්මාන්තයේ ලැබෙන ඩොලර් මිලියන 4000 අවශ්‍යයනම් ඩොලර් මිලියන 5000 ක් කරන්න පුළුවන් ලෝකයේ සිටින හිඟන තුප්පහි සංචාරකයන්ට කංසා සහ ගණිකාවෝ සපයලා. නවසීලන්තය මේ ගොන් වැඩේ කරපු රටක්. අද පාසල් සිසුන් පවා කංසා ඔතලා බොනවා, හපනවා, කුඩු නහයට උරනවා, දිය කරලා බොනවා. මේ විනාශය තමයි අපේ රටටත් කරවන්න හදන්නේ.”

******************************************

රාජිත සේනාරත්නගේ ලේකම් නමින් නැව් අටක් (8) … CID ය අධිකරණයට කියයි…

(24.12.2021 – 11:42 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නව් 08 ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අයගේ නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා විසිනි.

හිටපු පළාත් ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී තමාට ලිඛිතව ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පදිංචි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙම පැමිණීල්ල සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය තුසිත විසිනි.

ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සදහා එක් රටක ලබාදී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ සියයට පනහක් (50%) පමණක් පමණ වන බවත්, ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චින සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත ෴

******************************************

කිරිපිටි හිඟය තවත් මාස දෙකක් (2)

(25.12.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කිරිපිටි හිඟය ලබන පෙබරවාරි මස පමණ වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය හමුවේ ඇතැම් ප්‍රදේශ වල කිරිපිටි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බංකු තුළ ණයවර ලිපි විවෘත කර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ආනයනික කිරිපිටි ඇණවුම් අඩුවීම, මෙම කිරිපිටි හිඟයට හේතු වී ඇති බවයි ෴

******************************************

දුම්රියට දිනකට රුපියල් කෝටියක පාඩුවක් සිදුවන බව ස්ථානාධිපතිවරුන් කියයි

(25.12.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත් නිකුත් කිරීම අත්හිටුවීම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 10 ක පමණ පාඩුවක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

මෙලෙස දෛනික ආදායම් අහිමි වීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි වනු ඇති බවයි එම සංගමයේ අදහස වන්නේ.

වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25 ක් මුල් කරගෙන හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඊට සමගාමීව ප්‍රවේශ පත්‍ර ලබාදීම සහ පාර්සල් භාර ගැනීමෙන් වැළකී ඔවුන් මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ඉල්ලීම් රැසකට විසඳුම් ලබාදීමට එකඟ වූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුවන පාඩුව රුපියල් මිලියන 5 ක පමණ වන බවයි ඔහු සඳහන් කළේ ෴

******************************************

සති 2 ක් තුළ ගෑස් නැව් 2 ක් දිවයිනට

(25.12.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

එසේම ජනවාරි මස 10 වන දින පමණ වන විට ලාෆ් ගෑස් සහිත නෞකාවක් ද දිවයිනට ලඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා 3 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලිට්රෝ ගෑස් නෞකා 2 ක් සහ ලාෆ් ගෑස් නෞකාවක් ඒ අතර වනවා.

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මෙම මස අවසන් වන තුරු මෙරටට අවශ්‍ය ගෑස් ඒ අනුව පවතින බවයි.

එසේම අවශ්‍ය තරම් ගෑස් ලබා දීමේ අරමුණින් නුවරඑළිය ප්‍රදේශයට ප්‍රමාණවත් ගෑස් තොග සැපයීමටද කටයුතු කර තිබෙනවා.

ඒ උත්සව සමයේ එම ප්‍රදේශයේ පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.

මේ අතර, ප්‍රදේශ කිහිපයකම ජනතාව භූමිතෙල් නොමැතිවීමෙන් අසීරුතාවට පත් වූ අවස්ථා ඊයේ (24) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි ජනතාව ද දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්නේ දිගු පෝලිම් හේතුවෙන්.

මේ අතර කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසුවේ සහනාධාර ලබාදීමකින් තොරව භාණ්ඩ මිල ඉහළ නැංවීම තුළින් භාවිතය අවම කිරීමට හැකියාව පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *