පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි

පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි

*********************************************

පොහොර ගැනීමේ දී සිදු වූ වංචාවක් හිටපු කෘෂි ලේකම් හෙළි කරයි

(24.12.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට නැනෝ පොහොර මෙරටට ගෙන්වීමේදී මුදල් වංචාවක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් 5 යි ශත 25 කට මිල දී ගත හැකිව තිබූ නැනෝ දියර පොහොර බෝතලයක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 10 කට බවයි.

මේ අතර රජය මගින් ලබා දෙන කාබනික දියර පොහොරවල කිසිදු ප්‍රමිතියක් නොමැති බැවින් තමන් ආරම්භ කළ භෝග වගාව විනාශ වෙමින් පවතින බවට ගොවීන් තවමත් මැසිවිලි නගනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි බී කලාපයේ , වැලිකන්ද සුසිරිගම හා මලින්ද යන ගම්මානවල ගොවීන් පීඩාවට පත්ව ඇත්තේ.

මෙවර මහ කන්නය යටතේ වගා කරන ලද වී වගාවන් කහ පැහැ වෙමින් වර්ධනයද බාල වී ඇති බැවිනුයි.

මෙම ප්‍රදේශවල ගොවීන් අක්කර 1000 කට ආසන්න වගා බිම් ප්‍රමාණයක වී වගා කර තිබෙනවා.

එම වගාවන් සඳහා රජය විසින් කාබනික දියර පොහොර ලබා දුන්නද ඒවා කිසිදු ප්‍රමිතියකින් තොර වීම හේතුවෙන් ගොවීන් ඒවා තම වගාවන් සදහා යෙදීම ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ඇලහැර බකමූණ – දමන යාය ප්‍රදේශයේ ගොවීන්ද සිය වගාවන් සඳහා පොහොර නොමැති වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

වගාවන් සඳහා දින 30 ක් පමණ ඉක්ම ගියත් මිලදී ගැනීමට හෝ වෙළෙඳපළේ පොහොර සොයා ගැනීමට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඇලහැර ගොවි ව්‍යාපාරයේ මොරගහකන්ද කළාපයේ මලුවේයාය ගොවි සංවිධානයේ ගොවීන් 400 කට පමණ කාබනික පොහොර ලබා දීම සිදු කෙරුණා.

කෙසේ වෙතත් ගොවීන් කාබනික දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් මෙලෙස විරෝධතාව පළ කළා.

මේ අතර මෙරට ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව අද (24) මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

++++++++

නැනෝ පොහොර ගණුදෙණුවට හිටපු කෘෂිකර්ම ලේකම්ට චෝදනා.. චීන පොහොර ගෙන්වීමටත් ඔහු සම්බන්ධයි..

(24.12.2021 – 22:26 +0530 – lankacnews.com)

පිටකොටුවේ පික් පොකට් කාරයෝ මිනිස්සු පස්සෙන් පන්නනකොට ‘ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් අල්ලපියෝ’ කියලා කෑ ගහනවා වගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය ලේකම් දැන් චීන අශුචි, නැනෝ පෙහොර හොරකම් ගැන යූ ටියුබ් චැනල්වලට කතා කරනවා. හොරකමක් කරන්න මිනිස්සු තනතුරුවලට පත් කරලා හොරකම ඉවර වුනාම සල්ලි යටි මඩි ගැහුවාම, හොරකමට ලියුම් අත්සන් කරපු කෙනා ඉවත් කරනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ එතකොට හොරකමත් ඉවරයි – ප්‍රශ්නෙත් ඉවරයි කියලයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මේ බව පැවසූවේ, රත්තොට අද (24) පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.

කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ තමයි නැනෝ පොහොර හොරකමට සම්බන්ධ ටෙන්ඩර් ක්‍රියාවලියට මුළුමනින්ම වග කියන්නට ඕන. ඔහු තමයි ටෙන්ඩර් කමිටුවේ හිටියේ. තාක්ෂණික කමිටුවට උපදෙස් දුන්නේ. හොරකම අහුවුනාම ඒක යටගහන්න මිල අඩු කරන්න කතා කරලා, සල්ලි ගෙව්වේ ඔහුගේ අනුමැතියෙන්. ජනාධිපති ලේකම් ගේ නියෝගයෙන් හදපු බැංකු පුද්ගලික බැංකු ගිණුමකට සල්ලි දැම්මෙත් එයා තමයි.

ඒ උදිත් කේ ජයසිංහ ම තමයි, චීන අශුචි නැවේ ගනුදෙනුවට සම්බන්ධ වුනේ. ඔහු ලේකම් තනතුරට පත් කර ගත්තේම කාබනික පොහොර කියලා චීන අශුචි ලංකාවට ගොඩබාන්න. එයා ඒ කොන්ත්‍රාත් දෙකම කළා. අශුචිවලට සල්ලි ගෙව්වා. නැනෝ පොහොරවලට සල්ලි ගෙව්වා. දැන් එයාට රස්සාව නැති වෙලා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් අඩනවා. එයා දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන්නේ, මෙච්චර කල් අපි කිව්ව රටේ සාගතයක් එන කතාව.

මාතලේ, මහවැලි කලාපයේ, අනුරාධපුර, නැගෙනහිර පලාතේ වගා කරලා තියෙන්නේ ගොවි බිම්වලින් 1/3 යි. ඒක ඇස් කන් තියෙන හැමෝටම පේනවා.

වගාව රැකගන්න වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නෑ. ගොයම කහ වෙනවා. වල් වලින් කුඹුර වැහෙනවා. කුඹුරු පිදුරු වෙනවා.

මධ්‍යම පලාතේ තේ වගාවේ අස්වැන්න 35% කින් අඩුවෙලා. නැනෝ පොහොර ගැන කවි කතා කිව්වේ කෘෂිකර්ම ඇමතියි, ලේකම් මිසක් අපි නෙවෙයි.

හොරකමක් කරගත්තාට පස්සේ හොරකමට ලියුම් හදපු එකා බිල්ලට දෙන එක තමයි මේ ආණ්ඩුවේ සිරිත. මහාචාර්ය ලේකම් රටෙන් යනවා කියලා ජනමාධ්‍යයට කියනවා. මේ රටේ ලක්ෂ 30 ක් ගොවියාට කුඹුරට යන්න බැරි කරපු කට්ටිය දැන් රට පනින්න කතා කරනවා.

නීතියක් රීතියක් තියෙන රටක නම් මහාචාර්ය ලේකම් ඊයේ කියපු කතා ටිකට අත්අඩංගුවට අරගෙන චීන අශුචි නැවේ කොමිස් ගියේ කාටද කියලා කියන්න ඕනේ.

රතන හාමුදුරුවොයි, පාදෙණිය යි දෙන්නා වොයිස් කට් දුන්නා විතරයි. සාගතය එන තැනට වැඩ කරපු ලේකම් දැන් ගොවියොන්ට බණ කියනවා.

කෘෂි රසායනය තහනම ඉවත් කරලා මාසයකට වැඩි කාලයක් ගතවෙලා. තවම එකම කාෂි රසායනයක් වත් ගේන්න බැරි වෙලා.

වල් බෙහෙත් ටික ගෙන්නුවා නම්, කුඹුරු පිදුරු වෙන්නේ නෑ. දිලීර නාශක ටික ගෙනාවා නම්, බෝංචි ටික පුල්ලි ගහලා විසි කරන්න වෙන්නේ නෑ. කෘමි නාශක ටික තිබුණා නම් පොහොර නැතිව හැදෙන අලේ, කරල, ගහ පනුවෝ කන්නේ නෑ.

සාගතයට පාර කැපුවේ පොහොර තහනම විතරක් නෙවෙයි. හැදෙන ගහ බේරාගන්න ඕනෙ බෙහෙත් ටික ගෙන්නුවේ නැති නිසයි.

රටේ සාගතයක් එන එක ගැන කියන්න මහාචාර්යවරු ඕනෙ නෑ. ඔය පූර්වකථනය අපි අගෝස්තු මාසේ කලා. දෙසැම්බර් මාසේ කන බොන දේවල් මෙහෙම ගණන් නම් පෙබරවාරි මාර්තු වෙනකොට ගන්න නැති වෙන එක අපේ ගම්වල ගොවියෝ දන්නවා.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අකර්මන්‍ය කරලා, ගොවියාගේ රත්තරං බඩු ටික ඉන්දියාවට දීලා, බෝට්ටුවලින් ගේන හොර කෘෂි රසායන ගේන්න පාර කපනකොට සාගතයක් එන බව තේරුණේ නැද්ද? ලංකා ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම කෘෂිකර්ම ලේකම් මාධ්‍ය වීරයෙක් කරන්න එපා ෴

******************************************

ඉහළ ගිය ඉන්ධන මිල මැද දිගුවන තෙල් පෝලිම්

(24.12.2021 – 21:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ක්ෂේත්‍ර රැසකට මේවන විට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ හේතුවෙන් උත්සව සමයේ වුව ද ජනතාවට තවමත් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා.

දිවයින පුරා ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තාවන පසුබිමක ජනතාව වැඩි වශයෙන් භූමිතෙල් ආශ්‍රිතව සිය දෛනික වැඩකටයුතු සිදුකිරීමට පෙළැඹුණා.

නමුත් පසුගිය සඳුදා (20) ඉන්ධන මිලද ඉහළ යාමත් සමග ජනතාව මේවන විට කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට පත්ව සිටිනවා.

අද (24) දිනයේදීත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ භූමිතලේ මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියේ මෙලෙසින්.

මේ අද (24) පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දක්නට ලැබුණු තත්ත්වයයි.

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවර ජනතාවද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ධීවර ආම්පන්නවල මිලද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන ගැටලුවද මුල්කර ගනිමින් අහංගම – අරංවල ප්‍රදේශයේ ධීවරයින් අද (24) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අද (24) දිනයේදී ලැබුණු මත්ස්‍ය තොග ප්‍රමාණය ද සැලකිය යුතු අන්දමමින් පහළ ගොස් ඇති බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංගමය පවසන්නේ.

මේ හේතුවෙන් මත්ස්‍ය මිල ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (23) දිනයට සාපේක්ෂව තරමක් අඩුවී තිබෙනවා.

මේ බඩුමිල ඉහළ යාම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් සමගි ජන බලවේගය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධාන කර තිබූ විරෝධතා කිහිපයක්.

******************************************

රට විරුවන්ගේ මුදල් ගසාකන කූඨ වංචනිකයින්

(24.12.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

විදේශයන්හි දහදිය හෙළා මෙරටට මුදල් රැගෙන එන රට විරුවන් රවටමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

අද (24) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය සහන මිලට භාණ්ඩ ලබාදෙන බව පවසමින් ඔවුන් සිදුකළ ජාවාරම පිළිබඳවයි.

මැද පෙරදිග ඇතුළු රටවල සේවය කර මෙරටට පැමිණෙන පිරිස් පිළිබඳව උනන්දුවෙන් තොරතුරු සොයමින් මේ දිනවල වංචනික පිරිසක් දිවයින පුරා සැරිසරනවා.

ඒ රටවිරුවන් සඳහා ණය ක්‍රමයක් හා ගෘහ උපකරණ කට්ටල සහන මිල ගණන් යටතේ ලබාදීමට එක්තරා සමාගමක් විසින් ඔවුන්ව පත් කර ඇති බව පවසමින්.

මේ එම වංචාකරුවන්ට හසු වු මහනුවර – පිළිමතලාවේ රට විරු කාන්තාවකගේ දියණියක්.

“අම්මා රට ඉදන් ආවා කියලා කොහොම ‘ඩීටේල්ස්’ ගියා ද කියන්න දන්නෙ නැහැ.”

“වැගන්-ආර් එකකකින් ඇවිල්ලා මේ ‘සෙට්’ එක 44,950 ක් දීලා මේ ‘සෙට්’ එක ගත්තොත් ‘ෆිජ්’ එකයි, ‘සෝෆා සෙට්’ එකයි ‘ෆී’ හම්බවෙනවා කියලා ආවා.”

“මේ ‘සෙට්’ එක ගෙදර තියලා පැයක් ඇතුළත ‘ෆ්‍රිජ්’ එකයි, ‘සෝෆා සෙට්’ එකයි ගෙදරට ගෙනත් දෙන්නම් කියලා බිල් එකක් දාලා ගියා.”

භාණ්ඩයේ වටිනාකම 80,000 යි, ගෙවන්න ඕන 44,950 යි කියලා බිල් කරලා ගියා.”

මෙම වංචනිකයන් රටවිරු ණය ක්‍රමය හා ගෘහ විදුලි උපකරණ ගැන මුසා බස් පවසන්නේ මෙලෙසයි.

මෙම වංචනිකයන් පැමිණෙන්නේ වැගන්-ආර් වර්ගයේ මෝටර් රථයකින්.

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකම ජනතාව මෙම වංචාවට ගොදුරුවී ඇති බව ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.

අප මෙම වංචාව අනාවරණය කරන්නේ හෙට දවසේ මෙම වංචනිකයන්ගේ ගොදුර ඔබ විය හැකි නිසාවෙන්.

******************************************

ඝාතනයට ලක් වූ ප්‍රියන්තගේ පුටුවට යළිත් ශ්‍රී ලාංකිකයෙක් ?

(24.12.2021 – 23:20 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හිදී සිදු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එරට විශේෂ ත්‍රස්ත මර්දන අධිකරණය මගින් සැකකරුවන් 34 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මේ අතර, ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයෙන් පසු පුරප්පාඩු වූ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී ධුරය සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙකු පත්කර ඇති බව පාකිස්ථානයේ හිරු විශේෂ වාර්තාකරු සඳහන් කළා.

පාකිස්ථානයේ – සියලකොට් නුවර රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත සමූහයේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙකු පත්කර ඇති බව රාජ්කෝ සමාගම තහවුරු කළා.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පසුගිය 16 වැනිදා සිටයි.

කෙසේ වෙතත් අලුතින් පත්කරන ලද ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව හෙළි නොකිරීමට රාජ්කෝ ඇඟලුම් කම්හල් කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ ආරක්ෂක හේතූන් මතයි.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථානයේ විශේෂ ත්‍රස්ත මර්දන අධිකරණය මඟින් තවත් සැකකරුවන් 34 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් නැවතත් ලබන ජනවාරි 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

******************************************

නීතිවිරෝධීව මෙරටින් රැගෙන යාමට තැත් කළ විදෙස් මුදල් තොගයක් රේගු භාරයට

(24.12.2021 – 23:34 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් හත් දෙනකු (7) විසින් සූක්ෂ්ම ලෙස ගමන් මලු තුළ සඟවා නීතිවිරෝධී ලෙස ඩුබායි රාජ්‍යයට රැගෙන යාමට උත්සාහ කළ විදෙස් මුදල් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අද (24) සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සමත්ව තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් සහ යුරෝ ආදී විදෙස් මුදල් තොගයක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 65 කට අධිකයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *