වෛද්‍ය වර්ජනය අවසන්

වෛද්‍ය වර්ජනය අවසන්

*********************************************

වෛද්‍ය වර්ජනය අවසන්

(24.12.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් (7) මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (24) තීරණය කළා.

ඒ, එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි.

අද (24), 4 වන දිනටත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ ජනවාරි 03 වැනිදා යළිත් වරක් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමටයි.

කෙසේ වෙතත්, අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයේ කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙනුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් රෝගීන් 34 දෙනෙකු සඳහා අප සොයා බලන අවස්ථාව වනවිට වේලාව වෙන්කර දී තිබූ බවයි.

වෛද්‍යවරයෙකු බිහි කිරීමට ඔවුන්ගේ වසර 05 ක අධ්‍යාපන කාල සීමාව සඳහා දළ වශයෙන් රජය වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 200 ක් පමණ වනවා.

ඒ, මුදල් වැය කරන්නේ ද මෙරට බදු ගෙවන ජනතාවයි.

එලෙස වෛද්‍ය වෘත්තියට පිවිසෙන මේ වෛද්‍යවරුන් අවසානයේදී ඔවුන්ගේ පිහිට පතන ජනතාවම අපහසුතාවයට පත් කිරීම දෛවයේ සරදමක්.

******************************************

අග්‍රාමාත්‍යවරයා අද (24) පෙරවරුවේ තිරුපති කෝවිල වැඳපුදා ගනියි

(24.12.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීමට එක් වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට ඊයේ (23) දින උදෑසනයි ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබුණේ.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි තිරුපති කෝවිලේ පැවැත් වෙන විශේෂ පූජාවකට අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ අතර, මෙම සංචාරය නිල සංචාරයක් නො වන බව සඳහන්.

තිරුපති වෙත ඊයේ (23) පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චිට්ටූර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන අමාත්‍ය කේ. නාරායන්ස්වාමි ඇතුලු රාජ්‍ය නිලධාරීන් විසින් පිළිගෙන තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේ ද තිරුපති කෝවිලේ පුද පුජාවලට එක්වූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බලයේ සිටින මෙන්ම හිටපු දේශපාලනඥයන් රැසක් වන්දනාවට එක්වන ස්ථානයක් ලෙසටයි තිරුපති කෝවිල ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද නිරන්තරයෙන් එහි වන්දනාවට එක්වන බවයි එමගින් සඳහන් කර තිබෙනවා.

******************************************

ව්‍යාජ පී.සී.ආර්. වාර්තා සකස් කළ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට

(24.12.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ – පෝරතොට ප්‍රදේශයේ දී ව්‍යාජ ලෙස පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා සකස් කර මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ තුන්දෙනෙකු (3) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබූ ව්‍යාජ ලෙස සකසන ලද පී.සී.ආර්. වාර්තා 17 ක්, පරිගණකයක්, ජංගම දුරකතන පහක් (5) සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

විදේශගත වන පුද්ගලයින් සඳහා ඔවුන් මෙම පී.සී.ආර්. වාර්තා ලබා දී ඇති අතර, සැකකරුවන් අවුරුදු 21 සහ 37 හැවිරිදි වියේ පසුවන රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

වන අලි පහර දීමකින් වැලිගපොල පුද්ගලයකු ජීවිතක්ෂයට

(24.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වන අලි පහර දීමකින් බලංගොඩ – වැලිගපොල ප්‍රදේශයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම වන අලි උවදුරට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් වැලිගපොල – කපුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක ද, නිරත වුණා.

******************************************

විවිධ අර්බුද හමුවේ සැමරෙන නත්තලේ සූදානම

(24.12.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කිතුනුවන් මහත් බැතියෙන් සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවනවා.

කොවිඩ් වසංගතය හා රටේ පවතින විවිධ අර්බුද හමුවේ සැමරෙන මෙවර නත්තල් සූදානම ගැනයි, මේ විමසා බලන්නේ.

******************************************

යාපනය ධීවරයින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතාවක

(24.12.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින්, එම ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අද (24) උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපසදී පැවැත්වූ මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වුණා.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ, මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍ය ජාවාරමේ නිරත වන ඉන්දීය ධීවරයින් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඉන්දීය ධීවරයින් විසින් සිදු කරනු ලබන මත්ස්‍ය කොල්ලය වැළැක්වීමට රජය ඊට මැදිහත් විය යුතු බවට ද ඔවුන් චෝදනා කරනවා.

තව ද සිය මත්ස්‍ය සම්පත ජාවාරම් කිරීමට අමතරව ඉන්දීය ධීවරයින් විසින් තම ධීවර ආම්පන්නවලට සහ තම ධීවරයින් හට සාගරයේ දී පහර දෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ නිසා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන ලෙසටයි විරෝධතාකරුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම විරෝධතාවයට උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

පසුගිය සතිය තුළ නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 60 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවා.

මීට විරෝධය පළ කරමින් වහාම අත් අඩංගුවට ගත් තම ධීවර සගයින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ඉන්දීය රජයට බල කරමින් තවමත් තමිල්නාඩුවේ විරෝධතා පැවැත්වෙනවා.

මෙවන් පසුබිමකදියි, එලෙස අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට නීතිය ක්‍රියාත්මක කර, නිදහස් කිරීමට පියවර නොගන්නා ලෙසට මෙරට රජයට බල කරමින් යාපනය ප්‍රදේශයේ දී අද දින උද්ඝෝෂණය පැවැත්වුණේ.

******************************************

කෑගල්ලේදී පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදීම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශන

(24.12.2021 – 16:36 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු විසින් මාර්ගයක් අසල සිටි පුද්ගලයෙකුට පහරදෙන සිදුවීම පිළිබඳ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පැහැදිළි කරමින් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ඊයේ 23 සවස් කාලයේදී සිදුවී ඇති බවයි.

මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් වන අතර එම අවස්ථාවේ බීමත්ව සිටිමින් කාන්තාවකට යකඩයකින් පහරදීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළා.

පහරකෑමට ලක්වූ කාන්තාව තුවාල ලබා මේවන විට කෑගල්ල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරා බන්ධනාගාර ගතකර සිටි අයෙක් බව ද සඳහන්.

එමෙන්ම මොහුට එරෙහිව බන්ධනාගාරය තුලදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමට අදාළ මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ ද අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඊයේ (23) දිනයේ සැකකරු බීමත්ව අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට බැණවදිමින් පහරදීමට නිලධාරීන් දෙසට පැමිණීම හමුවේ ඔහු පාලනය කර ගැනීමට කටයුතු කළ බවයි පහරදුන් පොලිස් නිලධාරියා විසින් ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා ලද සැකකරු නගරයේ වෙළඳසැලකට පැමිණි කාන්තාවකට පහරදී ඇත්තේ එම සිදුවීමට ටික වේලාවකට පෙර බව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනයේදී හෙළිවී තිබෙනවා.

කෙසේවෙතත් අපරාධකරුවෙකු පාලනය කර ගැනීමකදී වුව ද පොලිස් නිලධාරියෙකුට අවශ්‍ය බලය ඉක්මවා කටයුතු කළ නොහැකි බවයි පොලිසිය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මෙහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් අනවශ්‍ය ලෙස පහරදී බලය ඉක්මවා කටයුතු කිරීමක් නිරීක්ෂණය වන බැවින් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා එම නිලධාරියා ඇතුලු අදාළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසටයි පොලිස්පතිවරයා විසින් සබරගමුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත්තේ.

******************************************

රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4000 ක උත්සව අත්තිකාරම් මුදලක්

(24.12.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතුයි ෴

******************************************

අල්ලස් ගත් ගම්පහ විදුහල්පති රිමාන්ඩ්

(24.12.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

07 වන ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබාගත් ගම්පහ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

ගෑස් සංයුතිය වෙනස් කිරීම ගැන තාක්ෂණ ලේකම්ටත් ප්‍රශ්නයක්

(24.12.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ෂෙල් සමාගම පැවති කාලසීමාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා හඳුන්වා දුන් බියුටේන් සියයට 80 සහ ප්‍රොපේන් සියයට 20 සංයුතිය වෙනස් කළේ කවුරුන්ද යන්න ප්‍රහේලිකාවක් බව ගෑස් අර්බුදය සම්බන්ධ කටයුතු අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා පත් කළ, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා පවසනවා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් 1,16,000 කට බූස්ටර් එන්නත්

(24.12.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ(23) දිනයේදීත් තවත් වර්ධක එන්නත් මාත්‍රා 1,16,992 ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මෙරට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා ලැබූ සංඛ්‍යාව 31,41,341 ක් බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත්කරණ වැඩසටහන යටතේ, ලබන වසර මැද භාගය වනවිට ගෝලීය කොරෝනා එන්නත්කරණය සියයට 70 දක්වා ඉහළ නැංවීමට සැළසුම් කෙරෙනවා.

කෙසේ නමුත්, ධනවත් රටවල් විසින් එන්නත් එක්රැස් කිරීම හේතුවෙන් අඩු සහ මැදි ආදායම්ලාභී රටවල එන්නත්කරණ වැඩසටහන් ගැටළුකාරී වී ඇති බවයි, එමඟින් පෙන්වා දෙන්නේ.

ගෝලීය වශයෙන් මේ වනවිට කොරෝනා එන්නත් මාත්‍රා බිලියන අටක් (8) ලබාදී ඇති නමුදු කොවැක්ස් වැඩසටහන යටතේ මේ දක්වා ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 730 ක් පමණයි.

එය, ගෝලීය එන්නත්කරණයෙන් සියයට 10 ක ආවරණයක් ලෙස සැළකිය හැකියි ෴

++++++++++++++++

ආසාදිතයින් 323 ක් පූර්ණ සුවයට

(24.12.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 323 දෙනෙකු අද (24) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,58,850 ක් ෴

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 20 දෙනෙකු අද (24) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,852 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 573 දෙනෙකු අද (24) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,82,722 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *