වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක්

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක්

*********************************************

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාකච්ඡාවක්

(24.12.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත් වූ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පෙරවරු 11 ට මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යංශයේ දී ආරම්භ වු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනිම් සිදු නො කිරීම, නියමිත පරිදි දුම්රිය ධාවනය නොවිම සහ සංඥා ක්‍රම පිළිබඳ ගැටලු ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිටයි.

දුම්රිය ස්ථානාධිපති සංගමය මීට පෙර ආරම්භ කළ පාර්සල් භාරගැනීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවීමට පෙර දුම්රිය ස්ථානපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිය ඉල්ලිම්වලට විසදුම් නො ලැබුණ හොත් අනිද්දා (26) සිට දිප ව්‍යාප්තව අඛණ්ඩ වර්ජනයක් සිදු කරන බවයි.

දුම්රිය ස්ථානධිපතිවරුන් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත් විම නිසා අද (24) දිනයේ ධාවනය වු කාර්යාල දුම්රියවල මගින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරනු ලැබුවා.

වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි

(24.12.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලබන ඉරිදා (26) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (24) පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ගන්නා බවයි ෴

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් දැඩි තීරණයක්

(24.12.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

26 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මේ වනවිටත් ප්‍රවේශ පත්‍ර ලබාදීම සහ පාර්සල් භාර ගැනීමෙන් වැළකී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටලු ඇතුළු ඉල්ලීම් 25 ක් ඊට අයත්.

ඔවුන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ අද (24) සාකච්ඡාවක් පැවැත් වූ අතර, එය ද අසාර්ථක වුණා.

ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

ජවිපෙ විරෝධතා මාලාවකට සූදානමින්

(24.12.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ අදත් (24) දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා.

ඒ, ඉන්ධන මිල වැඩිකිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ පොහොර ගැටලුවට විරෝධය පළ කරමින්.

ඒ අනුව අද (24) දිනයේ පානදුර, ගාල්ල, අකුරැස්ස, බදුල්ල, කුරුණෑගල යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම, හලාවත, රිකිල්ලගස්කඩ, පූඩළුඔය, කදුරුඔය සහ ත්‍රිකුණාමලය යන නගරවලද අද (24) දිනයේ දී විරෝධතා පැවැත්වීමට නියමිතයි.

මෙම විරෝධතා සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ද එක්වන බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ ෴

******************************************

කාන්තාවන් බිය ගැන් වූ අයෙකුට කාන්තාවන්ගෙන්ම ගුටි සංග්‍රහයක්

(24.12.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කඩුවක් රැගෙන මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය ගැන්වීමට උත්සාහ දැරූ පුද්ගලයකුට කාන්තාවන් පිරිසක් විසින් අතින් පයින් සහ පොලු‍වලින් පහර දී රෝහල්ගත කර ඇතැ යි මොරගහහේන පොලිසිය පවසනවා.

වයස අවුරුදු 35 ක් පමණ වන මෙම පුද්ගලයා අවස්ථා කිහිපයක දී ධම්මානන්ද ප්‍රදේශයේ නිවාස කිහිපයකට කඩුවක් රැගෙන ගොස් තමා ව හඳුනන්නේ දැයි කාන්තාවන් ගෙන් විමසා තිබෙනවා.

එලෙස හඳුනා ගැනීමට අවශ්‍යතාවක් නැති බව කාන්තාවන් පැවසීමෙන් අනතුරු ව මෙම පුද්ගලයා ඔවුන්ට කඩුවෙන් පහර දීමට උත්සාහ කිරීමේදීයි කාන්තාවන් පිරිසක් එක් ව මෙලෙස පහර දී ඇත්තේ.

තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයා ඔහුගේ මිතුරන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කාන්තාවන්ගෙන් පහර කෑ පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයක දී ම මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බවයි බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලබා සිටින පුද්ගලයා මොරගහහේන – ගොඩැල්ලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

හදිසියේ ග්‍රෙගරි වැව හිස් කිරීමෙන් බෝට්ටු හිමියන් දුෂ්කරතාවක

(24.12.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෙගරි වැවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සහ ග්‍රෙගරි වැව සංවර්ධනය කිරීමට බව පවසමින් නුවරඑළිය නගර සභාව විසින් එහි ජලය හිස් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් ව ඇති බව වැවේ බෝට්ටු සේවා සංගමය චෝදනා කරනවා.

නත්තල් සමයත් සමඟ මේ වනවිට නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්ත දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බැවින්, ජලය ඉවත් කිරීම නිසා තම ජීවීකා වෘත්තිය සිදු කරගැනීමට නො හැකි වී ඇති බවට යි ඔවුන් චෝදනා කරන්නේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් පසුගිය 22 වැනි දා වැවෙහි ජලය හිස් කර තිබුණා.

කෙසේ වෙතත්, බෝට්ටු සේවා සංගමය චෝදනා කරන්නේ අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු පසුකාලීන ව සිදු කිරීමට අවස්ථාව පැවති බවයි ෴

******************************************

නොවැම්බරයේ අපනයන වර්ධනයක්

(24.12.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1,215 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 55.1 කින් ඉහළ ගොස් තිබෙනවා.

එහිදී ඇඟළුම් අපනයනයෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ආදායමක් උපයා ඇත්තේ සියයට 52.7 ක වර්ධනයක් සළකුණු කරමින්.

රබර් නිෂ්පාදන අපනයනයද සියයට 47 කින් පමණ ඉහළ ගිය අතර, එමඟින් ඉපයූ ආදායම ඩොලර් මිලියන 102.2 ක්.

තේ අපනයන ආදායමද ඩොලර් මිලියන 117.65 දක්වා සියයට 22.3 කින් වර්ධනය වී තිබෙනවා.

පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ඩොලර් මිලියන 80 ක ආදායමක් නොවැම්බරයේ හිමිවී ඇත්තේ සියයට 40.6 ක වර්ධනයක් සමඟින්.

මෙරට අපනයනවලින් වැඩිම ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට යවා ඇති අතර, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ජර්මනිය අනෙකුත් ප්‍රධාන ගැනුම්කරුවන් ෴

******************************************

අපරාධ රැසකට සම්බන්ධව සිටි සැකකරුවෙකු මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට

(24.12.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය ප්‍රදේශයේ යතුරුපැදි සොරකම්කිරීම් සහ ගිනි තැබීම් වලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරු මැදිරිගිරිය – දිවුල්කඩවල ප්‍රදේශයේදී ඊයේ (23) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

25 හැවිරිදි එම සැකකරුට එරෙහිව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පහක් (5) විභාග වෙමින් පවතින බව, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

මොහු සතුව තිබූ හිඟුරක්ගොඩ – කොතලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් රියදුරු බලපත්‍රයක්ද සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ ෴

******************************************

ප්‍රියන්තගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරෙයි

(24.12.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟළුම් කර්මාන්ත සමූහයේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටිය දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙකු පත් කර ඇති බව වාර්තාවනවා.

පාකිස්ථානයේ හිරු විශේෂ වාර්තාකරු ඒ බව තහවුරු කළා.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන විශේෂ ත්‍රස්ත මර්දන අධිකරණය මගින් තවත් සැකකරුවන් 34 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් නැවතත් ලබන ජනවාරි 03 වන දා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේ දී දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි පාකිස්ථාන මාධ්‍ය සඳහන් කළේ.

තවත් සැකකරුවන් 33 දෙනෙකු ද ජනවාරි 03 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊට පෙර නියෝග කළ අතර, තවත් සැකකරුවන් 18 දෙනෙකු දෙසැම්බර් 28 වන දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සියලු වියදම් දැරීමට ඔහු සේවය කළ පාකිස්ථාන රාජ්කෝ කර්මාන්ත ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ බව පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත්තේ ඔහු මුණගැසීමට පැමිණි පාකිස්ථානයේ සුප්‍රකට ආගමික නායකයෙකු වන මවුලානා ටාරික් ජමීල් විසින්.

පාකිස්ථානයේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය පිළිබඳව සිය කනගාටුව පළ කළ එම පූජකවරයා සඳහන් කර ඇත්තේ, ඉස්ලාම් දහම මගින් මානුෂිකත්වයට එරෙහි ව සිදු කරන එවැනි ඝාතන කිසිසේත් අනුමත නො කරන බවයි.

මේ අනුව ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විසින් ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 85 ක්.

******************************************

පන්නල කුකුළු ගොවිපොළ ගින්නකින් විනාශ වෙයි

(24.12.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගින්නකින් පන්නල – පල්ලේගම ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක් ගිනිගෙන එහි සිටි සතුන් 3000 ක් පමණ මියගොස් තිබෙනවා.

අද (24) අලුයම 02:30 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගොවිපොළේ හිමිකරු ප්‍රකාශ කළේ, විශාල ශබ්දයක් සමග කුකුළු ගොවිපොළේ උෂ්ණත්වය රඳා පවත්වා ගැනීමට භාවිත කළ කිලෝග්‍රෑම් 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගිය බවයි.

ගොවිපොළට ද එහි යන්ත්‍රවලට ද ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇති වූ මෙම ගින්නෙන් දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකටද ගෑස් කාන්දුවක් හේතු වූ බවට යි නිවැසියන් චෝදනා කළේ.

එමෙන්ම ප්‍රදේශ කිහිපයකම ඉල්ලුමට සරිලන ගෑස් සැපයුමක් නො මැති වීමෙන් ජනතාව අසීරුවට පත් වූ අවස්ථා දක්නට ලැබුණා.

මේ අතර, අනාරක්ෂිත ගෑස් සිලින්ඩර ලක්ෂ 4 ක් පමණ තවදුරටත් ජනතාව අතර සංසරණය විය හැකි බවට ගෑස් පුපුරායාම් සහ කාන්දුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව පසුගිය දා හිරු ප්‍රවෘත්ති සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී අනාවරණ කළා.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බලන්නේ දැයි අප පාරිභෝගික අධිකාරියෙන් විමසූ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්ණායක මෙතෙක් අධිකාරිය වෙත ලැබී නො මැති බවයි.

******************************************

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළට

(24.12.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (24) අලුයම මල්තුහින පතිත වී තිබෙනවා.

ඒ, නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ නුවරඑලිය අවට තේ වතු සහ එලවළු වගා ගොවිපලවල් ආශ්‍රිතවයි.

මල්තුහින පතිත වීම නිසා එළවළු, තේ සහ මල් වගාවන්වලට බලපෑම් එල්ල කරන බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

අද (24) උදැසන කාලයේ නුවරඑලිය ප්‍රදේශය ආශ්‍රිතව පැවතියේ දැඩි ශීත කාලගුණයක්.

මේ අතර, නුවරඑලියේ නගර සභා සිමාව තුල අද (24) අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහල වැටි තිබූ බවට වාර්තා වනවා ෴

******************************************

දියර පොහොර විසිකරන ගොවීන්ට දඬුවම් කළ යුතුයි – නාලක ගොඩහේවා

(24.12.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

රජයෙන් ලබාදෙන දියර පොහොර ගඳ යැයි පවසමින් ඒවා විසි කරන ගොවීන්ට දඬුවම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති උත්සවයක් අමතමින්.

ඔහු එහි දී පළ කළේ මෙවැනි අදහසක් :

“මේ දියර පොහොර ගත්තු ගොවියෝ මේ දියර පොහොර ගඳයි කියලා ඒවා විසි කරනවා. දැන් මේකෙ කාරණා දෙකක් මම කියන්නට ඕනෙ. මේ දියර පොහොර කියන්නෙ මොකක් ද ? පොහොරක් හදන්නෙ සත්ව ද්‍රව්‍යවලින්. ඒක ගඳයි තමයි. නැතුව මේ සුවඳ විලවුන් ගල්වපු එකක් නෙවෙයිනෙ මෙතන තියෙන්නෙ. සුවඳ විලවුන් ඕනෙ නම් සුවඳ විලවුන් ගන්න. පොහොර ඉල්ලුවාම මේක ගඳයි කියන එක මහා වරදක් විදියට කියන්න එපා. ඒකෙ ගඳ නෙවෙයි ප්‍රශ්නේ, ඒක පොහොරක්. ඒක නිෂ්පාදනය කරන දේවල් නිසා ඒකෙ යම්කිසි ගඳක් තියෙනවා නම් ඒක මහා ප්‍රශ්නයක් විදියට දකින්න එපා. ඊළඟට මේ මාධ්‍යවලින් පෙන්නනවා මහා වීරකමක් වගේ මේවා ඇරගෙන ගිහිල්ලා විසි කරනවා. ඒක හොඳ දෙයක් ද ? මොනව ද මේ විසි කරන්නෙ ? කාගෙ සල්ලිද විසි කරන්නෙ ? මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි මේ විසි කරන්නෙ. මේ නොමිලේ දෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි නෙ ? එක කෑන් එකක්හරි කවුරුහරි විසි කරනවා නම් ඒක ජාතික අපරාධයක් නෙ. ඒක දඬුවම් කළයුතු වරදක් නෙ. ඉතිං ඇයි අපි ඒ දේවල්වලට අනුබල දෙන්නෙ ?”

******************************************

කිඹුලාපිටියේ රතිඤ්ඤා අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

(24.12.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙවර නත්තල් සමයේ ගිනිකෙළි අලෙවියේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව කිඹුලාපිටිය පාරම්පරික සුළු හා මධ්‍ය පරිමාණ ගිනිකෙළි කර්මාන්තකරුවන් පවසනවා.

අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ද මේ වනවිට කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔවුන් කියා සිටියා.

සාමාන්‍යයෙන් අවුරුද්දේ මෙම කාලසීමාව තුළ පිට පළාත්වලින් ගිනිකෙළි මිල දී ගැනීම සඳහා කිඹුලාපිටිය ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව ඇදී එන නමුත් මෙවර එවැනි තත්ත්වයක් දක්නට නො ලැබෙන බවයි ගිනිකෙළි කර්මාන්තකරුවන් සඳහන් කළේ.

මේ අතර මෙවර උත්සව සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් අද (24) දිනයේ සිට අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

එසේම නත්තල් දිනය දා දේවස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

පුදුකුඩිඉරිප්පුවෙන් සිරුර සොයාගත් දැරියගේ මරණයට හේතුව ගබ්සාවක්

(24.12.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – මුංගිලාරු ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි 12 හැවිරිදි දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ, නීතිවිරෝධී ගබ්සාවක් සිදු කිරීමට යාමේ දී ඇය මියගොස් ඇති බවයි.

මාස දෙකක (2) ගැබිනියක්ව සිටි අදාළ දැරියට පවුලේ පිරිසගේ අනුදැනුම මත අධිමාත්‍රා ඖෂධ ලබා දී දරු ගැබ ඉවත් කිරීමට යාමේ දී සිදු වූ අධික රුධිර වහනය වීම නිසා මෙම මරණය සිදු ව තිබෙනවා.

දැරියගේ සහෝදරියගේ නිවසේ දී මෙලෙස ඇගේ දරු ගැබ ඉවත් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්.

මෙම දැරියගේ වැඩිමල් සොහොයුරියගේ ස්වාමි පුරුෂයාගෙන්, දැරිය අතවරයකට ලක්ව ගැබිනියක් බවට පත් ව ඇති බවට යි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගිය දැරියගේ මව, පියා, සහෝදරිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (24) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

මියගිය දැරියගේ සිරුර පසුගිය 18 වන දා පොලිසිය විසින් සොයා ගැනුණේ මුංගිලාරු ප්‍රදේශයේම පාළු ඉඩමක දමා ගොස් තිබීයදීයි.

පවුලේ සියලු දෙනාගේ අනුදැනුම මත පසුගිය 15 වන දා මියගිය දැරියගේ සිරුර නිවස අසල පාළු ළඳකට දමා ඇති අතර, පසු ව එය 17 වන දා රාත්‍රියේ යළි ගොඩගෙන එම ප්‍රදේශයේම පාළු ඉඩමකට දමා තිබෙනවා.

ඉන් පසු නිවැසියන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවටයි පොලීසියට අනාවරණ වී ඇත්තේ.

අධිමාත්‍රා ලබා දී ගබ්සාවක් සිදු කිරීමට යාමේදී 12 හැවිරිදි දැරියක මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඇයගේ මව, පියා සහ සහෝදරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පොලිසියට අවසර ලබා දුන්නා.

දැරිය අතවරයට ලක් කළ ඇයගේ සොහොයුරියගේ සැමියා ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *