ආහාර හිඟයක් දැනුම් දෙන්න ලියුම් ලියන්න අවශ්‍ය නෑ… මා ඉවත් කලේ ජනතාව දැනුවත් කළ නිසා… – හිටපු කෘෂිකර්ම ලේකම්

ආහාර හිඟයක් දැනුම් දෙන්න ලියුම් ලියන්න අවශ්‍ය නෑ… මා ඉවත් කලේ ජනතාව දැනුවත් කළ නිසා… – හිටපු කෘෂිකර්ම ලේකම්

*********************************************

ආහාර හිඟයක් දැනුම් දෙන්න ලියුම් ලියන්න අවශ්‍ය නෑ… මා ඉවත් කලේ ජනතාව දැනුවත් කළ නිසා… – හිටපු කෘෂිකර්ම ලේකම්

(23.12.2021 – 17:33 +0530 – lankacnews.com)

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ පසුගිය කොවිඩ් සමයේ කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බවයි.

තමාව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ද මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියා විසින් වැඩිදුරටත් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාගෙන් විමසා සිටියේ, ‘ආහාර හිඟයක් ඇති වෙනවා’ යනුවෙන් පැවසීම මෙම තනතුර අහිමිවීමට බලපෑවේ ද යන්නය.

එයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ‘ආහාර හිඟයක් ඇති වෙනවා’ යන්න ආන්දෝලනාත්මක වන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අයට බව ද පැවසීය.

“මෙහෙමයි ආහාර හිඟයක් ගැන දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරනවා. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ වගෙත් කියන්නේ ඕක ගැන. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් කෑ ගහන්නේ නෑ. නමුත් ජනතාව දැනුවත් කරන්න බැරි නම් ? මට ජනාධිපතිතුමා කියලා තියෙනවා ‘ඔයාගේ එක යුතුකමක් තමා ජනතාව දැනුවත් කරන එක’ කියලා. ඉතින් මං ඒක තමා කරේ.”

ප්‍රශ්නය – අන්තිමේ දී ජනතාව දැනුවත් කරන්න ගිහින් ඔබතුමාගේ රස්සාවත් නැතිකර ගත්තා.

“කමක් නෑ. ජනතාව දැනුවත් වුණා නම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ ‘සෙකට්රි’කම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා එතැනින් ඉවත් වෙන්න සිදුවෙනවා නම් – ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් – මං කියන්නේ පෘතග්ජනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානෙම – මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ ‘සෙකට්රි’ විදියට හම්බවෙන රුපියල් 50,000 වත් හම්බවුණේ නෑ. ‘අතින් කාලා හරක් බලනවා’ වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති.”

– Aruna

++++++++

++++++++

රතන හිමි, පාදෙණිය, යාපා ජනාධිපතිට ලණු ගිල්ලුවා.. චීන පොහොර ගණුදෙණුව අතිශයින්ම සැකයි.. අගමැතිත් කතා කලා.. – කෘෂිකර්ම හිටපු ලේකම්

(23.12.2021 – 22:22 +0530 – lankacnews.com)

කාබනික පොහොර ලණුව ජනාධිපතිවරයාට ලබා දුන්නේ අතුරලියේ රතන හිමි, අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන පිරිස් විසින් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කරයි.

කවුරු කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පවසන ඔහු ජනාධිපතිට වුවද යමක් පැවසීමේ සීමාවක් ඇතැයිද පැවසීය.

අනාගතයේ දී සාගතයක් අනිවාර්යයෙන්ම එන බවත් එහි වගකීම මෙම උපදේශකයන්ට ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

චීනය සමග සිදු කල පොහොර ගනුදෙනුව අතිශයින්ම සැකසන බවද පවසන ඔහු චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි අග්‍රාමාත්‍යවරයාද තමන්ට පැවසූ බවත් තමන් ඊට අකමැති වූ බවත් ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමිනි.

******************************************

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

(23.12.2021 – 18:03 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ මනෝවිද්‍යා පුහුණු උපදේශක සහ ලේඛක චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 60 වන වියේ පසුවූ අතර සති කිහිපයක් ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා ජනමාධ්‍යවේදය පිළිබඳව රුසියාවේ මොස්කව් සරසවියෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.

දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට නියමිත අතර දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි ෴

******************************************

වැලිපැන්න – වලගෙදර ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක්

(23.12.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේ 17 හැවිරිදි පුද්ගලයකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් ඇති වූ බරපතළ තුවාල සමඟ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ ප්‍රහාරය සිදු වී ඇති බවට යි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසියට ලද තොරතුරු මත මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගියේ, වැලිපැන්න වලගෙදර මංනානවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක්.

දෙපාර්ශවය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයට ලක් වූ වූ පුද්ගලයාගේ නිවසට පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර තිබෙනවා.

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ෴

******************************************

විදුර වික්‍රමනායක බලන්ගොඩ දේශපාලකයින්ට පාඩමක් උගන්වයි

(23.12.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ ඉබුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරිම සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

එහිදී තමාව පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ නැටුම, ඇමති විදුර විසින් කලාකරුවන් පිළිගැනීම වෙනුවෙන් සිදු කරන ලෙස දන්වා තිබෙනවා.

කලාකරුවන් විසින් දේශපාලඥයින් පිළිග‍ත් කාලය ඉවර බවත් දැන් සිදු විය යුත්තේ දේශපාලඥයින් විසින් කලාකරුවන්ව පිළිගැනීම බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසු ව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, පොල්තෙල් පහන දැල්වීම ආදිය ද සිදු කොට ඇත්තේ, කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන්.

අසුන් ගැනීමේදී දා අමාත්‍යවරයා අසුන්ගෙන තිබෙන්නේ, කලාකරුවන්ට පසු පසිනි ෴

******************************************

පිටකොටුවේ ලේන්සුවක් එලාගෙන හිගා කන්න (23.12.2021)

******************************************

හදිසියේ ගොඩ බැස් වූ ගුවන් යානය යළි රැගෙන යයි

(23.12.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ඊයේ පස්වරුවේ පයාගල වෙරළ තීරයට, සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කළා.

එම ගුවන් යානය අද (23) අළුයම අදාළ පෞද්ගලික ගුවන් සමාගම වෙත රැගෙන යාමට පියවර ගැණුනේ මෙලෙසින්.

******************************************

වනජිවි නිලධාරින් පිරිසක් බලංගොඩ ගමක සිර වෙයි

(23.12.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් බලංගොඩ – වැලිගෙපොළ – සඳගිරිය ප්‍රදේශවාසීන් ගම්මානයට පැමිණි වනජීවි නිලධාරීන්ට ඉන් පිට ව යාමට නො හැකි වන සේ මාර්ග අවහිර කරමින් විරෝධතාවයක නිරත වනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ, ඒ හේතුවෙන් වනජිවි නිලධාරින් ගම්මානය තුළ සිර වී සිටින බවයි.

වැලිගෙපොළ – කපුගල ප්‍රධාන මාර්ගය සහ තවත් මාර්ගයක් අවහිර වන අන්දමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

එමෙන්ම, මියගිය පුද්ගලයාගේ දේහය ද ඔවුන් අද (23) පෙරවරුවේ වැලිගෙපොළ – කපුගල ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් තිබුණා ෴

******************************************

අල්ලස් ලබාගත් විදුහල්පතිවරයෙකු අත් අඩංගුවට

(23.12.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂ දෙකක (2,00,000) අල්ලසක් ලබා ගත් ගම්පහ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

(23.12.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් අද (23) 3 වන දිනටත් දැඩි අපහසුතාවයට පත්වුණා.

වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදුකිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 7 කට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

වර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වූණේ, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කිහිපයක පමණයි.

වර්ජනය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු චෝදනා කළේ, මෙතෙක් බලධාරීන් ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට කල් මරමින් සිටින බවයි.

මේ අතර, සිය සංගමය ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් සහාය පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම වෛද්‍ය වර්ජනයට ඇතැම් වෛද්‍ය වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව සිතාසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය ජනවාරි මස 28 වැනි දා නිකුත් කරන බව මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද ප්‍රකාශ කළා.

ඒ, 2021/2022 වර්ෂ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස පෙනී සිටීම, කටයුතු කිරීම සහ හඳුන්වා ගැනීම තහනම් කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව නිකුත් කළ නියෝගය කඩකර අධිකරණයට අපහාස කර ඇති බවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගොනුකර ඇති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මොරටුව දිසා අධිකරණ්‍ය නිකුත් කළ නියෝගය කඩ කරමින් අධිකරණයට අපහාස කර ඇති බවයි.

කෙසේ වෙතත්, තම සේවාදායකයා කටයුතු කර ඇත්තේ, කොළඹ දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව බව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, සබරගමුව පළාතේ ශික්ෂණ හා මහ රෝහල් 03 ක්, මුලික රෝහල් 06 ක්, ප්‍රාදේශීය රෝහල් 32 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 19 ක් කේන්ද්‍ර කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය අතුළු සේවාවන් 16 ක වෘත්තීය සමිති අද (23) වර්ජනයක නිරත වුණා.

ඒ, පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ උපාධිධාරී වැටුප් විෂමතාව ඉවත් කිරීම, රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින්.

එම වර්ජනය හේතුවෙන් ද රෝහල් සත්කාර හා ප්‍රතිකාර සේවා, රෝග පරීක්ෂණ කටයුතු ඖෂධ සැපයීම් හා එන්නත්කරණය වැනි කටයුතුවලට ද බලපෑම් එල්ල වුණා.

වර්ජනයට සමගාමී ව එම වෘත්තිය සමිති නියෝජිතයින් රත්නපුර ශික්ෂණ රෝහල අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර රත්නපුර නගරය දක්වා පැමිණි එහිදී ද උද්ඝෝෂණයක නිරත වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *