රජයේ වෛද්‍යවරුන් සුව ඇමති හමුවේ – වර්ජනයෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවයේ

රජයේ වෛද්‍යවරුන් සුව ඇමති හමුවේ – වර්ජනයෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවයේ

*********************************************

රජයේ වෛද්‍යවරුන් සුව ඇමති හමුවේ – වර්ජනයෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවයේ

(23.12.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

දීප ව්‍යාප්ත වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉල්ලීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය අද (23) බොහෝදුරට ලබාදීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර වෛද්‍යවරුන් හතරවන (4) දිනටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

සිය ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (22) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එය එකඟතාවයකින් තොරව අවසන් වී තිබුණා.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරින් අමාත්‍යාංශ මට්ටමින් අද (23) සාකච්ඡා කිරීමට ද නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට පැය 24 ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වර්ජනයට වෛද්‍ය වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න.

මේ අතර, වැටුප් විෂමතා, උසස්වීම් ඇතළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් සබරගමුව පළාතේ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 16 ක් අද (23) පෙරවරුවේ සංකේත වර්ජනයක් ආරම්භ කළා. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය.

++++++++++++

සබරගමුව පළාතේ සෞඛ්‍ය සේවකයන් වර්ජනයක

(23.12.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 16 ක් සබරගමුව පළාතේ සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (23) පෙරවරු 7 ට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන්, පලාතේ ශික්ෂණ හා මහරෝහල් 3 ක්, මූලික රෝහල් 6 ක්, ප්‍රාදේශීය රෝහල් 32 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 19 ක සේවා කටයුතු අඩාල වී ඇති බවයි, හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති අද (23) දහවල් රත්නපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට රත්නපුර නගරය දක්වා විරෝධතා පා ගමනක ද නිරත වනවා ෴

++++++++++++

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සහකාර වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් සහාය දෙයි

(23.12.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනයට සහකාර වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහාය පළ කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වනවිට දින 3 ක් ගත ව අවසන්.

ඊයේ (22) දිනයේ ද සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සහ ඔවුන් අතර සාකච්ඡාවක් පැවති අතර, එය ද අසාර්ථක වූයේ ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නො ලැබීම හේතුවෙන්.

අදත් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත යි ෴

******************************************

පාරිභෝගිකයින් අදත් (23) ගෑස් පෝලිමේ

(23.12.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිති ආයතනය නිර්දේශ කළ නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලිට්රෝ සහ ලාෆ් සමාගම් මේ වනවිට වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබුණද පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීම සඳහා අදත් (23) පෝලිම්වල සිටින අයුරු දක්නට ලැබුණා.

ජනතාව චෝදනා කළේ වෙළදපොළට ගෑස් නිකුත් කර ඇති බවට ප්‍රකාශ කළ ද ප්‍රමිති ආයතනය නිර්දේශ කළ නව සංයුතිය සටහන් කරන ලද ගෑස් සිලින්ඩර් වෙළදපොළට ලැබී නොමැති බවටයි.

මේ අතර, අදත් (23) ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත සිද්ධීන් වාර්තා වුණා.

මහවැව – තෝඩුවාව ප්‍රදේශයේ නිවසක් තුළ ගෑස් ළිපක් පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව නිවැසියන් ඒ සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිලි කර තිබුණා. එමෙන්ම, බගවන්තලාව – එල්ටොප්ස් වතුයායේ නිවසක ද ගෑස් උඳුනක් පුපුරා ගොස් ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා.

එමෙන්ම ගෑස් ආශ්‍රිත පිපිරීමකින් මිය ගිය කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ලසන්ත රන්ජන් කුමාර මහතාගේ මරණයට සාධාරණයක් ඉටු නොවූ බව ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.

++++++++++++

වරායේ නැංගුරම් ලා තිබූ ලාෆ්ස් ගෑස් නෞකාවේ ප්‍රමිතිය තහවුරු වෙයි

(23.12.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ප්‍රොපේන් සහ බියුටේන් රසායනික නියමිත ප්‍රමිතියට පවතින බවට තහවුරු වීමෙන් පසු හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති ලාෆ් සමාගමට ගෑස් රැගෙන ආ නෞකාවේ පවතින ගෑස් වෙළෙඳපොළට මුදා හැරීමට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා අවසර ලබා දී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කිහිප වරක් පරීක්ෂා කිරිමෙන් අනතුරු ව අදාළ නෞකාවේ පවතින ගෑස් වෙළෙඳපොළට මුදා හැරීම සඳහා අවසර ලබාදුන් බවයි.

මෙට්‍රික් ටොන් 2,50,000 ක ගෑස් තොගයක් රැගෙන එම නෞකාව පසුගිය දා දිවයිනට ළගා වුණා ෴

++++++++++++

ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙළෙඳසලක ගෑස් පිපිරීමක්

(23.12.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපණ ශාලාවක ගැස් උදුනක් පිපිරී යාමෙන් එම ආපණ ශාලාවේ සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

වෙළෙඳ සේවකයා ආහාර පිසිමින් සිටිය දී එකවර ම ගැස් උදුන පුපුරා ගොස් තිබෙනවා.

තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව යි වාර්තා වෙන්නේ ෴

++++++++++++

22-12-2021

+++++++++

ලිට්රෝ සමාගම මුලු රටට බොරු කිව්වා – ගෑස් ප්‍රශ්නය මෙතනින් වහන්න යන්නේ – මම ජනාධිපතිට ලියුම් පවා ලිව්වා (23.12.2021)

++++++++++

ඉදිරියේදීත් ගෑස් ආශ්‍රිත අනතුරු සිදුවිය හැකි බව හෙළිවෙයි

(23.12.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, සංයුතිය වෙනස් කර වෙළෙඳපොලට නිකුත් කළ ගෑස් සිලින්ඩර් ලක්ෂ හතරකට (4,00,000) ආසන්න ප්‍රමාණයක් තවමත් පාරිභෝගිකයන් අතර පවතින බැවින් ඉදිරියේදීත් ගෑස් ආශ්‍රිත අනතුරු සිදුවිය හැකි බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ වි‍ශේෂඥ කමිටුවේ සාමාජික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා පවසනවා.

‘හාඩ් ටෝක්’ විශේෂාංගය සමඟ එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළා.

******************************************

ස.තො.ස. , සමූපකාරේ සැමන් කන්න එපා ! ආසනික් !

21-12-2021

******************************************

අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(23.12.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අනුරාධපුර නව නගර සහ මිහින්තලය ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (24) පස්වරු 8 දක්වා පැය 20 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව, සාලියපුර, රඹෑව, ගල්කුලම, මාතලේ හන්දිය සහ යාපනය හන්දිය යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම, මරදන්කුලම, දොරමඩලාව, සංගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදරාව, බෝගහයාය සහ පලුගස්වැව, ත්‍රිකුණාමලය පාර, කිරින්දේගම, ඉසුරු උයන, වේරන්කුලම, මිහින්තලය නගරය සහ රුවන්ගම යන ප්‍රදේශවලට ද, ජල සැපයුම අත්හිටුවන ලබනවා ෴

******************************************

අග්‍රාමාත්‍යවරයා තිරුපති සංචාරයක

(23.12.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති කෝවිල වෙත ගොස් තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අද (23) උදෑසන ඉන්දියාව බලා පිටත් ව ගිය බව යි.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි තිරුපති කෝවිලේ පැවැත් වෙන විශේෂ පූජාවකට අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිත අතර, එය නිල සංචාරයක් නොවන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

තිරුපති වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චිට්ටූර් දිස්ත්‍රික්කයේ ප්‍රධාන අමාත්‍ය කේ. නාරායන්ස්වාමි ඇතුලු රාජ්‍ය නිලධාරීන් විසින් පිළිගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍යවරයා හෙට (24) පෙරවරුවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීමට එක්වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

එම වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේ ද තිරුපති කෝවිලේ පුද පුජාවලට එක්වූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බලයේ සිටින මෙන්ම හිටපු දේශපාලනඥයන් රැසක් වන්දනාවට එක්වන ස්ථානයක් ලෙසටයි තිරුපති කෝවිල ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද නිරන්තරයෙන් එහි වන්දනාවට එක්වන බවයි එමගින් සඳහන් කර තිබෙනවා ෴

******************************************

බස් ගාස්තු හා ඉහළ යන බඩු මිල හමුවේ ජනතාව අපහසුතාවක

(23.12.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ක්ෂේත්‍ර රැසකට මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඒ සමඟ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකටයි.

වෙනදාට උත්සව සමයේ සල්පිල්වල සිටින ජනතාවට දැන් රැඳී සිටීමට සිදුව ඇත්තේ විවිධ පෝලිම්වලයි.

******************************************

ජනාධිපති කාර්ය සාධක බලකායට සිවිල් සංවිධානවල අදහස් හා යෝජනා ලැබෙයි

(23.12.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය’ වෙත සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් හා යෝජනා ලබාදීම මේ වනවිට සිදු කෙරෙනවා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති අදාළ කාර්ය සාධක බලකා කාර්යාලයේදීයි.

පසුගිය 20 වනදා සිට සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් ලබාදීම සිදු කරන අතර, මේ වනවිට සිවිල් සංවිධාන 6 කට වැඩි සංඛ්‍යාවක් එලෙස අදහස් හා යෝජනා ලබා දී ඇති බව සඳහන් ෴

******************************************

වැඩිවුණ ඉන්ධන මිල හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(23.12.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

වැඩිවුණ ඉන්ධන මිල හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (23) අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *