මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක්

*********************************************

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයයෙන් අනතුරු ඇඟවීමක්

(23.12.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති තුනෙන් (3) පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඊයේ (22) අලුතින් හඳුනාගත් ආසාදිතයින් 03 දෙනාද ඇතුලුව දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයින් 7 දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි.

ඉදිරි කාලය ඉතා අවාසනාවන්ත තත්වයකට රට පත්වීම වළක්වා ගැනීමට නම් උත්සව සමයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

+++++++++++++++

තවත් COVID-19 ආසාදිතයින් 301 දෙනෙකු සුව අතට

(23.12.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

තවත් COVID-19 රෝගීන් 301 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,58,527 දක්වා ඉහළ යනු ඇති ෴

මෙරටින් තවත් කොවිඩ් මරණ 21 ක් වාර්තා වෙනවා. මේ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 14,832 දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 472 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,82,067 දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක්

(23.12.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

මෙම තත්ත්වය තවත් දින හතරක (4) පමණ කාලයක් පවතින බවද ඔහු සඳහන් කළා.

මේ දිනවල දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින බවත් ඉන්දියාවේ උතුරු දෙසින් වියළි සුළං හමාගෙන එන බවත් මෙම සුළඟේ ජල වාෂ්ප නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

දෙසැම්බර් මාසයේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(23.12.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළදී විදේශීය 47,120 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 1,52,109 මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යංශය සඳහන් කලේ.

ආකර්ෂනීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පස් අවුරුදු (5) ප්‍රවර්ධන ගෝලිය සංවර්ධන වැඩසටහනට අනුවයි මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රවර්ධනය මෙහිදී වැඩි වශයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර විදෙස් රටවල පැවැත්වෙන සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර වලට අදාළ ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වල දී මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා ෴

******************************************

හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයට හේතු හෙළිවේ

(23.12.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනප්‍රියතම සහ අංක එකේ හොඳම ප්‍රවෘත්ති සපයන්නා වන ‘හිරු මාධ්‍ය ජාලයේ’ මිලියන 1.35 ප්‍රේක්ෂක මනාපයක් ඇති ‘හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව’ට අද (23) අළුයම සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.

හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවූයේ අද (23) අළුයම 02:00 පමණ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල වූ සැණින් එය නිරීක්ෂණය කළ හිරු ප්‍රවෘත්ති තාක්ෂණික කණ්ඩායම වහාම එම ප්‍රහාරයෙන් හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව මුදාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා.

වහ වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් පැය තුන හමාරකට (3½) ආසන්න කාලයක් තුළ දී හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව නැවතත් යථා තත්වයට පත් කරගෙන හැකරුන් ගෙන් ගලවා ගැනීමට අපගේ සයිබර් ආරක්ෂණ කණ්ඩායම සමත්වුණා.

අපගේ යූ ටියුබ් නාලිකාව මෙලෙස හැකරුන්ගේ ‍ග්‍රහණයට නතුව තිබූ කාලය තුළ ඔවුන් ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් වන වැඩසටහන් කිහිපයක් අපගේ නාලිකාව හරහා විකාශය කර තිබුණා.

මෙරට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව ඔවුන් මෙලෙස සයිබර් ප්‍රහාරයක් හරහා අත්පත් කරගෙන ඔවුන්ගේ ‍ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණ වැඩසටහන් මෙයට එක් කර තිබුණේ මිලියණ 1.35 ප්‍රේක්ෂක මනාපයක් ඇති හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව හරහා ලැබෙන අති මහත් ප්‍රචාරණය හේතුවෙන්.

අමෙරිකාවේ ලියාපදිංචි සමාගමක් වන ‘මයික්‍රෝ ස්ට්‍රැටජි’ (MicroStrategy) නමැති සමාගම මෙම සයිබර් ප්‍රහාරය පසුපස සිටින බවට මේ වන විට තොරතුරු සනාථ කරගෙන ඇති අතර ඔවුන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය සඳහා මේ ආකාරයේ ජනප්‍රිය සහ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින යූ ටියුබ් නාලිකා වරින්වර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට ආයතනයක්.

කෙසේ වෙතත් මේ වන විට හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවේ සම්පූර්ණ පාලනය නැවතත් හිරු ප්‍රවෘත්ති තාක්ෂණික කණ්ඩායම සතුව ඇති අතර අප නැවතත් ඔබට විශ්වාසදායක, නිවැරදි සහ උණුසුම් ප්‍රවෘත්ති පළමුව ඉදිරිපත් කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා.

කෙසේ වෙතත් තවත් පැය කිහිපයක් යනතුරු මෙම නාලිකාව හරහා අපගේ ප්‍රවෘත්ති විකාශය නොවන්නේ යූ ටියුබ් මව් සමාගමේ උපදෙස් මතයි.

යූ ටියුබ් මවු සමාගමෙන් අදාල විමර්ශන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ලබාදෙන උපදෙස් අනුව නැවතත් ඔබගේ ප්‍රවෘත්ති පිපාසාව සංසිදුවා ලන්නට හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව සූදානමින්.

******************************************

චීන පොහොර සමාගමට ගෙවීම් සිදු කරනවාද ?

(23.12.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරනවා ද නැතහොත් දීර්ඝ කරනවා ද යන නියෝගය ලබන වසරේ ජනවාරි මස 06 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි දැනුම් දුන්නා.

දැනට පනවා තිබෙන වාරණ නියෝගය එදිනතෙක් දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද (23) යළි කැදවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කරනු ලැබුවා.

පෙත්සම්කාර පොහොර සමාගම මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර ‘චින්ඩා ඕ සිවින්ග් බයෝටෙක් ගෘප්‍’ නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණා.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මෙම තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළා.

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමථයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි.

මේ අතර, රජය මගින් ලබාදී ඇති දියර පොහොරවල පවතින දැඩි දුර්ගන්ධයත් සමඟ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් ද එම පොහොර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එසේම, තවදුරටත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම නිසා තමන් අසීරුතාවට පත්ව ඇති බවයි ගොවීන් පවසන්නේ.

******************************************

බිරිඳ ඝාතනය කර වසර 14 ක් සැඟව සිටි සැමියා අත්අඩංගුවට

(23.12.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳ ඝාතනය කර වසර 14 ක් සැගව සිටි ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලවකැළේ – වටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී 2007 වසරේදී සැමියා විසින් බිරිද මුගුරකින් පහර දී ඝාතනය කර අනතුරුව ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා.

අනතුරුව ඇඹිලිපිටිය – තුන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී 74 හැවිරිදි සැකකරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

අදත් (23) විදුලිය කැපෙයි

(23.12.2021 – 11:40 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවයි.

සවස හයත් (06:00) පස්වරු රාත්‍රී 09:30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව අවශ්‍යතාවය මත සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවයි.

එමගින් විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවා.

තවත් වසර 5-6 කාලයක් වත් නොරොච්චෝලේ යන්ත්‍රය මෙසේ අක්‍රීය වනු ඇති බවත් එය නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම දැනට පවතින අලුත්වැඩියාව කටයුතු කොපමණ දින ගණනකින් අවසන් වේ දැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා ෴

******************************************

සංචාරක අමාත්‍යාංශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙසක්

(23.12.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රීඩාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍යාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

වසර 15 ක සිට එම ස්ථානයේ මුහුදට පනින ක්‍රීඩාවේ නිරත වූ තරුණයන්ට පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ඊට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ පිළිබද අවදානය යොමු කරමින් පුරාවිද්‍යා නිලධාරීන් සමග සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22) සිදුකළ සාකච්ඡාවේදී අදාළ උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

******************************************

අකුරැස්සේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ

(23.12.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස – බෙලිකැටිදොලහේන, තලහාගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (22) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි කෝට්ටේගොඩ – බඹරැන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා බෙලිකැටිය ප්‍රදේශයේ නිවසක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ගොස් සිටියදී අසළ නිවසක පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එහිදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

මැනිං වෙළඳපොළේ එළවළු මිල පහතට

(23.12.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං වෙළදපොළේ එළවළු මිල ගණන් අද (23) පෙරවරුවේ පහත වැටී ඇති බව මැනිං පොදු වෙළඳ සමිතිය පවසනවා.

එහි නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා සඳහන් කළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 400 කටත්, බෝංචි කිලෝවක් රුපියල් 250 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300 කටත් අලෙවි වන බවයි.

දඹුල්ල සහ හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකම අද (23) දිනයේදී එළවළු මිල සාමාන්‍ය මට්මක පැවති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීමට පැමිණි ජනතාව කියා සිටියේ එළවළු මිලෙහි අඩුවීමක් දක්නට නොලැබුණු බවයි ෴

******************************************

දයාසිරිගේ යෝජනාවට ජවිපෙන් ප්‍රතිචාර

(23.12.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (23) ප්‍රතිචාර දක්වා සිටියා.

ඊයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යාමේ හැකියාව තම පක්ෂයට ඇති බවයි.

ඒ, කොළඹ ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම යෝජනාවට නිදහස් පක්ෂ මහලේකම්වරයාට ස්තූතිය පුදන බවයි.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

වසර මිලියන 66 ක් පැරණි ඩයිනෝසෝර් පොසිල කළලයක් සොයා ගැනේ

(23.12.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ඩයිනෝසෝර් සත්ත්වයන් පිළිබඳව අප අසා ඇත්තේ සිනමා සහ පුවත්පත්වලින් පමණයි.

ඔවුන් සැබවින්ම ජීවත් වූ යුගය ගැන කිසිවෙකුට හෝ තවම අදහසක් නැහැ.

නමුත් වසර මිලියන 66 ක් පැරණි ජීවය පවතින බවට විශ්වාස කරන ඩයිනෝසෝර් පොසිල කළලයක් සොයා ගැනීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මේ හරහා ඩයිනෝසෝර් සත්ත්වයන් මෙන්ම වර්තමාන පක්ෂීන් අතර පවතින විද්‍යාත්මක සබඳතා සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති.

වසර මිලියන 66 ක් පමණ පැරණි ජීවය පවතින බවට විශ්වාස කෙරෙන මෙම ඩයිනෝසෝර් පොසිල කළලය දත් නොමැති තෙරපෝඩ් නම් ඩයිනෝසේර් විශේෂයක බිත්තරයක් තුළ තිබී හඳුනා ගැනීමටයි සමත් වී තිබෙන්නේ.

මෙම බිත්තරය මේ වනවිට සංරක්ෂණය කර තිබෙන අතර, ඩයිනෝසේර් කලලය නම් කර ඇත්තේ ‘බේබි යින්ග්ලිඈන්ග්’ ලෙසයි.

මෙම ඩයිනෝසේර් බිත්තරය අඟල් 6.7 ක දිගකින් යුක්තයි.

සිදුකර ඇති ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ බිත්තරය තුළ තිබෙන ඩයිනෝසේර් පැටවා අඟල් 10.6 ක් පමණ දිගකින් යුක්ත බවයි.

දකුණු දිග චීනයේ ගැන්සූ ප්‍රදේශයෙන් මෙම බිත්තරය සොයාගෙන තිබුණේ 2010 වසරේ දී වන අතර, එය වසර 10 කට ආසන්න කාලයක් සංරක්ෂණය කර ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු මෙම නව තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *