අද (22) සවස 6 සිට රාත්‍රී 09:30 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බිඳවැටීම්

අද (22) සවස 6 සිට රාත්‍රී 09:30 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බිඳවැටීම්

*********************************************

අද (22) සවස 6 සිට රාත්‍රී 09:30 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බිඳවැටීම්

(22.12.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

අද (22) සවස 6 සිට රාත්‍රී 09:30 දක්වා අතර කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් මෙලෙස විදුලිය බිඳවැටෙන ප්‍රදේශ නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අපහසු බවයි ඔවුන් දන්වන්නේ.

මෙම කාලසීමාව තුලදී රට පුරා විදුලි ඉල්ලුම ඉහළම තත්වයට පැමිණෙන බැවින් එම කාලය තුල අවශ්‍ය ධාරිතාව සපුරා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති අතර නොරොච්චෝල බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් මීට හේතුවී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පැවසුවේ 3 වැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම තත්ත්වය හටගත් බවයි.

මේවන විට සමස්ත පද්ධතියෙන් මෙගාවොට් 600 ක් පද්ධතියට අහිමිවී ඇති බවත් බිඳවැටී ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ එක් පද්ධතියක් යථා තත්වයට පත් කිරීම සඳහා මේවන විට සියලු කටයුතු ක්‍රියාත්මක වන බවත් විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එම උත්සාහය සාර්ථක වුවහොත් හෙට (23) දිනය තුල විදුලි ඉල්ලුමේ උපරිමය සපුරා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

කෙසේවෙතත් යම් හෙයකින් එම පද්ධතිය නැවත පණ ගැන්වීමේ උත්සාහය අසාර්ථක වුවහොත් නැවතත් විදුලිය කප්පාදු කිරීම් සිදුකළ යුතු බවට ඔහු සඳහන් කළා.

එමෙන්ම අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේ නොරොච්චෝල විදුලි බලාගාරය අඛණ්ඩව උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සහ නිසි කළට අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට නොහැකි වීම වරින්වර සිදුවන මෙම බිඳවැටීම්වලට හේතුවී ඇති බවයි.

2014 වසරෙන් පසු මෙරට ඉහළ ගිය විදුලි ඉල්ලුමට සරිලන ලෙස කිසිදු අලුත් බලාගාර පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට එක්වී නොමැති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි විදුලිය බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකි බවටත් ඔහු ඳහන් කළා.

මේ අතර, ගාල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට ඊයේ (21) විදුලිබලය ඇණහිටීමක් සිදුවූ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මීට පෙර ද නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රියවීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුවුණා.

මේ අතරල කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරීක්ෂණයට එක්වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළේ, එල්.එන්.ජී. සැපයුම, අමෙරිකානු සමාගමකට ලබාදීමෙන් මෙරට ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව අවදානමකට ලක් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

සමඟි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යුගදනවි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා එම බලාගාරය වෙත පැමිණියේ අද (22) පෙරවරුවේයි.

අනතුරුව මාධ්‍ය වෙත ඔවුන් අදහස් දැක්වුවා.

මේ අතර, කැප්පෙටිපොල, විදුරුපොල ගම්මානයට අධි වෝල්ටීයතාවයකින් විදුලිය ලැබීම හේතුවෙන් නිවාස කිහිපයක විදුලි උපකරණ විනාශ වී ඇති බව ගම්වාසීන් පවසනවා.

ඊයේ (21) දහවල් එලෙස අධි වොල්ටියතාවයකින් විදුලිය ලැබීම නිසා රුපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ රැසක් විනශ වී තිබෙනවා.

මෙම ජනතාව පෙන්වා දෙන්නේ, මේ පිළිබදව වැලිමඩ ප්‍රාදේශීය විදුලි අධිකාරී කාර්යාලයට දැනුම් දුන්නද මෙතෙක් සහනදායි පිළිතුරක් නොලැබුණ බවයි.

විදුලි පරිභෝජනය වෙනුවෙන් මාසිකව බිල් පතක් ගෙවන පාරිභෝකයන් වෙනුවෙන් නිසි ප්‍රමිතියකින් සහ ආරක්ෂා සහිතව විදුලිය බලය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු වගකීමක්.

******************************************

නිධන් හෑරීමට දැරූ තැතක් පොලිස් ඇසට හසු වේ

(22.12.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මොරගොඩ පොලිස් වසමේ රිටිගල රක්ෂිතය සහ පූජා භූමිය පිහිටි කලාපයේ ඇති ගම්මානයක් ලෙස කළුඔබේ ගම්මානය හැඳින්වෙනවා.

පුද්ගලයින් පිරිසක් විසින් මෙම ගම්මානයේ නිවසක් පිටිපස නිධන් හෑරීමේ කටයුත්තක නිරත වන බවට මොරගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කරනු ලැබුවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, පොලිසිය විසින් අදාළ ස්ථානයට යන අවස්ථාවේ දී සැකකරුවන් පලා ගොස් ඇති අතර, කෙසේවෙතත් නිධන් හෑරීමට යොදා ගත් උපකරණ මේ වනවිට පොල්සි භාරයට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙතෙක් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට මොරගොඩ පොලීසියට හැකියාව ලැබී නැහැ ෴

******************************************

අල්ලස් ලබා ගත් ඉඩම් නිලධාරියෙකු අත්අඩංගුවට

(22.12.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ඔප්පුවක් සකස් කිරීම සඳහා අවශ්‍ය රාජකාරි කටයුතු සිදුකරදීමට රුපියල් ලක්ෂයක (1,00,000) අල්ලසක් ලබා ගත් මඩකලපුව – චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියෙකු අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ මුදල ලබා ගන්නා අවස්ථාවේදී මඩකලපුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ෴

******************************************

පිරිවෙන් විභාග සඳහා අයදුම්පත් කැඳවීම ලබන 28 වනදායින් අවසන්

(22.12.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

2020 – 2021 ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම ලබන 28 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම විභාගය ලබන ජනවාරි 19 වනදා සිට පෙබරවාරි 2 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පිරිවෙන් අයදුම්කරුවන් ඉගෙනුම ලබන පිරිවෙන මගින් පෞද්ගලික අයදුම්කරුවන් ලියාපදිංචි තැපෑල මගින් ද තම අයදුම්පත් යොමුකළ යුතු වනවා.

පෞද්ලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් හා අදාළ උපදෙස් පත්‍රිකාව සතියේ දිනවල කාර්යාල වේලාවන්හි දී විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගැනීමට හෝ එහි නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමේ පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

******************************************

දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි තීරණයක

(22.12.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රවාහනය සඳහා කිසිදු පාර්සලයක් භාරගැනීම සිදු නොකරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

අබලන් දුම්රිය මැදිරි ධාවනයට එක් කරමින් මගී ජීවිත අනතුරේ හෙළීම, දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් නො ලැබීම සහ වැටුප් ගැටලුව ඇතුළු දිගු කාලීනව පවතින ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් පසුගියදා වර්ජනයකට පිවිසුණා ෴

******************************************

ප්‍රමිති ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව ලාෆ් ගෑස් බෙදාහැරීම අද (22) මධ්‍යම රාත්‍රී සිට

(22.12.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදුන් නිර්දේශයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූලව අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මේ බව සඳහන් කළා.

ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් බෙදාහාරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඒ සඳහා තාක්ෂණ අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරය අපේක්ෂාවෙන් සිටින බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම තවමත් දිවයිනේ විවිධ ස්ථානවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවනවා.

බණ්ඩාරවෙල, හැටන්, මාතලේ, කන්දකැටිය, වාද්දුව ආදී ප්‍රදේශ කිහිපයකින් අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා.

මේ අතර, ගෑස් වල අඩංගු ප්‍රොපේන් සංයුතිය සඳහන් කළ ගෑස් සිලින්ඩර් මේ වනවිට සීමිත වශයෙන් වෙළඳපොල තුල දක්නට ලැබෙනවා.

මේ අතර ගෑස් නෞකා දෙකක් (2) සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය හිමිවී මේ වනවිට සැලකිය යුතු කාලයක් ගතව ඇතත්, මෙරට ගෑස් ඉල්ලුම සපුරාලීමට ගෑස් සමාගම් තවමත් සමත් වී නැහැ.

කණගාටුදායක කරුණ වන්නේ ජනතාව දැඩි පීඩාවට පත් කළ මෙම ගෑස් අර්බුදයේ වගකීම කිසිවෙකු භාර ගැනීමට මෙතෙක් සූදානම් නොවීමයි.

දිවයිනේ ස්ථාන කිහිපයකදී ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමඟ අප සිදුකළ සොයාබැලීමේදී හෙළි වුණේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් වල සංයුතියේ වෙනසක් ලිට්‍රෝ සමාගම විසින් සිදු කර ඇති බවයි.

තමන් ගෑස් සංයුතියේ වෙනසක් සිදු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමද පසුව පිලිගත්තත්, ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව එම සංයුතිය වෙනස් කිරිම බව ඔවුන් පිළිගත්තේ නැහැ.

ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන්, බට සහ රෙගියුලේටර් හේතුවෙන් අදාල පිපිරීම් සිදුවන්නට ඇති බවයි.

කෙසේවෙතත්, ඒ වනවිටත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබූ අතර එක් (1) කාන්තාවක් මරණයටද පත්ව තිබුණා.

මේ අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට සැබෑ හේතුව කුමක්ද යන්න හෙළිකළා.

නමුත් හාස්‍යජනක කරුණ වන්නේ මෙම සංයුතිය වෙනස් කිරිම කිසිවෙකු විසින් සිතාමතා කළ දෙයක් නොවන බව පොලිසිය ප්‍රකාශ කිරීමයි.

එසේ නම් ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කර ඇත්තේ කිසියම් අද්භූත බලවේගයක් විසින්ද ?

ගෑස් සමාගම් මේ සම්බන්ධ වගකීම භාර නොගත් නමුත් අවම වශයෙන් මේ වනවිට මෙරට ගෑස් සැපයුම යථාවත් කිරීමටවත් එම සමාගම්වලට හැකි වී නැහැ.

******************************************

හෙටම (23) අයින් වෙනවා – කෙහෙළියගෙන් අභියෝගයක් !

(22.12.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යවරයා ලෙස තමන් කිසිදු අයුරකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට හෝ නිලධාරින්ට ඔවුන්ගේ වෘත්තීමය කටයුතුවලට බලපෑම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ගාල්ල – කරාපිටිය හෙල්මුට් කෝල් මාතෘ රෝහල නිරීක්ෂණයට අද (22) පෙරවරුවේ එක්වෙමින්, අමාත්‍යවරයා කියා සිටියේ, රජයේ වෛද්‍ය සංගම් විසින් සිදු කරන එම බරපතළ ප්‍රකාශය, ඔප්පු කළහොත්, හෙට (23) ම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා කටයුතු කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ දා සිටම කිසිදු අයුරකින් තමන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ලේකම්වරයා සෞඛ්‍ය වෘත්තිකයින්ගේ රාජකාරිමය වැඩ කටයුතු සඳහා ඇඟිලි ගැසීමක් හෝ දේශපාලනීකරණයකට රැගෙන යාමක් සිදු නොකළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරනය කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති, අඛණ්ඩ වැඩ වර්ජනය අත් හැරීමට ඔවුන් දැන් යම් සාධාරණ හේතුවක් සොයන බවත් ඒ අනුව ඔවුන් මෙලෙස තමන්ට අභියෝග කරන බවත්ය.

තමන් කිසිදු අවස්ථාවක සෞඛ්‍ය වෘත්තිකයින්ගේ කටයුතුවලට අතපොවා නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු බාධාවක් නොමැතිව නැවතත් රාජකාරි වෙත ප්‍රවිශ්ට වීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට අභියෝගයක් කරමින් කියා සිටින්නේ, තමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදු කළ කිසියම් හෝ දේශපාලනික අතපෙවීමක් ඇත්නම් ඒ ගැන සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසටයි.

ඇතැම් අවස්ථාවල දී විවිධ අර්බුද හමුවේ වෛද්‍යවරුන් ද දෙපිළකට බෙදී ගැටලු ඇති කරගන්නා අවස්ථාවල දී පවා තමා ඇතුළු සෙසු නිලධාරින් ඒවා විසඳීමට සහ සාධාරණව සමථයකට පත් කිරීමට ද කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

බස් ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් – අවම ගාස්තුව 20ක් වෙයි ?

(22.12.2021 – 18:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන බස් ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් සංගම් කිහිපයක නියෝජිතයින් සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකචඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඊට එක්වූ බස් සංගම් නියෝජිතයින් සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් වනු ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා.

ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් බස් ගාස්තු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බස් සංගම්වල නියෝජිතයින් අද (22) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයට කැඳවා තිබුණා.

පැයකට අධික කාලයක් පැවති සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා තම සංගමය සහ දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය කැඳවා නැතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සඳහා 20% කට එහා ගිය මිල වැඩිකිරීමකට යාමට සිදුවනු ඇති බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

මේ අතර එකාබද්ධ ත්‍රී රෝද රථ සේවා සංගමයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පැවසුවේ එළවළු ප්‍රවාහනය කරන වෙළෙඳුන් ද ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව තමන්ට දන්වා ඇති බවයි.

එම තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී එළවළු මිල තවදුරටත් ඉහළයාමේ අවදානමක් මතුව තිබෙනවා.

කටුගස්තොට මැණික්කුඹුර වෙළෙඳ සංකීර්ණයටද එළවළු තොග ලැබී ඇතත් වෙළෙඳ ප්‍රජාව පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ පැමිණීමේ අඩුවීමක් දක්නට ලැබුණු බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේද විශාල අඩුවක් දක්නට ලැබුණා.

මේ අතර බේකරි හිමියන්ගේ සංගමය පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කර ගැනීමත් ඇතැම් ප්‍රදේශවල බේකරි නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල සහ සෙසු ආහාරපාන මිල ඉහළ දැමිය යුතු බව ආපනශාලා හිමයන්ගේ සංගමය සහ බේකරි හිමියන්ගේ සංගම් පැවසුවද එසේ කිරීමෙන් පාරිභෝගිකයන් තවදුරටත් ඈත් වන බව ව්‍යාපාරිකයින් පවසනවා.

මේ අතර විදෙස් සංචිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුකිරීමේ පියවරක් ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමට නිර්දේශ කළ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා ‘හිරු සළකුණ’ වැඩසටහනේදී සඳහන් කළා.

මෙහි ඇති ඵලදායී තත්ත්වය පිළිබඳ අප කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ගෙන් විමසා බැලීමක් සිදු කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *