වෛද්‍ය වර්ජනය අදත් (22)

වෛද්‍ය වර්ජනය අදත් (22)

*********************************************

වෛද්‍ය වර්ජනය අදත් (22)

(22.12.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද (22) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි.

ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව අවසන් වී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට ඊයේ දැඩි බාධා එල්ල වූ අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් ද පත් වූයේ දැඩි අපහසුතාවකට යි.

මේ අතර, රුපියල් දස දහසක (10,000) දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් අධ්‍යාපන සමූපකාර සේවක සංගමය ආරම්භ කළ වර්ජනයට අදට (22) දින 39 ක් ගතවනවා.

එමෙන්ම, එළඹෙන 26 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා ෴

++++++++

වැඩ වර්ජනය අතහැරීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

(22.12.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් දේශපාලන අත පෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම්, වැඩ වර්ජනය අතහැරීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (22) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබෙන දීප ව්‍යාප්ත වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරයා සමඟ ඊයේ (21) දින සාකච්ජාවක් පැවැත් වූ බවයි.

එහිදී, පවතින ප්‍රශ්නාකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලේකම්වරයා තේරුම් ගත් අතර, ඇතැම් තීරණ ගැනීමේදී ඔහුගේ සීමාවෙන් එහාට ගොස් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය නිසා අමාත්‍යවරයා සමඟ සාකච්ජා කර දැනුම් දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා එම සාකච්ජාවේදී පැවසූ බව කොළඹගේ පවසා සිටියා.

ඒ අනුව, දැන් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් බව හා මීට පෙරම අමාත්‍යවරයා ක්‍රියාත්මක වූයේ නම්, වැඩවර්ජනය මෙලෙස දීර්ඝ නොවීමට ඉඩ තිබුණු බවයි, ඔහු පැහැදිලි කළේ.

එහෙයින් මෙලෙස වැඩවර්ජනයක් සිදුවීමේ වගකීම අමාත්‍යවරයා භාර ගත යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ, සිය ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා ද තම සංගමයේ සභාපතිවරයා දුරකතනයෙන් අමතා මැදිහත් වූ බවයි ෴

******************************************

‘නත්තල් සීතලේ’ වෙනසක් – කොළඹ දූවිල්ලත් ඉහළට

(22.12.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

වෙනත් වසරවල දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන ශීත කාලගුණ තත්ත්වය මෙම වසරේ මේ දක්වා ස්ථාපිත වී නො මැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හිමාල කඳුවැටිය හරහා හමා එන සුළං තත්ත්වය මේ දක්වා ස්ථාපිත වී නො තිබීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් සුළං රටාවේ වෙනස්වීමක් සිදු වුව හොත් ඉදිරි දිනවල දී ශීත කාලගුණ තත්ත්වය ඇති වෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, මේ දිනවල කොළඹට ඉහළ අහසේ මීදුම් වලාවක් සේ අපහැදිලි අහසක් දිස්වීමට හේතුව දූවිලි අංශුවල ඉහළ යෑම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

******************************************

බස් ගාස්තු ගැන තීරණාත්මක සාකච්ඡාව අද (22)

(22.12.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතයි. ඒ, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් අතරයි.

රජයෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් නො ලැබුණ හොත් බස් ගාස්තුව 25% කින් ඉහළ නැංවීමට සිදු වන බවයි පෞද්ගලික බස් සංගම් ඊයේ (21) ප්‍රකාශ කළේ.

මේ අතර, තෙල් මිල වැඩි වීමට සමගාමී ව අවම බස් ගාස්තුව ද රුපියල් 20 දක්වා වැඩි කළ යුතු බව ගැමුණු විජේරත්න මහතා ඊයේ (21) ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රී රෝද රථ වෘත්තීය සමිති තීරණය කළා.

එසේම ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේ දී අයකරන ගාස්තුව සියයට විස්සකින් (20%) ඉහළ දැමීමට යි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණේ.

එසේම ලබන වසරේ ජනවාරි මස 03 වන දා සිට පාසල් ළමයින් ප්‍රවාහනය කරන ගාස්තු ද යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළා.

++++++

දිලුම් අමුණුගමගෙන් බස් සංගම්වලට නියෝගයක්

(22.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය ගණනය කර ලබන බදාදා වනවිට දැනුම් දෙන ලෙස, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවේ දී ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලැබී තිබෙනවා.

පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය කටයුතු කිරිමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවිම සිදු වන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් චෝදනා කළේ, තෝරා ගත් බස් සංගම් කිහිපයකට පමණක් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබූ බවයි ෴

******************************************

නොවැම්බරයේ උද්ධමනය 11.1% ක්

(22.12.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1% ක් බව ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔක්තෝම්බර් මාසයේ එය සටහන් වූයේ 8.3% ක් ලෙස යි.

නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩය 7.8% ක දායකත්වයක් දක්වා ඇති අතර, ආහාර නොවන කාණ්ඩය 3.3% ක දායකත්වයක් දක්වා තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී උද්ධමනය සටහන් වූයේ සියයට 5.2% ක් ලෙස යි.

ජනලේඛණ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි මේ වසරේ නොවැම්බර් මාසයේ උද්ධමනය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල ඉහළ මිල මට්ටම්.

මේ අතර, ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 150.6 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේ දී 155.3 දක්වා වැඩි වී තිබෙනවා.

ආහාර කාණ්ඩය සැලකූ විට එළවළු, සහල්, කිරිපිටි, ලොකුලූනු, අලුත් මාලු, කුකුල් මස්, අර්තාපල්, පොල්, සීනි, පාන්, බිත්තර, තිරිඟු පිටි, පරිප්පු, බිස්කට්, අමු මිරිස් සහ සෝයාමීට් යන ආහාර වර්ගවල මිල ඉහළ ගොස් ඇති බව සඳහන් ෴

******************************************

ව්‍යාජ මුදල් ගැන අවධානයෙන්

(22.12.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ පිළිබඳ මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසීමේ සිද්ධි ප්‍රදේශ රැසකින් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ බවයි ෴

******************************************

නයිජීරියානු ක්‍රමයට සමාජ මාධ්‍යයේ ජාවාරම් කළ 7 කල්ලිය ගැන තොරතුරු රැසක්

(22.12.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක රැදී සිටිමින් කූඨ ජාවාරම්වල නිරත ව සිටිය දී අත්අඩංගුවට ගත් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පිළිබද මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති ඇති බවයි වැටලීම සිදු කළ ‘වලාන දූෂණ මර්දන ඒකකය’ සඳහන් කළේ.

නයිජීරියානු ක්‍රමයට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කූඨ ජාවාරම්වල නිරත වී ඇති අතර එමගින් උපයා ගත් මුදල රුපියල් කෝටි ගණනක් බවද අනාවරණය වී තිබෙනවා.

ඊයේ (21) අත්අඩංගුවට ගත් මොවුන් අදාළ හෝටලයේ කාමර දෙකක (2) නවාතැන් ගෙන සිට ඇති අතර ඒ සදහා දිනකට රුපියල් ලක්ෂය (1,00,000) බැගින් ගෙවා ඇති බවට ද අනාවරණ වුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතු ව තිබී බැංකු ගිණුම් පොත් 21 ක්, ඒ.ටී.එම්. කාඩ්පත් 58 ක් සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

******************************************

කැලණි ගඟ සංරක්ෂණයට රුපියල් මිලියන 200 ක්

(22.12.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ කැලණි ගඟ සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍යාංශයේ ඊයේ (21) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙරට ගංඟා පද්ධති 103 ක් පවතින බවත් ඒ අතරින් දැනට ජලය බරපතළ ලෙස දූෂණයට ලක් වී ඇති ගංඟාව වන්නේ කැලණි ගඟ බවත් අනාවරණ වී තිබෙනවා.

එමනිසා කැලණි ගඟ සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට පරිසර අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතර ව තවත් ප්‍රධාන ගංඟා 5 ක් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසට ද ඊයේ (21) පැවති සාකච්ඡාවේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට

(22.12.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව සහ පාලටුව අතර අද (22) දින අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මත්තල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් අපරීක්ෂාකාරි ලෙස නවත්වා තිබී ඇති අතර, පිටුපසින් පැමිණි බවුසරයක් එහි ගැටී ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් ට්‍රක් රථයේ ගමන් ගත් 72 හැවිරිදි එහි සහායකයා සහ 61 හැවිරිදි ගෝනවල ප්‍රදේශයේ පදිංචි බවුසර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

බවුසරයේ සහායකයා බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

******************************************

බුත්තල – කතරගම මාර්ගයට පැමිණෙන වන අලි සංඛ්‍යාව වැඩි වේ

(22.12.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන ප්‍රධාන මාර්ගයේ දෙපසට පැමිණෙන වන අලි සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය තුළම මාර්ගයේ ගමන් ගත් වාහන රැසකට වන අලි පහර දී ඇති අතර, ඒ හේතුවෙන් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කළ බවයි, හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඇතැම් සංචාරකයින් සහ රථ වාහන රියදුරන් විසින් වන අලි ආසන්නයට ගොස් ආහාර ලබාදී ඡායාරූප ගැනීම් සිදුකරන බවත්, එය අනතුරුදායක ක්‍රියාවක් බවත්, පොලීසිය පෙන්වා දෙනවා.

******************************************

නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොලට

(22.12.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිති ආයතනය නිර්දේශ කළ නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලිට්රෝ සමාගම වෙළඳපොලට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන් උපරිම මට්ටම සියයට 30 ක් පවතින බව දක්වමින් අදාළ ගෑස් සිලින්ඩර ඊයේ (21) රාත්‍රියේ මෙලෙස වෙළඳපොලට මුදා හැර ඇති බවයි, අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගියදා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට පොරොන්දු වූයේ ගෑස් සංයුතිය සඳහන් කරමින් ගෑස් සිලින්ඩර වෙළඳපොල වෙත මුදා හරින බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *