අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්

*********************************************

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්

(21.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා ජංගම ගෙවීම් යෙදුම (Lanka QR) භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.

ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම (Manual Toll Collection – MTC) වෙනුවට මෙම ජංගම ගෙවීමේ යෙදුම (Lanka QR) පහසුකම භාවිත කළ හැකි බවයි මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට මෙම ජංගම ගෙවීමේ යෙදුම (Lanka QR) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර, එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ග සඳහා ද එක් කිරීමට නියමිතයි.

සක්‍රීය Lanka QR ඇප් (App) එකක් සහිත ජංගම දුරකථනයක් මගින් ඕනෑම අයෙකුට භෞතික මුදල් භාවිතයෙන් තොරව තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකි අතර, එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර, ගෙවීම් කටයුතු සඳහා ඇති අදාළ ‘යෙදවුමේ කේතය’ (QR code) පරිලෝකනය (Scan) කිරීම පමණක් බව ද වාර්තා වනවා.

මෙම නව පහසුකම හේතුවෙන් මුදල් භාවිත කිරීම අවම වීම, මුදල් මගින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම, සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම, අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන්වල දී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදිය ප්‍රතිලාභ වනු ඇති.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක් වුණා ෴

******************************************

ආනයන අපනයනත් සීමා වන ලකුණු

(21.12.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව සියයට විස්සකින් (20%) ඉහළ දැමීමට ‘සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය’ තීරණය කර තිබෙනවා.

එහි සභාපති සරත් මංජුල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව බහලුම්වල බර සහ එය ප්‍රවාහනය කරන ස්ථානය දක්වා ඇති දුර වෙනුවෙන් මේ දක්වා අයකරනු ලැබූ ගාස්තු සියයට විස්සකින් (20%) ඉහළ දමන බවයි ෴

******************************************

ගෑස් පිපිරීමට හේතුව සංයුතිය වෙනස් වීමයි – මහාචාර්ය ශාන්ත වල්පලගේ

(21.12.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත අනතුරුවලට මූලික හේතුව ගෑස් සංයුතියේ වෙනස් වීම සහ ඒ තුලින් උපාංග ආශ්‍රිතව ඇතිවූ ගැටලු බව ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව අද (21) ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාට භාර දුන් අදාළ විමර්ශන වාර්තාවේ කරුණු ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

කමිටු වාර්තාව මගින් ලිට්රෝ සමාගම ඇතුළු ආයතන 6 කට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එසේම පාරිභෝගික කටයුතු අධිකාරිය, අපනයන හා ආනයන පාලන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය යන අදාළ ආයතන සඳහා නිර්දේශ 25 ක් පමණ මෙලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන් සහ දිගු කාලීන වශයෙන් නිර්දේශිතයි.

අදාළ වාර්තාව සකස් කල කාලය දක්වා ගෑස් ලිප් හෝ ගෑස් වීදුරු බිඳී යාමේ සිද්ධීන් 394 ක් සහ ගෑස් කාන්දුවීම් පිළිබඳ සිදුවීම් 294 ක් වාර්තා වී තිබෙනවා.

වාර්තා වී ඇති ගෑස් නලයට හානිවීමේ සිදුවීම් සංඛ්‍යාව 42 ක්.

එමෙන්ම ගෑස් අනතුරු හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ද කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

******************************************

‘සන්ෂයින් සුද්දා’ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(21.12.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

‘අමිල ප්‍රසංග හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට එම අපරාධය සඳහා ආධාර අනුබලදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර – වෙලම්බඩ ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (20) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජංගම දුරකථන හතරක් (4) සහ ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් (2) ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් කෑගල්ල ප්‍රදේශයට රැගෙනවිත් රහසිගතව රඳවාගෙන අපරාධය සිදු කිරීමට සැලසුම් සකස් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

ආහාර හිඟ වුණොත්, කළ යුතු දේ ගැන උදිත් ජයසිංහ විග්‍රහ කරයි

(21.12.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ආර්ථික , සමාජීය අර්බුද හමුවේ කිසියම් ආකාරයකට ආහාරවල හිඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසනවා.

අද (21) පෙරවරුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලේකම්වරයා සඳහන් කළේ, පුද්ගලයින්ට පරිභෝජනය සඳහා රට තුළ ආහාර තිබීම අනිවාර්යය වන අතර, කිසියම් අයුරකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත්, ආහාර හුවමාරු ක්‍රමවේදයකට අප යා යුතු බවයි.

තමන් පවසන ආහාර හුවමාරු ක්‍රමවේදය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටින්නේ, ආහාර හුවමාරුවක් යනු බඩඉරිඟු භෝගයේ රික්තකයක් පවතින්නේ නම්, මිත්‍ර රටකින් අප රටට අදාළ භෝගයට සරිලන පරිදි අවශ්‍ය ටොන් ප්‍රමාණය ලබාදෙන ලෙස ඉල්ලා, ඒ වෙනුවෙන් මෙරටින් කිසියම් දෙයක් ඒ සඳහා ප්‍රදානය කළ යුතු බවයි.

උදාහරණයක් ලෙස එය හරියට ණය ලබාදෙන විට දී සල්ලි දෙන ආකාරයේ ක්‍රියාවක් බවත්, ඇතැම් අවස්ථාවල දී එවන් තීරණයකට එළැඹුණේ ඇයි දැයි යන ගැටලුව අපට මතුවීමට වුව ද ඉඩකඩ ඇති බවත්, එහෙත් පළමුවෙන්ම කළ යුත්තේ, ප්‍රධාන අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම බවත් මහාචාර්යවරයා පවසනවා.

මෙහිදී මහාචාර්ය උදිත් ජයසිංහ අවධාරණය කරන්නේ, කිසියම් අයුරකින් ආහාර අර්බුදයකට ලක්වීමට අපට සිදු වුවහොත්, රට තුළ ජීවත් වන ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩය වන ගැබිනි මව්වරුන්, දරුවන්, රෝගීන්ට ප්‍රමුඛතාව ලබා දී, තරුණයින් වැනි කොට්ඨාසය විසින් කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආහාර අවම ලෙස පරිභෝජනයට යොමු වෙමින්, සුළු හෝ කැප කිරීමක් රට වෙනුවෙන් කිරීම සුදුසු බවයි.

මෙම ක්‍රියාවලිය සඳහා පූර්ව සූදානම වන්නේ, පිටරටින් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන ආහාරපාන සීමා කර, අත්‍යවශ්‍ය වන කිරිපිටි ආදී ද්‍රව්‍යවලට පමණක් ඉදිරියේ දී ආනයනයට අවස්ථාව සඳහා අවධානය යොමු කිරීමට මෙරට ආර්ථිකයට හැකියාවක් පවතින්නේ නම්, එය ඉදිරියේ ඇති සංවර්ධනයට අතිශය රුකුලක් වන බව ද හෙතෙම පෙන්වා දෙනවා.

බලධාරීන්ට හෝ නිලධාරින්ට කිසිම අයුරකින් රටේ ජනතාවට ආහාර හිඟයක් ඇති කිරීමට තුන් හිතකින් හෝ අවශ්‍යතාවක් නොමැති බව ද, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ, මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පරිදි ඔහු මානසික ආතතියකින් පෙළෙන්නේ ද යන්නයි.

ඊට සිනහ මුසු මුහුණින් යුතුව ප්‍රතිචාර දැක්වූ මහාචාර්ය උදිත් ජයසිංහ සඳහන් කළේ, තමන්ට මානසික ආතතිය යනුවෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන්ට පෙර මෙන් පැය 08 ක් නිදා ගැනීමට රාජකාරිය හේතුවෙන් නොහැකි වීම නිසා,කාර්යබහුල වීම මත පැය 04 ක් පමණක් නිදා ගැනීමට සිදු වීම හේතුවෙන් එසේ සමහරුන් පවසනු ඇති බවයි.

එමෙන්ම ඊට හේතුව මානසික ආතතිය නොවන අතර, තමන් ලේකම්කම් පමණක් නොව සිය කථිකාචාර්ය ධුරයේ දේශන සඳහා මෙන්ම විවිධ පර්යේෂණ කටයුතු වෙතට ද යොමු ව ඇති හෙයින් ලේකම් ධුරයක් නිසා කිසිදු අයුරකින් සෙසු අවශ්‍යතා මග නොහරින බව ද හෙතෙම සඳහන් කළා.

සියලුම රාජකාරි මධ්‍යයේ වුව ද ලේකම්කම මෙන්ම වැරදුණු තැන් නිවැරදි කරමින් ද කටයුතු කරන හෙයින්, තමන් දැනුවත් ව ආතතියක් නොමැති බවත්, එහෙත් සිත් තැවුලක් ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ වැඩිදුරටත් කියා සිටියා.

******************************************

ශ්‍රී ලංකාව තේවලින් ණය ගෙවීමට සැරසෙයි

(21.12.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉරාන තෙල් සමාගමට හිඟ ඩොලර් 250,925,169 ක මුදලක් පියවීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) අද (21) අත්සන් කෙරුණා.

අද (21) දහවල් 12:00 ට විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉරානයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍යය අලිරේසා පෙය්මන්පාක් දෙදෙනායි.

යෝජිත යෝජනා ක්‍රමය අනුව ලංකා තේ අපනයනය වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ඇති අමෙරිකානු ඩොලර් 250,925,169 ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කෙරෙනවා.

ඒ අනුව මෙම යෝජනා ක්‍රමය මගින් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිලියන 5 කට සමාන මුදලක් දේශීය මුදලින් පියවීම සිදු කිරීමට හැකි වනවා.

පසුගිය දශක කිහිපය තුළ ලංකා තේ ආනයනය කරන ඉහළම රටවල් 10 අතර සිටි ඉරානයට 2012 නොවැම්බර් මාසයේදී පනවන ලද එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බැංකු පද්ධතිය හරහා පිළිගත් ගෙවීම් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා මෙරට තේ අපනයනකරුවන් හට අපනයන ආදායම ලබා ගැනීමට අපහසු වී තිබුණා.

මේ ආර්ථික සම්බාධක හේතුවෙන් 2016 දී 47% ක පමණ වෙළඳපල කොටසක් හිමි ව තිබූ ‘සිලෝන් ටී’ වෙළඳපොළ පංගුව 2020 දී 25% දක්වා පහත වැටුණා.

මේ හේතුවෙන් 2013 වසරේ දී තේ කිළෝ ග්‍රෑම් මිලියන 38.42 ක් ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කෙරුණද 2020 දී එය කිලෝග්‍රෑම් මිලියන 14.73 දක්වා පහත වැටී තිබුණා.

මෙම යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සෑම මසකම පළමු සඳුදා ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත මසකට ඩොලර් මිලියන 5 කට සමාන මුදලක් (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව) ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

මෙම යාන්ත්‍රණය පිළිගත් විගණන සමාගමක් හරහා පරීක්ෂාවට ලක් කෙරෙන අතර, නිර්දේශයන්ට පදනම්ව මුදල් අමාත්‍යාංශය විසින් මුදා හරින ලද අරමුදල්වලින් තේ අපනයනකරුවන්ට ගෙවිය යුතු ගෙවීම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කරනු ඇති.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ ප්‍රේෂණ සම්බන්ධ නොවන බැවින් කිසිදු ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකින් තොරව ඉරානයට සිලෝන් ටී සැපයීම සඳහා මසකට ඩොලර් මිලියන 5 කට සමාන මුදලක් ලබාදීමට යෝජිත වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරෙනවා ෴

******************************************

බස් රථයක් හා යතුරුපැදියක් ගැටී දෙදෙනකුට (2) බරපතළ තුවාල

(21.12.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව නගර මංසන්ධියේ ඇති ඔරලෝසු කණුව වටරවුම අසල දී අද (21) පස්වරුවේ බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් රිය අනතුරක් සිදු වුණා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

යටිනුවර ඩිපෝවට අයත් මෙම බස් රථයේ ගැටුණු යතුරුපැදිය බස් රථයෙහි ඉදිරිපසට යට වී ඇති අතර, යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනකු (2) බරපතළ තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලබා සිටි එම තරුණයින් දෙදෙනා (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

රිය අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා (2) කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා කැකිරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරට ලක් වූ යතුරු පැදිය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

******************************************

වසරේ සුරාබදු වැටලීම්වල වටිනාකම මිලියන 400 ඉක්මවයි

(21.12.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් මස 15 වනදා දක්වා වූ කාලසීමාව තුළ සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 400 ඉක්මවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාලසීමාවේදී දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 36,067 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අතරින් 4,882 ක් කාන්තාවන්. මෙම සිද්ධීන්වලට අදාළව අධිකරණයේ නඩු පැවරීම මගින් රුපියල් මිලියන 116 ක් දඩ මුදලක් ලබාගෙන තිබෙනවා ෴

******************************************

නත්තල වෙනුවෙන් සිරකරුවන්ට ආහාර ලබාදීමට අවස්ථාවක්

(21.12.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

නත්තල් උත්සවය වෙනුවෙන් ඥාතියෙකු හෝ නම් කරන වෙනත් පුද්ගලයෙකු විසින් රැගෙන එනු ලබන බත් පාර්සලයක්, අනිද්දා සිට ලබන 27 වනදා දක්වා, ඉරිදා දින හැර සිරකරුවෙකුට ලබාදීමට අවස්ථාව පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම සිරකරුට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනි, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 2,500 ක මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර පවතින නීති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ලබාදීමේ හැකියාව ද පවතින බව සඳහන් ෴

******************************************

සා/පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

(21.12.2021 – 22:00 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලිකව පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් කැඳවීම ජනවාරි මස 20 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිසෙන්න ෴

******************************************

ශ්‍රී ලංකාවේ උද්ධමනය වසරින් වසර ඉහළට

(21.12.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ උද්ධමනය වසරින් වසර වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට 2021 නොවැම්බර් මාසයේ දී උද්ගතව ඇති උද්ධමනය 11.1% ක් දක්වා වර්ධනය වී ඇති බවයි එම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ෴

******************************************

“මම හිතුවේ මැරෙයි කියලා” – සරුංගලයෙන් උඩුගුවනට ගිය තරුණයාගේ පාපොච්චාරණය

(21.12.2021 – 22:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ නටරාජා මහේන්ද්‍රන් සරුංගලයක් ගුවනට යැවීම සඳහා පසුගිය 18 වනදා ප්‍රදේශයේ වගා බිමකට ගියේ සිය මිත්‍රයන් ද සමගයි.

සරුංගලය ගුවනට යැවීම සඳහා එම කඹය අල්ලාගෙන සිටි මහේන්ද්‍රන් නොසිතු ලෙස උඩු ගුවනට යන අයුරු ජංගම දුරකතනයක මෙලෙස පටිගත කර තිබුණා.

මෙම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් තරුණයා විනාඩි 10 පමණ කාලයක් ගුවනේ රැඳී සිට, ඔහු බිමට ඇඳ වැටෙන දර්ශනයි මේ.

සිදුවීමෙන් පසු ඔහුට සුළු තුවාල පමණක් සිදු ව ඇති අතර, දින 03 ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සිය ත්‍රාසජනක වූ අත්දැකීම ඔහු මෙලෙස විස්තර කළා.

“මම සරුංගලයක් යවන්න ගියා. සරුංගලයේ එක කෙලවරක් ගහක බැදලා තිබ්බේ. එක පාරටම මාව උඩට ඇඳගෙන ගියා. මම අඩි 150 ක් විතර උඩට ගියා. මම කෑ ගැහුවා. මම හිතුවේ මම මැරුණා කියලා තමයි. ලණුව අතහැරුණ නම් මම මැරෙනවා.

මගේ පුතා බිම හිටියා. එයා මාව දැකලා අත්පොඩි ගහලා සතුටු වෙලා. පහල හිටපු අය ලණුව අදිනකොට මීටර් 20 ක් විතර තියෙද්දී මම වැටුණා. මට ක්ලාන්තය වගේ දැනුණා. බිමට වැටුණට පස්සේ මොනවද වුණේ කියලා මම දන්නේ නැහැ. මේක මගේ ජීවිතයට අමුතුම අත්දැකීමක්,” බව යි සිද්ධියට මුහුණ පෑ තරුණයා කියා සිටියේ.”

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 294 ක් පූර්ණ සුව අතට

(21.12.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 294 ක් අද (21) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරටින් වෛරසය ආසාදනය වී සුව වූ සමස්ත සංඛ්‍යාව 5,57,915 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 24 දෙනෙකු මරණ අද (21) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 14,795 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 518 දෙනෙකු අද (21) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,80,727 ක් ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 195 දෙනෙකු අද (21) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග අද (21) දිනට පමණක් මෙතෙක් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 713 ක්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිත සංඛ්‍යාව 5,80,922 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *