රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

*********************************************

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

(20.12.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී ගැටළු පවතින බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොළොන්නරුව, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද (20) උදෑසන සිට එක්දින (1) වර්ජනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, බලධාරීන් සමග අද (1) පැවති සාකච්ඡාවේදී ඊට නිසි විසදුම් නොලැබීම හේතුවෙනුයි, වෛද්‍යවරුන් දිවයින පුරා මෙලෙස වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ ෴

******************************************

විදේශ ප්‍රේෂණ වසර 12 කින් අවම අගයට

(20.12.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

විදේශයන් හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලැබූ ප්‍රේෂණ මේ වසරේ නොවැම්බරයේ දී ඩොලර් මිලියන 271.4 ක් ලෙස වසර 12 කින් අවම අගයට පත් ව තිබෙනවා.

ඊට අඩු මාසික ප්‍රේෂණ අගයක් සටහන් වූයේ ඩොලර් මිලියන 266.3 ක් මෙරටට ලැබුණු 2009 වසරේ අප්‍රේල් මාසයේදියි.

2020 වසරේ නොවැම්බරයේ දී විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලැබූ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 611.7 ක්.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂ ව මේ වසරේ නොවැම්බරයේ දී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ සියයට 55.6 කින් පහත වැටී තිබෙනවා.

වසරේ මුල් මාස 11 සැලකූ විට මේ වසරේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5166.3 ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති අතර, පසුගිය 2020 වසරේ මුල් මාස 11 තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6292.2 ක්.

ඒ අනුව වසරේ මුල් මාස 11 දී විදේශ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂව සියයට 17.9 කින් පහත වැටී තිබෙනවා ෴

******************************************

ආර්ථික අර්බුදයේ ප්‍රධාන කොටස් කරුවන් විපක්ෂය

(20.12.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (20) අදහස් පළ කළා.

******************************************

01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අප්‍රේල් මාසයේ දී

(20.12.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර (2022) සඳහා 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 2022 අප්‍රේල් මාසයේ දී සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා ෴

******************************************

‘මන්න රමේෂ්’ අත්අඩංගුවට

(20.12.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3), ඒ සඳහා යොදා ගත් ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත එම මෙහෙයුම දින දෙකක් (2) පුරා සිදුකර ඇති බව සඳහන්.

එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන ‘රමේෂ් මිහිරංග’ හෙවත් ‘මන්න රමේෂ්’ නැමැත්තාගේ අවිස්සාවේල්ල නාපාවල පිහිටි නිවස පිටුපස වළ දමා තිබූ ඝාතනයට යොදාගත් බවට විශ්වාස කෙරෙන ගිනි අවියක් හා ඊට යොදන ජීව උණ්ඩ 5 ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙක් ‘මන්න රමේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන බව ට වාර්තා වනවා.

කෙසේවෙතත් සැකකරුවන් තිදෙනා (3) මේ වනවිට අවිස්සාවේල්ල පොලීසියට භාර දී ඇති බව සඳහන්.

වළ දැමූ පුද්ගලයාගේ සිරුර කිරිඳවැල පොලිස් බලප්‍රදේශයට අයත් මීතිරිගල නිස්සරණ වනයේ දමා ඇති බවට තොරතුරු අනාවරණය ක ගෙන තිබෙනවා.

******************************************

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කෙරෙයි

(20.12.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව – මිල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

‘රොෂාන් ද සිල්වා’ හෙවත් ‘කුඩු රොෂාන්’ නමැත්තා ඊයේ (19) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිතුරෙකුගේ නිවසේ පැවති සාදයක් සඳහා සහභාගි වීමට හික්කඩුව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී මෙම ඝාතනය සිදු ව ඇති බව සඳහන්.

මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මාකඳුරේ මධුෂ්’ගේ සමීපතමයෙකු වන අතර, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ අයෙක්.

මේ අතර, මඩකලපුව – බාර් වීදිය ප්‍රදේශයේ නිවසක සිටි 44 හැවිරිදි කාන්තාවක් ද අද (20) දහවල් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට අදාළ ව එම නිවසේ සේවය කළ තරුණියක සහ ඇගේ පියා අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

ගෑස් පිපිරීම් පිළිබද අවසන් වාර්තාව ජනපති වෙත භාරදෙයි

(20.12.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇතුලු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබද අවසන් වාර්තාව අද (20) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

එම ජනාධිපති කමිටුවේ සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා ඇතුලු කමිටු සාමාජිකයන් විසිනුයි එය භාරදී ඇත්තේ.

නිරීක්ෂණ සහ උපදෙස් රැසක් කමිටුව විසින් සකස් කල වාර්තාවට අන්තර්ගතයි.

ගෑස් සමාගම් – ප්‍රමිති කාර්යාංශ නිළධාරීන් – පාරිභෝගිකයන් ඇතුලු පාර්ශව 40 කින් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට කමිටුව කටයුතු කර තිබුණා.

ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 30 වනදා පත් කළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් – මාරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක – මහාචාර්ය ප්‍රදීප් ජයවීර – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු – කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරුනුයි ෴

******************************************

දේශීය ව එකලස් කරන ලද ට්‍රක් රථ සමූහයක් ජනගත කෙරෙයි

(20.12.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

40% කට ආසන්න දේශීය අගය එක් කිරීමක් සහිත ව වාහන 150 කට අධික ප්‍රමාණයක් පූර්ණ වශයෙන් එකලස් කරමින්, අපේ දරුවන්ට තාක්ෂණ දැනුම සහිත රැකියා අවස්ථාවන් ද උදා කර දීමට මේ වන විට ‘ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම’ සමත් වීමෙන් පෙනී යන්නේ, අද දවසේ අප දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අත්තිවාරම් දමමින් සිටින බව යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, අද (20) හෝමාගම, ගොඩගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් කම්හල් පරිශ්‍රයේදී දේශීයව එකලස් කරන ලද ට්‍රක් රථ සමූහයක් ජනගත කළ අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“1982 දී එවකට පැවති රජය ඉන්දියන් අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ ඇති කරගත් එකඟතාව අනුව තමයි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම බිහිවන්නේ.

මෙම සමාගමේ පරිපාලන බලය හා 28% ක කොටස් ඉන්දියන් අශෝක් ලේලන්ඩ් සමාගම සතු වුවත් ශ්‍රී ලංකාවට සමාගමේ 72%ක කොටස් හිමිව තිබෙනවා.

ඉන් 30% ක් දේශීය කොටස් හිමිකරුවන් සතුව පවතින අතර ඉතිරි 42% සතුව ඇත්තේ, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ‘ලංකා ලේලන්ඩ්’ සමාගමටයි.

විශේෂිත අවශ්‍යතා වෙනුවෙන් රජයෙන් ලැබුණු ඇණවුමකට මසකට වාහන 03 – 04 ක් එකලස් කරමින් සිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම අද මසකට වාහන 150 කට අධික ප්‍රමාණයක් එකලස් කිරීම දක්වා ගෙවී ගිය කාලය තුළ සංවර්ධනය වී තිබෙනවා.

එමගින් පෙනී යන්නේ, දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අපි අත්තිවාරම් දමමින් සිටින බවයි.

මේ කර්මාන්තය තුළ සිදුවන ප්‍රබල වෙනස අපේ රටේ මාධ්‍ය මඟින් එතරම් ප්‍රබලව සාකච්ඡාවට ගැනෙන්නේ නැහැ. අපේ රටේ මාධ්‍ය ගෑස් ටැංකියක් පිපුරුණ විට ඒක ප්‍රවෘත්තියක් කර ගත්තාට, ගෑස් ටැංකිය අලුතින් හැදුවාම එක ප්‍රවෘත්තියක් කරගන්නේ නැහැ”

මෙහිදී ලංකා අශෝක් ලේලන්ඩ් කම්හල් පරිශ්‍රයෙහි නවීන තාක්ෂණයෙන් යුත් මෝටර් රථ වර්ණගැන්වීමේ යාන්ත්‍රික මෙහෙයුම් සංකීර්ණයක් විවෘත කිරීම ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු වුණා.

******************************************

පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිට ඉල්ලා අස්වැන්නයි දන්වයි

(20.12.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතාට ඉල්ලා අස්වන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දන්වා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *