තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

*********************************************

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

(20.12.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8,42,400 ක් අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

කිලෝ 4,360 ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ඒමෙන් අනතුරුවයි, අද (20) උදෑසන මෙම එන්නත් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ.

එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතයි ෴

++++++++++++++

රට වහන්නෙ නැතිව වෛරසය මර්දනයට හැකි වුවහොත්, එය අප ලබන ඉහළම ජයග්‍රහණය යි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

(20.12.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොවිඩ්-19 වසංගතයේ මතුවෙමින් පවතින නව වෛරස ප්‍රභේද හඳුනා ගැනීමට දායක වන ජාන විශ්ලේෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, මෙරටින් හමු වූ නව වෛරස ආසාදිතයින් සමග අදාළ ප්‍රභේද හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් එදා සිටම අද දක්වා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය වනාහි ජාන විශ්ලේෂණය බවයි.

එම ක්‍රියාවලියේ දී කොවිඩ්-19 වෛරසය, ඇල්ෆා ප්‍රභේදය, ඩෙල්ටා සහ ඔමික්‍රොන් ආදී නව වෛරස ප්‍රභේදයන් මෙරටින් හඳුනා ගැනීමට හැකි වූ බවයි හෙතෙම කියා සිටියේ.

ඉදිරියේ දී රෝගීන් හඳුනා ගැනීම සහ නව වෛරස ප්‍රභේදයන් හඳුනා ගැනීම සඳහා මෙම විද්‍යාත්මක ක්‍රමවේදය නො නවත්වා භාවිත කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔමික්‍රොන් වෛරසය ආසාදිතව මෙරටින් හමු වූ ආසාදිතයින් සිව්දෙනා (4) සම්බන්ධයෙන් ද අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, එම ආසාදිතයින්ට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් කවුරු දැයි මේ වනවිටත් අදාළ සෞඛ්‍ය පාර්ශ්ව විසින් පරීක්ෂණ සිදු කරගෙන යන බවයි.

එමෙන්ම මෙම දීර්ඝ වූත්, බැරෑරුම් වූත් ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට එය තනිව සිදු කිරීමට අපහසු කාර්යයක් වන අතර, ඒ සඳහා සෙසු පාර්ශ්වයින් වන විශ්වවිද්‍යාල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල පූර්ණ දායකත්වය ද මෙරටට අවශ්‍ය බව හෙතෙම පවසනවා.

මේ හේතුවෙන් කිසිම සෞඛ්‍ය අංශවලට සම්බන්ධ පාර්ශ්වයක් කොවිඩ්-19 වෛරසය සම්බන්ධ සිදු කරගෙන යන පරීක්ෂණවලින් ඉවත් කර නොමැති අතර, ඒ පිළිබඳව කිසිදු වාර්තාමය තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

මේ අතර, කොවිඩ් මර්දනයට ලබාදෙන තුන්වැනි (3) එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනිවාර් යයෙන් සහ කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඊට හේතු ලෙස හෙතෙම පෙන්වා දෙන්නේ, ඉදි‍රියේ දී වෛරසයේ තවදුරටත් ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වුවහොත්, විවිධ සංකූලතා ඇතිවෙමින් තත්ත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට යළිත් සෞඛ්‍ය අංශ වෙත සිදු වන බවයි.

මේ වනවිට තුන්වැනි (3) එන්නත් මාත්‍රාව මිලියනය ඉක්මවා ලබාගෙන ඇති අතර, එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් ඇති වන පශ්චාත් එන්නත්කරණ ක්‍රියාවලියේ ලක්ෂණ ලෙස උණ, කරකැවිල්ල ආදී සාමාන්‍ය සංකූලතා පමණක් ඇති වන අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බව ද ඔහු සඳහන් කරනවා.

වෛරසය ශරීරගත වූ විට දී එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීර තුළ අනුගත ව හැසිරෙන්නෙ කෙසේ ද යන කාරණය පිළිබඳ ව ද අදහස් දක්වන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, එම වෛරසය ශරීරගත වූ පසු වෛරසයේ ක්‍රියාවලිය පුද්ගලානුබද්ධව එකිනෙකාට වෙනස් විය හැකි බවයි.

ඒ හේතුවෙන් නියත වශයෙන්ම බූස්ටර් එන්නතට යොමු වීම වැදගත් ලෙසයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

පසුගිය උගත් පාඩම් අනුව රට පවතින තත්ත්වය අනුව කිසිදු අයුරකින් පූර්ණ වශයෙන් රට වසා දැමීමකට නොයා, ජනතාව සුරක්ෂිත කර ගනිමින් වෛරසය මර්දනයට සියලුම සෞඛ්‍ය අංශ කටයුතු කරන හෙයින් ජනතාව ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඊට අනුගතව අවශ්‍ය එන්නත් නිසි පරිදි ලබා ගනිමින් කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

එමෙන්ම, කොරෝනා කාඩ්පත නීතිගත කිරීම පිළිබඳ ව ද මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින අතර, රට වසා නොදමා වෛරසය මර්දනයට හැකියාව ලැබුණහොත් සෞඛ්‍යමය වශයෙන් එය අප ලබන ඉහළම ජයග්‍රහණය බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

++++++++++++++

මෙරට ලක්ෂ 25 කට බූස්ටර් එන්නත

(20.12.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන බූස්ටර් එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (19) පුද්ගලයින් 63,560 කට බූස්ටර් එන්නත ලබාදීමත් සමඟයි.

මේ වනවිට බූස්ටර් එන්නත පුද්ගලයින් 25,05,477 කට ලබා දී තිබෙනවා.

පසුගිය දින කිහිපයේ ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් වී සහ මොඩර්නා එන්නත්වල පළමු (1) හෝ දෙවන (2) මාත්‍රා කිසිවෙකුටත් ලබා දී නොමැති අතර, සයිනොෆාම් සහ ෆයිසර් පළමු (1) සහ දෙවන මාත්‍රා (2) ලබාදීම සිදු කර තිබෙනවා.

+++++++++++++

ඔමික්‍රොන් ගැන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

(20.12.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ශීත ඍතුව අවසන් වන විට යුරෝපය සහ අමෙරිකාවේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

යුරෝපා කලාපයේ ඔමික්‍රොන් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි.

ඒ ගෙවුණු දිනයේදී පමණක් එරටින් ඔමික්‍රොන් ආසාදිතයින් දස දහස (10,000) ඉක්මවා වාර්තාවීමත් සමඟයි.

මේ අතර පවතින ශීත ඍතුව අවසන් වන විට යුරෝපා කලාපයේ සහ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වේගවත් වනු ඇති බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

යුරෝපා කලාපයේ ඔමික්‍රොන් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති මහා බ්‍රිතාන්‍යයේ ගෙවුණු දිනයේදී පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් දස දහස (10,000) ඉක්මවා වාර්තා වුණා.

වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හැකිතාක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නා ලෙසයි එරට සෞඛ්‍ය අංශ ජනතාව වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් ලබාගැනීම මඟින් ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන අතුරු ආබාධවලින් 80% ක ආරක්ෂාවක් සැලසෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔමික්‍රොන් ව්‍යාප්තිය හමුවේ කැනඩාව දකුණු අප්‍රිකානු රටවල් 10 ක් වෙත පනවා තිබූ සංචරණ තහනම අද (20) සිට ඉවත්කළා.

එම රටවල් අතර දකුණු අප්‍රිකාව, මොසැම්බික්, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙස්තෝ, එස්වාටිනී, නැමීබියා, නයිජීරියා, මලාවි, ඊජිප්තුව අයත් වනවා.

කැනඩාව පවසන්නේ මේ වන විටත් එරට ඔමික්‍රොන් ප්‍රභේදයට නිරාවරණය වී තිබීම හේතුවෙන් සංචරණ තහනම් දැමීම ඵල රහිත ක්‍රියාවක් බවයි.

ගෙවුණු දිනයේදී පමණක් එරටින් නව ඔමික්‍රොන් ආසාදිතයින් 350 ඉක්මවා වාර්තා වුණා.

අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් 150 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ප්‍රාන්තයේ පාසලකින් කොවිඩ් ආසාදිත සිසුන් 18 දෙනෙක් හඳුනාගැනීමත් සමග ඔවුන් ඔමික්‍රොන් ආසාදිතයින් බවටයි සෞඛ්‍ය අංශ විසින් සැක පළ කරන්නේ.

මේ අතර රට පුරා පනවා ඇති දැඩි සංචරණ සීමාවලට එරෙහිව බෙලරුසයේ දහස් සංඛ්‍යාත ජනයා විරෝධතාවල නිරත වුණේ මෙලෙසින්.

++++++++++++++

කොරෝනා ආසාදිත පුද්ගලයින් 295 ක් පූර්ණ සුවයට

(20.12.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයින් 295 ක් අද (20) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව, වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව සුවය ලද සමස්ථ කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 5,57,621 ක් දක්වා ඉහළ යනු ඇති ෴

ගෙවුණු දිනයේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 695 දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,79,685 ක් දක්වා ඉහළ ගියා. මේ අතර ෆයිසර් බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයිනේ ප්‍රදේශ රැසක අදත් සිදු වනවා ෴

අද (20) දිනට, තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වෙනවා. ඒ අනුව මෙරට සිදු වූ මුළු කොවිඩ් මරණ ගණන 14,771 දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් පිරිසක් STF අත්අඩංගුවට

(20.12.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරේ නිලධාරින් විසින් පෙරේදා (18) දිනයේ දී ඊච්චලම්පත්තුව – පූනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් සය දෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පුරාවස්තු කැණීම් සඳහා සැකකරුවන් විසින් භාවිත කර ඇත්තේ, ‘ඒ.කේ.එස්. ගෝල්ඩ් ලෝන්ග් රේන්ජ් (AKS GOLD Long Range)’ වර්ගයේ භූමිය පරීක්ෂා කරනු ලබන නවීන තාක්ෂණයෙන් අනූන ස්කෑන් යන්ත්‍රයක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40-45 අතර වයස් සීමාවල පසුවන්නන් වන අතර, ඔවුන් පන්නිපිටිය – නූරිය, මාලඹේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී කැණීම් සඳහා යොදා ගත් උදලු, සවල් ඇතුළු උපකරණ තොගයක් ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයින් ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

******************************************

පොහොර නොමැති නම් රජයට වී නොදෙන බවට ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්

(20.12.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වගාවට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු නොකරන්නේ නම් මෙම කන්නය අවසානයේ රජයට වී ලබා නොදෙන බව ගොවීන් පවසනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක ගොඩබෝග වගා කරන ගොවීන් ද, පොහොර ගැටලු‍ව හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

බණ්ඩාරවෙල, වැලිමඩ, ඌව පරණගම, ඇටම්පිටිය ආදී ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ බෝංචි වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම නිසා සිය අස්වැන්න කහ පැහැ ගැන්වී විනාශයට ලක්වෙමින් පවතින බවයි.

මේ අතර, සෞභාග්‍යයේ දැක්ම යටතේ ආරම්භ කරන ලද අනුරාධපුර නාච්චාදූව කාබනික පොහොර ව්‍යාපෘතිය හරහා එහි අරමුණු ඉටුවී නොමැති බවට එම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

මේ අතර, වගාවට අවශ්‍ය කිසිඳු පොහොරක් නොලැබීම හේතුවෙන් සූරියවැව විහාරගල ඩී 10 ප්‍රදේශයේ වී වගාවට වෙන් කර ඇති අක්කර 500ක භූමි ප්‍රමාණයෙන් මේ වනවිට වගා කර ඇත්තේ අක්කර 100ක් පමණයි.

******************************************

රට හැර යමින් සිටින්නේ ඇති හැකි අයයි – අනුර කුමාර

(20.12.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජීවත්වීමට සරිලන ආදායමක් ඇති බොහෝ පිරිස් මේ වනවිටත් රට හැර යමින් සිටින බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ, ‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගයේ නියෝජිත සමුළුවට කොළඹදී අද (20) දින එක්වෙමින්.

මෙම සමුළුවට ජාතික ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන්, විද්වතුන් ඇතුලු නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

******************************************

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

(20.12.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ගාල්ල පෙලිස් විශේෂ විමර්ශන අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

අදාළ කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඒවාට බාධා කිරීමට ඉඩ ඇති නිසා සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි පොලීසිය ඉල්ලා ඇත්තේ ෴

******************************************

සිංහලයෙකු වෙන්න මනෝ ගනේෂන් ප්‍රාර්ථනා කරයි

(20.12.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ලබන ආත්මයේදී දකුණේ සිංහල පවුලක ඉපදීමට තමා ප්‍රාර්ථනා කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (19)දින පැවති උත්සවයකට එක්වෙමින් ෴

******************************************

වැඩිමහල් සොහොයුරාගේ පහරදීමෙන් බාල සොහොයුරා මරුට

(20.12.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – මහවෙල ප්‍රදේශයේදී වැඩිමහල් සොහොයුරාගේ පහරදීමෙන් බාල සොහොයුරා මියගොස් තිබෙනවා.

වැඩිමහල් සහෝදරයාට බෙහෙත් කොටන තුවක්කුවකින් පාදයට වෙඩි තැබීමෙන් පසු ඔහු විසින් බාල සහෝදරයාට පහරදීමෙන් මෙම අනතුර ඊයේ (19) සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

මෙරට දෛනිකව සිදු වන රිය අනතුරු

(20.12.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු යනු මෙරට සුලබව අසන්නට, දකින්නට ලැබෙන අත්දැකීමක්.

මේ තොරතුරු, නිරන්තරයෙන් රිය අනතුරු සිදුවන තවත් ස්ථානයක් පිළිබඳවයි.

රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වන ස්ථානයක් වූ පොල්ගස්ඕවිට – රිලාවල මංසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කිරීමත් සමග ඊට පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

රිලාවල මංසන්ධිය මෙන්ම රිය අනතුරු බහුල තවත් ස්ථානයක් ලෙස එරාවුර් නගරය ද හැඳින්විය හැකියි.

කෙසේ වෙතත්, මෙම දර්ශන අනුව මෙහි සිදුවන අනතුරුවලින් බොහෝමයක් රියැදුරන්ගේ නොසැලකිල්ල සහ අධික වේගය හේතුවෙන් සිදුවන අනතුරු බවට පෙනී යන නමුත්, මෙම තත්ත්වය වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස එරාවුර් නගර වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

මේ වසරේ (2021) ගෑස් ආශ්‍රිත සිදුවීම් 847 ක්

(20.12.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ මේ දක්වා කාලය තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 847 ක් වාර්තා වී ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ, ගෑස් ආශ්‍රිත සිදුවීම් 31 ක් පමණක් බවයි.

එමෙන්ම 2019 වසරේ ද ගෑස් ආශ්‍රිත සිදුවීම් 18 ක් වාර්තා වී ඇති අතර, මේ වසරේ එය ඉහළම අගයක පවතින බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

මකුළුගස්වැව රක්ෂිතය වනසන ගලේවෙල ප්‍රාදේශීය සභා පාලකයින්

(20.12.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කිරීමේ මුවාවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාව මගින් රජයේ මුදල් වියදම් කර දේවහුව – මකුලුගස්වැව් රක්ෂිතය විනාශ කරන බවට ප්‍රදේශයේ ගොවි සංවිධාන චෝදනා කරනවා.

වැව් බැම්ම ආසන්නයේ කඩ කාමර හතරක (4) සහ දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම කටයුතු රාත්‍රී කාලයේදී සිදු කරන බවටයි ගොවීන් පෙන්වා දෙන්නේ.

++++++++++

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20)දින ආරම්භ වනවා.

එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවයි, මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද (20) සහ අනිද්දා (22) දින මෙම විවාදය පැවැත්වෙන බවටයි, මීට පෙර එරට මාධ්‍ය වාර්තා නිවේදනය කළේ.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 85 ක්.

++++++++++

ජා ඇල – තුඩාවැල්ල දෙහියගාත මංසන්ධියේ බස් නැවතුම්පොල අසල දී ජා ඇල පොලිසීය විසින් පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මාදම්පේ ප්‍රදේශයේ පදිංචි වසස අවුරුදු 28 ක පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර, ඔහු රිය අනතුරකින් මියයන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

++++++++++

යාපනය පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේ ළිඳක් ආසන්නයේ සෙල්ලම් කරමින් සිටි එකම පවුලේ දරුවෙකු සහ දැරියක කෝටුවක් අධාරයෙන් ළිදෙහි මසුන් ඇල්ලීමට උත්සහ දැරූ අවස්ථාවේ ළිඳට වැටීමෙන් අට 98) හැවිරිදි දරුවා ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

++++++++++

පවතින කිරිපිටි අර්බුදයත් සමග නුගේගොඩ නගරයේ කිරිපිටි වෙළඳසැල් අසල අදත් (20) දිගු පෝළිම් දක්නට ලැබුණා. මේ අතර, සුපුරුදු පරිදි අදත් ගෑස් සම්බන්ධ පිපිරීම් දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *