ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම්
*********************************************
ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම්
(19.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)
සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30 ක් සහ බියුටේන් අගය සියයට 70 ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.
එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන මර්කැප්ටන් සංයුතිය ද සියයට 14 ක් ලෙස ගෑස් සිලින්ඩර්වල පවතින බවද ලේකම්වරයා කියා සිටියා.
මෙරටට පැමිණි ගෑස් නෞකාවක මර්කැප්ටන් සංයුතිය නිසි පරිදි නොමැතිවීම නිසා ගොඩබෑමේ කටයුතු නතර කර තිබුණ ද පසුව එහි ගෑස් යළි ගොඩබෑමේ කටයුතු ඊයේ (18) ආරම්භ කළා.
එලෙස ගොඩබෑමේ කටයුතු යළි ආරම්භ කරනු ලැබුවේ ප්‍රමිති ආයතනයේ ප්රමිතීන්වලට අනුව අදාළ මර්කැප්ටන් සංයුතිය එක් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම තවත් ගෑස් නෞකා දෙකක් (2) මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඒවායේ ප්‍රමිතිය ද පරීක්ෂා කර ප්‍රොපේන්, බියුටේන් සහ මර්කැප්ටන් නිසි පරිදි පැවතියහොත් පමණක් එම ඒවාද ගොඩබෑමේ කටයුතු සඳහා අවසර ලබාදෙන බවයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ.
එමෙන්ම, අද (19) උදෑසන 6 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගෑස් ආශ්රිත සිදුවීම් 23 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
පසුගිය නොවැම්බර් මස 01 වන දා සිට මේ දක්වා දින 49 ක් තුළ දී ගෑස් ආශ්රිත සිදුවීම් 815 ක් වාර්තා වී බව ද පොලීසිය ප්‍රකාශ කළා.
මේ අතර, ගෑස් ආශ්රිත සිදුවීම් සහ ගෑස් හිඟයත් සමග ජනතාව විකල්ප ක්‍රමයක් ලෙස භූමිතෙල් උඳුන් යොදා ගනිමින් ආහාර පිසීමේ කටයුතු සිදු කරනවා.
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව චෝදනා කළේ අවශ්‍ය තරම් භූමිතෙල් නොමැති බවටයි. මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබුණා.
******************************************
‘හිරු සී.අයි.ඒ.’ : මෙරට කාන්තාවන් වෙන්දේසි ක්රමහරහා අලෙවිකරන ජාවාරමක්
(19.12.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)
මෙරට කාන්තාවන් ඩුබායි රාජ්‍ය වෙත ගෙන ගොස් එහිදී වෙන්දේසි ක්රමහරහා අලෙවිකරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඩුබායි රාජ්‍යයේ මෙරට තානාපති මල්රාජ් ද සිල්වා මහතා පවසනවා.
ඩුබායිහි කාන්තාවන් සිරකර සිදුකරන එම ජාවාරම පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ හරහා සිදුකළ අනාවරණයෙන් පසු තානාපතිවරයා හිරු ප්රවෘත්ති වෙත මේ බව දැනුම් දුන්නා.
‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගිය 15 වැනිදා හෙළි කලේ විදෙස් රැකියා ලබාදෙන බව පවසා සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත රැගෙන ගිය කාන්තාවන් පිරිසක් එරට සිරකර ගෙන ඇති ආකාරයයි.
******************************************
ආර්ථිකමය වශයෙන් යළි ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වනු ඇති බව විශ්වාසය යි – කන්නි විග්නිරාජා
(20.12.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නිරාජා අතර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ ව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කන්නි විග්නිරාජා යනු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරියයි.
මෙරට විදේශ අමාත්‍යවරයා සහ සහකාර මහලේකම් කන්නි විග්නිරාජා අතර හමුව පැවැත්වුණේ පසුගිය 15 වැනි දින විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී යි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ, ආර්ථික බලපෑම් සමග කටයුතු කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳ ව ඉස්මතු කළ මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් තිරසර සංවර්ධන ඉලක්ක උදෙසා (SDGS) ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ද කන්නි විග්නිරාජා මහලේකම්වරිය දැනුවත් කරනු ලැබුවා.
ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව නිරීක්ෂණය කළ සහකාර මහලේකම්වරිය මෙරට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑම්වලින් මිදී යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව යථා තත්ත්වයට පත්වනු ඇති බව ද මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළා ෴
******************************************
අධිකරණ නියෝග නොසලකන ලිට්රෝ සමාගම
(20.12.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)
අභියාචනාධිකරණය පසුගියදා ලබා දුන් නියෝගයට අනුකූලව පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදු කරන්නැයි ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකට (2) පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් ලබා දී තිබෙනවා.
එම උපදෙස්වලට අනුව ගෑස් සංයුතිය පිළිබඳ තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද (20) සිට වෙළදපළට නිකුත් කරන බවයි අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ.
අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය 30% ක් සහ බියුටේන් අගය 70% ක් ලෙස පැවතිය යුතු වනවා.
එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන එතිල් මර්කැප්ටන් සංයුතිය තිබිය යුත්තේ 14% ක් ලෙසටයි.
කෙසේ වෙතත් ලිට්රෝ සමාගම විසින් දිවයින පුරා බෙදා හැර ඇති නව සංයුතියෙන් යුතු ගෑස් සිලින්ඩර වල අලවා ඇති ස්ටිකරයේ මෙම ප්‍රතිශතය දැක්වෙන්නේ උසාවිය නියෝගයන්ට අනුකූලව නොවෙයි.
මෙම ස්ටිකරයේ සඳහන් වෙන ආකාරයට නව ගෑස් සිලින්ඩරවල දැක්වෙන්නේ ප්‍රොපේන් ප්‍රතිශතය 25% ත් 40% ත් අතර ප්‍රමාණයක් සහ බ්‍යුටේන් ප්‍රතිශතය 60% ත් 75% ත් අතර ප්‍රමාණයක්.
මෙය පැහැදිලිවම අධිකරණ නියෝගය නොසලකා හැරීමක්.
එමෙන්ම යම් හෙයකින් ඉදිරියේදී සිදුවිය හැකි ගෑස් සම්බන්ධ අනතුරකින් සිදුවන හානි සම්බන්ධයෙන් පාරිභෝගිකයින් වන්දි ඉල්ලා සිටීමේදී එය මග හැර යෑමේ යමකිසි කූඨ උපක්‍රමයක් ලෙසත් භාවිත කිරීමේ අරමුණකින් මෙය සිදු කරන ලද්දක් ද?
කෙසේ වෙතත් අධිකරණය විසින් ලබාදුන් පිලිවිතරයන් අනුගමනය නොකරමින් ගෑස් සමාගමට අවශ්‍ය ආකාරයට මෙම සංයුතියන් තවදුරටත් පවත්වා ගන්නේ කෙසේද?
එමෙන්ම මෙම සංයුති පරිමාණයන් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා පවත්වාගත යුතු පිලිවිතරයන්ද උල්ලංඝනය කිරීමක්.
සුපුරුදු පරිදිම මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා එහි සභාපති තෙසාර ජයසිංහ සම්බන්ධ කර ගැනීමට හිරු ප්රවෘත්ති දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ ෴
******************************************
තවත් ඉන්දීය ධීවරයින් 12 ක් නාවික හමුදා භාරයට
(20.12.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)
මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ තවත් ට්‍රෝලර් යාත්‍රා දෙකක (2) සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මන්නාරමට දකුණු දෙසින් වූ මෙරටට අයත් මුහුදු තීරයේ ඊයේ (19) දින සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම පෙරේදා උතුරු සහ උතුරුමැද නාවික විධානයන් එක්ව සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ තවත් ට්‍රෝලර් යාත්‍රා 6 ක් සහ ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
මෙම ඉන්දීය ධීවරයින් 43 දෙනා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
******************************************
බොරතෙල් නැව පැමිණීම ප්‍රමාදයි
(20.12.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)
තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟාවීමේ ප්‍රමාදයක් පැවතීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවට වාර්තා වනවා.
මීට පෙර ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණු අතර එය පසුගිය 07 වන දා යලි විවෘත කෙරුණා.
කෙසේ වෙතත්, බොරතෙල් අඩංගු නෞකාව පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට ඇණවුම් කර ඇති බොරතෙල් නෞකාව පැමිණීමේ සුළු ප්‍රමාදයක් පවතින බවයි.
එහෙත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.
++++++++++
බොරතෙල් සංචිත දැඩි අර්බුදයක
(20.12.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන මිල ඉහළ නැංවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවනවා.
ඉන්ධන නිෂ්පාදනයේදී සිදුවන පාඩුව හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවටයි.
පසුව අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ නැංවීමේදී ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වන අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් පෙට්‍රල් ලීටරයකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 22 ක පමණ පාඩුවක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 31 කට ආසන්න පාඩුවක් ලබන බව සංස්ථා ආරංචි මාර්ග අනාවරණ කළා.
මේ අතර, මෙරට පවතින බොර තෙල් සංචිතය ප්‍රමාණවත් වන්නේ ලබන ජනවාරි මස 03 වනදා දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මීළඟ බොරතෙල් නෞකාව පැමිණීමට සැළසුම් කර ඇත්තේ ජනවාරි 23 වනදා බැවින් ඊට පෙර බොරතෙල් නෞකාවක් මෙරටට ළඟා නොවුනහොත් යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 20 කට හෝ තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇති.
******************************************
දිස්ත්‍රික්ක 5 ක රජයේ වෛද්‍යවරුන් අද (20) වැඩ වරය
(20.12.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක 5 ක රෝහල්වල එක්දින (1) සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ.
*****************************************
ප්‍රථම වරට දේශීයව එකලස් කරන ලද ට්‍රක් රථ වෙළඳපොලට හඳුන්වාදීම අද (20)
(20.12.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)
මෙරට ප්‍රථම වරට ලාංකීය ශ්‍රමයෙන් දේශීය අගයක් එකතුකරමින් නිපදවන ට්‍රක් රථ පෙළක් වෙළඳපොලට හඳුන්වාදීම අද (20) දින සිදු කෙරෙනවා.
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් එකලස් කරන ලද මෙම ට්‍රක් රථ වෙළඳපොලට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ සිදුකරනු ලබන්නේ, හෝමාගම – ගොඩගම පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවේදියි.
ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම හා අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් පසුගිය මාර්තු මස 15 වනදා හඳුන්වාදෙනු ලැබුවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴