සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු

*********************************************

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු

(19.12.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන් සඳහා විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් හෙට (20) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාවට අනුව පසුගිය වසරේ මාර්තු 01 වන දා සිට මේ වසරේ පෙබරවාරි 28 වන දින දක්වා ලබාදී තිබූ විදුලි බිල්පත් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටයි යෝජනා කර ඇත්තේ.

එමෙන්ම, සියළු හිඟ බිල්පත් ලබන වසරේ ජනවාරි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවීමට සංචාරක හෝටල් හා නවාතැන් හිමිකරුවන්ට අවස්ථාව හිමි වන අයුරින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විෂය භාර අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

නිමක් නැති වනඅලි තර්ජනයෙන් පීඩා විඳින මිනිපේ වැසියන්

(19.12.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

වනඅලි තර්ජනය හේතුවෙන් මහියංගනය ජනතාව දීර්ඝ කලක් තිස්සේ පීඩා විඳිනවා.

ඊයේ (18) පස්වරුවේ මහියංගනය මිනිපේ ප්‍රදේශයට පැමිණි වන අලි හේතුවෙන් ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයක්.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන්ගේ පැලැස්තර විසඳුම් හේතුවෙන් තමන්ට කිසිදාක හෝ සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ඊයේ (18) පස්වරුවේ මිනිපේ වේරගංතොට පාලම හන්දිය ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ගම්වැදුණු වන අලීන් ප්‍රදේශයේ නිවාසවලට හා වගාවන්වලට හානිකර තිබුණේ මෙලෙසින්.

මහවැලි පාලම අසළ විශාල වන අලි රංචුවක් නිරන්තරයෙන් සැරිසරන අතර, සවස් කාලයේදී ගම්වදින එම වන අලින් මෙලෙස දේපළ සහ වගාවන් විනාශ කරන බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

දීර්ඝ කලක් තිස්සේ පීඩාවිඳින ගම්වාසීන් මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

නෂ්ටාවශේෂ වෙමින් අභාවයට යන හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය

(19.12.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඉදි කෙරෙන්නේ 1959 වසරේදී.

මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකු රටේ උසස් නිලතල හොබවා ඇති නමුත් පසුකාලීනව පාසලට ප්‍රමාණවත් ලෙස දරුවන් ඇතුළත් වී නැහැ.

ඒ හේතුවෙන් මෙම පාසල වැසී ගොස් දශකයකට ආසන්න කාලයක් වනවා.

පාසල වසා යෑමත් සමග ප්‍රධාන ගොඩනැගිල්ල, විද්‍යාගාරය ඇතුළු ගොඩනැගිලි රැසක්ම දැඩි ලෙස විනාශ වෙමින් ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ පාසල් භූමියේ ඇති මෙම ගොඩනැගිලි විනාශ වීමට ඉඩ නොදී ඵලදායී කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙසයි.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා මෙම රාජ්‍ය දේපළ තවදුරටත් විනාශ වීමට නොදී ඵලදායී කාර්යයක් සඳහා යෙදවීමට බලධාරීන්ගේ දෑස් යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

බලධාරින්ගේ දෑස් විවර නොවූ බඹරකන්දේ අබලන් පාර

(19.12.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආදායම් ලැබෙන ක්ෂේත්‍ර අතරින් සංචාරක කර්මාන්තයට හිමිවන්නේ ඉහළම ස්ථානයක්.

ඊට අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි සැපයීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තේ එම පසුබිම යටතේයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය හිමිවන ස්වභාවික සම්පත් රැසකින් අනූන ශ්‍රී ලංකාවට එමගින් සැලකිය යුතු ආදායමක් ලැබෙනවාට අමතරව, රැකියා ගැටලුවට ද විසඳුමක් හිමිවනවා.

එම ස්ථානවලට පැමිණෙන සංචාරකයින්ට බාධාවකින් තොරව එම සුන්දරත්වය අත්විඳීමට අවස්ථාව සලසා දිය යුත්තේ ඒ අනුවයි.

එහෙත් මෙරට ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති ස්ථානයක් මෙන්ම, මෙරට උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල නැරඹීමට යා හැකි කළුපහන – ඔහිය මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් සංචාරකයින් මෙන්ම ප්‍ර දේශවාසීන්ද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

බඹරකන්ද දියඇල්ලට අමතරව, ලංකා ඇල්ල, යාලතැන්න ඇල්ල සහ යක්ෂයාගේ පඩිපෙළට ද මෙම මාර්ගයෙන් යා හැකියි.

කෙසේ වෙතත්, මාර්ගය පිළිකසර කිරීමට භාරගත් සමාගම එම කටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් මේ වනවිට එය තිබූ තත්ත්වයටත් වඩා අබලන් වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන නිතර කාර්මික දෝෂවලට ලක්වන බැවින් සංචාරකයින්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු වී ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වූ මෙරට සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමේ අවශ්‍යතාව මතුව ඇති අවස්ථාවක ඊට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සැපයීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද ?

******************************************

පිංවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී පුද්ගලයෙකු මරුට

(19.12.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුර සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

++++++

නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ මුහුදේදී ආපදාවන්ට පත්වන ධීවර ප්‍රජාවට කඩිනමින් සහන සැලසීමට හැකිවන පරිදි පුත්තලමේ ඉදි කළ නව ජැටිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කෙරුණා.

++++++

පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිලධාරීන් කළ හදිසි වැටලීමකදී විදේශීය රටවල් වලින් ගෙන්වන ලද ටින්මාළු තොගයක් නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවට හඳුනා ගෙන තිබෙනවා. එම ටින්මාළු වර්ග තිබූ ගබඩාවලට මුද්‍රා තබා නීතිමය පියවර ගැනීමට පාරිභෝගික අධිකාරීය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

++++++

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සතුන් මියයාම සම්බන්ධයෙන් එහි පාලන අධිකාරීය නිසි පියවර නොගන්නා බව පවසමින් සත්ත්ව උද්‍යානයේ සේවකයින් ඊයේ (18) සිදු කළ විරෝධතාව පිළිබඳ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැහැදිලි කිරීමක් සිදු කළා.

******************************************

මහවැලි පාලමෙන් ගඟට පැන අතුරුදහන් වු තරුණියගේ සිරුර හමුවේ

(19.12.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

මහියංගණ වේරගංතොට, මහවැලි පාලමෙන් පසුගිය 16 දින සවස මහවැලි ගඟට පැන්න යුවලගෙන් අතුරුදහන් වූ තරුණියගේ සිරුර පාලමේ සිට කිලෝමීටර් 8 ක පමණ දුරින්, දින 03 කට පසුය මහියංගණ, හද්දත්තාව, ගගේයාය ප්‍රදේශයේ මහවැලි ගගේ අකුලක රැදි තිබියදී අද (19) දින දහවල් සොයාගෙන තිබෙනවා.

ගවයන් බැදිම සදහා මහවැලි ගඟ ආසන්නයට ගිය ප්‍රදේශවාසියෙකු විසින් සිරුර මහවැලි ගඟේ අකුලක රැදි තිබෙනු දැක, ඒ බව මහියංගණ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මළ සිරුර ඇගේ මව හා ඥාතීන් විසින් හඳුනා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය හා මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතයි.

******************************************

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 12 දෙනෙකු අත්අඩංගුවට

(19.12.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සිදුකළ හදිසි පරික්ෂා කිරීම්වලදී ඊයේ (18) මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් ළඟ තිබී හෙරොයින්, ගංජා ආදී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, තරුණයන් රාගම, කොළඹ සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

පැය 24 ක් තුළ පොලීසියට ගෑස් ආශ්‍රිත සිදුවීම් 23 ක්

(19.12.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

අද (19) උදෑසන 6 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 23 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම, පසුගිය නොවැම්බර් මස 01 වන දා සිට මේ දක්වා දින 49 ක් තුළ දී ගෑස් ආශ්‍රිත සිදුවීම් 815 ක් වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම සිද්ධීන් වලින් වැඩි සංඛ්‍යාවක් ගෑස් ලිප ආශ්‍රිතව සිදුව තිබෙනවා.

******************************************

පළාත් සභා ඡන්දය කල් දැමීමේ යෝජනාවක් නැහැ – සභානායක කියයි

(19.12.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා ඡන්දය කල් දැමීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් වී නොමැති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ගෙලිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක අද (19) පැවති වැඩසටහකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

******************************************

එළවළු හිඟයක් අනිවාර්යයි – අගමැති ගැටලුවට මැදිහත් වෙයි

(19.12.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

එළවළු ගොවීන්ගේ ගැටළුවලට මැදිහත් වී කඩිනමින් විසදුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වූ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

නුවරඑළියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද (19) මෙම හමුව පැවති අතර එහිදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

පවත්නා තත්ත්වය මත ඉදිරියේදී එළවළු හිඟයක් ඇති විය හැකි බවත් රසායනික පොහොර ලබාදුනහොත් පමණක් එළවළු හිඟය වළක්වා ගත හැකි බවත් සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, වෙළදපළේ තවදුරටත් එළවළු මිල ගණන් ඉහල යමින් පවතින අතර මැයි මාසය වනවිට එළවළුවල දැඩි හිඟයක් ඇති විය හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, වෙළදපළේ තවදුරටත් කිරිපිටි ප්‍රමාණවත් තරම් නොමැති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

******************************************

කොරෝනා වලට බිය වී වසරක් නිවසක සිරවී සිටි, මවකගෙන් පොලීසියට පැමිණිල්ලක්

(19.12.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට බිය වී වසරකට අධික කාලයක් සැමියා විසින් බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) නිවසේ සිරකර තැබීමේ පුවතක් ගලේවෙල – බඹරගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ හේතුවෙන් තමන් සහ දරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බව පවසමින් බිරිඳ මකුළුගස්වැව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද මග හැර ගිය කොළඹ සරසවි සිසුන්

(19.12.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය දිනෙක (17) පැවැති උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද අතින් උපාධිය ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකු විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා.

ආනන්ද අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කර උපකුලපතිනිය අතින් උපාධිය ලබා දෙන ලෙස මෙම සිසුන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නෙ.

නාරාහෙන්පිට අභයාරාමාධිපති ‍මුරුත්තෙට්ටුවේ ආනන්ද කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර ඇත්තේ එය දේශපාලනික පත් කිරීමක් බව සඳහන් කරමින්.

එසේම විශ්ව විද්‍යාල ආරංචිමාර්ග පවසන පරිදි උපාධි උළෙලට පැමිණි ඇතැම් සිසුන්, සම්පූර්ණයෙන්ම කලු වර්ණයෙන් සැරසී විරෝධය ඵල කර තිබෙනවා.

මේ අතර, ‘උපාධි ප්‍රදානෝත්සවයේ ගෞරවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන්’ බවට සඳහන් කරමින්, විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමියට සිසුන් විසින් ලිපියක් ද ඉදිරිපත් කර තිබුණා.

මේ වන විට මෙම අවස්ථාවේ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වන අතර, එම අවස්ථාව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *