සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

*********************************************

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

(19.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලෙස සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3 ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා උපදෙස් දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට භාවිත කෙරෙන කොරෝනා එන්නත්වල මාස තුනකින් (3) අනතුරුව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව සංසන්දනය කිරීමේ අධ්‍යනයක ප්‍රතිඵල උපුටා දක්වමින්.

එහිදී ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව ඉක්මනින්ම වියැකී යන්නේ සයිනොෆාම් එන්නතේ බවයි අනාවරණ වී ඇත්තේ.

දෙවන (2) මාත්‍රාව ලබා මාස 03 කින් අනතුරුව වැඩි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ මොඩර්නා එන්නතයි.

ස්පුට්නික් වී, ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික්-වී පළමු (1) මාත්‍රාව ඊළඟට වැඩිම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

එම ලැයිස්තුවේ අවම ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා ඇති එන්නත වන්නේ සයිනොෆාම් එන්නතයි.

සයිනොෆාම් එන්නත දැනට වැඩි වශයෙන් භාවිත කළ කොරෝනා එන්නත වන අතර, ශ්‍රී ලාංකිකයන් කොරෝනා ආසාදනයෙන් රෝහල් ගතකිරීම සහ මරණ අවම කිරීමට හේතුවූ බව අවිවාදාත්මක කරුණක්.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ එන්නත් තවදුරටත් රෝගී තත්වය අසාධ්‍ය තත්ත්වයට පත් කරලීම වළක්වනු ඇති බවයි.

ඔබ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලබා සිටින මෙන්ම කොරෝනා ආසාදනය වී සුවය ලබා සිටින අයෙකු නම් වර්ධක එන්නත් මාත්‍රාව මාස හයක් (6) දක්වා කල් දැමිය හැකියි.

එවැනි තත්ත්වයක් හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් ප්‍රතිශක්තියක් ලද අවස්ථාවක් ලෙස සැලකෙනවා.

කෙසේ නමුත්, එහිදි එක් එක් පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය තත්වය සහ ඖෂධවලට දක්වන ප්‍රතිචාරය ආදී කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

මේ නිසා ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර ඊයේ (18) දිනයේදීත් මෙරට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා 60,138 ක් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම ෆයිසර් එන්නත් තුන්වන (3) මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 24,30,484 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

+++++++++++++

කොරෝනා ආසාදනය වී සිටි 10,144 ක් සුවය ලබයි

(19.12.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 10,144 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,57,326 ක්. තවදුරටත් පුද්ගලයින් 7074 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++

ජනවාරි මස 01 වෙනිදා සිට කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යයි

(19.12.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළා.

ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දි වැඩිදුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේ දි නියමිත කොවිඩ් එන්නත ලබා ගැනිම සමස්ථ පුරවැසියන්ගේ වගකීමක් බවයි.

දෙසැම්බර් 31 වන දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ බුස්ටර් එන්නත ලබා දී අවසන් කිරිමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්හට වැඩිදුරටත් උපදෙස් දුන්නා.

+++++++++++++

තවත් කොරෝනා මරණ 18 ක්

(19.12.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 18 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 14,752 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 430 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,79,564 ක් ෴

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 10,144 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,57,326 ක්. තවදුරටත් පුද්ගලයින් 7074 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම, තවත් කොරෝනා මරණ 18 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 14,752 දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 121 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,79,685 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බන්ධනාගාර ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඩ්‍රෝන කැමරා සහාය

(19.12.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ගැනීමත් පරිපාලන කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම හා දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට තීරණය කර, ඒ සඳහා ඩ්‍රෝන කැමරාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මිල දී ගෙන තිබෙනවා.

මෙම කටයුත්ත සඳහා පුහුණු වු බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් ඩ්‍රෝන කැමරාව ක්‍රියා කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ආරක්ෂාව තහවුරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴

******************************************

එළවළු මිල වැඩි නිසා මිලදී ගැනීමේ අඩුවක්

(19.12.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

එළවළු මිල තවදුරටත් වැඩිවෙමින් පවතින බව වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා.

අද (19) දිනයේදීද මැනිං වෙළඳපොලට අනෙකුත් දිනවලට සාපේක්ෂව වැඩි වශයෙන් එළවළු ලැබුණ ද, ඒවා ඉහළ මිලක පැවති බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.

මේ අතර නුවරඑළිය සති පොළේ උඩරට සහ පහත රට සෑම එළවළු වර්ගයක මිල රුපියල් හාරසිය පණහෙන් (450) ඉහළට පැවතීම නිසා එළවළු මිලදී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

එම සති පොළේ වෙළඳුන් පවසන්නේ එවන් තත්ත්වයක් තුළ තමන්ට එළවළු වෙළඳාමෙන් ඉවත්වී වෙනත් ව්‍යාපාරවලට යොමු වීමට සිදුව ඇති බවයි.

******************************************

ප්‍රමිතිගත ගෑස් සැපයුමකට රජයට යෝජනාවලියක්

(19.12.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතිගත ගෑස් සැපයුමක් සිදු කිරීමට ගත යුතු දීර්ඝකාලීන හා කෙටිකාලීන යෝජනාවලියක් ගෑස් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරිමට පත් කළ විශේෂඥ කමිටුව මගින් රජයට ඉදිරිපත් කරන බව එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ වනවිටත් අදාළ වාර්තාව සකස් කර අවසන් අතර, හෙට (20) දිනයේ එය, ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෘහස්ථ මෙන්ම වෙළඳ හා විකිණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරා යාම් සහ ඒ සඳහා හේතු සාධක සොයා බලා කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් 30 වනදා කමිටුවක් පත්කළා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ මහාචාර්ය ඩී.ඩබ්ලිව්.ඩී. ජයතිලක යන මහත්වරු ද ඇතුළත්.

මෙම කමිටුව මගින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පිපිරීම් සිදු වූ ස්ථාන ස්ථානීය පරීක්ෂණවල ලක් කරනු ලැබුවා.

එහිදී සිදුකළ නිරීක්ෂණයන් විද්‍යාත්මක තහවුරු කිරීම් සමඟ සැසඳීමෙන් පසු නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සකස් කර තිබෙනවා.

කමිටුවේ පොදු අදහස වී ඇත්තේ ආයතන ගණනාවක් ගෑස් සැපයුම හා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇති බවයි.

ඇතැම් යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවද විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මේ අතර උඩුනුවර – වෙලම්බඩ ප්‍රදේශයේ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිත ගිනිගැනීමක් පරීක්ෂා කිරීමේදී එම ගෑස් සිලින්ඩරයේ පැරණි මුද්‍රා දෙකක් ද ඇති බව අනාවරණ වුණා.

එමෙන්ම ඇල්පිටිය – මැටිවිලිය ප්‍රදේශයේ තවත් ගෑස් උඳුනක් පිපිරී යාමේ සිද්ධියක් ඊයේ (18) වාර්තා වුණා.

******************************************

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට පැවරීම ගැන රාජ්‍ය ඇමති දුමින්දගෙන් චෝදනා

(19.12.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට පැවරීම තුළින් ආණ්ඩුවට වගකීමෙන් මිදිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

එසේම ප්‍රදේශ රැසක ගොවීන් කාබනික දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ අධික දුර්ගන්දය සහ ඒ හේතුවෙන් වගාවන්ට සතුන්ගෙන් හානිවන බව පවසමින්.

මෙලෙස දියර පොහොර ප්‍රතික්ෂ්ප කරද්දී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අනුරාධපුර – මහ විලච්චිය ප්‍රදේශයේ ගොවී නියෝජිතයින් හමුවී ප්‍රකාශ කළේ රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට පැවරීම තුළින් ආණ්ඩුවට වගකීමෙන් මිදිය නොහැකි බවයි.

ප්‍රදේශ රැසක පොහොර නොමැතිකමින් දැඩි අර්බුදයකට පත්ව ඇති බව ගොවීන් ප්‍රකාශ කළා.

******************************************

යුගදනවි ගිවිසුම ගැන මැති ඇමතිවරුන් මතභේදයක

(19.12.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව පවසමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ද පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාමූහික වගකිම් කඩවීම හේතුවෙන් අදාළ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

කෙසේ වෙතත් ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බැවින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සාමූහික වගකීම් කඩකිරීමක් නොවන බවයි දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ.

ඒ සම්බන්ධයෙන් කොළඹ දී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ තමන් අදාළ කැබිනට් පත්‍රිකාව නොදුටු බවයි.

අමාත්‍යවරුන් තුන්දෙනෙකු (3) යුගදනවි ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවු බව ප්‍රකාශ කළ ද අනුරාධපුර ප්‍රදේශයේ දී අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ අදාළ ගිවිසුම තමා දුටු බවයි.

කෙසේ වෙතත් දිවුරුම් ප්‍රකාශයක් හරහා ආණ්ඩුව නියෝජනය කරන එක් පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි පසුගියදා කොළඹදී අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ෴

******************************************

ව්‍යාජ රන් කාසි 960 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

(19.12.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස සකසන ලද රත්‍රං කාසි 960 ක් සමඟ සැකකරුවෙකු කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මෙම ව්‍යාජ රන් කාසි රුපියල් ලක්ෂ 60 කට විකිණීමට තැත් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

19 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුට අද (19) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යාජ රත්‍රං කාසි විකිණීම සඳහා ලබාදුන්, හෝමාගම ප්‍රදේශයේ පදිංචි බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කුරුවිට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

හමුදා නිලධාරියෙකුගේ ඉහළම ගුණාංගය විනය බව ජනපති කියයි

(19.12.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

විනය, හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවති 96 වන විසිර යාමේ පෙළපාලියට එක්වෙමින්.

එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාලිය නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පාඨමාලා කාණ්ඩ පහක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 316 ක් අද (19) විසිර ගිය අතර, ඔවුන් ජනාධිපතිවරයාගෙන් සිය සම්මාන හිමිකරගෙන තිබෙනවා.

එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා සිය සහභාගීත්වය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කර, ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *