‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

*********************************************

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

(19.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම හරහා මෙරට ණයවර ලිපි සඳහා විදේශීය බැංකුවල ඇති පිළිගැනීම අහිමි වී යා හැකි බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් භාණ්ඩ ආනයනයේදී ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා ප්‍රකාශ කළේ.

ෆිච් රේටින්ස් ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද අදහස් දක්වා සිටියා.

ඔහු කියා සිටියේ පැහැර හැරීමට යනු ලබන ණය කළමනාකරණය කිරීමට පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වනවිට අවස්ථාව පවතින බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නොහැකි වී ගැටලුව උග්‍රවීමෙන් අනතුරුව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට කටයුතු කරනු ඇති බවයි.

මේ අතර, ෆිච් රේටින්ස් ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ හෙට (20) හෝ අනිද්දා (21) ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන බවයි ෴

******************************************

පදියතලාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකුට තුවාල

(19.12.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – පදියතලාව ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කිලිනොච්චියේ සිට කතරගම දක්වා වන්දනා නඩයක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මෙලෙස ඊයේ (18) රාත්‍රියේ අනතුරට ලක්ව ඇති බවයි.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු, රිය සහයක සහ තවත් පුද්ගලයින් 45 දෙනෙකු සිට ඇති බව සඳහන්.

අනතුරට හේතුව රියදුරුට බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීම බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට

(19.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පිරිස පැමිණි යාත්‍රා හයක් (6) ද සිය භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ.

අදාළ පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදියි.

******************************************

පුදුකුඩිඉරිප්පුවේදී අතුරුදන් වූ දැරියගේ සිරුර හමුවේ

(19.12.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පුදුකුඩිඉරිප්පු – මුන්ගිල්ලාරු උතුරු – උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ 12 හැවිරිදි දැරියගේ සිරුර ප්‍රදේශයේ කැලෑවක තිබී ඊයේ (18) සොයා ගත්තා.

මෙම දැරිය පසුගිය 15 වැනිදා පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, ඊයේ (18) උදයාර්කට්ටු ප්‍රදේශයේම කැලෑබද ප්‍රදේශයක තිබී අතුරුදන් වූ දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාන්චෝලෙයි රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙම මරණය සාහසික ක්‍රියාවක් ද යන්න සොයා විමර්ශන සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴

******************************************

ගෑස් විශේෂඥ කමිටුවේ වාර්තාව හෙට (20) ජනපතිට

(19.12.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව හෙට (20) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

පසුගිය 11 වැනිදා අදාළ කමිටුව සාක්ෂි ලබා ගැනීම අවසන් කළ අතර, ඉන් අනතුරුව සකස් කළ වාර්තාව මෙලෙස හෙට (20) ජනාධිපතිවරයාට ලබාදෙන බවයි කමිටු සාමාජික මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ ගෘහස්ථ, වෙළඳ හා විකුණුම් මධ්‍යස්ථාන ආශ්‍රිත ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම, පුපුරායෑම හා ඒ සඳහා හේතු සාධක සොයා බලා කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමටයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර් ශාන්ත වල්පලගේ මහතා මෙහි සභාපතිත්වය දරන අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් එහි සාමාජිකයින් වනවා ෴

******************************************

රුපියල් දහස (1000) නොගෙවන වතු හාම්පුතුන් ගැන විශේෂ මණ්ඩලයකින් සොයයි

(19.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ට රුපියල් දහසේ 91000) වැටුප නොගෙවන හාම්පුතුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂිත කොමසාරිස්වරයෙකු යටතේ මණ්ඩලයක් පත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (18) පැවති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම හාම්පුතුන්ට එරෙහිව පියවර ගැනීමට අදාළ නීතිමය ක්‍රියාවලිය සඳහා දත්ත රැස් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.

මීට මාස කිහිපයකට පෙර වතු පඩිපාලක සභාව මගින් වතු කම්කරුවන්ට රුපියල් දහසක (1000) වැටුප ගෙවිය යුතු බවට තීරණය කළ අතර, ඊට එරෙහිව වතු හාම්පුතුන් අභියාචනා ගොනු කිරීමත් සමග මේ වනවිට අධිකරණයේ නඩුවක් ද පවතිනවා.

කෙසේ වෙතත්, රුපියල් දහසක (1000) වැටුප ගෙවිය යුතු බවට පඩිපාලක සභාව ගත් තීරණය වැළැක්වීමේ නියෝගයක් අධිකරණය මගින් මෙතෙක් නිකුත් කර නැහැ.

එවන් පසුබිමකයි ඇතැම් වතු හාම්පුතුන් රුපියල් දහසේ (1000) වැටුප ගෙවීම පැහැර හැර ඇත්තේ ෴

******************************************

රැකියා විරහිත උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථිර පත්වීම් ලබන වසරේ

(19.12.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථිර පත්වීම් ලබාදීම ලබන වසරේ ජනවාරි 03 වනදායින් ආරම්භ වන බව ඒ සම්බන්ධයෙන් පත්කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 ක් රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස රැකියා ස්ථානයේදීම ස්ථිර කරනු ඇති.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500 ක් පමණ පිරිසකගේ සේවය එදිනම ස්ථිර කෙරෙන අතර, සෙසු පිරිස ලබන වසරේ අප්‍රේල් 01 වනදා ස්ථිර කෙරෙනු ඇති.

එසේම එම පිරිසෙන් 22,000 ක් පමණ ගුරු සේවයට බඳවා ගැනීමේ හැකියාව පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ 51,000 ම ස්ථිර කිරීමෙන් අනතුරුව ගුරු සේවයට එක්වීමට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ෴

******************************************

සිසුන්ට සුබ ආරංචියක්

(19.12.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් මාස 10 කට අධික අතරමැදි කාලසීමාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරට අදාළ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දැනට නියම කර ඇති දිනවලදී වෙනසකින් තොරව පැවැත්වීමට කටයුතු කරන බවයි ෴

******************************************

ඉදිරි දෙසතිය තුළ තවත් නැනෝ දියර පොහොර තොගයක්

(19.12.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නැනෝ දියර පොහොර රැගත් තවත් නෞකාවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ලඟා වීමට නියමිත බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂ චන්දන හේවගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොමර්ෂල් පොහොර සමාගම මගින් එම පොහොර ආනයනය සිදු කරන බවයි.

ඒ අනුව නැනෝ දියර පොහොර ලීටර ලක්ෂ 5 ක් එම නෞකාව මගින් මෙරටට ගෙන ඒමට නියමිත බවයි අප කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේකුමාර සඳහන් කළේ.

ඒ යටතේ නැනෝ දියර පොහොර බෝතල් මිලියනයක් මෙරට ගොවීන්ට බෙදා දීමට හැකි වන බව ඔහු ප්‍රකාශ කළා ෴

******************************************

නව (9) හැවිරිදි දරුවෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

(19.12.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී වයස අවුරුදු 9 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මියගිය දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

අලුත්ගම දුම්රිය ස්ථානයෙන් අදාළ දුම්රිය පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ අනෙක් පස සිටි දෙමාපියන් තමන් වෙතට පැමිණෙන්නැයි කළ දැනුම්දීමත් සමඟ පැමිණි දරුවා දුම්රිය මාර්ගයේ ඇද වැටීමත් සමඟයි දුම්රියේ ගැටී ඇත්තේ.

මෙලෙස මියගිය දරුවාගේ සිරුර මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴

******************************************

වරෙන්තුකරුවන් හා විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් 147 ක් අත්අඩංගුවට

(19.12.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ඊයේ (18) සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් හා විවිධ අපරාධ සදහා අවශ්‍ය කර සිටි සැකකරුවන් 147 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී යතුරු පැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ හා වෙනත් වාහන එකොලොස් දහස් 162 ක් හා පුද්ගලයින් පහලොස් දහස් 685 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

පරික්ෂා කිරිම්වල දී නීතිවිරෝධී මත්පැන්, නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

කොළඹ වරායේ බහලු මිලියන 24 ක් මෙහෙයවීමේ ඉලක්කයක්

(19.12.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ ඉදිරි සංවර්ධන සැලසුම්වලින් එහි ගැඹුර මීටර විස්සක් (20) හා හරස් අතට බහලු 26 ක් මෙහෙයවිය හැකි පර්යන්ත දොඹකර ස්ථාපිත කෙරෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

එහිදී නැගෙනහිර හා බටහිර පර්යන්තයන්හි සිදුවන සංවර්ධනයත් සමඟ දැනට කොළඹ වරායේ මිලියන අටක් (8) වන බහලු මෙහෙයුම් ධාරිතාවට වසර 2025 වනවිට අතිරේක බහලු මිලියන 6 ක් එක්වනු ඇති.

වසර 2040 වනවිට ඉදිකිරිම් නිම කිරීමට බලාපොරොත්තු වන උතුරු වරාය ව්‍යාපෘති මගින්ද අතිරේකව තවත් මිලියන 10 ක බහලු ධාරිතාවක් එක් කෙරෙනවා.

ඒ සමඟම කොළඹ වරායේ සමස්ත බහලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 24 දක්වා ඉහළ යන බවයි වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා සඳහන් කළේ.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධාන කරන ලද 2021 බහුවිධ ප්‍රවාහන සමුළුවේ සමාරම්භය වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා ෴

******************************************

සිඟිත්තියකට මරු කැඳවූ වව්නියාවේ ඛේදවාචකය

(19.12.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – අන්නානගර් ප්‍රදේශයේ නිවසක ඔංචිල්ලාවක් බැඳි ලණුවක් ගෙල සිරවීමෙන් කුඩා දැරියක් ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සිව් (4) හැවිරිදි වියෙහි පසු වූ පරමේශ්වරන් අරුල්සිකා නමැති දියණිය යි.

මෙම දැරිය නිවසෙහි සවි කර තිබූ ඔන්චිල්ලාව පදිමින් සිට ඇති අතර, පසුව එය ඇයගේ ගෙලෙහි සිර වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

දැරිය ඔන්චිල්ලාව පදින අවස්ථාවේ දී ඇයගේ දෙමව්පියන් නිවසෙහි දෛනික කටයුතුවල නිරතව සිට ඇති අතර, දැරියගේ නිහඬතාව මතයි දෙමව්පියන් පැමිණ ඇය පිළිබඳව සොයා ඇත්තේ.

එවිට දැරියගේ ගෙල ඔන්චිල්ලාවෙහි සිර වී ඇති අයුරු දැක, සිඟිත්තියව රෝහල්ගත කිරීමට කටයුතු කළ ද,ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වව්නියාව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා නීති කඩකරන්නන් සොයා බස්නාහිර පළාත තුළ විශේෂ සෝදිසි මෙහෙයුම්

(19.12.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

මහජනයා නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ ද යන කාරණය සම්බන්ධයෙන් විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුම් පොලීසිය විසින් දෛනිකව දිවයින පුරා විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව ඊයේ (18) දිනයේ දී බස්නාහිර පළාත තුළ ද කොරෝනා මර්දන නීතිරීති උල්ලංඝනය කරන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මෙම සෝදිසි කිරීම්වලදී නිසි පරිදි මුහුණු ආවරණ නොපැළඳ ගමන් ගන්නා පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඊයේ (18) දිනයේ දී මෙම සෝදිසි කිරීම් සඳහා පොලිස් රථවාහන අංශයේ නිලධාරින් 727 දෙනෙකු යොදවා තිබූ අතර, එහිදී පරීක්ෂා කළ යතුරුපැදි සංඛ්‍යාව 2881 ක් සහ ත්‍රිරෝද රථ සංඛ්‍යාව 2658 ක් බවයි පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ.

පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 8099 ක් වන අතර සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම මත පොලීසිය විසින් අවවාද කළ හා උපදෙස් ලබාදුන් සංඛ්‍යාව 1936 ක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

තරුණයෙකුගෙන් සුනිල් හඳුන්නෙත්තිට අභියෝගයක් !

(19.12.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඇති අර්බුද හමුවේ අනාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය වන රජයක් පැමිණියහොත් , වංචනිකයින්ට නිසි දඬුවම් ලැබෙන්නේ ද යන කාරණය විමසමින් තරුණයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අභියෝග කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

එහිදී එම තරුණයා විමසනුයේ, මෙතෙක් පැවති ආණ්ඩු විසින් වංචනිකයින් රඳවා ගනිමින්, ඔවුන්ට දඬුවම් ලබාදෙන බවට පැවසුව ද තවමත් එය සිදු නොවූවක් හෙයින්, ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුවහොත්, ඔවුන් ද පැවති ආණ්ඩු සේම බොරු බේගල් ඇඳ බාමින්, ජනතාව මුලා නොකරන බවට විශ්වාස නොකිරීමට ඇති හේතුව කුමක්ද යනුවෙනි.

ඊට ප්‍රති උත්තර ලබා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනුයේ, වරෙක එම දිස්ත්‍රික්කයෙහිම දේශපාලන කටයුතු සිදු කළ මුල්ගම්පොළ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඔහු යළි විදෙස්ගත වී සිට මෙරටට පැමිණෙන විට දී ම මන්ත්‍රී ධුරය අහෝසි කොට, ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු ලෙස මාවනැල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක අදාළ ධුරය සඳහා පත් කළ බවයි.

පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ අදාළ ප්‍රශ්නය අභියෝගාත්මක ලෙසින් ඉදිරිපත් කළ තරුණයා සංවාදය අවසන් කර පිටව ගියේ, සුහද අයුරින් වීම ද විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *