ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ

*********************************************

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්‍රෝ ගෑස් නැවක් පරීක්ෂාවකින් පසු මුදා හැරේ

(18.12.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2 න් එක් (1) නෞකාවකට ගොස් ඊයේ (17) සිදු කළ පරීක්ෂණ වලින් පසු එහි ගැටලුවක් නොමැතිවීම නිසා එම නෞකාවේ ගෑස් මුදාහැරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් ඊයේ (17) දිනයේ තමන් පත් කළ බවයි. ඒ අනුව අදාළ නෞකාවටම ගොස් නෞකාවේදීම පරීක්ෂණ සිදු කර එය මුදාහැරීමට පියවර ගත් බව ඔහු කියා සිටියා.

මේ අතර ගෑස් සම්බන්ධ අර්බුදය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන අඟහරුවාදා (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍යවරුන් මෙන්ම ගෑස් සමාගම් ප්‍රධානීන්ද සහභාගිවීමට නියමිතව ඇති අතර, එහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙරට අලෙවි කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30 ක් විය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කල අතර ඊට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මින් පසුව වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය ඊයේ (17) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට (2) නියෝග කළේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් අනිද්දා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම පෙරේදා දිනයේ පැවති බව සඳහන් කළා.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ‘ප්‍රොපේන්’ සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කළ බවද රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා. කෙසේවෙතත් මීට පෙර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් නැව් 2 හිම ගැටලුකාරී තත්වයක් පවතින බවයි.

පළමුවෙන් පැමිණි ගෑස් නැව මුදා නොහරින ලෙස පාරිභෝගික අධිකාරිය ඍජුවම දන්වා තිබුණා. එවන් තත්වයක් තුලයි යළි එක් ගෑස් නැවක් ගැටලුකාරී නොවන බව පවසා එහි ගෑස් තොග මුදා හැරීමට මෙලෙස තීරණය කර ඇත්තේ ෴

******************************************

අනුමැතිය ලද එක් (1) ලිට්රෝ නැවක ගෑස් බෙදාහැරීම ඇරඹේ

(18.12.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වන ලද එක් (1) ගෑස් නෞකාවක අඩංගු එල්.පී. ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමිවීමත් සමඟ අද (18) සිට ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කරන බව එම සමාගම ප්‍රකාශ කළා.

එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තවත් ගෑස් නෞකා දෙකක් (2) කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය ආසන්නයේ නතර කර ඇති අතර, එහි අඩංගු ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඒ සඳහා බලධාරීන්ගේ අදාළ අනුමැතිය ලද වහා මුදාහැරීමට කටයුතු කෙරෙනවා.

එමඟින් දිවයින පුරා සියලු වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ අලෙවි සහ විකුණුම් අධ්‍යක්ෂ ජානක පතිරත්න සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2 න් එක් (1) නෞකාවකට ගොස් සිදු කළ පරීක්ෂණවලින් පසු එහි ගැටලුවක් නොමැති බව පවසමින් එම නෞකාවේ ගෑස් මුදාහැරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ඊයේ (17) ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් පෙරේදා (16) තමන් පත් කළ බවයි.

මේ අතර ගෑස් අර්බුදය සම්බන්ධයෙන් ‘ලිට්රෝ සුරැකීමේ සංවිධානය’ අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම තිස්සමහාරාම – බෙරිගල, ගාල්ල – වලහන්දූව සහ කොටගල ප්‍රදේශවලින් ඊයේ (17) දිනයේ සහ අදත් (18) ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වුණා.

මේ අතර ගෑස් අනතුරු වළක්වාගැනීම සඳහා තමන් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට තමන්ට බලයක් නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත කඩිනමින් භාරදීමට අපේක්ෂා කරන බවයි ෴

******************************************

කෙරවලපිටිය මුහුදේ තිබෙන ගෑස් නැව් දෙක ගැන වාර්තා හෙට (19)

(18.12.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය අසල මුහුදේ නැංගුරම් ලා ඇති තවත් ගෑස් නැව් දෙකක (2) ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (18) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළා.

එහි දැක්වුණේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මීට පෙර කොළඹ වරායට ළගාවූ ගෑස් නෞකාවකට හිමි වූ බවයි.

කෙසේ වෙතත්, එම නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන්ද ගැටළු පවතින බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මීට පෙර ප්‍රකාශ කළේ.

මෙරටට ගෑස් රැගෙන මීට සතියකට පෙර පැමිණී නෞකාවක තිබූ ගෑස් තොග ගොඩබෑම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසර හිමි නොවුණේ අදාල ගෑස් නිසි ප්‍රමිතියට නොමැති බව හෙළිවීමත් සමගයි.

ඒ අතරතුර පසුගිය සදුදා (13) තවත් ගෑස් නැවක් (1) කෙරවලපිටිය ගෑස් පර්යන්තය අසල මුහුදේ නැංගුරම් දමනු ලැබුවා.

එහෙත්, අදාළ ගෑස් නැව් දෙකෙන් (2) එක් (1) නැවක ගෑස් තොග ගොගඩබෑමට අවසර ලබා දුන් බවයි තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඊයේ (17) පස්වරුවේ පැවසුවේ.

අදාල නැවටම ගොස් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එහි ගැටලු‍වක් නොමැති බවට හඳුනාගැනීම හේතුවෙන් එම නැවේ ඇති ගෑස් තොග මුදාහැරීමට උපදෙස් දුන් බව තාක්ෂණ අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, මේ වනවිට කෙරවලපිටිය ගෑස් පර්යන්තය අසල මුහුදේ නැංගුරම් ලා ඇති නෞකා දෙකෙන් (2) සාම්පල ලබාගෙන ඇති අතර, ඒවායේ ප්‍රතිඵල හෙට (19) දිනයේදී ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගෑස් ආශ්‍රිතව සිදුවූ පිපිරීම් රැසක් තවමත් දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.

මේ අතර ලිට්‍රෝ සූරැකීමේ සංවිධානය ගෑස් පුපුරා යාම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් පවසන අයුරින් ලිට්‍රෝ සමාගමත් ගෑස් පිපිරීම් සඳහා වගකිව යුතු නොමැතිනම් ඒ සඳහා සැබැවින්ම වග කිවයුත්තේ කවුරුන්ද….? අවසානයේ ගෑස් ආශ්‍රිත පිපිරීම්වල වගකීම ගත යුත්තේ රටේ ජනතාවද..? යන්න අපට මතුවන ගැටලුවයි.

******************************************

සාමුහික වගකීම කඩ කළ බව ගම්මන්පිල පිළිගනී

(18.12.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පාර්ශව 2 ක් දිවුරුම් පෙත්සම් මඟින් පරස්පර විරෝධී ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් එක් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් දඬුවම් විඳිය යුතු බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ හංවැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

යුගදනවි බලාගාර ගිවිසුමට අදාළ සංදේශය අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් නො වූ බව පවසමිනුයි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර දිවුරුම් පෙත්සම් ගොනු කර තිබුණේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට පරස්පර අදහස් ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සම් ගොනු කර තිබුණා.

එවන් පසුබිමක යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි ව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවටයි නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකරමින් ප්‍රකාශ කළේ.

මේ අතර යුගදනවි බලාගාර ගිවිසුමට අදාළ සංදේශය අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් නො වූ බව පවසමින් දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළ අමාත්‍යවරයෙකු වන උදය ගම්මන්පිල මහතා ඊයේ (17) හංවැල්ල ප්‍රදේශයේදී කියා සිටියේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ නොදැමීම නිසා එහි පාඩුව රටේ සමස්ත ජනතාවටම යොමු වී ඇති බවයි.

******************************************

යතුරුපැදි, ත්‍රිරෝද රථ සොරා ගැනීම් සිද්ධීන්වලට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට

(18.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ප්‍රදේශ දෙකක (2) දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඊයේ (17) සිදු කළ වැටලීමක දී ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසු ව ඔහුගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වල දී එම සිද්ධි වලට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) යතුරුපැදි 3 ක් සහ ත්‍රිරෝද රථ 3 ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අවුරුදු 19, සහ 43 අතර වයස්වල පසුවන හලාවත සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම, බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය මගින් මිරිහාන ප්‍රදේශයේ තියුණු ආයුධ පෙන්වා බිය ගන්වමින් යතුරුපැදි, ජංගම දුරකතන සහ මුදල් පසුම්බි කොල්ලකන ලද 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (17) අත්අඩංගුවට ගත් මෙම සැකකරු කඩවත, ගම්පහ, නිට්ටඹුව, මල්වතුහිරිපිටිය යන පොලිස් වසම්වල කොල්ලකෑම් සිදු කර ඇති බවට යි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

ලංකාවේ පලමුවෙනි වනජීවි නිලධාරී මාර්ග බාධකය බුත්තල කතරගම මාර්ගයේ දී විවෘත වෙයි

(18.12.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වනජීවි නිලධාරීන් රාජකාරි කරන වනජීවි මාර්ග බාධකය ඊයේ (17) පස්වරුවේ දී වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා.

බුත්තල කතරගම මාර්ගයේ ‘වල්ලි අම්මා ආර’ ප්‍රදේශයේ දී මෙම මාර්ග බාධකය විවෘත වූ අතර, යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ග බාධකය ස්ථාපිත කර තිබෙනවා.

යාල වනෝද්‍යානයේ සිදු වන වනසතුන් ජාවාරම සහ වනසතුන් ගේ මස් අලෙවි කරන ජාවරම් මැඩලීමේ අරමුණින් මෙම මාර්ග බාධකය විවෘත කළ බව වනජීවි නිලධාරීන් පැවසුවා.

බුත්තල කතරගම මාර්ගයේ යාල වනෝද්‍යානය හරහා ගමන් ගන්නා රථ වාහන හදිසි පරික්ෂා කිරීම් මෙම මාර්ග බාධකයකයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

විවිධ අකටයුතුකම් සිදු වන මෙවැනි රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කරගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

******************************************

රාජ්‍ය ඇමති දයාසිරි ගැටඹේ විහාරස්ථානයට

(18.12.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මුදල් ඇමතිවරයෙකු වශයෙන් සාර්ථකවූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදුටු අවස්ථාවේදියි.

******************************************

සජිත් ගෙන් අභියෝගයක්

(18.12.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නැවත පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කළ පසු, හැකිනම් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය එම තනතුරු දැරූ අයටම නැවත ලබාදෙන්නැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභියෝග කරනවා.

මුල්කිරිගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

******************************************

තිස්සමහාරාම දිරිය කත

(18.12.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජීවන අරගලය ජයගැනීම සඳහා මෝටර් රථ කාර්මික ශිල්පිනියක ලෙස කටයුතු කරන දිරිය කාන්තාවක් පිලිබඳ තොරතුරු අපට වාර්තා වුණේ, තිස්සමහාරාම ප්‍රදේශයෙන්.

තම පියා මෙලොව හැර ගියත් ඔහුගෙන් ලද පුහුණුවෙන් මෝටර් රථ කාර්මික කටයුතුවල නිරතවන සමන්ති රත්නසිංහ මහත්මිය තිස්සමහාරාම ප්‍රදේශවාසීන් කවුරුත් දන්නා දිරිය කාන්තාවක්.

මීට වසර 6 කට ඉහතදී මියගිය තම පියාගේ ජිවිකාව වූ මෝටර් රථ කර්මාන්තයට තමා පුහුණුවූයේ කුඩා අවධියේ සිට බව ඇය සඳහන් කළා.

මේ වනවිට ඇය වාහන අලුත්වැඩියාව, වාහන වර්ණගැන්වීම වැනි කාර්යයන් තනිවම සිදුකරනු ලබනවා.

උත්සාහය, අධිෂ්ඨානය ඇත්නම් කළ නොහැකි දෙයක් නැතැයි, යන්න සපථ කළ සමන්ති රත්නසිංහ මහත්මිය, සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් වනු ඇති ෴

******************************************

රන් මිල ඉහළට

(18.12.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රත්රන් මිල මාස 2 කට පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) සටහන් වුයේ ඩොලර් 1802 ක් ලෙසයි.

වෙළඳපොල වාර්තා පැවසුවේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක් රුපියල් 1,08,000 ක මිල සීමාවේ අලෙවි වු බවයි.

කැරට් 24 රන් පවුමක් රුපියල් 1,17,000 ක පමණ මුදලකට ඊයේ (17) දින අලෙවි වී තිබෙනවා.

******************************************

පොහොර නොමැතිව වගා ඇරඹූ ගොවීන් දැඩි පීඩාවක

(18.12.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සඳහා සහනාධාර නොලැබෙන බැවින් ගෙවීන්ට සිය වගාවන් සඳහා විශාල අමතර වියදමක් දැරීමට සිදුවන බව, පොහොර ආනයනකරුවන් පවසනවා.

මේ අතර, පොහොර ලබා දෙන බවට කෘෂි බලධාරීන් ලබා දුන් පොරොන්දුව මත වගා කටයුතු ආරම්භ කළ වී ගොවීන් දැඩි
දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *