මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි

*********************************************

මෙරට ලබාදුන් බූස්ටර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන දෙක (2) ඉක්මවයි

(17.12.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දිනයේ දී මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 1,85,888 ක් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම තුන්වන (3) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,058,791 දක්වා ඉහළ යනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, මේ වනවිට මෙරට පුද්ගලයන් 1,59,64,286 කට කොරෝනා එන්නත් පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙකම (2) ලබාදුන් සංඛ්‍යාව 13,83,820 ක් බවයි.

ඒ අනුව මෙරට ජනගහණයෙන් 72.82% කට කොරෝනා එන්නත් පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙකම (2) ලබාදුන් ප්‍රතිශතය 63% කට ආසන්නයි ෴

++++++++++++++++

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 341 ක් පූර්ණ සුවයට

(17.12.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයින් 341 ක් අද (17) දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසදිත පුද්ගලයින් ගණන 5,46,839 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා මරණ 22 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ ගණන 14,720 ක් ෴

ඊයේ (16) සිදුවූ කොරෝනා මරණ 22 ක් අද (17) තහවුරු කෙරුණු අතර කොරෝනා අසාදිතයන් 341 ක් අද (17) දිනයේදී සුවය ලබා තිබුණා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 538 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,78,272 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 177 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,78,439 ක් ෴

++++++++++++++++++

මෙරට ඔමික්‍රොන් ආසාදිතයෙක් රටින් නික්ම ගොස් ඇති බව හෙළිවෙයි

(17.12.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (16) දින තහවුරු කෙරුණු ඔමික්‍රොන් වෛරසය වැලඳුණු පුද්ගලයින් තුන්දෙනා (3) අතරින් එක් අයෙකු මේ වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ගුවන් තොටුපොළෙන් ලබාගත් පී.සී.ආර්. සාම්පල කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු මෙම ඔමික්‍රොන් ආසාදිතයා හඳුනාගත් බවයි.

පසු ව ඔහු සම්බන්ධයෙන් සොයාබැලීමේ දී දිවයිනෙන් පිටත් ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ පිළිබඳ ව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, එළඹෙන උත්සව සමයේදී ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ලබාදුන් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව විසි ලක්ෂය (20,00,000) ඉක්මවා තිබෙනවා.

ඊයේ (16) දිනයේදීද මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 1,85,888 ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඒ අනුව එම තුන්වන (3) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 20,58,791 දක්වා ඉහළ යනවා.

මෙරට ජනගහණයෙන් 72.82% කට කොරෝනා එන්නත් පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙකම (2) ලබාදුන් ප්‍රතිශතය 63% කට ආසන්නයි.

++++++++++++++++++

ඔමික්‍රෝන් ආසාදිතයෙකු ගැන සෞඛ්‍ය බලධාරින්ට පටලැවිල්ලක්

(17.12.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයෙකු රටින් පිටව ගොස් ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා එකිනෙකට පරස්පර මත පල කරනවා.

මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයන් තුන් දෙනෙකු (3) හඳුනා ගත් බව ඊයේ (16) වාර්තා වුණා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ඊයේ (16) වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදියන්ගෙන් එක් අයෙකු (1) මේ වන විට මෙරටින් පිටව ගොස් ඇති බවට වාර්තා වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

කෙසේවෙතත් කොළඹ අද (17) පැවති තවත් මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊට පරස්පර අදහසක්.

ඒ අනුව අදාළ ආසාදිතවා මෙරටින් පිටව ගොස් ඇති බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටියා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ විදේශිකයා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි ෴

+++++++++++++++++

කොරෝනා දේශීය වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා…

(18.12.2021 – 06:16 +0530 – lankacnews.com)

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන සංකූලතා සදහා ප‍්‍රතිකාර ලබාදීම සදහා ගිරාදුරුකෝට්ටේදී පැවති දේශීය සහ ආර්යුවේද වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා එල්ලවී තිබේ.

ගිරාඳුරුකෝට්ටේ අගලඔය විහාරස්ථාන පරිශ‍්‍රයේදී ‘කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව’ විසින් මෙම වෛද්‍ය සායනය සූදානම් කර තිබුණි.

අගලඔය විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සායනයට එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් 500 කට වඩා ලියාපදිංචි වී තිබිණි.

එනමුත් උදෑසන එම ස්ථානයට පැමිණි දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීතුමා මෙම ක‍්‍රියාවලියට බාධා කළ බවට කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව චෝදනා කරයි. දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙසේ සායන පැවැත්වීමෙන් එන්නත්කරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට බාධා ඇතිවන බවයි.

මීට සහභාගී වූ පාරම්පරික වෛද්‍ය තරංග පොරවගමගේ මහතා ඊට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කර තිබුණේ රජයේ වැඩපිළිවෙලට අපගෙන් කිසිදු බාධාවක් නොවන බව හා එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් රාශියක් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්ය. තවද වෛද්‍යවරයෙකු වශයෙන් එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ඔවුන්ගේ වෛද්‍යමය වගකීම බවයි.

මෙහිදී දෙපිරිස අතර උණුසුම් කතාබහක් ඇති වූ අතර එම ස්ථානයට රැස්ව සිටි ජනතාව ප‍්‍රකාශ කර තිබුණේ ද එන්නත්කරණයෙන් පසු ඔවුන්ට විවිධාකාරයේ අතුරු ආබාධ ඇති වී තිබෙන බවත්ය. වෛද්‍ය සායනයට පැමිණ සිටි පිරිස දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට සිය විරෝධය දක්වා තිබූ අතර ඒ සමගින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවූ ‘කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව’ එකමුතුවේ දේශීය හා පාරම්පරික වෛද්‍ය කණ්ඩායම ප‍්‍රකාශ කර සිටියේ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට බාධා කිරීමට කිසිදු බටහිර වෛද්‍යවරයෙකුට නීතිමය වශයෙන් හැකියාවක් නොමැති බවයි. තවදුරටත් ඔවුන් ප‍්‍රකාශ කළේ මේ පිළිබඳව දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

– කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගෑස් සිලින්ඩරයේ ඇතුලත් බියුටේන් / ප්‍රොපෙන් ප්‍රතිශතය දැනගැනීමට ඔබට ඇති අයිතිය අධිකරණය තහවුරු කරයි

(17.12.2021 – YouTube : Nagananda Kodituwakku)

මහජන අයිතිය බලගන්වමින් අවදානම් සහගත ගෑස් සිලින්ඩර් වෙළඳ පොලට නිකුත් කිරීම පිළිබඳව අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුවේ වග උත්තර කරුවන්ට එරෙහිව නිකුත් කරන ලද අතුරු තීන්දුව අද දින (2021 දෙසැම්බර් 17) දින ප්‍රකාශයට පත් කරන ලදී.

වෙළඳ පොලේ අලෙවි කරන සියලුම ගෑස් සිලින්ඩර් ආපසු කැඳවීමටත් අවදානමක් නැතැයි පාරිභෝගික අධිකාරිය තීරණය කරන බියුටේන් / ප්‍රොපෙන් සංයුතිය අඩංගු ගෑස් සිලින්ඩර් පමනක් එම සංයුතිය පාරිභෝගිකයාට බැලූ බැල්මටම දැනගැනීමට හැකි වන සේ ප්‍රදර්ශණය කර වෙළඳ පොලට නිකුත් කිරීම අනිවාර්ය වන බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.

පාරිභෝගිකයන් සතුව මේ වනවිට ඇති අධික ප්‍රොපෙන් සංයුතියක් ඇති ගෑස් සිලින්ඩර් බෝම්බ වැනිය. එම සිලින්ඩර් වලින් කාන්දුවන ගෑස් ගිනිගෙන බරපතළ හානි සිදුවිය හැක. එහෙයින් එම ගෑස් සිලින්ඩර් ගැනද අවධානය යොමුකළ අධිකරණය එම සිලින්ඩර් සියල්ල නොපමාව භාරගැනීමේ ක්‍රමවේදයක් සම්පාදනය කර අදාළ සමාගම් දෙක එවැනි ගෑස් ආපසු භාරගත යුතු බවටද තීන්දුවේ සඳහන් වෙයි.

ගෑස් කාන්දු වීමෙන් මියගිය පුරවැසියන්ට සහ හානියට පත් දේපළ වලට වන්දි ගෙවීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම හා දැන දැනම මෙම අපරාධය සිදුවීමට ඉඩදී වගකීම පැහැර හරින ලද අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන වගඋත්තරකරුවන්ට අපරාධ නීතිය බලගන්වා දඬුවම් පැමිණවීමට අධිකරණයෙන් කරණු ලැබූ ඉලුලීම ඇතුළු අනෙකුත් සහන ගැන සලකා බැලීම සඳහා මෙම නඩුව නැවත 2021 ජනවාරි මස 26 වන දින අභියාචනාධිකරණය හමුවේ විභාගයට කැඳවනු ඇත.

+++++++

17-12-2021

++++++++++

18-12-2021

******************************************

උත්සව සමයේ රට වසා දැමීමේ අවශ්‍යතාවක් නෑ – සෞඛ්‍ය ඇමති

(18.12.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ, ඔමික්‍රෝන් ආසාදිත විදේශිකයා හැර මෙරටින් වාර්තා වූ සෙසු සියලු ඔමික්‍රෝන් ආසාදිතයින් මේ වනවිට සුවය ලබා ඇති බවයි.

මොවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ වාර්තා වූ දිනට සති 2 කට පමණ පෙර බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියා.

ඔහු සඳහන් කළේ, එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට සති 2 ක කාලයක් ගත වීම හේතුවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීම මෙලෙස ප්‍රමාද වන බවයි.

එමෙන්ම සියලු කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ඔමික්‍රෝන් හඳුනාගැනීමට අදාළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාවක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා පරීක්ෂණ සඳහා ලබා ගන්නා සෙම් පටල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඉහළ මට්ටමේ රසායනාගාර පහසුකම්වලින් යුත් නම් කරන ලද විශේෂිත මධ්‍යස්ථාන 4 ක් වෙත යොමු කරන ලෙස දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ ඒ පළාත්වලින් ලබා ගන්නා සාම්පල ඊට අදාළ ව දී ඇති මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර ඊයේ (17) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 715 ක් හඳුනා ගත් අතර, ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,78,439 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,720 දක්වා ඉහළ ගියේ ඊයේ (17) වාර්තා වූ කොරෝනා මරණ 22 ත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ (17) මහනුවර දී මාධ්‍යවෙත අදහස් පළ කරමින් කියා සිටියේ රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් එළඹී නො මැති බවයි ෴

******************************************

සිරිපා වන්දනා සමය ඇරඹේ

(18.12.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

සිරිපා වන්දනා සමය ද උඳුවප් පොහොය යෙදෙන අදින් (18) ආරම්භ වුණා.

ඒ, පැල්මඩුල්ල – ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර අද (18) අලුයම ශ්‍රීපාද උඩ මළුවට වැඩම කරවීමෙන් අනතුරුවයි.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා සමය අදින් (18) ආරම්භ වී ලබන වසරේ මැයි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

නව රෙගුලාසිවලට අනුව පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉදිකටුපාන යන විශ්‍රාම ශාලා නවාතැන් ලෙස භාවිතා කළ යුතු වනවා.

එමෙන්ම, තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නො කළ යුතුයි.

සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්, විශ්‍රාම ශාලා යන ස්ථානවල යාචකයින් විසින් සිඟමන් ඉල්ලීම හෝ ලබා දීම ද නො කළ යුතු වනවා.

එමෙන්ම පළාත් පාලන ආයතන මඟින් හඳුනාගෙන ඇති ආරක්ෂිත ස්ථානවල දී හැර දිය නෑම හෝ රෙදි සේදීම නො කළ යුතු බවට ද එම රෙගුලාසිවල සඳහන්.

******************************************

වතු කම්කරු පවුල්වලට නිවාස ඉදි කිරීමට මූල්‍යාධාර අප්‍රේල් මාසයේ

(18.12.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලු වතු කම්කරු පවුල් සඳහා ඉඩමක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබා දීමේ ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසයේ දී ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් 79 කට රුපියල් 50,000 බැගින් රුපියල් මිලියන 4 ක මූල්‍යාධාර ලබාදීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකදීයි.

පසුගිය රජය සමයේ රුපියල් මිලියන 757 ක පාඩුවක් ලැබූ ජනවසම මේ වන විට ලාභ ලබන තත්වයට පත් ව ඇති බව අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වතු කම්කරුවන්ට තේ දලු කිලෝවක් සඳහා ලබා දෙන මුදල රුපියල් 65 සිට රුපියල් 90 දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇති බවයි.

එමෙන්ම ජනවසම වතුවල නිවාස සංවර්ධන අධිකාරිය සහ වෙනත් අරමුදල් යටතේ ඉඳිකෙරෙන නිවාසවල ඉඳිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *