යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි

*********************************************

යුගදනවි නඩුවේදී විමල්, වාසු සහ ගම්මන්පිලට නීතිපති හරස් වෙයි

(17.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බවට නීතිපතිවරයා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතුකළා.

ඒ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙවන (2) දිනටත් විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (17) කැඳවනු ලැබුවා.

මෙහිදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරය පාදක වන ගිවිසුම් මගින් ජාතික බලශක්ති ප්‍රතිපත්ති උල්ලංඝනය වන බවයි.

එසේම, විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙය සිදුව ඇති බවත් ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට විධිමත් අවබෝධයක් තිබී නොමැති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ගිවිසුමට එළඹීමෙන් අනතුරුව වසර දෙකක් (2) ගතවනතුරු එහි අන්තර්ගත කරුණු හෙළිදරව් නොකර සිටීමට ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු සමාගම එකඟ වී ඇති බැවින් එය භයානක තත්ත්වයක් බවයි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ.

ගිවිසුම අමාත්‍ය මණ්ඩලය තුල අනුමත නොකළ බවට අමාත්‍යවරුන් 3 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු විදුලිබල වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම ද කියා සිටියේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයේ සම්මත වූ බවට අමාත්‍ය මණ්ඩලයේ ලේකම් විසින් දක්වන කරුණු අසත්‍යයක් ද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ද ගිවිසුමේ අහිතකර ආදීනව පිලිබඳව ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව විමල් විරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉලගහේවා කරුණු දැක්වීමට සූදානම් වුණා.

එහෙත්, එම අවස්ථාවේ නැගී සිටි නීතිපතිවරයා ඔවුන්ගේ දිවුරුම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතාවක් මතුකරනු ලැබුවා.

ඒ අමාත්‍යවරු තුන් දෙනා (3) ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට පටහැණි බවටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ඒ අනුව, එම අමාත්‍යවරුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවත් නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එහිදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ අදාල විරෝධතා ඔහුගේ දේශන වලදී ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව කරුණු දැක්වූ අමාත්‍යවරුන් තුන්දෙනා (3) වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කියා සිටියේ තම සේවාදායකයින් මුලදී මෙම ගිවිසුම පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමෙන් වැළකී සිටි බවයි.

එහෙත් අදාළ ගිවිසුමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ සත්‍ය තත්ත්වය සමාජයට පැහැදිලි කළ බව නීතිඥවරයා ප්‍රකාශ කළා.

ඉකුත් සැප්තැම්බර් 06 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම ගිවිසුමට අදාළ සංදේශය ඉදිරිපත් නොවු බව තම සේවාදායක අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කරන බවද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සැප්තැම්බර් මස 06 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීම විඩීයෝ තාක්ෂණය හරහා පැවති අතර එහිදී ද මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් නොවූ බවයි.

එසේම, එවැනි සංදේශයක් තමාගේ සේවාදායක අමාත්‍යවරු තුන් දෙනා (3) විසින් දැක නොමැති බවත්, එහි පිටපත් ලබා දී නොතිබූ අතර, එදින අවසන් තීරණයක් නොගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මේ අතර, අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය උල්ලංඝනය කරමින් ශේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යවරුන් තුන්දෙනා (3) අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඊයේ (16) අධිකරණය හමුවේ ප්‍රශ්න කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ප්‍රකාශ කළේ තම සේවාදායකයින් රජයට සම්බන්ධ වී සිටින්නේ විවිධ පක්ෂ නියෝජනය කරමින් බැවින් එම පක්ෂ අතර තිබෙන එකඟතා අනුව ඔවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කළ නොහැකි බවයි.

අනතුරුව පෙත්සම් විභාගය ජනවාරි 10 වනදා දක්වා කල් තැබුණා.

+

දක්ෂිණ අධිවේගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක්

(17.12.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලනිගම අතර සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මෝටර් රථයක්, බස් රථයක් සහ ජිප් රථයක් බවයි වාර්තා වන්නේ.

  • https://cdn.hirunews.lk/Data/News_Images/202112/1639745350_5676095_hirunews.jpg
  • https://cdn.hirunews.lk/Data/news_uploads/202112/p1.jpg
  • https://cdn.hirunews.lk/Data/news_uploads/202112/p3.jpg
  • https://cdn.hirunews.lk/Data/news_uploads/202112/u.jpg

+

ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළට

(17.12.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල වෙළඳපොලේ ලොකුලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ලොකුලූණු කිලෝවක තොග මිල රුපියල් 290 ත් 300 ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලොකුලූණු අඩංගු නෞකා දෙකක් (2) අද (17) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

ණය පදනම මත ඇතැම් ලොකුලූණු කන්ටේනර් නිදහස් කර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

එසේම, වෙළඳපොලේ පවත්නා එළවළු මිල සම්බන්ධයෙන් අප සිදු කළ සොයා බැලීමකදී දැක ගත හැකි වුනේ, කොළඹ ආශ්‍රිත ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු මිලෙහි වැඩිවීමක් පවත්නා බවයි.

+

රසායනික පොහොර දුන්නත් ගොවීන්ට සියයට 30 ඉක්මවූ අමතර වැයක්

(17.12.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සඳහා මින් ඉදිරියට රජයෙන් සහනාධාරයක් නොලැබෙන බැවින් වී ඇතුළු අනෙකුත් වගාවන් සඳහා සියයට 30 ත් 40 ත් අතර අමතර මුදලක් දැරීමට ගොවීන්ට සිදුවනු ඇතැයි රසායනික පොහොර ආනයනය කරනු ලබන සමාගම් පවසනවා.

විශේෂිත පොහොර ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර 3 ක කාළය සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් සමාගම් වෙත ලබා දිය යුතු රුපියල් බිලියන 27 ක් පමණ මුදලක් රජය විසින් මෙතෙක් ගෙවා නොමැති බවයි.

මේ අතර සිය වගාවන්ට පොහොර නොමැති වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා.

+

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ප්‍රොපේන් සියයට 30 ක් ඇතුළත් විය යුතුයි – ප්‍රමිති ආයතනය අධිකරණයට දන්වයි

(17.12.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සම්බන්ධ අර්බුදය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍යවරුන් මෙන්ම ගෑස් සමාගම් ප්‍රධානීන්ද සහභාගිවීමට නියමිතව ඇති අතර, එහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙරට අලෙවි කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30 ක් විය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මින් පසුව වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය අද (17) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට (2) නියෝග කළේ.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව දැනට වෙළඳපොලේ මුදාහැර ඇති භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කළා.

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩරද ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීම සඳහා අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි නාගානන්ද කොඩිතුවක්කු මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියා.

එම පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය එය ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන විසි වනදා (20) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ (16) දින පැවතුණු බව සඳහන් කළා.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ‘ප්‍රොපේන්’ සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කළ බවද රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.

පසුගිය සඳුදා දිවයිනට පැමිණි දෙවන ලිට්රෝ ගෑස් නෞකාවේ අඩංගු ගෑස් සාම්පලවලද ගැටලු‍වක් පවතින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (16) ‘හිරු ටීවී’ ඔස්සේ විකාශය වුණු ‘බලය’ වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

මාස ගණනක් තිස්සේ මෙරට ජනතාවගේ ජීවිත මෙම ගෑස් අර්බුදයත් සමග පත්ව ඇත්තේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකටයි. කවුරුන් කෙසේ කීවත් ගෑස් සමාගම්වලට එම වගකීමෙන් බැහැර වීමට හැකියාවක් නැහැ.

මෙවන් පසුබිමක ජනතා මුදලින් ක්‍රියාත්මක වන ලිට්රෝ ආයතනයේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ නිද්‍රාශීළී පිළිවෙතක් බව හිරු ප්‍රවෘත්ති රට හමුවේ හෙලිකළේ වරක් දෙවරක් නොවේ.

වගකීම් විරහිත ලෙස ඔහු අපගේ දුරකථන ඇමතුම් නොසලකා හැරීම සුළුකොට තැකිය නොහැකියි. ඒ ඔහුට මෙරට ගෑස් පාරිභෝගිකයින්ගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් වගකීමක් පැවරෙන නිසාවෙන්.

කෙසේ වෙතත් එලෙස, ගෑස් අර්බුදය හමුවේ මාධ්‍ය මගහරිමින් සිටි ලිට්‍රෝ ගෑස් සමාගම් සභාපති තෙෂාර ජයසිංහට අද (17) මාධ්‍යවේදීන් හමුවට පැමිණීමට සිදුවුණා.

ඒ අද ඔහු සහ ලාෆ් ගෑස් සමාගමේ සභාපති කේ.එච්. වෑගපිටිය, කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ බැවින්.

කෙසේ නමුත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අදත් සුපුරුදු පරිදි ගෑස් මගඩිය රටට හෙළිකළ හිරු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්නයෙන් පළා ගියා.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වන මොහු නිල බලයෙන් එහි සියලු‍ම මෙහෙයුම් කටයුතු කරන අතර ජනතා බදු මුදලින් රුපියල් මිලියන 02 කට අධික මාසික වැටුපක් හිමිවන පුද්ගලයෙක්.

මේ අතර, ගෑස් සමාගම් ප්‍රධානීන් සිය වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් විවිධපාර්ශ්ව අප්‍රසාදය පළ කරනවා.

අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කියා සිටියේ ගෑස් සමාගම්වල ප්‍රධානීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් අදත් (17) වාර්තා වුණා.

මේ අතර, රටපුරා ගෑස් පාරිභෝගිකයින් මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපිට අද (17) උද්ඝෝෂණයක නිරත වුණා.

ලිට්‍රෝ ගෑස් ගොඩබෑමට අවසර

(17.12.2021 – 21:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසනවා.

දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවයි ලිට්‍රො සමාගම සඳහන් කළේ.

මේ අතර නෞකාවටම ගොස් ගෑස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලිට්‍රෝ ගෑස් ගොඩබෑමට අවසර ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා පවසනවා.

+

මහවැලියට පැන්න යුවල ගැන හෙළිවෙයි

(17.12.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – වේරගංතොට පාලමෙන් මහවැලි ගඟට පැන අතුරුදන් වු තරුණිය සොයා මහියංගනය පොලිසිය හා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදුකරනවා.

කෙසේ වෙතත් ඇය සමඟ මහවැලි ගඟට පැන්න තරුණයා පිහිනාගොස් දිවිබේරාගෙන තිබුණා.

මහවැලි ගග හරහා මහියංගනය ප්‍රදේශයේ ඉදිකර ඇති වේරගංතොට පාලම මතින් තරුණ යුවලක් ගඟට පැන තිබුණේ ඊයේ (16) පස්වරු 04:30 ට පමණ.

ප්‍රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් ඔවුන් සැඩ පහරට හසුව ගසා ගෙන යන අයුරු පටිගත කර තිබුනේ මෙලෙසින්.

පොලිස් පරීක්ෂණවලදී පාලම අසල තිබු බෑගයක තිබී හැඳුනුම්පත් දෙකක්ද 92) හමු වී තිබුනා.

අතුරුදන් වු තරුණිය වයස අවුරුදු 19 යක පාසල් සිසුවියක වන අතර තරුණයා ඇගේ පාසලේම ඉගෙනුම ලැබු වයස අවුරුදු 22 ක තරුණයෙක්.

තරුණිය ඊයේ (16) නිවසින් පිටව ඇත්තේ බිබිල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසමින්.

කෙසේ වෙතත් පිහිනාගොස් දිවි බේරාගෙන ඇති තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහිංයගන රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහු පොලිසියට පවසා ඇත්තේ ගඟට පැන්න තරුණිය බේරාගැනීම සඳහා ගඟට පැන්න බවයි.

+

වසර 17 කට පෙර කළ ඝාතනයකට හම්බන්තොට මහාධිකරණයෙන් පුද්ගලයෙකුට මරණ දඬුවම

(17.12.2021 – 23:01 +0530 – hirunews.lk/sinhala)

වසර 17 කට පෙර හම්බන්තොටදී සිය 18 හැවිරිදි බිරිද නිවස තුළදී භූමි තෙල් දමා ගිණි තබා ඝාතනය කිරීමේ වරදට වරද කරු වූ 43 හැවිරිදි පස් දරු (5) පියෙකුට හම්බන්තොට මහාධිකරණය අද (17) මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා.

මෙලෙස මරණීය දණ්ඩණය නියම කෙරුණේ හම්බන්තොට සිරිබෝපුර පදිංචි 43 හැවිරිදි තුවාන් අනුෂ් යූනුෂ් නැමති පස් දරු (5) පියෙකුටයි.

චුදිත පවුල් ආරවුලක් මත 2004.04.08 වන දින හම්බන්තොට පිහිටි නිවසේදී රාත්‍රි 09:30 ට පමණ එක් දරු මවක වු 18 හැවිරිදි සිය බිරිදගේ සිරුරට භූමිතෙල් දමා ගිණි තබා ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

එහිදී ගිණි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 18 හැවිරිදි කාන්තාව ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහලටත් පසුව මාතර මහ රෝහලටත් ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලටත් ඇතුලත් කිරීමෙන් පසු තුවාලකාරිය 2004.04.11 වන දින මියගොස් තිබෙනවා.

පසුව සිද්ධිය පිළිබදව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් හම්බන්තොට පොලිසියට සිදුකල දැනුම් දීමකට අනුව මරණකාරිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට අනුව සිද්ධියට සැක පිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල මුලික ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව චුදිත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතට එරෙහිව නිතිපති වරයා විසින් 2005.12.16 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙන ලදි.

එහිදි පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට මරණීය දණ්ඩණය නියම කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *