ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි

ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි

*********************************************

ෂාෆී ශාහාබ්දීන්ගේ නඩුව අවසන් නැහැ … සමාජ මාධ්‍ය වැරදි මත ගෙන යනවා … අතුරලියේ රතන හිමි

(17.12.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆී ශාහාබ්දීන් ට එරෙහිව නඩු පැවරුවේ තමන් නොවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ගැබිනි කාන්තාවන් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවකට වඳ සැත්කම් සිදුකළ බවට අදාළ වෛද්‍යවරයාට එරෙහිව පසුගිය යහ පාලන රජයේ අවසන් කාලසීමාවේදී චෝදනා එල්ල වුණා.

විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන හරහා එල්ල කෙරුණු මෙම බරපතළ චෝදනා හමුවේ ශාෆි ශහබ්දීන් වෛද්‍යවරයා අනිවාර්ය නිවාඩු යැවීමටයි සොඛ්‍යය අමාත්‍යාංශය තීරණය කළේ.

ඊට අමතරව ඔහුට එරෙහිව එල්ල කළ චෝදනා පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පවරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල උසාවියේ නඩු කටයුත්තක් ද විභාග වෙමින් පවතින අතර ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලිපියක් මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණේ වෛද්‍ය ෂාෆී ශහාබ්දීන් අනිවාර්ය නිවාඩු යවා සිටි කාල සීමාව තුළදී ගෙවිය යුතු හිඟ වැටුප් සියල්ල ගෙවා නැවත ඔහු සේවයේ පිහිට වන ලෙසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අද (17) පැවති මාධ්‍ය හමුවකදී අතුරලියේ රතන හිමියන් පවසා සිටියේ කුරුණෑගල රෝහලෙන් ඉදිරිපත් කරන ලද පැහැදිලි සාක්ෂි සහ තොරතුරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිසි පරිදි ප්‍රේෂණය නොවීම හේතුවෙන් අදාල වෛද්‍යවරයාට හිඟ වැටුප් ගෙවීමට තීරණය කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් :

“කුරුණෑගල රෝහලේ සාක්ෂි පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා …. එම තොරතුරු රාජ්‍ය සේවා කොමිසමට ගිහින් නැති නිසා තමයි ශහාබ්දීන්ට පඩි ගෙවන්න ලෑස්ති වෙලා තියෙන්නෙ.

ශානි අබේසේකර ශහාබ්දීන් ට වාසි විදිහට සාක්ෂි ගත්තා … එදා ආණ්ඩුව බය උනා මුස්ලිම් ඡන්ද නැති වෙයි කියලා …

මේකට වගකියන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි :

“වෛද්‍ය ෂාෆී ශහාබ්දීන් ගැන වසර ගානක් කතා වුණා ..

මව්වරු එක්දහස් දෙසීයක් පමණ සාක්ෂි ලබා දීලා තියෙනවා …

කාන්තාවන් උසාවියේ නඩුවලට කරුණු කිව්වා …

ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් ෂාෆී ශහාබ්දීන් ට වාසි සහගත ලෙසයි සාක්ෂි සටහන් කරගෙන තිබුණේ …..

ඒ වගේම ශානි අබේසේකර ෂාෆී ශහාබ්දීන් ට වාසි සහගත ලෙසය පැමිණිල්ලත් ලියාගෙන තිබුණේ….

මේක සහරාන්ට වඩා භයානක සැලැස්මක්….

කුරුණෑගල රෝහලේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වල තොරතුරු දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට යවලා නැහැ….

කුරුණෑගල උසාවියේ පැහැදිලි සාක්ෂි තියෙනවා….

කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යවලා නැති නිසයි සහබ්දීන් ට පඩි ලැබිලා තියෙන්නේ….

කුරුණෑගල අම්මලාගේ ප්‍රශ්න අපි දැක්කා….

දෙවැනි හෝ තුන්වැනි දරුවන්ට පස්සේ සිසේරියන් සැත්කම් කරලා. ඔහු නිදි මරාගෙන මේ සැත්කම් කරල තියෙන්නෙ ඇයි….

මව්වරුන්ගේ ප්‍රබල සාක්ෂි තියනවා….

සහරාන්ලා ගැන තේරුනේ බෝම්බ පිපුරුනට පස්සේ. ඒ වගේම ෂාෆී ශහාබ්දීන් ලා ගැනත් දැනගන්න ලැබුණා ….

දැන් රතන හාමුදුරුවෝ ජාතිවාදය ඇවිස්සුවා කියලා සමාජ මාධ්‍ය චෝදනා කරනවා….

සමාජ ජාලවල ගෙන යන ප්‍රචාරය ඉතා වැරදියි ෂාෆී ශහාබ්දීන් නිවැරදිකරු වෙලා නැහැ…. නඩුව තවම තියෙනවා….

මේ තත්ත්වය යටගහන්න අපි ඉඩ තියන්නේ නැහැ …

නඩුව අවසන් නැහැ නේද….?

නිදහස් කරලා නෑ. නඩුව තවම තියෙනවා, සාධාරණ කරුණු තියෙනවා ඔප්පු කරන්න පුළුවන්, රාජ්‍ය සේවා කොමිසමට වාර්තා කරලා නැති නිසා තමයි පඩි හම්බ වෙන්නේ…

ශානි අබේසේකර ලා මොනවද කරලා තියෙන්නේ..?

ශානි අබේසේකර ඇතුළු පොලිසියේ තුන්දෙනෙක් (3) මෙම චෝදනා වල සාක්ෂි සටහන් කරගෙන තියෙන්නේ ෂාෆී ශහාබ්දීන් ට වාසි වෙන විදිහටයි..

ඒකට හේතුව මොකද්ද ?..

එදා තිබුණු ආණ්ඩුව බය උනා මුස්ලිම් ඡන්ද නැති වෙයි කියලා.. සහබ්දීන් ඡන්දය පවා ඉල්ලපු කෙනෙක්.. මේ වෙලාවේ ජාතිවාදයක් ඇවිලුනොත් මුස්ලිම් ඡන්ද නැති වෙයි කියලා එදා රජය බය වුනා…

ගෝඨාභය වටා හිටියෙත් මෙයට විරුද්ධ පිරිසක්…

ඒ නිසා එදා ආණ්ඩුව මේක යට ගහන්ඩ ශානි අබේසේකර ලව පාවිච්චි කළා…

17-12-2021

+++++++++

17-12-2021

+++++++++

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නැහැ

(17.12.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

වන්ධ්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.

එහි ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ඔහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ යෝජනාව අනුව 2019 වසරේ මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත්තේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ විස්ස – දෙක (20-2) වගන්තියේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මණ්ඩලයක් පත් කර චෝදනා පත්‍රයක් සකස් කර හැකි ඉක්මණින් එවන ලෙස දැනුම් දුන්නද සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ වාර්තාව මෙතෙක් තමන්ට යොමුකර නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින කෙනෙකුට වැටුප් ගෙවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, වැටුප් ගෙවීම සිදුකළ ද නැවතත් ඔහු සේවයේ පිහිටුවිමට තම කමිටුව කිසිදු අවස්ථාවක නිර්දේශ කර නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, අද (17) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අනිවාර්ය නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ වගන්ති වලට අනුව වෛද්‍ය සාෆිට අනිවාර්ය නිවාඩු ගැන්වූ කාලය සඳහා වැටුප් ගෙවිය යුතු බැවින් ඒවා ගෙවන ලෙස පමණක් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් ලබාදීමක් හෝ සේවයේ පිහිටුවීමක් සිදුකර නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වුණා.

******************************************

උණවටුන ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

(17.12.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

උණවටුන – හීනටිගල – පොල්දූව ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝම්බර් 14 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු යතුරුපැදියක නංවාගෙන පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු හබරාදූව – මීපේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.

වෙඩික්කරු රැගෙන යාම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබාදී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴

******************************************

වැඩබලන මුදල් ඇමති වරාය නගරයේ සංචාරයක

(17.12.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන මහාචාර්ය ජී.එල්. පීරිස් අද (17) උදෑසන කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වුණා.

මෙම සංචාරයේදී වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කෙරුණු අතර ඉදිරි වසරේදී වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කෙරෙන විදේශීය ආයෝජන සම්බන්ධයෙන් වරාය නගර ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ලබන වසරේ මුල් කාර්තුව තුළ දී වරාය නගරයේ විදේශීය ආයෝජන කිහිපයක් සිදු කිරීමට නියමිත බව එහිදී වරාය නගර කළමනාකාරීත්වය වැඩබලන මුදල් අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

මේ වන විට වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සියයට 75 ක් පමණ අවසන් වී ඇති බවත් ලබන වසරේ මැදභාගය වන විට යටිතල පහසුකම් සංවර්ධනය සම්පූර්ණයෙන් අවසන් කරන බවත් මෙහිදී ප්‍රකාශ කරන කෙරුණා.

කොළඹ නගරයෙන් පරිබාහිරව අංගසම්පූර්ණ වාණිජ කලාපයක් ලෙස පරිපාලනය කිරීමට නියමිත කොළඹ වරාය නගරයේ සියලු පරිපාලන කටයුතු පැවරී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන විශේෂ මණ්ඩලයකටයි ෴

******************************************

ගංජා වගාව සහ පුද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට බවට මෝල්ටාව පත්වෙයි

(17.12.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

ගංජා වගාව සහ පුද්ගලික භාවිතය මෝල්ටාව විසින් නීතිගත කිරීමත් සමඟ වැඩිහිටි පුද්ගලයන්ට ගංජා ග්‍රෑම් හතක් (7) දක්වා ළඟ තබා තබා ගැනීමට අවසර ලැබෙන අතර නිවසේ උපරිම වශයෙන් පැල හතරක් (4) වැවීමට ඉඩ ලැබෙනවා.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්ථානවල සහ දරුවන් ඉදිරියේ ගංජා දුම් පානය කිරීම තවදුරටත් නීති විරෝධී වනු ඇති.

යුරෝපා සංගමයේ ජර්මනිය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තය වැනි තවත් රටවල් කිහිපයක් ද ගංජා වගාව සහ පුද්ගලික භාවිතය නීතිගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වන අතර දැනටමත් නෙදර්ලන්තය වැනි රටවල් යම් යම් තත්ත්වයන් යටතේ කංසා භාවිතයට ඉඩ ලබා දී තිබෙනවා.

මෝල්ටා පාර්ලිමේන්තුව පසුගිය අඟහරුවාදා පස්වරුවේ මෙම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර පනතට පක්ෂව ඡන්ද තිස් හයක් (36) සහ විපක්ෂව ඡන්ද විසි හතක් (27) ලැබුනා.

මෝල්ටාවේ සමානාත්මතාවය පිළිබඳ අමාත්‍ය ඕවන් බොනිසි මෙම නව පියවර සම්බන්දයෙන් පැවසුවේ මෙම ඓතිහාසික පියවර හරහා මත්ද්‍රව්‍ය ජාවාරම අඩු වන බවයි.

කෙසේ වෙතත්, මෝල්ටාවේ විපක්ෂය මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර නව නීතියට මුලදී සහය දුන් එහි නායක බර්නාඩ් ග්‍රෙච් කියා සිටියේ ‘එය සංවිධානාත්මක අපරාධවලින් වාසි ලබා ගනිමින් නීතිවිරෝධී වෙළඳපොල ශක්තිමත් කිරීමට පමණක්’ හේතු වනු ඇති බවටයි.

ඔවුන් මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලාගෙන් ඉල්ලා ඇත්තේ, එය නීතියක් බවට පත් කිරීමේ අවස්ථාවේදී එයට අත්සන් තැබීමෙන් වලකින ලෙසටයි.

කෙසේ වෙතත් මෙම නව ප්‍රතිසංස්කරණ යටතේත්, ග්‍රෑම් හතත් (7) ග්‍රෑම් 28 ත් අතර ප්‍රමාණයක් රැගෙන යන ඕනෑම කෙනෙකුට යුරෝ 100 ක් (රුපියල් 22,400 ක්) දක්වා දඩ නියම කිරීමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම මෝල්ටාවේ ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමේ දඬුවම යුරෝ 235 ක් වන අතර වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයෙකු ඉදිරියේ කංසා පානය කරන්නන් ගෙන් යුරෝ 500 ක් දක්වා දඩ මුදලක් අය කිරීමේ හැකියාව පවතිනවා.

කංසා මත්ද්‍රව්‍යය බෙදා හැරීම සඳහා මෙන් ම වගා කිරීම සඳහා බීජ බෙදා හැරීම සඳහා සංගම් පිහිටුවන අතර, එමගින් යමෙකු කොපමණ කංසා ප්‍රමාණයක් මිලදී ගන්නේද යන්න නියාමනය කෙරෙනු ඇති.

එමෙන් ම එක් පුද්ගලයෙකුට සාමාජිකයෙකු විය හැක්කේ එම එක් සංගමයක පමණයි.

පසුගිය වසරේ එක්සත් ජාතීන් ගේ සංවිධානය කංසා චිකිත්සක භාවිතයට ගත හැකි ද්‍රව්‍යයක් ලෙස යළි වර්ගීකරණය කිරීමෙන් පසු, යුරෝපා සංගමයේ කුඩාම සාමාජික රාජ්‍යය වන මෝල්ටාව විසින් ගත් මෙම පියවර, රටවල් ගණනාවක කංසා සම්බන්ධ නීති වෙනස් කිරීමේ පළමු අවස්ථාව විය හැකියි.

පුද්ගලික භාවිතය සඳහා කංසා නීතිගත කළ ලොව ප්‍රථම රට බවට, 2013 දී උරුගුවේ පත් වූ අතර, කැනඩාව දෙවැනි රට බවට පත් වූයේ 2018 දීයි ෴

******************************************

ප්‍රියන්ත කුමාර ඝාතනයට අත්අඩංගුවට ගත් තවත් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(17.12.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සියල්කොට් හිදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් දින 17 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගුජරන්වාලා අධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 85 දක්වා ඉහළ යනවා ෴

******************************************

ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජල කප්පාදුවක්

(17.12.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) රාත්‍රී 11 සිට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව හෙට (17) රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා කොළඹ 09, 10, 11, 12, 13, සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවා ෴

******************************************

ශ්‍රී ලංකාවේ චීන තානාපති උතුරු පළාතේ සංචාරයක

(17.12.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

නිල සංචාරක නිරතවන ශ්‍රී ලංකවේ චීන තානාපති සී සෙන් හොන් ඇතුළු දූත පිරිස මන්නාරම සහ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එම ප්‍රදේශ වල ධීවර ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 40 කට අධික වටිනාකමකින් යුත් ධීවර ආම්පන්න ලබා දීමද ඊයේ (16) සිදු කෙරුණා.

+++++++

පොලිසියට අවශ්‍යව සිටි සැකකරවෙකු වසර 8 කට පසු අල්ලයි

(17.12.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අපරාධ රැසක් සම්බන්ධ චෝදනා මත පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වසර 8කට පමණ පසු යාල රක්ෂිතයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වුණා.

දින කිහිපයක් තිස්සේ කතරගම පොලීසිය සිදුකළ මෙහෙයුමකදී සැකකරු කොටු කරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු යාල රක්ෂිතයේ සැඟව සිටිමින් මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සිදුකර ඇති බවයි.

යාල රක්ෂිතයේ වනසතුන් දඩයම් කර මහාපරිමාණයෙන් මස් වෙළෙඳාම් ද සැකකරු විසින් සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඉකුත් ජුලි මාසයේ කතරගම නාගහ වීදිය ප්‍රදේශයේ හින්දු පූජකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ද ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත්තේද මෙම පුද්ගලයාවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *