යුගදනවි පෙත්සම් සලකා බැලීම අද (16) සහ හෙට (17)

යුගදනවි පෙත්සම් සලකා බැලීම අද (16) සහ හෙට (17)

*********************************************

යුගදනවි පෙත්සම් සලකා බැලීම අද (16) සහ හෙට (17)

(16.12.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකොට ඇති පෙත්සම් 5 ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (16) සහ හෙට (17) සලකා බැලීමට නියමිතයි.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම්වලට පක්ෂව කරුණු දක්වමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ලිඛිත දේශන පසුගියදා ගොනු කර තිබුණා.

++++++++++++

යුගදනවි පෙත්සම් සලකා බැලීම හෙටට (17) කල් යයි

(16.12.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරය ගිවිසුමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට (17) උදෑසන 10 දක්වා කල් දමා තිබෙනවා.

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (16) පෙරවරුවේයි ආරම්භ කෙරුණේ.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් අදාළ පෙත්සම් ගොනුකර තිබුණා.

මේ අතර තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නිව්ෆෝට්‍රස් සමාගම සමඟ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

‘සුන්දර රටක් – ලස්සන ජීවිතයක්’ මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ එක් සම්මන්ත්‍රණයකට තඹුත්තේගමදී ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

******************************************

ප්‍රවාහන ඇමති සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා සාර්ථකයි

(16.12.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ජාව සාධනීය ලෙස අවසන් වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළා.

මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරි දම්මික ජයසුන්දර මහතා කියා සිටියේ අද (16) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි.

උසස් වීම් සහ සේවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (15) මධ්‍යහ්න 12 සිට හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, එය පැය හතරහමාරකට (4½) පසු පස්වරු 04:30 ට පමණ අවසන් කෙරුණා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ජාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, මෙම හදිසි වර්ජනය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු දුම්රිය මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

ඉන් අනතුරුව පස්වරුවේ දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද (16) පස්වරුවේත් සාකච්ජාවක් පැවැත්වෙන බවයි ෴

******************************************

කොටදෙණියාවේ ළමයින් අතුරුදන්වීම තවදුරටත් අභිරහසක්

(16.12.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

අතුරුදන් වූ කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමයින් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් ඔවුන් සොයා විමර්ශන සිදු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මස 23 වනදා සිට මෙම ළමයින් දෙදෙනා (2) අතුරුදන්ව තිබෙනවා.

ඥාති සොහොයුරන් වන එම ළමයින් දෙදෙනා අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන්නන් ෴

කොටදෙණියාවේ අතුරුදන් වූ ළමයෙකුට තවත් මවක් අයිතිය කියයි

(16.12.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

අතුරුදන් වූ කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමයින් දෙදෙනා (2) ගෙන් එක් (1) දරුවෙකු තමන්ගේ බව පොල්ගහවෙල ප්‍රදේශයේ මවක් හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් අද (16) ප්‍රකාශ කළා.

මේ අතර, ළමයින් දෙදෙනා (2) අතුරුදන්වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද (16) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ දරුවන් සොයා ගැනීම සඳහා වන පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ඊට අදාළ සුදුසු විමර්ශන ඒකකයක් වෙත යොමුකරන ලෙස ඉල්ලමින්.

කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම ඥාති සොහොයුරු ළමයින් දෙදෙනා (2) පසුගිය නොවැම්බර් මස 23 වනදා සිට අතුරුදන්ව සිටිනවා. ඔවුන් අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන්නන්.

මෙවන්, පසුබිමක පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි මවක් හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ප්‍රකාශ කළේ අතුරුදන්වී ඇති දරුවන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු තමන්ගේ දරුවෙකු බවයි.

මේ අතර මහනුවර ප්‍රදේශයේ බාලිකා විදුහලක අධ්‍යාපන ලබන සිසුවියක් පේරාදෙනිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන අතුරුදන්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 09 වනදා මෙය සිදුව ඇති අතර, තරුණයා වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවුඩයක් දැකීමෙන් පසු සිසුවිය මහවැලි ගඟට පැන අතුරුදන් වූ බවටයි තරුණයා පාපොච්චාරණය කර ඇත්තේ ෴

******************************************

ගිනි අවි සහ උණ්ඩ 423 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(16.12.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

තෙඹුවන – උඩුවර ප්‍රදේශයේදී ගිනිඅවි සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හොරණ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (15) පස්වරුවේ සිදු කළ වැටලීමකදියි.

මෙහිදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, පිස්තෝල වර්ගයේ ගිනි අවි 3 ක් සහ ජීව උණ්ඩ 423 ක් සොයාගෙන තිබෙනවා.

******************************************

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(16.12.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 09 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙම ජල කප්පාදුව සෙනසුරාදා (18) පස්වරුවේදී සිදු කෙරෙනු ඇති.

ඒ අනුව මෙලෙස ජලය කප්පාදු වන්නේ, කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 ප්‍රදේශවලයි ෴

******************************************

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ‘ඔන්ලයින්’ ක්‍රමයට

(16.12.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමට අවස්ථාව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ඊට අවශ්‍ය අවසරය අද (16) දින ලබා දී තිබෙනවා.

අන්තර්ජාලය හරහා පත්ඉරු පරීක්ෂාව :

http://www.rgd.gov.lk

******************************************

මතෙන් තොර රටක් නිර්මාණයට වෙර දරන්න – ආරක්ෂක ලේකම්

(16.12.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තො‍ර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසින් පෙරේදා (14) දිනයේ විවෘත වූ ‘සෙත් සෙවණ’ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ එහි ඵලදායිතාව වර්ධනය කිරීම ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය විසින් මෙම මධ්‍යස්ථානය පාලනය වන අතර, මෙම නව ඒකකය මගින් 75 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා.

මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා ෴

******************************************

ශ්‍රී ලංකා සහ ජපාන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

(16.12.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් ඊයේ (15) පැවැත්වුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.

මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

එහිදී විශේෂයෙන්ම අනාවරණය කෙරුණේ දෙරට අතර මානව සම්පත හුවමාරු කර ගැනීමේ අවස්ථා සහ දිවයිනේ සංචාරක අංශයන් වර්ධනය කිරීම සම්බන්ධවයි.

ශ්‍රී ලංකා සංචාරයේදී ජපන් සමුද්‍රීය ආත්මාරක්ෂක බලකා නෞකා සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ජපාන නියෝජිතයා ආරක්ෂක ලේකම්වරයා වෙත සිය ප්‍රසාදය ද පළ කළා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම හමුවීම සිදු කෙරුණු බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ෴

******************************************

අලි නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නිදොස් කොට නිදහස් කරයි

(16.12.2021 – 12:27 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි, වැඩ තහනමට ලක්වූ හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (16) දින නියෝග කළා.

තීරණය දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකාර තිලිණ ගමගේට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

ඒ අනුව, ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළා.

කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිණිය වන ප්‍රියංකා සංජීවනි සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු වන චන්ද්‍රරත්න යටවර නිදහස් නොකිරීමට තීන්දු කර තිබෙනවා.

ඔවුන්ට විත්ති වාචික ඉදිරිපත් කරන ලෙසයි, විනිසුරුවරයා නියෝග කළේ.

මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 21 වනදා යළි කැඳවීමට නියමිතයි.

බලපත්‍ර නොමැතිව සකුරා නමැති අලි පැටවකු සන්තයේ තබා ගැනීම තුලින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදුකළේ යැයි, චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ වැඩ තහනමට ලක්ව සිටින හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා ෴

******************************************

නිවසක් නැති යුගය ඉදිරි වසර කිහිපයේ නිමා කරන බව අගමැති කියයි

(16.12.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිම්කාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අටසීයයකට (800) නේවාසික පහසුකම් සැළසීම සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ ජනාතාව ඇතුළු අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528 කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) පස්වරුවේ එක්වෙමිනුයි, අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර වසර 35 කට අධික කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් කම්කරු සේවය වෙනුවෙන් තම කාලය කැප කළ කම්කරු නායකයින් හා රාජ්‍ය සේවකයින් ඇගයීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා ඊයේ (15) දින එක්වුණා.

අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන් 2021 ඇගයීම් උළෙලේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, සැබෑ කම්කරු නායකයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් නොකරන බවයි.

******************************************

තෙවන (3) කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ වෙයි

(16.12.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජුලි සිට සැප්තැම්බර් දක්වා වන තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක ඍණ වර්ධනයක් ලෙස ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ එම කාලය හා සැසදීමේදී මෙම වසරේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 1.7 කින් වර්ධනය වී ඇති අතර, සංචරණ සීමා පැන වූ කාලයේ කෘෂිකාර්මික කටයුතු නොකඩවා සිදු කරගෙන යාමට අවසර ලබා දී තිබීම ඊට හේතු වී තිබෙනවා.

එහෙත් කර්මාන්ත හා සේවා අංශවල ඍණ වර්ධන වේගයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක් ෴

******************************************

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් යයි

(16.12.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැහැ.

2017 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින්ගේ ධූර කාලය ලබන පෙබරවාරි මාසයේදී අවසන් වීමට නියමිතව තිබෙනවා.

වසරක කාලයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව මගින් මැතිවරණය කල් දැමීමට හේතු ද දක්වා ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියා සදහන් කළේ ෴

******************************************

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් පරීක්ෂවරුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමවේදයට

(16.12.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිලිතුරුපත් පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ලබන 31 වනදා තෙක් අයදුම්පත් යොමුකළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිසීමෙන් මෙන්ම,

https://onlineexams.gov.lk/login/index.php වෙත පිවිස මේ හා සම්බන්ධ විය හැකියි.

මේ සම්බන්ධයෙන් 011 278 5231 සහ 011 278 5681 යන දුරකථන අංක අමතා විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

+ https://www.doenets.lk

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *