‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි

‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි

*********************************************

‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි

(16.12.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන නව ගෑස් සමාගම කඩිනමින් පිහිටුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වර්තමානයේ හටගෙන ඇති ගෑස් අර්බුදයන්ට ඒ තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවයි.

මේ අතර, ලිට්රෝ සමාගම විසින් ගෙන්වූ දැනට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති අනෙක් නෞකාවේ ද අඩංගු ගෑස් සංයුතියේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බව ඊයේ (15) වාර්තා වුණා.

මීට පෙර නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් රැගෙන ආ සමාගමෙන්ම මෙම නෞකාවේ අඩංගු ගෑස් ලබාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වනවිට එම නෞකාවේ ගෑස් සාම්පල ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරය වෙත යොමුකර තිබෙනවා ෴

******************************************

ලිට්රෝ සමාගමෙන් අභියාචනාධිකරණයට දිවුරුමක්

(16.12.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මින් මතුවට පාරිභෝගික අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය අනුමත කරන ගෑස් පමණක් වෙළදපොළට ඉදිරිපත් කරන බවට ලිට්රෝ සමාගම අද (16) දිවුරුම් පෙත්සමක් මගින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඒ, ඊයේ (15) දිනයේ අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන කාන්දුවීම් හේතුවෙන් සිදුවූ අනතුරු පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් ක්‍රියාකාරකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේදී මෙම දිවුරුම් පෙත්සම ලිට්රෝ සමාගමේ නීතිඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

මෙහිදී ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත වන ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනයට එකඟ වන බවට තවත් ප්‍රතිඥාවක් ලබා දුන්නා.

මේ පිළිබද අභියාචනාධිකරණ නියෝගය හෙට (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර මීට දින තුනකට (3) ඉහත දී මෙරටට පැමිණි නව ගෑස් සංචිතය අඩංගු නෞකාවේ සාම්පල පිළිබද රසායනාගාර පරීක්ෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ එතෙක් එම නෞකාවේ ද ගෑස් තොග නිදහස් කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

එමෙන්ම, මීට දින කිහිපයකට පෙර පැමිණි ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකාවෙහි ගෑස් ගොඩබෑම සිදු නොකරන ලෙසට පාරිභෝගික අධිකාරිය ඊයේ (15) නිල වශයෙන් ලිට්රෝ සමාගමට දැනුම් දුන්නා.

ගෑස් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව අද (16) සකස් කර අවසන් කිරීමට නියමිතයි.

එම කමිටුවේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පළගේ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා ගෙන් දිනයක් ලැබුණු වහාම එය භාරදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, නාරාහේන්පිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් අද (16) පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඒ, නිසි ප්‍රමිතියකින් තොරව ආහාර ද්‍රව්‍ය, තෙල් සහ ගෑස් පරිභෝජනයට අවසර ලබාදීමට විරෝධය පළ කරමින්.

++++++++++++

ගෑස් ගැටලුව සීනිගම දෙවොල් දෙවියන්ට

(16.12.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබන 20 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම යළි අද කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණයට මේ බව දන්වා සිටියා.

එම පෙත්සම කැඳවු අවස්ථාවේදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් ඉදිරියේදී වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා බව ද ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දිවුරුම් පෙත්සමක් යොමු කරමින් අද (16) ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඔවුන් අධිකරණයට ලබා දුන් අනෙක් ප්‍රතිඥාවේ දැක්වෙන්නේ සිලින්ඩරයේ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට ද එකඟවන බවයි.

ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදි සඳහන් කළේ ඉකුත් දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් 90% කට වඩා සිදු වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් බවට විමර්ශන වලින් තහවුරු වී ඇති බවටයි.

කෙසේ වෙතත් අදාළ පෙත්සම ගොනු කළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු අදාළ දිවුරුම් පෙත්සම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය නිවේදනය කළේ එම කරුණට අදාළව තම නියෝග හෙට (17) ප්‍රකාශයට පත්කරන බවයි.

මේ අතර, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ අද (16) පැවැති උත්සවයකට එක්වෙමින් දිගින් දිගටම මාධ්‍යයට ප්‍රතිචාර දැක්වීම මග ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් පිලිබඳව අදහස් පළ කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ගෑස් සමාගමේ ප්‍රධානියාට සැඟව නොසිට පිළිතුරු ලබාදෙන ලෙසයි.

මේ අතර, මීට දින තුනකට (3) ඉහත දී මෙරටට පැමිණි නව ගෑස් සංචිතය අඩංගු නෞකාවේ සාම්පල පිළිබද රසායනාගාර පරීක්ෂණ වාර්තාව ප්‍රමිති ආයතනය වෙත ලබා දුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය සඳහන් කළේ වාර්තාව සම්බන්ධත්‍යන් අවසන් තිරණයක් ගන්නා තෙක් එම නෞකාවේ ද ගෑස් තොග නිදහස් කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ එම ගෑස් තොගයේද ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු‍කාරී තත්ත්වයක් මතුව ඇති බවයි. අදාළ ගෑස් නෞකාව දැනට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංඟු‍රම් ලා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා මෙරටට පැමිණි ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකාවේ ගෑස් ගොඩබෑමෙන් වළකින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ සමාගමට නිල වශයෙන් දැනුම් දී තිබුණත් එම නැවද තවමත් එම මුහුදු තීරයේම නැංගුරම් ලා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර, ගෑස් සිලින්ඩරයක තිබිය යුතු පීඩනය පිළිබඳව පරික්ෂණයක් මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබෙනවා. ඒ අනුව දැනට සිලින්ඩරයක තිබිය යුතු පිඩනය සහ පරික්ෂා කළ සාම්පල වල පිඩන තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් වෙළඳ අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව සඳහන්.

මේ අතර අදත් (16) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක්ම වාර්තා වුණා.

මේ අතර, නාරාහේන්පිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් අද (16) පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ, නිසි ප්‍රමිතියකින් තොර ආහාර ද්‍රව්‍ය, තෙල් සහ ගෑස් පරිභෝජනයට අවසර ලබාදීමට විරෝධය පළ කරමින්.

තවත් සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ද අද (16) උද්ඝෝෂණයක නිරත වුණා.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජතයන් පිරිසක් හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදී දේව කන්නලව්වක් සිදු කළේ ද ගෑස් අර්බුදයට විසඳුම් ඉල්ලමින් ෴

******************************************

ලක්ෂය ඉක්මවූ කිලිනොච්චියේ පතොරම් ගබඩාව

(16.12.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් ටී.56 පතොරම් ප්‍රමාණය ලක්ෂය (1,00,000) ඉක්මවා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

පොලීසිය පැවසූවේ අදාළ ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතුරම් පෙට්ටි දෙකක් (2) තිබි පසුගිය 13 වැනිදා හමු වූ බවයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඊයේ (15) දිනයේ සිදුකළ කැණීම්, තුළින් අදාළ පතොරම් සොයාගත් බව ද පොලිසිය පැවසුවා.

පතොරම් බහාලන පෙට්ටියක් තුළ ටී.56 පතුරම් 750 බැගින් පවතින අතර, මේ වන විට හමු වූ පෙට්ටි තුළ ටී.56 පතොරම් 64,500 ක තොගයක් සොයාගෙන ඇති බවයි කිලිනොච්චිය ආරක්ෂක අංශ සඳහන් කළා.

අදාළ පෙට්ටි තුළ නොමැතිව වළ තුළ තිබී, තවත් පතොරම් 40,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හමුව ඇති අතර,
යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතොරම් තොගයක් එලෙස හමුවන්නට ඇති බවටයි පොලීසිය කියා සිටියේ.

යුද්ධය පැවති අවධියේ අදාළ ස්ථානය අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට ඇති අතර, අදාළ ස්ථානය තවත් පතුරම් විශාල තොගයක් ඇති බවට සැක කරන බව ද කිලිනොච්චිය පොලිසිය පැවසුවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ තවදුරටත් අදාළ ස්ථානයේ අද (16) කැණීම් සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඊට අමතරව, ටී.56 ගිනි අවි සඳහා භාවිතා කරන පතොරොම් 750 බැගින් අඩංගු ලෝහ ආවරණ ඉවත් කළ පතොරොම් 46,000 ක් සහ එම්.ඕ.60 අවි සඳහා භාවිත කරන පතොරොම් 800 ක් හමුවී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

එමෙන්ම, එම්.පී.එම්.ජී. අවි සඳහා භාවිත කරන පතොරොම් 400 ක් ද හමුව තිබෙනවා.

මේ අතර තෙඹුවන, උඩුවර ප්‍රදේශයේ දී පෑන් පිස්ටර් වර්ගයේ අවියක්, එහි කොටස් සහ ජීව අත්බෝම්බ දෙකක් (2), මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 187 ක් සහ වෙනත් වර්ගයේ උණ්ඩ 156 ක් සමඟ අවුරුදු 42 ක් වයසැති පුද්ගලයෙකු ඊයේ (15)දින අත්අඩංගුවට ගනු ලැබුවා.

******************************************

අනාරක්ෂිත විදුලි වැටක් නිසා වන අලියෙකු විදුලිසැර වැදී මරුට

(16.12.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – පරප්පුකන්ඩාල් ප්‍රදේශයේ වගා ඉඩමක මියගිය වල් අලියෙකුගේ මළ සිරුරක් තිබී ඊයේ (15) සොයාගත් බව මන්නාරම වනජීවී කාර්යාල නිලධාරින් පවසනවා.

වනජීවී කාර්යාල නිලධාරින් පැවසූවේ, වයස අවුරුදු 25 ක් පමණ වන වනඅලියෙකුගේ මළ සිරුරක් එලෙස වගා ඉඩමක තිබී සොයාගත් බවයි.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත වනඅලියාගේ මළ සිරුර සොයාගත් බව ද වනජීවී නිලධාරින් සඳහන් කළා.

වනජීවී නිලධාරින් පැවසූවේ මියගිය වනඅලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වනජීවී දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි බි.ගිරිදරන් මහතා සිදු කළ අතර, එහිදී අනාවරණය වි ඇත්තේ විදුලිසැර වැදීමෙන් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉඩමට විදුලිය දැමු වයස අවුරුදු 55 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද අඩම්පන් පොලීසිය සඳහන් කළා.

සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

‘ආසියාවේ රැජිණ’ට, ලෝක බලවතුන් අතර තරගයක්

(16.12.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

‘ආසියාවේ රැජිණ’ හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික ‘කොරොන්ඩම් බ්ලූ සෆායාර්’ මැණික ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ ඇමෙරිකාව අතර ද්වන්ද්ව සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

එම මැණික ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් වෙත ඉදිරිපත් කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

මැණික ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද ලංසු ඉදිරිපත්ව ඇති අතර, ආසියානු රටක් වන චීනය, ආසියාවේ රැජිණ ලෙස නම් කර ඇති මෙම මැණික ආසියාවටම ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකාව ද මෙම මැණික ලබා ගැනීම සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවටයි ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් අනාවරණ වුණේ.

එය වොෂින්ටන් නුවර පිහිටි ලොව ප්‍රමුඛ පෙලේ කෞතුකාගාරයක තැන්පත් කිරීමට ඔවුන් අදහස් කරනවා.

‘ක්වීන් ඔෆ් ඒෂියා’ නමින් හඳුන්වන මෙම මැණික රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 06 කට පෙර හමු වී ඇති අතර, ‘ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ්’ ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතිනවා.

‘කොරොන්ඩම් සෆායාර්’ පවුලට අයත් මෙම මැණික කිලෝ 310 ක බරකින් යුක්තයි. එහි කැරට් ප්‍රමාණය ආසන්න වශයෙන් පහලොස් ලක්ෂ පනස් දහසකට (15,50,000) ආසන්න බවයි මැණිකේ හිමිකාර ආයතනයේ අධ්‍යක්ෂක චමිල සුරංග මහතා සඳහන් කළේ ෴

******************************************

රසායනික පොහොර සම්බන්ධයෙන් තවත් කාර්ය සාධක බලකායක්

(16.12.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (15) පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව අදාළ කාර්ය සාධක බලකාය පිහිටුවීමට අදාළ වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙසයි එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා. එහිදී වැඩිදුරටත් අනාවරණය වුණේ මේ වනවිට වකුගඩු රෝගය මෙරට දිස්ත්‍රික්ක 16 ක් පුරා ව්‍යාප්ත වී ඇති බවයි.

එමෙන්ම, රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

+++++++++++++

පොහොර නොමැතිව ගොවීන් තවදුරටත් පීඩාවට

(16.12.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් ලෙස පොහොර නොමැතිව බොහෝ ප්‍රදේශවල ගොවීන් පීඩාවට පත්ව ඇති බවට විවිධ ප්‍රදේශවලින් වාර්තාවීමත් සමග, ඇතැම් ප්‍රදේශවලින් පොහොරවල කිරිමැටි සහ රබර් කැබලි වැනි ද්‍රව්‍ය හමු වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

එමෙන්ම, මිහින්තලය – බෝගහයාය ප්‍රදේශයේ ගොවිතැන සඳහා පොහොර නොමැති වීමෙන් ගොයම් කහ පැහැයක් ගෙන ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

මිණිපේ ගොවීන් චෝදනා කළේ, ඔවුන්ට ලබාදී ඇති පොහොරවල කිරිමැටි ඇති බවටයි.

මේ අතර, දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් අරලගංවිල – කන්දේගම – දම්මින්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගොවියෙකු, පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

+++++++++++++

යල කන්නයට පොහොර හිඟයකින් තොරව ලබාදීමට ආනයනකරුවන් එකඟ වෙයි

(16.12.2021 – 16:33 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට පොහොර ආනයනකරුවන් හා දේශීය පොහොර නිෂ්පාදකයින් එකඟ වී තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (16) පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එම අවස්ථාවේදීයි පොහොර ආනයනකරුවන් කෘෂිකර්ම අමාත්‍යවරයාට මේ බව දැනුම්දී ඇත්තේ.

මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලැබිය යුතු විශාල මුදලක් ලබා ගැනීමට නොහැකිව පැවතීම නිසා පොහොර ඇණවුම් කිරීමේ බාධා පැමිණ ඇති බවයි පොහොර ආනයනකරුවන් එහිදී පෙන්වා දුන්නේ.

ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ජනවාරි පස්වනදාට (05) පෙර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *