‘ස්විචය නොදැක කණුවට නැග ලයිට් දැමීම’ – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
*********************************************
‘ස්විචය නොදැක කණුවට නැග ලයිට් දැමීම’ – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
(16.12.2021 – 06:04 +0530 – lankaleadnews.com)
එදා 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපති බවට පත් කිරීමේදී ජනතාව අතර, විශේෂයෙන්ම සිංහල බෞද්ධ කුලකය තුළ තිබූ උනන්දුවට වඩා වැඩි උනන්දුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමේදී දක්නට ලැබුණු බව රහසක් නොවේ. එසේ තනි පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තබා අපේක්ෂා දල්වා ගත් ජනතාව සහ ගෝඨාභය රාජපක්ෂයන් අතර නිශ්චිත ප‍්‍රතිපත්තියමය කරුණු මත එකඟතාවයක් ඇති නොවීය. එවැනි සමාජ ගිවිසුමකට අදාළව ප‍්‍රබල ඉල්ලීමක් දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් නොවීය. ජනතාව ගෝඨාභය රාජපක්ෂයන්ගේ අතීත භූමිකාව තුළින් අනාගතය දැකීමට උත්සාහ කළ අතර ඔහුට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළහ. ඇත්ත වශයෙන්ම සිදුවූයේ ඔහු අකමැතිව සිටිය දී කෙසේ හෝ තරග කරන ලෙස මහජනතාව විසින් ඉල්ලා සිටීමය. ඒ නිසා එදා 1956 දී සිදු වූ ආකාරයට යම් සමාජ විප්ලවයක් මුල්කරගත් සමාජ ගිවිසුමක් ඇතිවූයේ නැත. ඒ අනුව ජනතාව, ගණන් නොදැමූ චෙක්පතකට අත්සන් යොදා ගෝඨාභය රාජපක්ෂයන් අතට ලබාදුනි. ඒ නිසා බලයට ඒමට ප‍්‍රථම මූලික උපායමාර්ගික ප‍්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ආණ්ඩුවට පෙර සූදානමක් හෝ මහජනයා සමඟ එකඟතාවයක් නොතිබුණි.
කෙසේ වෙතත් එදා 1956 දී ‘එක්සත් භික්ෂු පෙරමුණ’ විසින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වෙත ‘දස පනතක්’ ඉදිරිපත් කළ ආකාරයට මෙවර ‘ජාතික විද්වත් භික්ෂු සංසදය’ විසින් ‘සම්මුතියේ මාලිමාව’ නමින් ‘නව දස පනතක්’ ගෝඨාභය ජනාධිපතිවරයා ඉලක්ක කරමින් රටට ඉදිරිපත් කරනු ලැබීය. නමුත් එම ලේඛනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට මහජනයා ඉදිරියේ නිල වශයෙන් භාරදීමට සහ ඔහුගෙන් යම් එකඟතාවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ‘සම්මුතියේ මාලිමාව’ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන්නට සැලැස්වූ නමුත් එමගින් එදා 56 දී මෙන් සමාජ ගිවිසුමක් ඇති වන්නේ නැත. එසේ වුවත් එම ‘නව දස පනතේ’ කරුණු දහයට (10) යම් පමණකට ගැලපෙන ලෙස ‘සෞභාග්‍යය දැක්ම’ නමින් ප‍්‍රතිපත්ති 10 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් රටට ඉදිරිපත් කරනු ලැබිය. නමුත් එම ලේඛනය තුළ බොහෝ දියුණු සංකල්ප සහ අපේක්ෂා ඇතුළු කොට තිබුණද මහජන අපේක්ෂා ඉටු කිරීම මුල් කරගත් උපාය මාර්ගික ප‍්‍රවේශයක් දක්නට ලැබුණේ නැත. එසේ උපායමාර්ගික රාමුවක් ඉදිරිපත් නොවන තත්ත්වයක් යටතේ රජය විසින් ගනු ලබන විවිධ අහඹු ක‍්‍රියාමාර්ග යම් නිශ්චිත අරමුණක් දක්වා යොමුවන බවක් පෙනෙන්නේ නැත. එසේම ආණ්ඩුවේ ගමන තුළ මතුවන විවිධ මාර්ග බාධක ඉවත් කිරීමේදී හෝ ඒවාට විසදුම් සෙවීමේදී පහැදිලි උපාය මාර්ගික ප‍්‍රවේශයක් තුළ ආණ්ඩුව කටයුතු කරන බවක් පෙනේන්නේ නැත.
එම තත්වය නිසා දීර්ඝ කාලයක් පැවති ජනතා අපේක්ෂා වලට තීරණාත්මකව බලපාන සමාජ ආර්ථික ගැටලු විසඳීම සඳහා වන උපාය මාර්ගික ප‍්‍රවේශයන් පිළිබඳව සමාජය තුළින් හෝ සංවාදයක් පැන නගින්නේ නැත. ඒ නිසා ආණ්ඩුවට තම අහඹු ක‍්‍රියාමාර්ග අත්හදා බලමින් පමණක් නොව පවතින තත්ත්වයන් තවදුරටත් අවුලට පත්වන ක‍්‍රියාමාර්ග ගනිමින් මහජන අප‍්‍රසාදයට ලක්වීමට සිදුවී ඇත. පොහොර පිළිබඳව පැන නැගී ඇති ගැටළුව ඒ සඳහා හොදම උදාහරණයකි. ඉතා උසස් අරමුණක් වෙනුවෙන් බොහෝ ක‍්‍රියාකාරකම් දියත් කළද උපායමාර්ගය වරදවා ගැනීම නිසා දැන් සමස්තය අවුල් වී ඇත. වර්තමාන ආණ්ඩුව මෙතෙක් පැමිණි ගමන දෙස ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන ප‍්‍රධාන කරුණක් වන්නේ උපායමාර්ගය නොසලකා ක‍්‍රියාකාරකම්වලට වැඩි අවධානයක් යොමු කරන බවය. ඒ නිසා ආණ්ඩුව ආරම්භයේ සිටම ‘වැඩ කරන රටක් සහ වැඩ කරන නායකයෙකු’ පිළිබඳ අවධාරණය කළ ද කිසියම් වූ දැක්මක් සහ උපායමාර්ගික රාමුවක් පිළිබඳව සංවාදයක් මතු කළේ නැත. එනම් මහජනයාට දැනෙන සහ දීර්ඝ කාලයක් පැවැති තෝරාගත් ප‍්‍රශ්න ප‍්‍රමාණයක් විසඳීම සඳහා යොදා ගන්නා උපායමාර්ගික ප‍්‍රවේශය කුමක්දැයි පැහැදිලිව දැක්වීමට ආණ්ඩුව අසමත් වී ඇත.
ලිස්සා වැටෙන ඇමතිවරු වෙනුවට වෙනත් ඇමතිවරු
එම තත්ත්වය සමාන කළ හැක්කේ ‘අපායට යන මාවතක්’ ඔස්සේ ඉතා කාර්යක්ෂමව රිය පැදවීමට ය. එසේම එම මාවතේ කාපට් දමා මග දෙපස අලංකාර කිරීමටය. වැරදි පාරක කෙතරම් වේගයෙන් සහ ආරක්ෂාකාරීව රිය පැදවුවද අපේක්ෂිත ගමනාන්තයට යාමට හැකි වන්නේ නැත. බොහෝවිට සිදුවන්නේ පාර වැරදුණු බව දැනගත් විට ආපසු පැමිණීම සඳහා අමතර කාලයක් වැය කර නැවත නිවැරදි පාර සොයා ගැනීමටය. ආණ්ඩුවේ ප‍්‍රවේශය වෙනත් වචන වලින් පැහැදිලි කරන්නේ නම් එය සමාන කළ හැක්කේ ‘ස්විචය’සොයා ගැනීම වෙනුවට ‘ලයිට් කණුවෙන් කණුවට නැග වයර් කපා ගැටගසා ලයිට් පත්තු කිරීම’ටය. ඒ අනුව ‘කණුවට නැගීම’ට නොහැකි හෝ ‘නැගීමෙන් පසුව පහළට ලිස්සා වැටෙන’ ඇමතිවරුන් වෙනුවට වෙනත් ඇමතිවරුන් පත්කිරීමට සිදුවේ. කොවිඩ් පාළන උපාය මාර්ගික ප‍්‍රවේශය නිවැරදි කිරීමෙන් තොරව සහ ඒ පිළිබදව පොදු එකඟතාවයක් නොමැතිව ඇමතිවරුන් මාරු කිරීමෙන් පමණක් අවසන් ප‍්‍රතිඵලය වෙනස් කළ හැකිද? උදාහරණයක් ලෙස ස.තො.ස. ආයතනයෙන් ඉටුවිය යුතු ජාතික වගකීම පිළිබඳ අවබෝධයකින් තොරව එම ආයතනයේ සභාපති ධුරයට දක්ෂ යැයි කියන කළමනාකරකරුවෙකු පත් කළ පමණින් ආයතනයේ ජාතික වගකීම ඉටු කළ නොහැක. එවැනි පුද්ගලයන් අවසානයේ දී ජාවාරම්කාරයින්ගේ ගොදුරු හෝ ඒජන්තයින් බවට පත්වී රටේ බදු ආදායම කොල්ලකෑමට පවා ඉඩ සලසන ආකාරය දැකගත හැකි විය. ඒ අනුව සීනි සඳහා පනවා තිබූ ආනයන බදු කිලෝග‍්‍රෑම් එකකට රු. 49.75 කින් අඩු කිරීම මගින් සීනි මිල අඩු කිරීමට යෝජනා විය. අවසානයේදී සීනි මිල අඩු කිරීම වෙනුවට මිල වැඩි වූ අතර රටට රු. මිලියන 15,000 ක බදු ආදායම් අහිමි විය. එසේම ස.තො.ස. ආයතනයට වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට විකිණීම මගින් පාඩු ලැබීමටද සිදුවිය. ඊට පෙර පොල් තෙල් කිලෝ ග‍්‍රෑම් 1 කට රුපියල් 170 ක බදු සහනයක් ලබාදීම මගින් අනයනකරුවන් සතුටු කළද පාරිභෝගිකයාට වාසියක් සිදුවූයේ නැත. දැන් සුදුලූණු වංචාවද එම බදු වංචාවලට එකතු වී ඇත. ඒ කිසිවක් පිළිබඳ ආපසු හැරී බැලීමකින් තොරව සහල් සහ බඩඉරිඟු ආනයනය සදහාද පිළිවෙළින් කිලෝ ග‍්‍රෑම් 1 කට රුපියල් 64 ක සහ රුපියල් 24 ක බදු සහන ලබාදී ඇති. එම බදු සහනද පාරිභෝගිකයාට නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. ආනයන සඳහා බදු සහන ලබාදීමෙන් පසුව මිල පාලනය ඉවත් කිරීම මගින් ඉතා පැහැදිළිවම බදු වංචාවකට මග පෑදෙන අතර සමාජ වගකීම නොසලකා හැරීමක්ද සිදුවේ.
එසේ වුවත් ආණ්ඩුව අහඹු ලෙස ‘ස්විචය’ සොයා ගත් අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගොවියාගේ ආදායම් පහත වැටීම සහ විදේශ විනිමය ආදායම් අඩුවීම පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමේදී ආණ්ඩුව විසින් නිවැරදි උපායමාර්ගික තීන්දුව ගනු ලැබීය. එනම් විදේශ රටවලින් බාල ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ප‍්‍රති අපනයනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහත වැටීමේ ප‍්‍රශ්නය විසඳිය හැක්කේ එම කූට ජාවාරම නැවැත්වීම මගින් පමණි. එම කූඨ ප‍්‍රතිඅපනයන ජාවාරම මෙහෙයවූ ප‍්‍රධාන පුද්ගලයා සහරාන්ගේ බෝම්බ ප‍්‍රහාරයට උදව් කළ අයෙකු බව පසුව හෙළිවිය. ඒ අනුව එම බෝම්බ පිපිරවීම සඳහා ගම්මිරිස් ගොවියා ද මුදලින් දායක වූ බව පිළිගැනීමට සිදුවේ. නමුත් ආණ්ඩුව ‘ස්විචය’ සොයාගත් නිසා ආනයන අපනයන පාලන පනත යටතේ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය අත්හිටුවනු ලැබීය. ඉන්පසුව ගම්මිරිස් මිල ක‍්‍රමයෙන් ඉහළ ගිය බව පැහැදිලිව දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඊට පෙර පැවති ආණ්ඩුව එම ‘ස්විචය නොදමා’ හෝ සොයා නොගෙන ‘කණුවට නැග ලයිට් පත්තු කිරීම’ට උත්සාහ කළ බවද රහසක් නොවේ. ඒ අනුව වටිනාකම් එකතු කිරීම සඳහා ගොවියාට තාක්ෂණය ලබාදීම වැනි ක‍්‍රියාමාර්ග ගනු ලැබීය. නමුත් ඒ මගින් අපේක්ෂිත ප‍්‍රතිඵලය, ඒනම් ගම්මිරිස් මිල ඉහළ නැගීම සිදුවූයේ නැත. වර්තමාන ජනාධිපතිතුමා විසින් ‘ස්විචය’ සොයාගත් නිසා ඔහුට සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවට කඩා පැන එහි සේවකයින් විසින් ගම්මිරිස් මිල වැඩිකිරීම සඳහා කාර්යාලය තුළ වෙහෙස මහන්සි වී කටයුතු කරනවාද යන්න සොයා බැලීමට අවශ්‍ය වූයේ නැත. නමුත් දැන් පිටරටින් බාල තේ වර්ග ආනයනය කර ප‍්‍රතිඅපනයනය කිරීමට අවසර දීම මගින් ‘සිලෝන් ටී’ නාමය විනාශ කිරීමට අමතරව තේ දළු මිල පහත වැටීම නිසා සුළු නිෂ්පාදකයා අමාරුවේ වැටී ඇත. ඒ මගින් පැහැදිලි වන්නේ ආණ්ඩුව විසින් ගම්මිරිස් පාඩම නොසලකා හැරි ඇති බව නොවේද?
කෙසේ වෙතත් ඉහත සඳහන් ආකාරයට ගොවි පවුල් ලක්ෂ 20 කට සහ දළ වශයෙන් ඡන්ද ලක්ෂ 40 කට බලපාන වී මිල පිළිබඳ ප‍්‍රශ්නය සහ ඒ මඟින් දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවයට සිදුවන අනර්ථය විසඳීම සඳහා වන ‘ස්විචය’ සොයා ගැනීමට හැකියාව ඇත. එහෙත් ඒ වෙනුවට බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ‘කණුවට නගමින් සහ ලිස්සා වැටෙමින්’ සහල් මිල රුපියල් 2 කින් වැඩි කළහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන බවට කෑමොර දෙමින් ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කරන ලද්දේය. එහෙත් ඔහුගේ පාලන මිල එසේම තිබියදී පාරිභෝගිකයා වැඩි මිලට සහල් පරිභෝජනය කරන අතර ගොවියා ද සූරාකෑමට ලක්විය. අවසානයේදී ගොවියාට ලැබෙන සහතික මිල වැඩි කිරීමකින් තොරව සහල් මිල පමණක් වැඩිවන ලෙස පාලන මිල ඉවත් කරනු ලැබීය. එවැනි තත්ත්වයක් තුළ ‘ස්විචය’ සොයා ගැනීමෙන් තොරව කනුවට නගින ඇමතිවරයා මාරු කිරීමෙන් ඵලක් නැති බව ඉතා පැහැදිලිය. එසේනම් ‘ස්විචය’ කුමක්ද? වී ගොවිතැන දීර්ඝකාලීනව ගොවියාට ආකර්ෂණීය ආර්ථික ක‍්‍රියාකාරකමක් බවට පත් කළ හැකි ආකාරයට මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියාට පැවතිය හැකි ආකාරයට සහ පාරිභෝගිකයාට සාධාරණවන ආකාරයට වී සහ සහල් මිල නියම කිරීම මගින් ප‍්‍රශ්නය විසඳිම එම ‘ස්විචය’ ලෙස හඳුනාගත හැක. එම ‘ස්විචය’ සොයාගත්විට ගොවියාගේ වී මිලදී ගැනීම සඳහා රජය වැඩි වශයෙන් මැදිහත්වීම හෝ කඩාවැටෙන වී මෝල් වලට බැංකු ණය දීමට හෝ පාරිභෝගිකයා නාමයෙන් සිල්ලර වෙළඳුන් වටලමින් ලක්ෂ ගණනින් දඩ ගසන බවට තර්ජනය කිරීම වැනි ‘කණුවට නැග වයර් ගැට ගැසීම’ පන්නයේ වැඩ කිරීමට අවශ්‍ය වන්නේ නැත. සහල් මිල රුපියල් 2 කින් අඩු කිරීම සඳහා මරාගෙන මැරෙන පන්නයේ කතා පැවැත්වූ ඇමතිවරු නිහඩව සිටියදී මේ වන විට පරිභෝගිකයා නාඩු සහල් මිලදී ගන්නේ රුපියල් 140 දක්වා ඉතා ඉහළ ගණන්වලට ය. එම මිලට වඩා අඩු මිලකට සහල් මිල නියම කරමින් එනම් එනම් නාඩු සහල් රු. 115 කට මිල නියම කරමින් ගොවියාට වී සඳහා රුපියල් 60 ක් ගෙවන්නේ නම් ලක්ෂ 20 ගොවි ගෙවල්වල සහ 3000 කට අධික කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ ගෙවල්වල මෙන්ම සමස්ත පාරිභෝගික ජනතාවගේ ගෙවල්වල ද ‘ලයිට් පත්තුවනු’ ඇත.
එකම කවුළුව
ඒ ආකාරයට අප රටේ සමාජ, ආර්ථික සංවර්ධනයට අදාලව පාලකයින් විසින් ‘ස්විචය’ සොයා ගැනීමට උත්සාහ නොකර ‘කණුවට නගින’ ප‍්‍රධාන අවස්ථා හෙවත් මූලික උපාය මාර්ගික වැරදි 10 ක් පමණ හඳුනාගත හැක. මෙවැනි කෙටි ලිපියකින් එම කරුණු සියල්ල සාකච්ඡා කළ නොහැකි බැවින් මේ දිනවල කතාබහට ලක්වන ‘කනුවට නගින’ තවත් අවස්ථා දෙකක් (2) පිළිබඳව පමණක් සඳහන් කළ හැක. ඒ මගින් පාඨකයාට එම ආදර්ශය අනෙකුත් අවස්ථා සඳහා ආදේශ කිරීමට හැකියාව ලැබෙනු ඇත. ආණ්ඩු විසින් සොයා ගත යුතු ප‍්‍රධාන ‘ස්විචයක්’ වන දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමේ ප‍්‍රතිපත්තිය නිවැරදිව යොදා ගන්නේ නම් එක් එක් අවස්ථාවට අනුව ‘කනුවට නැඟ ලයිට් දැමීම’ට මහන්සි විය යුතු නැත. මෑත කාලීනව කිරිපිටි ආනයනයකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස වෙළඳපොල තුළ කිරිපිටි හිඟයක් ඇති වන බවට භීතියක් මවමින් බදු සහනයක් මෙන්ම මිල වැඩිවීමක් ලබා ගැනීමට උත්සාහ කරනු ලැබීය. එම ප‍්‍රශ්නය විසදීමේදී ද ආණ්ඩුව දේශිය නිෂ්පාදන ආරක්ෂා කිරීම නම් වූ ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම හෙවත් ‘ස්විචය දැමීම’ වෙනුවට ‘කණුවට නැග ලයිට් දැමීමේ’ දුෂ්කර ක‍්‍රියාමාර්ගය තෝරනු ලැබීය. ආණ්ඩුව විසින් එසේ මිල වැඩිවීමක් ලබානොදෙන්නේ නම් ආනයනය අත්හිටුවන බවට සමාගම් විසින් ආණ්ඩුවට සහ පාරිභෝගිකයාට තර්ජනය කරනු ලබන්නේ ඔවුන් විසින් ආනයනය කළ කිරි පිටි කිලෝ ග‍්‍රෑම් මිලියන 4.2 ක් වරායේ ගුදම්වල තිබියදීය. ඒ අනුව ප‍්‍රමාද ගාස්තු ගෙවමින් ඒවා නිදහස් කර ගැනීම පමා කරනු ලැබුවේ මිල වැඩිවීමකට වඩා බදු සහනයක් ලැබෙනු ඇතැයි ඔවුන් දැන සිටි නිසා බව පිළිගැනීමට සිදුවේ. ආණ්ඩුවේ බලධාරීන් විසින් මේ අවස්ථාවේදී මිල වැඩිවීමක් ලබා දිය නොහැකි බැවින් බදු සහනයක් ලබාදෙන බවට කරනු ලැබූ ප‍්‍රකාශය අනුව යම් එකඟතාවයකට අනුව ‘නාට්‍යය රඟ දැක්වෙන’ බව පැහැදිලි විය.
අවසානයේ දී වැට් බදු, තොටුපළ බදු සහ රේගු බදු යන බදු වර්ග ත‍්‍රිත්වයම සම්පූර්ණයෙන්ම ඉවත් කර අදාළ සමාගම්වලට කිරි පිටි කිලෝ ග‍්‍රෑම් 1 කට රු. 100 ක පමණ බදු සහනයක් ලබාදීමට ආණ්ඩුව විසින් තීරණයක් ගනු ලැබූ බව වාර්තා විය. එහෙත් එම බදු සහනය නිසා මිල අඩු වන ප‍්‍රමාණය හෝ ආණ්ඩුවට අහිමි වන බදු ආදායම පිළිබඳව මහජනයාට තොරතුරු ලබාදුන්නේ නැත. බදු ආදායම යනු මහජනයාගේ අරමුදල්ය. ඒ නිසා ඒවා අහිමි කෙරෙන හෝ වෙනත් පාර්ශ්වයකට ආපසු ලබා දෙන විට ඊට හේතුව සහ අහිමි වන ආදායම කොතෙක් දැයි දැන ගැනීමේ අයිතියක් බදු ගෙවන ජනතාවට ඇත. එහෙත් සමාගම් වලට හේතුවක් නොමැතිව බදු සහන දෙන ඇමතිවරුන්ට ඒවා පිළිබඳ අවබෝධයක් තිබේද යන්න සැක සහිතය. කෙසේ වෙතත් අදාළ බදු සහනය නිසා රජයට අහිමි වන බදු ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 9000 ක් පමණ වේ. ඒ මීට පෙර යහපාලන ආණ්ඩුව විසින් කිරිපිටි ආනයනකරුවන්ට ඉතිහාසයේ ලබාදුන් විශාලතම බදු සහනය ලබාදී තිබියදීය. එනම් කිලෝ ග‍්‍රෑම් එකකට පණවා තිබූ රුපියල් 225 ක විශේෂ පරිභෝජන බද්ද රුපියල් 2 ක් දක්වා අඩුකිරීමෙන් පසුවය. දැන් අවසානයේදී පාලන මිලද ඉවත්කර ආනයනකරුවන්ට උවමනා ආකාරයට මිල තීරණය කිරීමටද අවස්ථාව ලබාදී ඇත. එසේ නොමැතිව එම ප‍්‍රශ්නය විසඳීමේ දී එනම් ‘ලයිට් පත්තු කිරීම සඳහා ස්විචය සොයාගන්නේ’ කෙසේද? ඒ සඳහා ඇත්තේ එකම කවුළුවක් පමණි. ඒ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරමින් පාරිභෝගිකයාට සාධාරණය ඉටු කිරීමය. මිල අඩු කිරීම මගින් සෑම විටම පාරිභෝගිකයාට සහන සැලසෙන බව පිළිගත නොහැක. මිල අඩු කිරීම මගින් දේශීය නිෂ්පාදනය බිඳ වැටුණු විට ආනයනකරුවන්ගේ වෙළෙඳපොළ ආධිපත්‍ය තුළ පාරිභෝගිකයාට දීර්ඝකාලීනව වැඩි මිලක් ගෙවීමට සිදුවනු ඇත. ඒ බව මෙවර සීනි සහ කිරිපිටි ආනයනකරුවන් හැසිරුණු ආකාරය අනුව ඉතා හොඳින් පැහැදිලි විය. මිලියන දහස් ගණනින් මහජන බදු මුදල් සාක්කුවට වැටෙන විට ආනයනකරුවන්ට මිලදී ගත හැකි නිලධාරීන් සහ දේශපාලඥයින් අප රටේ බොහෝ සිටින බව රහසක් නොවේ.
ඉහත සඳහන් කළ ආකාරයට ‘කනුවල නගින්නෙ නැතිව ලයිට් පත්තු කළ හැකි ස්විචය’ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කිරීමේ මූලධර්මය නම් කළ යුත්තේ ඉතා සරල දෙයකි. එනම් කිරිගොවියාට කිරි ලීටරයකට රුපියල් 100 ක් ගෙවන අතර කිරිපිටි සඳහා දේශීය නිෂ්පාදන වියදම මත පදනම්ව මිල සූත‍්‍රයක් හඳුන්වා දීම සහ දේශීය නිෂ්පාදනවලට වඩා ආනයනික නිෂ්පාදනවල මිල 5% කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයනය බදු පැනවීම ය. එම ප‍්‍රතිපත්තිය යටතේ පවතින වෙළඳපළ මිල එසේ 5% කින් ඉහළ මට්ටමක පවතින තත්ත්වයක දී බදු වැඩිකිරීමක් අවශ්‍ය වන්නේ නැත. නමුත් එම ප‍්‍රතිපත්තියට අනුව කිසිසේත්ම බදු සහනයක් ලබාදීමට ඉඩක් නැත. කෙසේ වෙතත් එහිදී ‘ස්විචය දැමීම’ට අමතරව ‘ෆියුස් එකක්ද දැමීම’ට සිදුවේ. එනම් ආනයනික කිරිපිටිවල තත්වය බාල කිරීම මගින් වෙළදපල තුළ මිල විකෘතියක් ඇති කිරීම වැළැක්වීමය. ඒ සදහා සංයුතිය වෙනස් කළ කිරිපිටි රට තුළට ආනයනය කිරීම ආනයන අපනයන පාලන පනත යටතේ තහනම් කළ යුතුය. ඒ අනුව මිල වැඩි කිරි මේදය ඉවත් කර ඒ වෙනුවට මිල අඩු පාම් තෙල් මිශ‍්‍ර කළ කිරිපිටි සහ සම්පූර්ණයෙන්ම කිරි මේදය ඉවත් කළ කිරිපිටි රටට ආනයනය කිරීම නැවැත්විය යුතුය. එවිට මේදය රහිත කිරිපිටි රට තුළ නිෂ්පාදනය කිරීම මගින් ශ‍්‍රී ලංකාව බටර්වලින් ස්වයංපෝෂිත කිරීමේ හැකියාවද ඇත. ඒ ආකාරයට වී මිල, සහල් මිල, කිරිපිටි මිල මේ ආදී වශයෙන් සමාජයේ හරස්කඩකට බලපාන ප‍්‍රශ්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එම තීන්දු සාධාරණීකරණය කිරීම සඳහා මහජනයාට හේතු දැක්වීම් ඉතා වැදගත්වේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සහ දීර්ඝකාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා එම තීන්දු ගන්නා බව මහජනයාට ඒත්තු ගන්වන්නේ නම් මහජනයාගේ කැමැත්ත ලබා ගැනීම අමාරු නැත. මහජනයා අඳුරේ තබා ආනයනකරුවන්ගේ ‘ඉඩමේ කණුවකට නැග ලයිට් දැමීම’ට උත්සාහ කිරීම මගින් මහජන විශ්වාසය හෝ සහාය දිනාගත නොහැක. එසේ මහජන විශ්වාසය දිනාගත හැකි ප‍්‍රධාන උපාංගයක් වන්නේ ආනයනික ආහාර අධෙර්යමත් කිරීම මගින් දේශිය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා පනවනු ලබන විශේෂිත බදු සුවිශේෂි අරමුදලකට බැර කිරීමය. එහිදී එම අරමුදල් නිෂ්පාදකයා දිරිගැන්වීම සහ අඩු ආදායම්ලාභින්ට සහන ලබාදීම සඳහා පමණක් විනිවිද භාවයෙන් යුතුව යොදවන බවට සහතික වීමද වැදගත්වේ.
ඊට අමතරව දේශිය කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා කර්මාන්තපුර ඇති කිරීම සහ බැංකු ණය ලබාදීම වැනි ‘කණුවට නැග ලයිට් පත්තු කිරීමේ’ ක‍්‍රමවේද වලට වඩා දේශිය නිෂ්පාදන සඳහා වෙළඳ පොළ පුළුල් කිරීම යනු මූලික පූර්ව කොන්දේසියකි. රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශිය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අනිවාර්ය ප‍්‍රමුඛතාවය ලබාදීම හෙවත් එම කොන්දේසිය ඉටු කිරීම මගින් ‘ස්විචය දැමීම’ සඳහා කටයුතු කිරීම වෙනුවට වෙනත් අතුරු ක‍්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් අපේක්ෂිත ප‍්‍රතිඵල ලබාගත නොහැක. නමුත් මෙවර අයවැය ලේඛනය මගින් පවා එම ‘ස්ව්චය දැමීම’ සඳහා අවධානය යොමු නොකර කර්මාන්තපුර සඳහා මුදල් වෙන්කර ඇත. ඒ මගින් පෙනී යන්නේ පවතින කර්මාන්තපුර වල කර්මාන්ත වැසීගොස් ඇත්තේ කුමක් නිසාද යන්න සහ ඒවා ආශ‍්‍රීතව නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ව්‍යවසායකයින් උනන්දු නොවන්නේ කුමක් නිසාද යන්න පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නොමැති බව නොවේද?
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴