පාස්කු නඩුවේ සාක්ෂි දීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් කැඳවන්නේ නැහැ – නීතිපති අධිකරණයට කියයි

පාස්කු නඩුවේ සාක්ෂි දීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් කැඳවන්නේ නැහැ – නීතිපති අධිකරණයට කියයි

*********************************************

පාස්කු නඩුවේ සාක්ෂි දීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් කැඳවන්නේ නැහැ – නීතිපති අධිකරණයට කියයි

(15.12.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් නොකැඳවීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඬුල්ල හමුවේ මේ බව දැනුම් දුන්නා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (15) කැඳවනු ලැබුවේ නාමල් බලල්ලේල ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේයි.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසියකට අනුව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් අද (15) අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහෙත් ඔහු විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම වෙත 2019 වසරේදී ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවක් ගෙන හැර දක්වමින් ඔහුගෙන් සාක්ෂි කැඳවීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට යොමුකර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් එහිදී අධිකරණය හමුවේ සඳහන් කළේ, සාක්ෂිකරුට සාක්ෂිදීමට නොහැකි මට්ටමේ මානසික අපහසුතාවක් අදාළ වාර්තාව මගින් සඳහන් කර නොමැති බවයි.

සිසිර මෙන්ඩිස් සාක්ෂිදීමට හැකි තත්ත්වයක සිටින බවත්, ඔහුට පවතින රෝගී තත්ත්වය මත වරින් වර විවේක ගැනීමට සිදුවිය හැකි බවත්, ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ විනිසුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු දෙමින් සඳහන් කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේ පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි කැඳවීමටයි.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා ඉල්ලා සිටියේ මෙම නඩුවේ තුන්වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය මෙහෙයවන්නේ ද නැද්ද යන්න දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

අධිකරණය මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ අනෙකුත් සියලු නඩු කල් දමමින් බවත්, එසේ තිබියදී අධිකරණයට අනවශ්‍ය පරිදි කාලය වැය කිරීමට හැකියාවක් නොමැති බවත්, සඳහන් කළ විනිසුරු ආදිත්‍ය පැටබැඳීගේ දැනුම් දුන්නේ සාක්ෂි කැඳවීම පිළිබඳ තීන්දුව අද (15) දිනම දැනුම් දෙන ලෙසයි.

කෙටි වේලාවකට නඩු විභාගය කල් තබා යළි රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා අධිකරණයට දන්වා සිටියේ සිසිර මෙන්ඩිස් සාක්ෂිය සඳහා නොකැඳවීමට පැමිණිල්ල තීරණය කළ බවයි.

ඒ අනුව අද (15) දිනයේ නඩු විභාගය අවලංගු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එහි වැඩිදුර විභාගය ජනවාරි මස 18 වැනිදා තෙක් කල් තැබීමට නියෝග කළා.

පාස්කු ප්‍රහාරය සිදුවන සමයේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළේ සිසිර මෙන්ඩිස්.

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ ඔහු දින ගණනාවක් සාක්ෂි ලබා දී තිබුණා.

මේ අතර, ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (15) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

******************************************

වරායට ළඟා වූ අනෙක් ගෑස් නෞකාව ගැනත් සැකයක්

(15.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම විසින් ගෙන්වූ මේ වනවිට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති අනෙක් නෞකාවේ ද අඩංගු ගෑස් සංයුතියේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවට වාර්තා වනවා.

මීට පෙර නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් රැගෙන ආ ආයතනයෙන්ම එම නෞකාව ද ගෑස් ලබාගෙන ඇති බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ වනවිට එම නෞකාවේ ගෑස් සාම්පල ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරය වෙත යොමුකර තිබෙනවා.

ගෘහස්ත ගෑස් සිලින්ඩරවල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරවල ප්‍රදර්ශනය කිරීමට ලිට්රෝ සමාගම අද (15) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළා.

ගෑස් අනතුරු සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සමක් අද (15) සලකා බැලූ අවස්ථාවේදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට බෙදා හරින බවයි.

මේ අතර, පසුගිය සෙනසුරාදා (11) මෙරටට ආනයනය කළ ගෑස් තොග ගොඩබෑම සිදු නොකරන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පසුගිය සඳුදා (13) දින මෙරටට පැමිණි නෞකාවේ අඩංගු ගෑස්ද ප්‍රමිතියෙන් තොර බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

මෙරටට ආනයනය කරන ගෑස් නෞකාවල ඇති ගෑස්වල අඩංගු ‘එතිල් මර්කැප්ටන්’ රසායනික සංඝටකය නියමිත ප්‍රමාණයට අඩංගු ද යන්න සොයා බැලීමට පසුගියදා තීරණය කෙරුණේ මේ දිනවල මෙරටින් වාර්තා වන ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන්.

පසුගිය සෙනසුරාදා (11) ලිට්රෝ ගෑස් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 3700 ක් සහිත නෞකාවේ ගෑස් සාම්පල පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළේ මෙවැනි වාතාවරණයක් තුළයි.

එහිදී එම නෞකාවේ පවතින ගෑස්වල අඩංගු ගන්ධය සඳහා යොදන ‘එතිර් මර්කැප්ටන්’ රසායනිකය නියමිත ප්‍රමාණයට අඩංගු නොවන බවට අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කළේ අදාළ ගෑස් තොගය ගොඩබෑම අත්හිටුවීමටයි.

ඒ අනුව එම ගෑස් තොගය මෙරටට ගොඩබෑම සිදු නොකරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතරල පෙරේදා (13) මෙරටට ළඟා වූ ගෑස් සහිත තවත් නෞකාවක් වත්තල – උස්වැටකෙයියාව – තල්දියවත්ත මුහුදු තීරයේ ගෑස් බෝයාව අසල නැංගුරම් ලා තිබෙනවා.

එම නෞකාවේ ඇති ගෑස්වල මර්කැප්ටන් රසායනික සංයුතිය පරීක්ෂා කිරීමට බලධාරීන් අද (15) කටයුතු කළා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ එම නෞකාවේ අඩංගු ගෑස් තොගයද ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි.

පසුගිය සෙනසුරාදා (11) ගෑස් තොගය මෙරටට ගෙන ආ ආයතනයෙන්ම මෙම ගෑස් තොගයද ලබාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.

මේ වන විට එම නෞකාවේ ගෑස් සාම්පලද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර, පසුගිය සෙනසුරාදා (11) මෙරටට පැමිණි ගෑස් නෞකාව ද මෙම ගෑස් නෞකාව අසලින්ම නැංගුරම් ලා ඇති අයුරුද දක්නට ලැබුණා.

මේ අතර, තම ආයතනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, ගෘහස්ත ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීම නිසා ඇති වූ අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද (15) කැඳවනු ලැබුවා.

එහිදී ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවා දායකයන් වෙළෙඳපොළට මුදා හැර ඇති ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රමිතිකාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව ද අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදා හැරීමට පියවර ගන්නා බවයි එහිදී අධිකරණයට දැනුම් දුන්නේ.

එමෙන්ම ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට තම සේවාදායකයන් එකඟවන බව ද ලිට්රෝ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

මෙම කරුණු සියල්ල ඇතුළත් කර හෙට දින දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය ලිට්රෝ ගෑස් සමාගමට නියෝග කළා.

පෙත්සම හෙට (16) යළි කැඳවීමට නියමිතයි.

මේ අතර, ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් පහසුකම් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තමන්ට ගෑස් සැපයුම සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කර්මාන්තශාලාවලට අවශ්‍ය ගෑස් පමණක් සැපයීම සිදුකරන බවයි.

එමෙන්ම ලාෆ් සමාගමේ සභාපති වෑගපිටිය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ඩොලර් මිලියන 20 ක ණයවර ලිපි විවෘත කිරීමට තමන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් තම සමාගම හරහා ලිට්රෝ සමාගමට ප්‍රමිතියෙන් යුතු අවශ්‍ය ගෑස් සැපයීමට හැකි බවයි.

මේ අතර, අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වුණා.

මේ දිනවල වාර්තා වන ගෑස් ආශ්‍රිත පුපුරායාම් හේතුවෙන් ගෑස් උඳුන් භාවිතයෙන් ඉවත්වී භූමිතෙල් උඳුන්, ස්වයංක්‍රීය විදුලි උඳුන් ආදී විකල්ප භාවිත කිරීමට පාරිභොගිකයින් යොමුවී ඇති බව වාර්තා වීමත් සමඟ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳවත් සොයා බැලුවා.

එහිදී වෙළෙඳසැල් හිමියන් පෙන්වා දුන්නේ මේ දිනවල ගෑස් ලිප් අලෙවි නොවන බවයි.

******************************************

ගෑස් සමාගම්වල ප්‍රධානීන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනපති කියයි

(15.12.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය පිළිබඳව පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

උත්සව සමය වෙනුවෙන් වෙළඳ ඇමතිගෙන් යළිත් සහන මල්ලක්

(15.12.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින දෙක, තුන ඇතුළත උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් ඇතුළු සහන මල්ලක් පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක්වෙමින්.

මේ අතර, දිවයිනේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තවදුරටත් එළවළු වර්ගවල මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා.

කෙසේ වෙතත්, කොළඹ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලෙහි අද (15) යම් පහළ යාමක් ද දක්නට ලැබුණා.

එහි වෙළඳුන් කියා සිටියේ පොහොර ගැටළුවලට විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේදී එළවළු සම්බන්ධ ගැටළුව තවත් උග්‍ර වනු ඇති බවයි.

******************************************

පොහොර නැවට වන්දි ගෙවන හැටි කෘෂිකර්ම ඇමති කියයි

(15.12.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

චීන පොහොර නැවට වන්දි ගෙවීම සිදුකෙරෙන්නේ නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සම්මතයකට අනුව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර බවට ප්‍රකාශ කර තිබියදී එම පොහොර ගෙන් වූ පාර්ශ්වයන් විසින් මිස එම පිරිවැය දැරිය යුත්තේ රටේ මහජන මුදලින් නොවන බවයි.

මහ කන්නය සඳහා ලබා දී තිබූ දියර පොහොර කෑන් පුපුරා යාමත් සමඟ ගිරිතලේ පුරාණගම ගොවීන් දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව එම ගොවි සංවිධානයේ ලේකම්වරයා ඊයේ (14) සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අප තොරතුරු වාර්තා කිරීමෙන් පසු ගිරිතලේ ගොවි ජන සේවා කාර්යාලයේ නිලධාරීන් එහි පැමිණ ගොවීන්ට අදාළ දියර පොහොර කෑන් බෙදා දීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර, පොළොන්නරුව – ජයන්තිපුර – තඹලවැව යටතේ ගොවිතැන් කරන හේන්කොළවැව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ තමන්ට ලබා දී ඇති කාබනික පොහොර ගෝනි තුළ ඇත්තේ දහයියා අලුල කිරිමැටි සහ ලී කැබලි ආදිය බවයි.

මින්නේරිය ගොවිජන ව්‍යාපාරයට අයත් හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ ගොවීන්ට මෙතෙක් පොහොර නොලැබීමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාව සඳහා අවශ්‍ය පොහොර නොමැතිවිම හේතුවෙන් තම අස්වනු ප්‍රමාණයෙන් කුඩාවී ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුරාධපුර දී මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට රජය ගෙන ඇත තීරණය විවේචනය කළා.

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව සහ පොහොර ලේකම් කාර්යාලය ගත් තීන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළහල්මිල්ලෑව ප්‍රදේශයේ දී පැවති ගොවි හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවා.

එහිදී පොහොර නොමැතිව තමන් මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගොවීන් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂැන්හොං අද (15) යාපනය ප්‍රදේශයේ සංචාරක නිරත වුණු අවස්ථාවේදීත් මාධ්‍යවේදීන් මතභේදයට තුඩුදි ඇති චින පොහොර නැව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

******************************************

රැකියා ජාවාරම්කරුවන් සිරකර ගත් ජීවිත

(15.12.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියා ලබාදෙන බව පවසා සංචාරක වීසා මත මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත රැගෙන ගිය කාන්තාවන් රැසක් මේ වනවිට රැකියා නොමැතිව ඩුබායිහි සිරකර ගෙන සිටින බව ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වනවා.

එම වංචාවට හසු වු කාන්තාවන් දෙදෙනෙකු (2) ‘හිරු සී.අයි.ඒ.’ වෙත ප්‍රකාශ කලේ කාන්තාවන් 30 කට අධික පිරිසක් නිසි ලෙස ආහාර හෝ ලබා නොදී එරට ඒජන්සි නියෝජිතයන් විසින් සිර කරගෙන සිටින බවයි.

මේ වන විට ඩුබායි හි සිටින කාන්තාවන් දෙදෙනෙකු (2) ‘හිරු සී.අයි.ඒ.’ අමතා ප්‍රකාශ කලේ මෙරට ප්‍රසිද්ධ විදේශ රැකියා ආයතනයක් හරහා ඔවුන්ව වසර 2 ක් සඳහා විදෙස් සේවයට ඩුබායි වෙත යොමු කළ බවයි.

මෙරට විදේශ රැකියා ආයතනයේ ඩුබායිහි නියෝජිතයන්ගේ තාඩන පීඩන ඉවසා ගත නොහැකි වූ බැවින් ඔවුන් රඳවා සිටි ස්ථානයෙන් පළා යාමටයි මොවුන් කටයුතු කර තිබුනේ.

මොවුන් හෙළිකරන ඩුබායි රැකියා නියෝජිතයින්ගේම පීඩාවලට ලක් වු වයස් ගත කාන්තාවන් දෙදෙනෙකු (2) ගේ දර්ශන ද ‘හිරු සී.අයි.ඒ.’ වෙත යොමු කර තිබෙනවා.

ඉන් එක් (1) කාන්තාවකගේ පාදයක් ද බිඳී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවන්ව බලහත්කාරයෙන් ඩුබායිහි රඳවා සිටින විදේශ රැකියා නියෝජිත ආයතන සාමාජිකයන් මොවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද රදවා තබාගෙන ඇති හෙයින් මොවුන්ට යලි මෙරටට පැමිණීමට ද නොහැකි වී තිබෙනවා.

මෙරට වගකිව යුතු බලධාරීන් මෙම අනාවරණය හමුවේ හෝ මෙම කාන්තාවන්ට සිදුව ඇති අසාධාරණයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් ඒ පිළිබඳ අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *