ශ්‍රී ලංකාවට පැමිණි ගෑස් තොගය භාර නො ගැනීමට තීරණයක්

ශ්‍රී ලංකාවට පැමිණි ගෑස් තොගය භාර නො ගැනීමට තීරණයක්

*********************************************

ශ්‍රී ලංකාවට පැමිණි ගෑස් තොගය භාර නො ගැනීමට තීරණයක්

(15.12.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට පැමිණ ඇති නෞකාවේ අඩංගු ගෑස් තොග ගොඩබෑම සිදු නො කරන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ, අදාළ නැවෙහි ගෑස්වල සංයුතිය මෙරට ප්‍රමිතීන්වලට අනුකූල නො වීම හේතුවෙන්.

පසුගිය සෙනසුරා දා මෙට්‍රික් ටොන් 3700 ක් අඩංගු ලිට්රෝ ගෑස් සමාගමයට අයත් නැවක් මෙරටට පැමිණ තිබුණා.

එහි දී පාරිභෝගික සේවා අධිකාරිය එහි අඩංගු ගෑස් සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කළ අතර එහි දී අනාවරණ වූයේ, එහි ගෑස් සංයුතිය ප්‍රමිතීන්වලට අනුකූල නො වන බවටයි ෴

******************************************

පෞද්ගලික සංචාරයක් සඳහා බැසිල් රාජපක්ෂ ලංකාවෙන් පිට ව යයි

(15.12.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද (15) අලුයම දිවයිනෙන් පිට ව ගියා.

කටුනායක ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත් ව ගිය බවයි.

මේ අතර, පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ද සංචාරයක නිරත වූ අතර, එහි දී ඔහු එරට මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා ෴

******************************************

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(15.12.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද (15) උදෑසන දුම්රියක් සහ ලොරි රථයක් ගැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට ඉවත් කර තිබෙනවා.

දුම්රියේ ගැටුණු ලොරි රථය දුම්රිය මාර්ගයේ හරස්වන ලෙස නතර වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදු ව තිබෙනවා.

ටිපර් රථයේ රියදුරා මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි තවත් පුද්ගලයෙකු ගමන් කර ඇති බවට පොලිසියට සැකයක් පවතින බව ද සඳහන්.

+++++++

******************************************

මෙහෙකාරිය දූෂණය කළා යැ යි විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට එරෙහි ව පැමිණිල්ලක්

(15.12.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

පානදුර නිවසක දී උතුරු පළාත භාර ව සිටි යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු, තමා ව දූෂණයට ලක් කළා යැ යි කියමින් 20 හැවිරිදි තරුණියක් පෙරේ දා (13) පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉකුත් අගෝස්තු මාසයේ දී තන්තිරිමලේ සිට හමුදා නිලධාරියාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා තරුණිය පැමිණ ඇති අතර, කාත් කවුරුත් නො මැති අවස්ථා කිහිපයක දී ම සැකකරු තමා ව දූෂණය කළ බවටයි තරුණිය පැමිණිල්ල ලබා දි ඇත්තේ.

තම පියා නො මැති බවත් සහෝදරයින් හා මව ජීවත් කරවීමට මෙහෙකාර සේවය සඳහා පැමිණි බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්.

එම සිද්ධියෙන් පසු ව අදාළ තරුණිය විටින් විට සුළු අසනීප තත්ත්වයකින් පෙළී සිට ඇති අතර, එක් අවස්ථාවක දී වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්න හමුවේ ඇය තමාට සිදු වූ අතවරය පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.

වෛද්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව පාණදුර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ සිදුවීමට සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා ෴

******************************************

නීති විරෝධී ව ගජමුතු ළඟ තබාගත් අයෙකු අත් අඩංගුවට

(15.12.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි තුනකට (3) වැඩි වටිනාකමින් යුත් ගජමුතු 03 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යි මෙම මෙහෙයුම සිදු කර තිබෙන්නේ.

එහි දී නීති විරෝධී ලෙස රුපියල් කෝටි තුනකට (3) වැඩි වටිනාකමින් යුත් ගජමුතු 03 සන්තකයේ තබාගෙන සිටි අදාළ සැකකරුවා අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

සැකකරු, වයස අවුරුදු 45 ක කතරගම පාර, තිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු යාල ජාතික වන ජීවි කාර්යාලය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් පාසල් ළමයින් 17 දෙනෙකු රෝහල්ගත කෙරේ

(15.12.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

නෝර්වුඩ් – හෙල්බොඩ දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක් වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

අද (15) උදෑසන පාසල අසල පිහිටි ගසක තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සමග ම පාසල තාවකාලිකව වසා දැමීමට එහි විදුහල්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

රෝහල්ගත කළ සිසුන්ගෙන් 7 දෙනෙකු දික්ඔය මූලික රෝහලේ නේවාසික ව තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

අනෙක් සිසුන් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිට ව ගොස් තිබෙනවා ෴

******************************************

ලිට්රෝ සමාගමෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

(15.12.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තුල අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කරන බව ලිට්රෝ සමාගම අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගහනන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

පාරිභෝගිකයන්ට නිකුත් කරන ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස්වල සංයුතිය එම ටැංකියේම සඳහන් කිරීමට වහා පියවර ගත යුතු බවත් එසේ කරන්නේද නැද්ද යන්න අද (15) අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලෙසත් අභියාචනාධිකරණය ලිට්රෝ සමාගමට ඊයේ (14) නියෝග කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලිට්රෝ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර කියා සිටියේ ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළඳපොළට ගෑස් මුදා හැරීමට පියවර ගන්නා බවයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් මේ මස 20 වන දා පැවැත්වීමට නියමිත බවද කියා සිටියා.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වනවිට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම තම සේවාදායකයා විසින් වෙළඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බවයි නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් මෙම කරුණු සියල්ල ඇතුළත් කර හෙට (16) දින දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ලිට්රෝ සමාගමට නියෝග කළා.

මේ අතර, ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් නෞකාවක අඩංගු ගෑස් තොගවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම් අද (15) සිදුවනවා.

එමෙන්ම මතභේදයට තුඩු දි ඇති පසුගිය සෙනසුරා දා මෙරටට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් සහිත නෞකාවේ පවතින ගෑස් ගොඩබෑම සිදු නො කරන ලෙස පාරිභෝගික අධිකාරය අද (15) නිල වශයෙන් ලිට්රෝ සමාගමට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, ලිත්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, ලිට්රෝ සමාගම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබදව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

******************************************

සූරියවැවේ දී ගංජා හේන් දෙකක් (2) වැටලෙයි

(15.12.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව පොලිස් වසමේ කැබැල්ලගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අක්කර භාගයක (½) හා අක්කර කාලක (¼) භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වගා කර තිබූ ගංජා හේන් දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු (2) ද ඒ සමඟ ම අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.

මෙම වගාව තුළ අඩි 07 ක් පමණ උස ගංජා ගස් 2195 ක් පමණ තිබී ඇති අතර, එය ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 46 ක හා 38 ක සූරුයවැව හා ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

සැකකරුවන් අද (15) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මත්තල පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් නෞකාව කොළඹ වරායට

(15.12.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මෙරටට නාවික සැතපුම් 900 ක් පමණ දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී පසුගිය දා හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් නෞකාව අද (15) කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

නෞකාව සහ අත්අඩංගුවට ගත් මත්කුඩු නිරීක්ෂණය සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පසුගිය සෙනසුරාදා (11) කළ මෙම වැටලීමේ දී නෞකාවේ සිටි පාකිස්ථාන සහ ඉරාන ජාතිකයින් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

******************************************

දුම්රිය රියදුරන් හිටිහැටියේම වර්ජනයක

(15.12.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අද (15) දහවල් 12 සිට දුම්රිය රියදුරන් කිසිදු දැනුම්දීමකින් තොරව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

කොළඹ කොටුවට පැමිණි ඇතැම් දුම්රිය එම ස්ථානයේම නවත්වා දැමීමෙන් එම දුම්රියෙන් ගමන් කළ මගින් ද දැඩි අපහසුතාවයකට පත්වුණා.

දුර ගමන් සඳහා පැමිණි මගීන් මෙම දුම්රිය රියදුරන්ගේ වර්ජනය පිළිබඳ නොදැන තම ගමනාන්ත වලට යෑමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත් වී ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා ෴

******************************************

සතොස හරහා ජනතාවට සහන ලබා දුන් බවට වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

(15.12.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)

සතොස හරහා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ, අද මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.

රුපියල් 180ක් 200ක් පමණ වන සම්බා සහල් කිලෝවක් රුපියල් 130 මට්ටමට රැගෙන ඒමට තමන් කටයුතු කළ බව ද ඔහු අවධාරණය කළා.

අයෙකුට කිලෝ පහ බැගින් සහල් ලබා දී වෙළෙඳපොළේ පවතින අවිධිමත් මිල ගණන්වලින් පාරිභෝගිකයා බේරා ගැනීම ද මෙහි එක් බලාපොරොත්තුවක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙය ජනතාව අගය කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

******************************************

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්

(15.12.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම නිසා සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *