ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

*********************************************

ඔමික්‍රෝන් පාලනයට තෙවැනි (3) මාත්‍රාව අත්‍යවශ්‍ය බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

(14.12.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන (3) මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිට ලොව පුරා රටවල් 65 ක් තුළ ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තව ඇති අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් 41 ක් වාර්තා වී තිබෙනවා.

+++++++++++++

ඔමික්‍රොන් ප්‍රභේදයෙන් දැඩි අවදානමක් – WHO

(14.12.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 60 කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, එමගින් දැඩි ගෝලීය අවදානමක් ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඔමික්‍රොන් එන්නත් ප්‍රතිශක්තිය මඟහරින බවට සායනික දත්ත ලැබී ඇති නමුත් එමගින් අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන්නේ ද යන්න පිළිබදව ලැබී ඇති තොරතුරු සීමිතයි.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හේතුවෙන් ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඇතුළු හේතූන් කිහිපයක් මත ඔමික්‍රොන් ප්‍රභේදයෙන් සමස්තයක් ලෙස ඉහළ අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ ෴

+++++++++++++

ඔමික්‍රෝන් ගැන පරීක්ෂණයකින් සොයා ගත් අලුත්ම දේ

(14.12.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

අණුක රෝග විනිශ්චය ක්‍රමවේදයක් හරහා මිනිත්තු 20 ක් ඇතුළත ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයක් හඳුන්වා දීමට කොරියානු පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිනවා.

මෙම නව පරීක්ෂණය හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියාවේ ‘පොස්ටෙක්’ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ලී ජුංග් වූක් ඇතුළු කණ්ඩායම විසින්.

මෙතෙක් හමුවී ඇති සියලුම ‘කොවිඩ් 19’ විකෘති සහ තවමත් නව විකෘති රැසක් මුසු වී නිර්මාණය වී ඇති ‘ඔමික්‍රෝන්’ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ද අඟවා තිබෙනවා ෴

+++++++++++++

කොරෝනා ආසාදිතයින් 335 ක් සුවය ලබයි

(14.12.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු අද (14) සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,45,768 ක් ලෙසයි. එසේම, පසුගිය නොවැම්බර් 12 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයින් 1783 දෙනෙකුද අද (14) දිනයේදී සමස්ත කොරෝනා ආසාදිතයින් අතරට එක්කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,75,432 ක් ෴

කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ මරණ 20 ක් අද (14) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ මරණ සංඛ්‍යාව 14,661 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙදෙනකු අද (14) දිනයේදිත් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත වෛරසය ආසාදිත සංඛ්‍යාව 5,76,014 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 180 දෙනෙකු අද (14) දිනයේදීත් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම ආසාදිතයින් සමග අද (14) දිනට පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 762 ක්. ඒ අනුව මෙරටින් හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,76,194 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

++++++++++++++

කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනාධිපතිවරයාට සංදේශයක්

(14.12.2021 – 18:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා වන එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යන අතරවාරයේදී, ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා වන දේශීය විසදුම් වෙත යොමුවිය යුතු බවටත්, ඒ හරහා විදේශ විනිමය අර්බුදයට විසදුම් සෙවිය යුතු බවටත්, යෝජනා කරමින් කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කර තිබෙනවා.

ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා වන දේශීය වශයෙන් වන ආහාර අතිරේකයන් තුළින් විදේශ වෙත ඇදී යන මුදල් ප්‍රමාණය සීමා කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, විදේශ සංචිත අර්බුදය විසදා ගැනීමේදී එය සුබදායී ලෙස බලපානු ඇති බවත් එම සංදේශයේ සඳහන් ෴

++++++++++++++

බූස්ටර් එන්නත ලක්ෂ 14 කට

(15.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා බූස්ටර් එන්නත් මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 14,40,705 දෙනෙකුට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

වයස අවුරුදු 20 ඉක්ම වූ ඕනෑම පුරවැසියෙකුට කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා මාස තුනක් (3) ගත වී ඇත්නම්, තුන්වන (3) මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාගත හැකියි.

එය දිවයිනේ ඕනෑ ම එන්නත්කරණ මධ්‍යස්ථානයක දී ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊයේ (14) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 762 නෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,76,194 ක් දක්වා ඉහළ ගියා.

එසේම, නව මරණ 20 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,661 ක් ලෙසයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

GMOA එකෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අනතුරු ඇඟවීමක් ?

(14.12.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රුක්ෂාන් බෙල්ලන යන අය විසින් මෙහෙය වන වෛද්‍ය සංසදය නමැති සංගමයක් සමග නිල සාකච්ඡා ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

වෛද්‍ය සංගමය පවසන්නේ, රුක්ෂාන් බෙල්ලන හට වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ වෛද්‍යවරයෙක් ලෙස හෝ ලියාපදිංචියවත් නොමැති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගෙන් 95% ක පිරිසක් සාමාජිකත්වය දරණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ආඥා පනතේ හා ආයතන සංග්‍රහයේ පවතින නීතියට අනුව මාරුවීම් මණ්ඩලවල නීත්‍යනුකූල සාමාජිකයෙකු ද වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නීත්‍යනුකූලභාවය අහෝසි කරන ලෙස රුක්ෂාන් බෙල්ලන නමැත්තා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුවත් කර ඇත්තේ.

රුක්ෂාන් බෙල්ලන නමැත්තා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති අපේක්ෂක සමයේ ඉතා අසභ්‍ය ලෙස මාධ්‍ය ප්‍රකාශ සිදු කිරීම නිසා වැඩ තහනමට ලක්ව පසුව රාජිත සේනාරත්න ඇමතිවරයාගේ යුගයේ නාරහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ වැඩබලන තනතුරක් හිමි කරගත් අයෙක් බවයි වාර්තා වන්නේ.

එහිදී පරිත්‍යාගශීලින්ගේ රුධිරය සමාගමකට අයුතු ලෙස ලබා දෙන බවට එල්ල වූ දුෂණ චෝදනා හමුවේ ඊට හිටපු රාජිත අමාත්‍යවරයා ද සම්බන්ධ බව ඔහු විසින් සිදු කළ ප්‍රකාශය මාධ්‍යවල සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල සාක්ෂි ලෙස ද ඉදිරිපත් වී තිබෙනවා.

මෑතක සිට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ කුළුපගව කටයුතු කරන රුක්ෂාන් බෙල්ලන හෙද සභාපති හිමිනමගේ අනුශාසකත්වය යට‌තේ වෛද්‍ය සංසදයක් යැයි පැවසෙන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන අතර, එහි නිලධාරීන් කිහිපදෙනෙකු මිස සාමාජිකත්වයක් තිබේ ද යන්න පවා සැක සහිත බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එවන් ආයතනයක සභාපති යැයි කියා ගන්නා වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ ලියාපදිංචියවත් නැති රුක්ෂාන් බෙල්ලනගේ හඬට කන් දී වැඩකිරීමට තරම් සෞඛ්‍ය ඇමතිවරයා පහතට නොවැටිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

නිත්‍යනුකූල මාරු මණ්ඩල සාමාජිකයන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එම අයිතියට බලපෑම් කරන ඕනෑම මොහොතක දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට පසුබට නොවන බවත්, ඒ නිසා බිඳවැටෙන සෞඛ්‍ය සේවාවේ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටිනවා ෴

******************************************

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

(15.12.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන 18 වනදායින් ආරම්භ වී ලබන වසරේ මැයි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

නව රෙගුලාසිවලට අනුව පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉදිකටුපාන යන විශ්‍රාමශාලා නවාතැන් ලෙස භාවිතා කළ යුතු වනවා.

එමෙන්ම, තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්, විශ්‍රාමශාලා යන ස්ථානවල යාචකයන් විසින් සිඟමන් ඉල්ලීම හෝ ලබා දීම ද නොකළ යුතු වනවා.

එමෙන්ම පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන ඇති ආරක්ෂිත ස්ථානවලදී හැර දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතු බවට ද එම රෙගුලාසිවල සඳහන්.

මීට අමතරව ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන් කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම ද නොකළ යුතු වනවා.

මෙවර ශ්‍රී පාද වන්දනාව සදහා වෙන් කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ පළාබද්දල මාර්ගය, හැටන් – නල්ලතණ්ණිය මාර්ගය හා කුරුවිට – එරත්න මාර්ගයයි.

සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන් හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙදාම තහනම් කර තිබෙනවා.

වන්දනාවේ යෙදෙන බැතිමතුන් එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ළඟ තබා ගත යුතු අතර ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනා කොට නික්ම යා යුතුයි ෴

******************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරාන්තික රිය අනතුරක්

(15.12.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය – 18 කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (15) අලුයම සිදු වූ අනතුරකින් පියෙකු සහ කුඩා දියණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය පියාගේ වයස 39 ක් වන අතර දියණිය සිව් (4) හැවිරිදි වියේ පසුවනවා.

මේ අතර, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් මව සහ පුත්‍රයා මියගියා.

මියගිය මව 53 වන වියේ පසුවන අතර, පුත්‍රයාගේ වයස අවුරුදු 23 ක්.

++++++++

******************************************

නසරානි දේශපාලන රැළකට පාවඩ එලන්නේ නෑ – අමාත්‍ය විමල් වීරවංශ

(15.12.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමඟ ආණ්ඩුව ඇතුළේ හිඳිමින් අප කරන කාර්‍යය, ඇතැමුන් රඟපෑමක් විදියට හුවා දැක්වීමට උත්සාහ දරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

දේශපාලනය රඟපෑමක් ලෙස සිදු කරන පාර්ශවවලට එය සාමාන්‍ය දෙයක් වුව ද අප එසේ සිදු නො කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

******************************************

ඌවේ රෝහල්වල සමිති 18 ක් අද (15) වර්ජනයක

(15.12.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ජාතික සම්මේලනයට අයත් වෘත්තිය සමිති 16 ක් අද (15) ඌව පළාතේ රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ, වැටුප් විෂමතා ගැටලු ඉවත් නො කිරීම සහ සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (14) ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, ඊයේ (14) පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් ෴

******************************************

කැබිතිගොල්ලෑවේ පාසලක ගුරුවරුන් ලෙඩ වෙයි

(15.12.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව – කෝන්ගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් ඊයේ (14) පාසලට පැමිණියත් කිසිදු ගුරුවරයෙකු එහි නො පැමිණි බව වාර්තා වනවා.

ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා පාසල් පැමිණ නො තිබූ අතර, පසුව දරුවන් පාසලෙන් රැගෙන යාමට යි දෙමාපියන් කටයුතු කර තිබුණේ.

අනතුරු ව එම ස්ථානයට පැමිණි කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයෙකු දෙමාපියන්ට පවසා තිබුණේ, පාසලට පැමිණෙන මාර්ගය අබලන් වීම නිසා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා ඇති බවට යි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත පාසල් පැමිණෙන බව ගුරුවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරියා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් ද හටගත්තා.

පස්වන (5) ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කෝන්ගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 140 ක් පමණ සිටින අතර විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් හත්දෙනෙකු (7) ඉගැන්වීමේ කටයුතුවල නිරත වනවා.

කෙසේ වෙතත් විදුහල්පතිවරයා ඊයේ (14) පාසල් පැමිණ තිබුණා ෴

******************************************

කටුනායක ගුවන් තොටුපොළට හදිසි ගොඩ බැස්සවීමක්

(15.12.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ දමාම් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ (14) පස්වරුවේ පිටත් වූ ගුවන් යානයක් හයිඩ්‍රොලික් පද්ධතියේ බිඳ වැටීමක් නිසා යළි කටුනායකට ගොඩ බැස්වීමට නියමුවා පියවර ගත්තා.

කෙසේ වෙතත්, ඒ වනවිට යානය පැය දෙකයි (2) මිනිත්තු 10 ක් පියාසර කර තිබීම ද විශේෂත්වයක්.

එම අවස්ථාව වනවිට A 320 එයාර් බස් වර්ගයේ මෙම යානයේ මගීන් 146 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු ඇතුළු 157 දෙනෙකු ගමන් කරමින් සිටියා.

පස්වරු 05:45 ට කටුනායකින් පිට වූ යානය යළි හරවා පැමිණ රාත්‍රි 07:55 ට ගොඩ බැස්වීමටයි නියමුවා පියවර ගෙන තිබුණේ.

මඟීන් වෙනත් ගුවන් යානයකින් ගමනාන්තය කරා පිටත් කර යැවීමට පියවර ගැනුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *