ආසියාවේ රැජින හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ශ්‍රී ලංකාවෙන් හමු වේ

ආසියාවේ රැජින හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ශ්‍රී ලංකාවෙන් හමු වේ

*********************************************

ආසියාවේ රැජින හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ශ්‍රී ලංකාවෙන් හමු වේ

(12.12.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

තනි ස්ඵටිකයක් ලෙස පවතින ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් වර්ගයේ නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.

ඒ, රත්නපුර – බටුගෙදර ප්‍රදේශයෙන්.

කිලෝග්‍රෑම් 310 ක් බරැති නිල් – සුදු පැහැයෙන් යුත් මෙම මැණික නම් කර ඇත්තේ ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙසයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් පරීක්ෂණාගාරයක මෙම මැණික මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

තනි පාෂාණයකින් නිර්මාණය වීම නිසා ඉහළ වටිනාකමක් සහිත මෙම නිල් මැණික පහළොස් ලක්ෂයකට (15,00,000) අධික කැරට් සංඛ්‍යාවකින් සමන්විත බවයි එහි හිමිකරුවන් සඳහන් කළේ.

++++++++

‘ආසියාවේ රැජිණ’ට ඉහළ ඉල්ලුමක් – ගිනස් පොතටත් යන ලකුණු

(12.12.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

‘ආසියාවේ රැජින’ හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ නමින් හදුන් වන ලොව විශාලතම ස්වභාවික ‘කොරොන්ඩම් බ්ලූ සෆායාර්’ මැණික සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව එහි හිමිකාර ආයතනය පවසනවා.

රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මෙම මැණික හමුවී ඇත්තේ මීට මාස 6 ට පෙරයි.

එතැන් සිට මැණික පරීක්ෂණ සඳහා භාර කෙරුණේ ‘ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ්’ ආයතනයටයි. කොරොන්ඩම් සෆායාර් පවුලට අයත් මෙම මැණික කිලෝ ග්‍රෑම් 310 ක බරකින් යුක්තයි.

එහි කැරට් ප්‍රමාණය පහලොස් ලක්ෂ පනස් දහසකට (15,50,000) ආසන්න බවයි මැණිකේ හිමිකාර ආයතනයේ අධ්‍යක්ෂක චමිල සුරංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වන විට ‘බ්ලූ සෆායාර්’ මැණික ජාතික මැණික් හා සවර්ණාභරණ අධිකාරියේ වාර්තා ද සමඟින් හොරණ ප්‍රදේශයේ තැම්පත් කර තිබෙනවා.

ඒ පිළිබඳව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගේ අධීක්ෂණයට ද ලක් වුණා.

******************************************

අධිකරණ ඇමතිගෙන් නීති සංශෝධනයට නව යෝජනා

(12.12.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන දෙකකට (2) වඩා අඩු මුල්‍ය වටිනාකමක් ඇති නඩු දිවුරුම් ප්‍රකාශ හරහා විසඳගන්නා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

******************************************

අවාරේ ඵල දැරූ රඹුටන්

(12.12.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

දොඩම් වගාවට මුල් තැන දුන් බිබිලේ වගාකරුවන් දැන් වැඩි වශයෙන් නැඹුරු වී ඇත්තේ රඹුටන් වගා කිරීමටයි.

එම ප්‍රදේශයේ අවාරයේ ඵල දරා ඇති රඹුටන් සඳහා හොඳ මිලක් පැවතීම මීට හේතුව බව වගාකරුවන් පවසනවා.

රඹුටන් වගාවට ප්‍රසිද්ධ මල්වාන ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් රඹුටන් ඵලදරන්නේ ජූලි සහ අගොස්තු මාසවලයි.

එහෙත් බිබිලේ ප්‍රදේශයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රඹුටන් වගාව ඵලදරා තිබෙනවා.

මේ වන විට බිබිල, මැදගම, කැන්දවින්න, වෑගම, කණුල්වෙල, බකිණිගහවෙල යන ගම්මානවල ගොවීන් දහසකට (1000) අධික පිරිසක් රඹුටන් වගාවට යොමු වී තිබෙනවා.

******************************************

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තබයි

(12.12.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් වූ නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් කේබල් කාර් ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කිරීම පසුගිය දා සිදුවුණා.

නානුඔයේ සිට නුවරඑළිය දක්වා අදියර දෙකකින් (2) කිලෝමීටර් 4 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයන්නේ ස්වීඩන විදේශ ආධාර ක්‍රමය යටතේයි.

ඉදිරි මාස 18 තුළ එහි ඉදිකිරීම් සමාප්ත කිරීමට හැකි වනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා ෴

******************************************

කසළ තේ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(12.12.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ‘Ceylon Tea’ නමින් කසළ තේ තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදීයි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී අපනයනය කිරීමේ අරමුණින්, ප්‍රවාහනය කළ කසළ තේ කිලෝ ග්‍රෑම් 6000 ක් සමඟ තේ ප්‍රවාහනය කළ වෑන් රථයත් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බූ වැලිකඩ පදිංචි වයස අවු. 34 ක් වූ අදාළ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දවුලගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

අවම මිල ගණන් යටතේ සතොසේ භාණ්ඩ නැහැ – පාරිභෝගිකයින්ගෙන් චෝදනා

(12.12.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

සතොස හරහා භාණ්ඩ 50 ක් අවම මිල ගණන් යටතේ අලෙවි කරන බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළ ද අවම මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහි නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් අඩු මිලට ලබාදීම අද (12) සිට ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, සතොස අලෙවිසැල් වෙත පැමිණි ජනතාව ප්‍රකාශ කර සිටියේ අවම මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම අලෙවිසැල් තුළ නොමැති බවයි.

මේ අතර, ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් එළවළුවල මිල ගණන් දිනෙන් දින සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

ඉදිරියේදී මෙම තත්වය තවදුරටත් උග්‍රවනු ඇති බවයි ආර්ථික මධ්‍යස්ථානවල නියෝජිතයින් සඳහන් කළේ.

******************************************

ගෑස් ආශ්‍රිත සිදුවීමකින් කුණ්ඩසාලේ තිදරු මවක් මරුට – කුරුවිට තරුණියකටත් තුවාල

(12.12.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

51 හැවිරිදි තිදරු මවක් මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය තාවකාලික පදිංචිය සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති අවස්ථාවේදී එම අනතුර සිදුව ඇති බව සඳහන්.

මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එම අවස්ථාවේදී නිවසෙහි ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් අනතුරුවයි ඇය අද (12) දින ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

එමෙන්ම, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ නිවසක ද අද (12) පස්වරුවේ ගෑස් ආශ්‍රිතව ඇති වූ සිදුවීමකින් 19 හැවිරිදි තරුණියන් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව නිවසේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් අද (12) දිනයේදීත් ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වී තිබුණා.

මේ අතර, යළිත් වරක් වෙළදපොළේ ගෑස් හිගයක් මතුව තිබෙනවා.

ලාෆ්ස් ගෑස් සැපයුම සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් දක්නට නොලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

එමෙන්ම, ලිට්රෝ සමාගම නව ප්‍රමිතීන් යටතේ වෙළඳපොලට ගෑස් සැපයුවද පාරිභෝගිකයන් පරණ තොග යටතේ මිලදී ගත් ගෑස් සිලින්ඩර මාරු කිරීමට රැගෙන ඒමත් සමග අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මීට දින කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට නියෝග කළේ දෙසැම්බර් 04 වනදාට පෙර මිලදී ගත් මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, මුද්‍රා ඉවත් නොකළ ගැටලු සහගත ගෑස් සිලින්ඩර හුවමාරු කිරීමට රැගෙන ආ විට නව සිලින්ඩරයක් ලබාදීම සදහා පාරිභෝගිකයන්ගෙන් කාලසීමාවක් ඉල්ලා සිටි බවද වාර්තා වනවා.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ලිත්‍රෝ සමාගමෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බවයි.

මෙවන් පසුබිමක ලිට්රෝ ආයතනයට අයත් ගෑස් අඩංගු නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර, නව සංයුතියෙන් යුත් මෙම ගෑස් තොගය හෙට (13) සිට ගොඩබෑමට නියමිතයි.

******************************************

දියර පොහොර කෑන් පුපුරා යාම ස්වභාවික ක්‍රියාවලියක්

(12.12.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

දියර පොහොර අඩංගු කෑන් පුපුරා යන බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුවද එය ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව ගෝලීය ජෛව පද්ධති ඉංජිනේරු චන්දන සෙනෙවිරත්න පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

ආගමික නායකයින්ගෙන් කාදිනල්හිමි කළ ඉල්ලීම

(12.12.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

ආගමික නායකයින් දේශපාලන පක්ෂවල සමාජිකයින් නොවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

ගනේමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ ආගමික නායකයින් දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සදහා භාවිත කිරීම ආගමට කරන නින්දාවක් බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ලද පළමු අවස්ථාවේදී ම තුන්වන මාත්‍රාව ගන්න – සෞඛ්‍ය අංශ

(12.12.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන තුන්වැනි මාත්‍රාව හිමිවන පළමු අවස්ථාවේම ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ තුන්වැනි මාත්‍රාව ලබාගත් පසු ඇතිවන සුළු රෝග ලක්ෂණවලට බිය නොවන ලෙසයි.

+++++++++++++

20 පිරූ සැමට බූස්ටර් එන්නත ලබා ගත හැකි බවට ඇමති චන්න කියයි

(12.12.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු විස්ස (20) ඉක්මවූ ඕනෑම පුරවැසියෙකුට කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා මාස තුනක් (3) ගතවී ඇත්නම් තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා දිවයිනේ ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගොස් වර්ධක එන්නත ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස වර්ධක එන්නතක් ලෙස තුන්වන (3) මාත්‍රාවට ලබාදෙන්නේ ‘ෆයිසර් බයෝ එන්ටෙක්’ කොරෝනා එන්නතයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු (1) සහ දෙවන (2) එන්නත් මාත්‍රා ලෙස ඇස්ට්‍රා සෙනෙකා – කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික් සහ මොඩර්නා එන්නත් ද ලබාදෙනු ලැබුවා.

එලෙස කවර එන්නතක් ලබා ගත්තද, දෙවන (2) මාත්‍රාව ලබා මාස තුනක් (3) ගතවී ඇත්නම් වයස අවුරුදු විස්ස (20) ඉක්මවූවන්ට මෙලෙස තුන්වන (3) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත හැකියි.

+++++++++++++

ආසාදිතයින් 425 ක් පූර්ණ සුව අතට

(12.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛ‍රසය ආසාදනය වූ පුද්ගලයින් 425 දෙනෙකු අද (12) දිනයේදී සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 5,45,051 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++

තුන්වන මාත්‍රාව ගැනීමෙන් පසුව ඇති වන රෝග ලක්ෂණ සාමාන්‍ය තත්වයක් – විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

(12.12.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන (3) මාත්‍රාව ගැනීමෙන් පසුව ශරීරය තුළ ඇතිවන කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන තත්වය පිළිබඳ බියක් ඇතිකර නොගන්නැයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

තුන්වන (3) මාත්‍රාව ගැනීමෙන් පසු දින 3 ක් පමණ ගතවනතෙක් උණ සහ ශරීරයට තෙහෙට්ටු බව වැනි රෝග ලක්ෂණ ඇතිවීම සාමාන්‍ය තත්වයක් බවයි ඇය සඳහන් කළේ.

එවැනි අවස්ථාවකදී හැකිතාක් දියර වර්ග පානය කරන ලෙසත් පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖධය නියමිත මාත්‍රාවෙන් භාවිතයට ගන්නා ලෙසයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ ෴

++++++++++++++

තවත් කොරෝනා මරණ 19 ක්

(12.12.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 19 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු මරණ ගණන 14,614 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 538ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,72,726 ක් ෴

අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 176 ක් මෙරටින් වාර්තා වනවාත් සමඟ අද (12) දිනයේ හමුවූ මුළු ආසාදිතයින් ගණන 714 ක් වනවා. ඒ අනුව මෙරටින් හමු වූ මුළු ආසාදිතයින් ගණන 5,72,902 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *