මෝටර් රථයක් සහ ජංගම දූරකථන 04 ක් සොරකම් කළ සොරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

මෝටර් රථයක් සහ ජංගම දූරකථන 04 ක් සොරකම් කළ සොරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

*********************************************

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

(07.12.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 02 වැනි දින පෙරවරුවේ දී මාවනැල්ල – වලකඩයාය ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ ජංගම දූරකථන 04 ක් සොරකම් කළ පුද්ගලයෙකු සම්බන්ධ පැමිණිල්ලක් නිකබෝව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මාවනැල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ අයිතිකරු විසින් මෙම පැමිණිල්ල මාවනැල්ල පොලිස් ස්ථානය වෙත සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්, මාවනැල්ල පොලීසිය විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය පතනවා.

මෙම පැමිණිලිකරු කුලීරථ රියැදුරෙකු වන අතර, නොවැම්බර් මස 30 වැනි දින මෙම රියැදුරුගේ දූරකථන අංකයට සැකකරු විසින් ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, කොළඹ සිට මහනුවර නගරය වෙත යාමට කුලීරථයක් අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ සැකකරුව මෙම සිද්ධියට පාත්‍ර වූ රියදුරු විසින් කටුනායක අධිවේගී මාර්ගය අසලින් සිය රථයට නංවා මහනුවර බලා පිටත්ව ගොස් ඇති බවයි එම පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ.

අනතුරුව කුලීරථ රියදුරුට අවස්ථා දෙකක (2) දී තේ පැන් සහ ආහාර ද්‍රව්‍ය සැකකරු විසින් ලබා දී ඇති අතර, නැවත මහනුවර සිට කොළඹට පැමිණීමේ දී පැමිණිලිකරුට වමනය සහ මත්ගතිය හේතුවෙන් තමන් සමග පැමිණි පුද්ගලයා වෙත වාහනය පදවාගෙන යාමට ලබා දී තිබෙනවා.

පැමිණිලිකරු රථය පැදවීම සැකකරුට ලබා දීමෙන් පසු, සැකකරු වලකඩයාය ලැඟුම්හලකට මෝටර් රථය ගෙන ගොස් , පැමිණිලිකරුව එහි රඳවා මෝටර් රථය සහ ජංගම් දූරකථන 04 ද රැගෙන පලා ගොස් ඇති බවයි පැමිණිලිකාර පාර්ශ්වය පොලීසියට ලබා දුන් පැමිණිල්ලේ සඳහන් ව ඇත්තේ.

මෙලෙස මංකොල්ලකෑමට ලක් වූ මෝටර් රථය වැගන් ආර් වර්ගයේ සුදු පැහැති මෝටර් රථයක් වන අතර, එහි වාහන ලියාපදිංචි කිරීමේ අංකය ලෙස දැක්වෙන්නේ, NC-CAS 9729 දරණ අංකයයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් මහජනතාව වෙත සැකකරුගේ සී.සී.ටී.වී. දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, යම් කිසි තොරතුරක් වෙතොත්, ඒ පිළිබඳ ව වහාම මාවනැල්ල පොලිස් ස්ථානය වෙත දැනුම්දීමට ද දූරකථන අංක දෙකක් (2) ලබා දී තිබෙනවා.

ඒ අනුව මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දූරකථන අංකය 071 859 1418 සහ මාවනැල්ල පොලීසියේ දූරකථන අංකය 035 224 7622 ජනතාව වෙත පොලිසිය විසින් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

******************************************

අභියාචනාධිකරණය පොඩි ලැසී ගැන ඉදිරි ක්‍රියාමාර්ග විමසයි

(07.12.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසා ලබන 13 වනදා අධිකරණය දැනුවත් කරන්නැයි අභියාචනාධිකරණය, නීතිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

ඒ තම ජීවිත ආරක්ෂාව සහතික කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ‘පොඩි ලැසී’ ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ අද (07)දින කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

තම සේවාදායකයාගේ රැඳවුම් නියෝගය ළඟදීම අවසන් වීමට නියමිතව ඇති බවත්, ඔහු පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට මාරු කිරීමේ සූදානමක් පවතින බවත් පෙන්වා දුන් නීතිඥවරයා ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය බව ද සඳහන් කළා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ, සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන බවට නීතිපතිවරයා ඉකුත් මැයි 21 වනදා අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවයි.

එම ප්‍රතිඥාව මේ දක්වා උල්ලංඝනය නොවී ඇති බව ද ඔහු කියා සිටියා ෴

******************************************

තරුණියක පැහැරගත් ටිපර් රථයක් පෙරළී තරුණයෙකු මරුට

(07.12.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

තරුණියක් පැහැරගෙන යමින් සිටි ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඇළකට පෙරළී එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තරුණිය ඇතුලු දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තාවනවා.

කිලිනොච්චිය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් ටිපර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (06) රාත්‍රියේ පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් තරුණියගේ පෙම්වතා යතුරුපැදියකින් ටිපර් රථය ලුහුබැඳ යාමත් සමඟ වේගය පාලනය කරගැනීමට නොහැකිව ටිපර් රථය ඇළකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴

******************************************

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පාකිස්ථානයේ උලෙමා සභාවත් හෙළා දකී – එරට ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයටත් විරෝධය

(07.12.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා පාකිස්ථානයේ සියල්කොට්හිදී පහරදී ඝාතනය කොට ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධිය එරට ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සමන්විත උලෙමාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

පාකිස්ථාන ඉස්ලාමීය ආගමික කවුන්සිලයේ සභාපති ආචාර්ය කිබ්ලා අයාස් විසින් ප්‍රකාශයට පත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ එය, ඉස්ලාම් විරෝධී මෙන්ම අමානුෂික, අත්තනෝමතික ඝාතනයක් බවයි.

ඊට සම්බන්ධ වූවන්ට නීතිය මගින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසද එමඟින් ඉල්ලීමක් කළා.

පාකිස්ථාන ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සමන්විත උලෙමාව ඉස්ලාමාබාද් නුවරදී, ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මුණගැසීමෙන් අනතුරුවයි එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.

ප්‍රචන්ඩකාරී පිරිස් වෙතින් ප්‍රියන්ත කුමාර බේරාගැනීමට උත්සහයක් දැරූ මලික් අද්නන්ට වීරත්වයේ පදක්කම පිරිනැමීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගනු ලැබූ තීරණයද ඉස්ලාමීය උලෙමාවේ ප්‍රසාදයට ලක්වුණා.

ඒ අනුව ‘තම්ගා ඊ සුජාත්’ වීරත්ව සම්මානය සඳහා වන සහතික පත්‍රය පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් අද (07) පස්වරුවේ ‘මලික් අද්නන්’ට පිරිනැමීමටයි කටයුතු කළේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සමාව දීමට ආගම හේතුවක් නොවන බවයි.

එසේම ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ඩොලර් ලක්ෂයක ප්‍රදානයක් පිරිනමන බවත්, ඔහුගේ මාසික වැටුප අඛන්ඩව ලබාදෙන බවත්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම උත්සවයේදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ආගමික නායකයින් හා දේශපාලනඥයින් ඇතුලු පිරිස් මේ වනවිටත් ගනේමුල්ල – කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටිනවා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කටක් ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ බවට පාකිස්ථාන් ඩේලි පුවත්පත ඊයේ (06) චෝදනා කළා.

අද (07) දිනයේදී ද පාකිස්ථානයේ මාධ්‍ය එම ප්‍රකාශය විවේචනය කර තිබීම විශේෂත්වයක්.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) පස්වරුවේ ගනේමුල්ල -පොල්හේන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මගින් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය සඳහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ප්‍රදානය කිරීමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා ෴

******************************************

විදුලි කප්පාදුව අද (07) සහ හෙටත් (08)

(07.12.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (07) සහ හෙට (08) රාත්‍රියේ පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ පස්වරු 6 ත්, රාත්‍රී 09:30 ත් අතර කාලය තුළ දී මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු (1) කොටස පමණක් මේ වන විට ජාතික පද්ධතියට එක් කර ඇති අතර එහි දෙවන (2) කොටස පද්ධතියට එක් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

එම කටයුතු නිමාවීමෙන් වීමෙන් පසු විදුලි කප්පාදුව අවසන් කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය මස 15 වනදා සිට දින 22 ක් වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (07) පෙරවරුවේ යලි ආරම්භ කෙරුණා.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකදී සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ වත්මන් බලශක්ති අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරීමේ සැළැස්මකට සූදානමින් සිටින බවයි ෴

******************************************

පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන සොයාබැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයින්ගේ නාමලේඛනය හෙට (08)

(07.12.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා වු කමිටුවට නම් කළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය හෙට (08) සභාවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අදත් (07) පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සභාවට නොපැමිණි අතර ඔවුන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැයකට ආසන්න කාලයක් විරෝධතාවක නිරත වුනා.

සමගි ජන බලවේගය නොපැමිණිම හේතුවෙන් පරිසර, වනජිවි සහ ධිවර යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ අද (07) විවාදයට නොගෙන අමාත්‍යාංශ සංශෝධන පමණක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කරුණු දැක්වීම පමණක් සිදු කළා.

එසේම, අදහස් දැක්වීම් සදහා තම මන්ත්‍රීවරුන්ගේ කිසිදු නමක් ඇතුළත් කර නොමැති බවට එහිදි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් විපක්ෂයට චෝදනාවක්ද එල්ල කළා ෴

******************************************

මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සිය ධුර කාලය අවසන් කරයි

(07.12.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවුණා.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගැනීමට නියමිත කර්නල් පෝල් ක්ලේටන් ද නික්ම යන ආරක්‍ෂක උපදේශක ලේකම්වරයා හමුව සුහද සාකච්ඡාවක නිරත වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙහිදී, කර්නල් අෂ්මන් විසින් ශ්‍රී ලංකාවේ ධුර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ආරක්‍ෂක ලේකම් වෙත සිය කෘතඥතාව පළ කළා.

නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයාගේ සේවය අගය කළ ආරක්ෂක ලේකම්වරයා, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් පළ කළ අතර, ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුවා ෴

******************************************

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයට

(07.12.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් යුගදනවි මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) විරෝධතා ගොනු කළා.

අදාල ඇමතිවරුන් තිදෙනා (3) යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධතා පළ කළ අතර ඔවුන් නිරන්තරයෙන් කියා සිටියේ මෙම ගිවිසුම හකුලා නොගන්නේනම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මීට පෙර කැඳවූ අවස්ථාවේදීත් මෙම අමාත්‍යවරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා නොගත් අතර ඔවුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයින් පෙනී සිටියා ෴

******************************************

ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදක ආනන්ද එස්. විජයසිරි මහතා අභාවප්‍රාප්ත වේ

(07.12.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදක, ගී පද රචක ආනන්ද. එස්. විජයසිරි මහතා අද (07) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා පසු වූයේ, 80 වැනි වියෙහි යි.

කෙටි කලක සිට අසනීප තත්ත්වයකින් පසු වූ ඒ මහතා, ප්‍රතිකාර ලබමින් සිටියදීයි, අද (07) දින අභාවප්‍රාප්ත වූයේ.

ඔහු කීර්තිමත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, නාට්‍යකරුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, චිත්‍රපට පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, නළුවෙකු සහ ගායකයෙකු ද ලෙසින් ජනප්‍රියත්වයට සහ ගෞරවයට ප්‍රේක්ෂකයාගේ පාත්‍ර වී සිටියා.

ඔහුගේ නිර්මාණ අතර ‘දෙව්ලොව යනකන්’, ‘ජුලියස් සීසර්’ සහ ‘ඔතෙලෝ’ යන වේදිකා නාට්‍ය සහ ‘ගලබොඩ හස්තියා’ ටෙලි නාට්‍ය ඇතුළත්.

******************************************

සා/පෙළ අසමත් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා – ඇමති ෂෙහාන්

(07.12.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව යටතේ මේ වන විට දිවයින පුරා රැකියා වියුක්ත තරුණ තරුණියන්ට රජයේ රැකියා අවස්ථා හිමි කරදීමේ අදියර ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද (07) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට නව රජය යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කඩයිම පසු කිරීමට නොහැකි වූ තරුණ තරුණියන් හට රජයේ රැකියා අවස්ථා ලබා දී ඇති බවයි.

ඒ පිළිබඳ ව වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාමාන්‍ය පෙළ කඩයිම පසු කිරීමට නොහැකි වූ තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා පුහුණුව යටතේ රැකියා ලබා දීම ආරම්භ කර ඇති අතර, එම නව වැඩපිළිවෙළ යටතේ මේ වනවිට තරුණ තරුණියන් 45,000 ක් රැකියා සඳහා බඳවා ගෙන ඇති බවයි.

වත්මන් රජය යටතේ සංවර්ධන නිලධාරී තනතුර සඳහා ද කොවිඩ් වසංගතය හමුවේ වුව ද, උපාධිධාරීන් 60,000 කට රැකියා ලබා දී, ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ද කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම, 2015 සිට 2019 තෙක් රට තුළ මන්දගාමී ආර්ථික රටාවක් පැවතිය ද, එම කාලවකවානුවේ ලබා දුන් රාජ්‍ය සේවයෙහි රැකියා 22,145 කට වඩා වැඩි ප්‍රමාණයක් 2020 සිට නව රජය යටතේ උපාධිධාරීන්ට ද ලබා දී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

(07.12.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

අද (07) මධ්‍යම රාත්‍රියේ NRFC ගිණුම් රුපියල් බවට පරිවර්තනය කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා ෴

******************************************

සජබෙ අදත් (07) අරගලයේ

(07.12.2021 – 22:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සිකුරාදා ඇති වූ සිද්ධියට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අදත් (07) නිහඬ විරෝධතාවයක නිරත වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන තුනකටද පැමිණිලි කර තිබෙනවා.

කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු හෙට (08) සිට යලි පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීමට තීරණය කළ බව, සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පා. ම. තිස්ස අත්තනායක පවසනවා ෴

******************************************

ගුවනින් මැඩලන රථවාහන තදබදය

(07.12.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ දිනපතා දක්නට ලැබෙන රථවාහන තදබදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද මේ වනවිට එක්ව සිටිනවා.

ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඔවුන් පසුගියදා දියත් කළා.

මේ ඒ පිළිබඳව විමසා බැලීමක්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 423 ක් සුවය ලබයි

(07.12.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 423 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,43,111 ක්. මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 10,828 ක් බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 526 ක් අද (07) දින වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 5,68,949 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 222 දෙදෙනකු අද (07) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව අද දිනට පමණක් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 748 ක්. එම ආසාදිතයින් 748 දෙනාත් සමග මෙරටින් හමුවන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5,69,171 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *