2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා – ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා – ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

*********************************************

2022 වසරේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරනවා – ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

(07.12.2021 – transport.gov.lk)

එළඹෙන 2022 වසරේ මගී ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට මේ වනවිටත් සැලසුම් සකස්කර ඇති බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරන බවත්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අමත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ, 2022 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රවාහන සැලැසුම් පිලිබඳව අමාත්‍යංශයේ නිලධාරින් සමග 2021-01-07 පැවති සාකච්ඡාවකදීය.

අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ‘සහසර’ ව්‍යාපෘතිය මගින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2000 ක් සඳහා GPS තාක්ෂණය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මේ සඳහා රුපියල් දසලක්ෂ 200 ක් වැය කරනු ලබයි.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරිය පැවසුයේ – බස්රථ සදහා GPS තාක්ෂණය ලබාදීමත් සමග ජනතාවට එම සේවාව පරිහරණය කිරිම සඳහා නොමිලේ යෙදවුමක් (Mobile App) ලබා දීමට කටයුතු කරනු බවයි. ඒ අනුව තම ගමන් සඳහා යොදා ගන්නා බස්රථ කුමන වේලාවට ලඟා වෙන්නේද, එහි සිටින මගී සංඛ්‍යාව ඇතුළු සවිස්තරාමක වාර්තාවක් තම ජංගම දුරකථනයට ලබා ගැනිමේ හැකියාවද ලැබෙනු ඇති බවයි.

මෙන්ම 2022 වසරේදි මගී ජනතාවට විද්යුත් ප්‍රවේශපත්‍රයක් (E-Ticket) හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කරන බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි අවධාරණය කලේය.

කොළම නගරයේ මාර්ගතදබදය අවම කිරිමේ අරමුණ ඇතිව ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park and Ride) ක්‍රමය පුළුල් කිරිම සඳහා ප්‍රධාන නගර 08 ක තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කිරිමට ප්‍රවාහන අමාත්‍යංශයේ ‘3K’ ව්‍යපෘතිය කටයුතු කරන බවද පැවැසිය. එමෙන්ම බස්රථ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුබසාධනය සඳහා වු ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සැලැසුම් සකස් කර ඇති බව මෙම සාකච්ඡාවේදි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච් මහත්මිය අවධාරණය කලේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, ‘සහසර’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක යොහාන් රත්නායක, 3K ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානයක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ ෴

******************************************

ගයිරෑනගම – තෝරකන්ද යා කරන පාලම කඩා වැටීමෙන් ජන ජීවිත වලට බාධා

(07.12.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර, බඹරබොටුව සහ තෝරකන්ද ගම්මාන යා කෙරුනු කම්බි පාලම කඩා වැටී වසරකට අධික කාලයක් ගත වුවද, මේ දක්වා කිසිදු පිළියමක් ලබා දි නැති බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සිය දෛනික අවශ්‍යතා සඳහා බඹරබොටුව ඔය තරණය කරන්නේ සිය ජීවිත පවා අවදානමේ හෙළමින්.

******************************************

පොහොර යෙදීම පසේ සංයුතිය අනුව

(07.12.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

පස් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ලබන වසර සඳහා අයවැයෙන් වෙන් කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබදව ඊයේ (06) දින අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

පසේ සංයුතිය අනුව පොහොර යෙදීම සිදුකළහොත් රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන මධ්‍යස්ථාන 362 කට ලබාදී ඇති බවත් තවත් මධ්‍යස්ථාන 200 කට පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබාදීමේ හැකියාවක් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා ෴

******************************************

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවියා කියයි

(07.12.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

= අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී රාජ්‍ය ඇමති කියයි =

වන අලීන් පහරදීමෙන් දැනට සිදුවන හානි සංඛ්‍යාව ලබන වසර වනවිට සියයට 50 කින් අඩුකරගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ අගෝස්තු 20 වනදා තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවේ අද (07) පැවැත්වෙන 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ෴

******************************************

උපරිමාධිකරණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ ප්‍රතිසංස්කරණයට සැරසේ

(07.12.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර, වර්තමාන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව චීන රජය සමග සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) සිදු වූ අතර, එහිදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක ලී ගුවාන්ජ්ගුන් අතර වූ ගිවිසුම අත්සන් කිරීම ද සිදු කෙරුණේ අධිකරණ අමාත්‍යාංශයේ දී යි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂැන්හොන්ග් ද එක් වුණා.

මෙම අලුත්වැඩියාව සඳහා චීන සමූහාණ්ඩුවේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හිස්කර දියයුතු බවයි.

නමුත් අධිකරණ අමාත්‍යවරයා විසින් චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සිදු කළ සාකච්ඡා අනුව කලාපවලට අධිකරණ සංකීර්ණය වෙන්කර, කලාපයෙන් කලාපයට මෙම අලුත්වැඩියාව සිදු කිරීමට එකඟ වුණා.

මෙම අලුත්වැඩියාව සම්පූර්ණයෙන්ම ආපසු නොගෙවීමේ ආධාර මුදලක් ලෙස ලැබෙන රුපියල් මිලියන 7680 ක වියදමින් සිදු කිරීමට නියමිත අතර, දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අභියාචනාධිකරණයට ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ සිට දිගු කාලයක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරටෙහි ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් චීන රජය ඉතා සංවේදීව කටයුතු කර ඇති අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලදී පවා අප හට ශක්තියක් වීමට චීන රජය අමතක නොකළ බවයි.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වුණා ෴

******************************************

විගමනික ශ්‍රමිකයින්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන ජනවාරියේ සිට

(07.12.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

විගමනික ශ්‍රමිකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

හාලිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කාන්තාවන් විදේශ රටවල ගෘහ සේවිකාවන් ලෙස පිටත් කිරීම නතර කර, ඒ වෙනුවට පුහුණු ශ්‍රමිකයින් විදේශ රටවල සේවයට යැවීම දිරිගැන්විය යුතු බවයි.

එසේම විදේශ රටවල රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය ලබාදීමට කටයුතු කළ යුතු සේම ඔවුන් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් සකස් කර ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කළා ෴

******************************************

වාරියපොල ප්‍රාදේශීය සභාව රාජා කොල්ලුරේ මහතාගේ ඡායාරූපය වත් හඳුනන්නේ නැති හැටි

(07.12.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ පරිනත පතාක යෝධයකු වූ රාජා කොල්ලුරේ මහතායි.

ලෝ පුරා පැතිර ගිය කොවිඩ්-19 මාරක වසංගතයෙන් ගැලවෙන්නට මේ පරිණත දේශපාලනඥයාටත් හැකිවුනේ නැහැ.

හරියටම මීට සතියකට පෙර කොවිඩ්-19 වැළදීම හේතුවෙන් ගිලන් වූ ඔහු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා කොතලාවල ආරක්ෂක පීඨ රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (07) උදෑසන සිය දිවි ගමනට නැවතීමේ තිත තැබුවා.

මොහුගේ මේ වියෝවත් සමග වයඹ පළාත පුරා ප්‍රාදේශීය සභා නගර සභා ආදියෙහි සිය ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් පළ කරන දැන්වීම් ප්‍රදර්ශනයට පියවර ගැණුනා.

මේ වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ මන්ත්‍රි මණ්ඩලය එක්ව රාජා කොල්ලුරේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කර තිබු දැන්වීමයි.

මෙහි විශ්මයට කරුණ වන්නේ මෙම ප්‍රාදේශීය සභාවේ එකදු සාමාජිකයෙකු හෝ සිය බල ප්‍රදේශයට අයත් ආණ්ඩුකාරවරයාගේ රුව කෙසේ වෙතත් ඡායාරූපය වත් දැක නොමැති ද යන්නයි.

මෙම දැන්වීමේ රාජා කොල්ලුරේ මහතා ගේ ඡායාරූපය වෙනුවට ඔවුන් ප්‍රදර්ශනය කර ඇත්තේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම හිටපු කොළඹ පුරපති වරයකුද වන මොහොමඩ් මුසාමිල් ගේ ඡායාරූපයයි.

අවම තරමින් සිය ආණ්ඩුකාරවරයාට ශෝකය පළ කිරීමට ප්‍රදර්ශනය‍ කරන දැන්වීමක් හරිහැටි කළමනාකරණය කරගත නොහැකි ප්‍රාදේශීය සභාවකින් එතැනින් එහාට දෙයක් බලාපොරොත්තු විය හැකිද ????

******************************************

ධීවර සංස්ථාවේ කෝටි 08 ක අලාභයක් ගැන මන්ත්‍රී දිලිප්ගෙන් හෙළිදරව්වක්

(07.12.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දායක වන ධීවර අමාත්‍යාංශය වත්මන් රජය යටතේ වගකිව යුතු අමාත්‍යවරයාගේ දැනුවත් වීම මත මේ වන විට දැඩි ලෙස පාඩු ලබමින් පවතින අමාත්‍යාංශයක් බවට පත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසනවා.

මන්ත්‍රීවරයා කියා සිටියේ, වරායේ සිර වී තිබූ මාළු අඩංගු කන්ටේනර් බහාලුම් දෙකක් (2) ධීවර සංස්ථාවට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී තිබිය දී, එය පෞද්ගලික පාර්ශ්වයකට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

එලෙස පෞද්ගලික සමාගමකට මෙම කන්ටේනර් දෙකෙහි (2) අයිතිය ලබා දීමත් සමග ධීවර අමාත්‍යාංශයට රුපියල් කෝටි 08 ක අලාභයක් සිදුව ඇති බවට හෙතෙම චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ, ධීවර සංස්ථාව හරහා ජනතාවට ලබාදීමට තිබූ මෙම මාළු කන්ටේනර දෙක (2) ලබා දී ඇත්තේ, ‘සිරිලක්’ නමැති ආයතනයකට බවයි.

මේ වනවිට රට තුළ පොහොර නොමැති වීමෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට අත්ව ඇති ඉරණම ම, ධීවර ජනතාවටත් උදා කර දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ ෴

******************************************

කඳාන දුම්රිය ස්ථානය තාවකාලිකව වැසේ

(07.12.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට අද (07) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්වරයා සඳහන් කරන්නේ, අදාළ දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම් රිය ස්ථානාධිපතිවරයා හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව කදාන උප දුම්රිය ස්ථානය විෂබීජහරණය කර, නැවතත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන තෙක් වසා තැබීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත්තේ.

එම දුම්රිය ස්ථානය මගීන් සඳහා විවෘත අතර, දෙපස දුම්රිය ස්ථාන මගින් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තාවකාලිකව ලබා දී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව එම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි දුම්රිය නැවත්වීමට ද කටයුතු කර තිබෙනවා ෴

******************************************

කොරෝනා මරණ 21 ක්

(07.12.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 21 දෙනෙකුගේ මරණ අද (07) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව වයිරසය ආසාදනය වීමෙන් මෙරට ජීවිතක්ෂයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,505 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ ෴

******************************************

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වේ

(07.12.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1 දී එම රැස්වීම පැවැත්වු බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, එම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගෙන තිබෙනවා.

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු එම අවස්ථාවට එක්ව සිටියා.

******************************************

ත්‍රිකුණාමලයේ අනතුරකින් 38 කට තුවාල

(07.12.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – චීන වරාය ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇඟළුම් කර්මාන්තශාලාවක සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කෙරුණා ෴

******************************************

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ඍජු ගුවන් ගමන් යළි හෙට (08) සිට

(07.12.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නතර කෙරුණු ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ඍජු ගුවන්ගමන් හෙට(08) යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව, ලොට් පොලිෂ් ගුවන් සමාගම සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ මෙරට පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම් බරකූස්කි අතර අද (07) දින පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වී තිබෙනවා ෴

******************************************

වැඩ කරන සතිය දින හතරහමාරක් (4½) බවට පත්කල පළමු රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි

(07.12.2021 – 18:32 +0530 – hirunews.lk/sinhala)

වැඩ කරන සතිය දින හතරහමාරක් (4½) බවට පත්කල පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා (01) සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක්, සෙනසුරාදා සහ ඉරිදා යි.

දැනට ලොව පුරා සම්මත වැඩ කරන සතිය ලෙස සැළකෙන්නේ දින 05 ක කාලයක්.

ජනවාරි පළමුවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පැය 4 හමාරකට සීමාවනවා.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි ඔවුන් නව සැළසුම ප්‍රකාශයට පත් කර ඇත්තේ ෴

******************************************

වන්නියෙන් මතු වූ පුපුරා නොගිය මෝටාර්

(07.12.2021 – 18:26 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, උමයාල්පුරම් ප්‍රදේශයේ පිපිරීමකට ලක් වූ නිවසේ හා ගෙවත්ත තුළ තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ 40 ක් අද (07) දින කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය , උමයාල්පුරම්හි අබිලි යකඩ එකතු කිරීමේ ස්ථානයේ දී පසුගිය 05 වැනිදා සිදු වූ පිපිරීමකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 13 හැවිරිදි දරුවෙකු ද එම අනතුරෙන් තුවාල ලැබුවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසූවේ අදාළ නිවස තුළ හා ගෙවත්ත තුළ තිබි මෝටාර් උණ්ඩ හා තවත් පුපුරණ ද්‍රව්‍ය කොටස් තොගයක් තිබී සොයාගත් අතර, ඒවා අධික ලෙස දිරාපත්ව තිබූ බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *