ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි

*********************************************

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි

(07.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහයට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (07) අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ගනේමුල්ල – කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි උන්වහන්සේ, දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ප්‍රියන්ත කුමාරගේ බිරිඳ, දරුවන් සමඟ ද සාකච්ඡාවක නිරත වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

++++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගණේමුල්ල නිවසට

(07.12.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහර දී පුළුස්සා ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මෘත දේහය අද (07) අලුයම ගණේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පන්ජාබ් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු අද (07) අත්අඩංගුවට පත්වීමත් සමඟ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 130 කට අධිකයි.

++++++++++++++

ප්‍රියන්ත කුමාර ඝාතනය, පාකිස්ථාන ඉස්ලාමීය ආගමික උලෙමාව හෙළා දකී

(07.12.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා පාකිස්ථානයේ සියල්කොට්හි දී පහර දී ඝාතනය කොට ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධිය එරට ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සමන්විත උලෙමාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

පාකිස්ථාන ඉස්ලාමීය ආගමික කවුන්සිලයේ සභාපති ආචාර්ය කිබ්ලා අයාස් විසින් ප්‍රකාශයට පත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ එය, ඉස්ලාම් විරෝධී මෙන්ම අමානුෂික, අත්තනෝමතික ඝාතනයක් බවයි.

ඊට සම්බන්ධ වූවන්ට නීතිය මගින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස ද එමගින් ඉල්ලීමක් කළා.

පාකිස්ථාන ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සමන්විත උලෙමාව ඉස්ලාමාබාද් නුවර දී, ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා මුණගැසීමෙන් අනතුරුවයි, එම ප්‍රකාශය නිකුත් කළේ.

ප්‍රචණ්ඩකාරී පිරිස් වෙතින් ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට උත්සාහයක් දැරූ ‘මලික් අද්නන්’ට වීරත්වයේ පදක්කම පිරිනැමීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගනු ලැබූ තීරණය ද ඉස්ලාමීය උලෙමාවේ ප්‍රසාදයට ලක්වුණා.

++++++++++++++

සියල්කොට් ම්ලේච්ඡ ඝාතනයේ සැබෑ වැරදිකරුවන් කවුද? පාකිස්තාන මාධ්‍යවේදීයකු ගේ ඇසින්..

(07.12.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

අල්ලා දෙවියන් ට අපහාස කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකිකයෙකුට සියල්කොට්හි දී ම්ලේච්ඡයන් පිරිසක් දස වධ දී මරා පුළුස්සා දැමූ බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පාකිස්ථාන සමාජයේ පුළුල් කම්පනයක් හා කෝපයක් ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පාන විට ඔහු කරමින් සිටියේ ඔහුගේ රැකියාව පමණි.

මෙම සිදුවීමෙන් ඉක්බිතිව, සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දුසිම් ගනනක් කඩිනමින් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය ආරක්ෂක බලධාරීන් ඉල්ලා සිටියි.

මෙය සැබැවින්ම කනගාටුදායක කාරණයක් වුවද ඉහත කාරණා එකින් එක පෙළ ගැසූ විට මට මතක් වන්නේ පැරණි උර්දු හෝ පන්ජාබ් චිත්‍රපට අවසන් වන ආකාරයයි.

ගැටුම අවසන් වූ පසු, හෝ පහර දී මිය ගිය විට පොලිසිය පැමිණෙනු ඇත, ප්‍රශ්නය වන්නේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වීමට පෙර ඔවුන් කිසි විටෙකත් නොපැමිණියේ මන්ද යන්නයි.

සියල්කොට් සිද්ධිය පිළිබඳව අප සතුව ඇති විස්තර අනුව, ප්‍රහාරය ට ගොදුරු වූ ප්‍රියන්ත දියවඩන නම් කළමනාකරු කම්හල පිරිසිදු කිරීමේ කටයුතු අධීක්‍ෂණය කර තිබූ අතර ඒ අවස්තාවේ තාප්පයක අලවා තිබූ පෝස්ටර් කිහිපයක් ඉවත් කර තිබෙනවා.

මෙය ඇතැමුන් කෝප ගන්වන ක්‍රියාවක් වූ අතර, දහවල් ප්‍රියන්ත දියවඩනට පහර දීමට පෙර සිටම යම් පිරිසක් කර්මාන්ත ශාලාවෙන් පිටත රැස්ව සිටි බවට තොරතුරු ලැබී තිබෙනවා. එසේ නම් පොලිසිය එම සෙනඟ විසුරුවා නොහැරියේ මන්ද?

මෙම ම්ලේච්ඡ බිහිසුණු ප්‍රහාරයේ ජංගම දුරකථන හරහා පටිගත කෙරුණු වීඩියෝ පට හරහා බොහෝ අප්‍රසන්න තොරතුරු මේ වන විටත් සමාජගත වී හමාරයි.

එම වීඩියෝ පට තුල මෙම ප්‍රහාරය සිදු වන අයුරු ප්‍රසංගයක් නරඹන ලෙසින් බලා සිටිනා පොලිස් නිලධාරීන් දැකගත හැකියි.

පකිස්ථානය තුල නිරන්තර කාල පරාසයන් තුළ පුනරාවර්තනය වන මෙවැනි බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියාවල මූල හේතුව කුමක්දැයි බොහෝ දෙනා එකිනෙකාගෙන් ප්‍රශ්න කරති.

ඉතින්, මූල හේතුව සඳහා අපි පකිස්ථානය සහ හින්දුස්ථානය නිර්මාණය වූ දිනය දෙසට හැරෙමු, ඒ දිනය සම්බන්ධයෙන් සහර් ලුඩිහාන්වි නම් කවියෙකු ලියා ඇති කවියක අවසන් පද පෙළ මෙසේ සටහන් වී තිබින.

“අඳුරෙන් පෝෂණය වූ මේ ආලෝකය
එය පැතිර ගියහොත් එයින් හටගන්නේ ගිනි මල් පමණි
එය ව්‍යාප්ත නොවන්නේ නම් මතු පරපුරට
එය ජාතියේ ආත්මයේ විෂ ඉතිරි කරයි”

වසර ගණනාවක් පුරා මෙරට සමාජ ප්‍රපංචය පුරා මෙම විෂ නිසා ආගමික උමතුවෙන් මොළය විනාශ වූ පිල්ලි හමුදාවක් නිර්මාණය කර ඇත.

අවාසනාවකට මෙන්, දියවඩන මහතාට පහර දුන් පිරිස රෝ සංවිධානයේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ බව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බැවින්, පාකිස්තානයේ සතුරන්ට මේ සියල්ලටම දොස් පැවරිය නොහැක.

එමෙන්ම යමෙක් ඔබේ අනාගතවක්තෘවරයාට අපහාස කළහොත් ඔහු හෝ ඇය මරා දැමුවාට කමක් නැතැයි දරුවන්ට ඉගැන්වූ මොසාඩ් සංවිධානයටත් කිසිවෙකුට දොස් පැවරිය නොහැක.

ඒ වගේම අනුන්ට චෝදනා කරන විට ඒ චෝදනා වලින් කොටසක් අපි හැමෝටමත් ගන්න වෙනවා. කෙසේ වෙතත්, ‘සිංහයාගේ කොටස’ නිසැකවම අයිති විය යුත්තේ වගකීමෙන් ඔබ්බට ගොස් ඇති, වඩාත්ම බලය සහ පාලනය ඇති, අවශ්‍ය විට භාවිතා කිරීමට TLP වැනි ඇඳුම් නිර්මාණය කරන, මතවාදය භාවිතා කරන ආයතනයන්ටයි.

එම ආයතනයන්ට අප කියන්නේ තව තවත් සියල්කොට් වැනි සාහසික ක්‍රියා අවුස්සන ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයන් නිර්මාණය කරන්න.

ඇත්ත වශයෙන්ම, මම මෙම ආයතන නම් නොකරමි. මක්නිසාදයත් ඒ හරහා මට අපරාධමය චෝදනා එල්ල විය හැකි බැවිනි.

අපි ඔවුන්ව මෙයින් ඈත් කර අනෙක් සියල්ලන්ට, දේශපාලනඥයන්ට, අධිකරණයට, නිලධාරි තන්ත්‍රයට, අධ්‍යාපන ක්‍රමයට දොස් පවරමු.

ද පාකිස්ථාන් ඩේලි

++++++++++++++

ප්‍රියන්ත කුමාරගේ වැටුප නොකඩවා ගෙවීමට තීරණයක්

(07.12.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ප්‍රචණ්ඩ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට ආගම භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලාංකික කර්මාන්තශාලා සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයට එක්වෙමින්.

ප්‍රියන්ත කුමාරගේ වැටුපද නොකඩවා ගෙවන බවත්, සියල්කොට් ව්‍යාපාරිකයන් ඔහු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100,000 ක් එකතු කර ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

******************************************

අක්මීමන – තල්ගම්පොළ ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමු වේ

(07.12.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන – තල්ගම්පළ ප්‍රදේශයේ මාර්ගයක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමු වී ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් වන අතර, මොහු අධික ලෙස මත්පැන් පානය කරන අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස මත්පැන් පානය කර නිරන්තරයෙන් අසල්වැසියන් සමග ගැටුම් ඇති කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි අක්මීමන පොලිසිය සඳහන් කළේ ෴

******************************************

අද (07) සහ හෙට (08) පැයක විදුලි කප්පාදුවක්

(07.12.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

අද (07) සහ හෙට (08) පස්වරු 06:00 සිට රාත්‍රී 09:30 දක්වා දෛනිකව පැයක (1) විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා ෴

******************************************

වගාවන් සඳහා පොහොර නො ලැබීමෙන් ගොවීන් අපහසුතාවක

(07.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

සිය වගාවන් සඳහා තවමත් පොහොර නො ලැබුණු බවට ප්‍රදේශ රැසක ගොවි ජනතාව චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, පොහොර නොමැතිකමින් වී, එළවළු ඇතුළු බෝග රැසක් මේ වනවිටත් විනාශ වී ඇති බවයි.

******************************************

අයවැය විවාදයට මුදල් ඇමති නො මැති වීම ගැන රනිල් වික්‍රමසිංහගෙන් චෝදනා

(07.12.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

අයවැය විවාදය අතරතුර දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ ඉන්දියාවේ සංචාරයේ නිරත වූයේ ඇයි දැයි යන්න පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් ලබාගත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් ලබන සිකුරාදා මුදල් අමාත්‍යාංශ කාරක සභා අවස්ථා විවාදයේ දී පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති බවයි.

******************************************

නඩු කතා කිරීමත් ඩිජිටල්කරණය වේ

(07.12.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමත්, අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශය, බන්ධාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර ඊයේ (06) දින සිදු කෙරුණේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී යි.

බන්ධනාගාරගත රැඳවියන්ගේ හා සිරකරුවන්ගේ ආරක්ෂාව, නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුව නතර කිරීම මෙන්ම වසංගත තත්ත්ව පාලනය පහසු කරලීම මෙම නව වැඩසටහනේ අපේක්ෂාවයි.

බන්ධනාගාර තුළ ඇති අධික තදබදයත්, සිරකරුවන් අධිකරණ කටයුතු සඳහා බැහැරයාමත් නිසා වසංගත තත්ත්ව පාලනයට මේ වන විට විශාල බාධාවක් එල්ල වී ඇති හෙයින් මෙම පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සිරකරුවන් උසාවි වෙත ගෙන යාමේදී පැනයාමට උත්සාහ දැරීම මෙන්ම ඔවුන් ඝාතනවලට ඉලක්ක වීමත්, සිරකරුවන් බැලීමට එන අමුතන් මගින් නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීමත් බරපතළ ගැටලුවක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය තුළින් විනිශ්චයකාරවරුන්ට සිරකරුවන්ගේ තත්ත්වය පරික්ෂා කිරීමට ද හැකිවන අතර, අධිකරණ වෙත රැගෙන යාම එතුළින් පාලනය වනු ඇති.

එමෙන්ම අමුත්තන් මුණගැසීමට හා නීතිඥ උපදෙස් ලබා ගැනීමට මෙම තාක්ෂණය මගින්ම හැකිවීමෙන් බාහිර පාර්ශ්ව බන්ධනාගාර වෙත පැමිණීම ද අවම වන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම නව පහසුකම බස්නාහිර පළාත් අධිකරණ 10 ක් වෙත සහ තවත් බන්ධනාගාර 4 කට පළමු පියවර ලෙස සැපයෙනු ඇති.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා තාක්ෂණ පහසුකම් හා උපදෙස් ලබාදෙන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ, අධිකරණ අමාත්‍යාංශයේ ද උපදෙස් ඇතිව බවයි නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පි.කේ. මායාදුන්න මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා ෴

******************************************

පාරෙන් පිට පැන්න අධික වේගය

(07.12.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් වසමේ කප්පල්තුරෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙලෙස වේගය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක්ව ඇත්තේ ගෝමරන්කඩවෙල ප්‍රදේශයේ සිට පෞද්ගලික ඇඟලුම් කම්හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක්.

මෙම සිද්ධියෙන් බස් රථයේ ගමන් ගත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *