අනන්‍යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීමට අනුමැතිය

අනන්‍යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීමට අනුමැතිය

*********************************************

අනන්‍යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීමට අනුමැතිය

(07.12.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් අනන්‍යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී අනන්‍යතා අංකයක් ලබාදීමට නියමිතයි.

එම අනන්‍යතා අංකය ජාතික හැදුනුම්පත සකස් කිරීමට යොදා ගන්නා අතර, එමඟින් උපතේ සිට මරණය දක්වා සිදු කෙරෙන ක්‍රියාකාරකම්වල දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමට පහසු වනු ඇති.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අනන්‍යතා අංක ලබාදීම සඳහා බලය ලබා දී තිබූ අතර, මින් පසු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ද එම අවසරය හිමි වනවා ෴

******************************************

සජබ අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(07.12.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අදත් (07) පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (03) මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මුල්කරගනිමින් ඇති වූ සිද්ධියත් සමඟ තම මන්ත්‍රීවරුන්ට ආරක්ෂා නොමැති බව පවසමින් ඔවුන් ඊයේ (06) සිට පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කරනවා.

පසුගිය සෙනසුරාදා (04) ද මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියා.

මේ අතර සභාවාරය වර්ජනය කළ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයක ද නිරත වුණා.

එසේම මොවුන් අද (07) පෙරවරුවේ ද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

******************************************

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන්නැ යි අගමැතිගෙන් උපදෙස්

(07.12.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ට කඩිනම් විසදුම් ලබාදෙන්නැ යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කොරෝනා වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයින් වෙනුවෙන් තවදුරටත් ණය පමා සහන කාලයක් ලබා ගැනීම සහ වෙන්දේසි කර ඇති දේපළ නැවත ලබා ගැනීම පිළිබද මෙහිදී ව්‍යාපාරිකයින් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කර තිබෙනවා ෴

******************************************

දෙහිවල සත් උයනේ වසර 86 ක අරුම යැ

(07.12.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

වසර 86 ක සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වරට උපත ලැබූ කළු හංසයින් පස් දෙනකු (5) මේ වනවිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

2021 මාර්තු 22 වැනි දින උපත ලබා ඇති මෙම හංසයින් කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

ඔස්ට්‍රේලියාවේ නිජබිම කරගත් කළු හංසයින් හත් දෙනෙකු (7) මේ වනවිට සත්වෝද්‍යානය තුළ ජීවත් වෙනවා .

අලුත උපන් හංසයින් අතර පිරිමි සතුන් තිදෙනෙකු (3) හා ගැහැණු සතුන් දෙදෙනෙකු (2) සිටින බවයි වාර්තා වන්නේ .

******************************************

ඩයගම, ආග්‍රාඔය ගඟෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

(07.12.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ඩයගම ප්‍රදේශයේ, ආග්‍රාඔය ගඟෙන් කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකු දැක ලබාදුන් තොරතුරක් මතයි, ඊයේ (06) සවස ඩයගම පොලීසිය විසින් මළ සිරුර ගොඩ ගෙන ඇත්තේ.

මෙම මළ සිරුර ඩයගම වතුයායේ පදිංචිව සිටි, 53 හැවිරිදි ස්වාමිනාදන් තංගේෂ්වරි නැමති කාන්තාවගේ බවයි පොලීසිය පවසන්නේ.

ඇය තනිවම ජීවත්ව සිට ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහරෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඩයගම පොලීසිය විසින් සිදුකෙරෙනු ඇති ෴

******************************************

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කෙරෙයි

(07.12.2021 – 12:08 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

බූස්ටර් එන්නත ගැන පැතිරෙන මතවාද අසත්‍යයි – වෛද්‍ය පර්යේෂණ ආයතනය

(07.12.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයට ප්‍රතිචාර දැක්වීම සඳහා බූස්ටර් එන්නත ප්‍රමාණවත් නොවන බවට, පැතිර යන මතවාදවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයත් සමඟ ඇති වී තිබෙන දකුණු අප්‍රිකාවේ 4 වන කොරෝනා රැල්ල සඳහා එරට රෝහල් සූදානම් කරමින් පවතින බව ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළා.

පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 40 කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බව සඳහන්.

මේ අතර, දකුණු අප්‍රිකානු රෝහල් පද්ධතියෙන් ලබා ගත් මූලික දත්තවලට පෙනී ගොස් ඇත්තේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත් රෝගීන්ට වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ අවම වශයෙන් බවයි.

එහිදී ඔක්සිජන් ලබාදීමට තරම් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇත්තේ ඔමික්‍රොන් ආසාදිතයින් සුළු ප්‍රතිශතයකට බව හෙළි වී තිබෙනවා.

ඔමික්‍රොන් වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (06) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබූණා.

මේ අතර, ඊයේ (06) දිනයේත් කොරෝනා ආසාදිතයින් 741 දෙනෙකු වාර්තා වූ අතර මරණ 23 ක් ද වාර්තා වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *