ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන ම සැකකරුවෙකු අත් අඩංගුවට

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන ම සැකකරුවෙකු අත් අඩංගුවට

*********************************************

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන ම සැකකරුවෙකු අත් අඩංගුවට

(07.12.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන – පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන ‘ඉමිටියාස් අලියා බිල්ලි’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් රැකවල්වලින් මිදී රාවල්පිණ්ඩි බලා යන බස් රථයකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පන්ජාබ් පොලීසිය සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 130 කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 27 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි සැලකෙන්නේ.

ඒ අතරින් 26 දෙනෙකු පාකිස්තානයේ ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය මගින් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴

++++++++++++

පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ දේහය නිවසට

(07.12.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (06) සිවිල් සහ හමුදා නායකත්වය සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවක නිරත වුණා.

ඒ සඳහා පාකිස්තාන හමුදා ප්‍රධානී ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ් මෙන්ම තොරතුරු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් සහ පන්ජාබ් මහඇමතිවරයා ද එක් වූ බවයි පාකිස්තාන මාධ්‍ය සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා, කම්හල් සේවකයින් පිරිසක් විසින් ආගමික අපහාස චෝදනා මත ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙම රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ.

මුළු රටේම ආරක්ෂක තත්ත්වය පිළිබදව ඇගයීමක් සිදු කළ යුතු බවත් මෙවැනි සිද්ධීන් නැවතත් ඉඩ නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහි දී පවසා තිබෙනවා.

ප්‍රියන්ත කුමාර මහතා සේවය කළ සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සේවකයන් 900 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කෙරෙනවා.

ප්‍රියන්ත කුමාර මහතා ප්‍රචණ්ඩකාරී පිරිස් වෙතින් බේරා ගැනීමට උත්සාහ කළ ‘මලික් අද්නන්’ ද ඊයේ (06) පැවති ඉහළ පෙළේ රැස්වීමේදී ප්‍රසාදයට ලක් කෙරුණා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය ඊයේ (06) දිවයිනට රැගෙන එනු ලැබූ අතර, රාත්‍රියේ ඔහුගේ නිවසෙහි තැන්පත් කෙරුණා.

ඒ, ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙසෙන ගනේමුල්ල – පොකුණ හන්දිය – කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පිහිටි නිවසේයි.

දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (08) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය රැගත් යූ.එල්. 186 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූයේ ඊයේ (06) පස්වරු 05:05 ට පමණයි.

පසු ව දේහය මීගමුව රෝහල වෙත රැගෙන ගිය අතර එහි දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණා.

ඉන් අනතුරුවයි දේහය කොළඹ පිහිටි මල් ශාලාවක රැගෙන යාමෙන් පසු ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවේ.

මේ අතර, ඊයේ (06) රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබදව අවධානය යොමුව තිබෙනවා.

එහි දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25 ක අධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි ව ඇති බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක්

(07.12.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදලෙන් මෙම මුදල පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

විගමණික සේවකයෙකු ලෙස වසර 11 ක කාලයක් ඔහු මෙරට ආර්ථිකයට දක්වන ලද දායකත්වය සැලකිල්ලට ගෙන මෙම මුදල ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

++++++++++++

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් එරට ආරක්ෂක කවුන්සිලය කැඳවයි

(07.12.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම සඳහා පුළුල් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ඉස්ලාමාබාද්හි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩනගේ මහතා ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව සම්බන්ධයෙන් අගමැතිවරයා සිය දැඩි කනස්සල්ල නැවතත් පළ කළ අතර, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ අධිෂ්ඨානය ද මෙම රැස්වීමේදී ප්‍රකාශ වුනා.

ආගමික අන්තවාදී පුද්ගලයන්ට සහ මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩ දිය නොහැකි අතර, එවැනි සිදුවීම් තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය ක‍ර තිබෙනවා.

එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා බේරා ගැනීම සඳහා තම ජීවිතය අනතුරේ හෙලූ ‘මලික් අද්නාන්’ගේ නිර්භීතකම සහ ධෛර්යය ද මෙම රැස්වීමේදී පැසසුමට ලක් වී තිබෙනවා.

මෙම රැස්වීමේදී අභාවප්‍රාප්ත ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ පවුලේ ඥාතීන් වෙත බලවත් ශෝකය ප්‍රකාශ කිරීමක්ද කර තිබෙනවා.

මෙම රැස්වීමට ප්‍රවෘත්ති අමාත්‍ය ෆවාඩ් අහමඩ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ්, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ්, ප්‍රධාන අමාත්‍ය පන්ජාබ් උස්මාන් බුස්දාර් සහ ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නිලධාරීන් සහභාගී වූනා.

කෙසේ වෙතත් මෙම රැස්වීමට සියල්කොට් සිද්ධිය සාධාරණීකරනය කිරීමට උත්සාහ කළ, ආරක්ෂක අමාත්‍ය පර්වේස් බට්ටක් සහභාගි වී ඇති බවට තහවුරු වන්නේ නැහැ ෴

++++++++++++

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳ පාකිස්තානු මාධ්‍යවල බරපතළ විවේචන

(07.12.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී සිදු වූ පහරදීමක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකික කම්හල් සාමාන්‍යාධිකාරිවරයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පාකිස්ථාන මාධ්‍ය ඔස්සේ බරපතළ විවේචනාත්මක වාර්තා පළ වනවා.

මේ වාර්තා බොහොමයකින් පෙන්වා දෙන්නේ, මෙම අමානුෂික ක්‍රියාව ඉස්ලාම් දහමට සහ පාකිස්තාන සමාජයේ පැවැත්මට බරපතළ අහිතකර බලපෑමක් ඇති කර ඇති බවයි.

එමෙන්ම එම වාර්තා හරහා ඔවුන් වත්මන් පකිස්තාන රජයට බල කරන්නේ මේ ආකාරයෙන් ආගම දඩමීමා කරගෙන හැසිරෙන කල්ලි කණ්ඩායම් මර්දනයට දැන්වත් නීතිරීති සම්පාදනය කළ යුතු බවටයි.

පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ද පාකිස්ථාන් ඩේලි වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක සිංහල පරිවර්තනයක් :

= සියල්කොට් සිද්ධිය සහ අපගේ උපාය මාර්ගය =

නැවත වතාවක්, ඇතැම් හිත්පිත් නැති තක්කඩියෝ, දෙවියන්ට අපහාස කිරීමේ චෝදනාව මත තවත් අහිංසක මනුෂ්‍යයෙකු මරා දැමූ හ.

මෙම සිද්ධියට පෙර මර්දාන් හි අබ්දුල් වාලි ඛාන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ මාෂාල් ඛාන්ට දෙවියන්ට අපහාස කිරීමේ චෝදනා නගමින් මැර පිරිසක් විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් ඔහුගේ ජීවිතය අහිමි විය.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මුළු සිද්ධියම විමර්ශනය කළ විට පෙනී ගියේ, මාෂාල් ඛාන්ට ද දෙවියන්ට අපහාස කළ බවට බොරු චෝදනා එල්ල කර ඇති බවයි.

අද මාෂාල් ඛාන් නඩුවේ ප්‍රධාන විත්තිකරු මරණීය දණ්ඩනයට ලක්ව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියි.

මේ සිද්ධියෙන් මාස කිහිපයකට පසු, ගුජරන්වාලා (Gujranwala) ප්‍රදේශයේ කුර්ආන් කටපාඩම් කරන ශිෂ්‍යයකු සිය පවුලෙන් ඔහුගේ දේපළෙහි කොටස ඉල්ලා සිටි අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ද දෙවියන්ට අපහාස කිරීමේ චෝදනා නගා ඔහුව මරා දැමීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් මෙහිදී අදාළ ශිෂ්‍යයා නිවැසියන්ට පවසා ඇත්තේ, ඔබ කැමති නැතිනම් මට දේපළ කොටසක් දෙන්න දේපල මට දෙන්න එපා. ඔබට මාව මරන්න අවශ්‍ය නම්, මාව මරන්න. නමුත් මට දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා නො කරන්න යනුවෙන්.

මේ සිද්ධිය ගුජ්රන්වාලා ප්‍රාදේශීය පරිපාලනයට වාර්තා වූ විට, ඔවුන් සිද්ධියට ගොදුරු වූ පිරිමි ළමයාගේ පවුලේ සියලුම සාමාජිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ජාතිය තවත් විශාල ඛේදවාචකයකින් ගලවා ගත්හ.

නමුත් මේ සියල්ල පසෙක ලමින් සියල්කොට් ඛේදවාචකය අප හිස් ලජ්ජාවෙන් නමා ඇති බවට සැකයක් නැත.

මෙම ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරුගේ වරද කුමක් ද? මේ මොහොතේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කුමක් සිදුවේ ද?

සෑම කෙනෙකුම තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ හදවත් සනසා ගැනීමට මෙම කාඩ්පත භාවිතා කරන තරමට දෙවියන්ට අපහාස කිරීම යන ලේබලය නොවැදගත් වී තිබේද?

මීට ටික කලකට පෙර ප්‍රංශය විසින් මුහම්මද් (සල්) තුමාණන්ට අපහාස කරන විට, පාකිස්ථානයේ ආගමික කණ්ඩායමක් ප්‍රංශයට සහ එහි රජයට විරෝධය දැක්වීම වෙනුවට කළේ ඔවුන්ගේම මුස්ලිම් සහෝදරයින්ට පහර දීමට පටන් ගැනීමයි.

ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කර ප්‍රංශ ආර්ථිකය අස්ථාවර කරමින් දෙස් විදෙස් මාධ්‍යවල විරෝධතා සටහන් කර මේ අමනකමට ප්‍රතිචාර දැක්වීම වඩා හොඳ විය හැකි නමුත් අවාසනාවකට අප මෙම මාවත තෝරා නොගත් අතර අනෙක් අතට රටේ පුරවැසියන්ට හානි සිදු කිරීමට පටන් ගත්තේය.

මේ සිද්ධිය අලලා පාකිස්තානය තුළ ප්‍රචණ්ඩ සිදුවීම් සිදුවන්නට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම මුස්ලිම් සහෝදරයින්ට
දැඩි හානි සිදුවිය.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට නිග්‍රහ කළ කවුරුන් වුව ද මෙම ප්‍රචණ්ඩ අමන මෝඩ සංදර්ශන දැකීමෙන් සතුටු වන්නට ඇති.

අහෝ! අද අපි අපේ මුල් අරමුණෙන් ඈත්වෙලා.

අද අපි සෘජු මාර්ගයේ ගමන් කරනු වෙනුවට යක්ෂයාගේ මාර්ගයේ ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා. අපේ ආගම සාමය ඉල්ලා සිටියි. අපේ ආගමේ උගන්වන්නේ අන් අයගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටයි.

මේ නිසා අපි එකිනෙකාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවට එකිනෙකාගේ සතුරන් බවට පත් වී ඇති අතර මෙම මාර්ගය අපව ස්වර්ගය දෙසට නොව අපායේ ගින්න දෙසට ගෙන යනු ඇති.

අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි : ‘එබැවින් අපි ඊශ්‍රායෙල් දරුවන්ට නියම කළෙමු කවුරුන් හෝ ජීවිතයක් ගන්නේ නම් – එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ දේශයට ද්‍රෝහී වීමට දඬුවමක් ලෙස නොවන්නේ නම් එය ඔවුන් මුළු මිනිස් සංහතියම ඝාතනය කළා හා සමාන වනු ඇත. සහ කවුරුන් හෝ ජීවිතයක් බේරා ගන්නේ නම්, එය ඔවුන් මුළු මිනිස් සංහතියම බේරා ගත්තා හා සමාන වනු ඇත. අපගේ දූතයන් දැනටමත් පැහැදිලි සාක්ෂි සහිතව ඔවුන් වෙත පැමිණියද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුවද භූමිය හරහා අපරාධ කළහ. (සුරා අල් මායිදා: 32)’ මෙහිදී අවබෝධ කරගත යුතු එක් දෙයක් නම්, සර්වබලධාරී අල්ලාහ් මෙම ආශිර්වාද ලත් වාක්‍යයේ මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය ගැන සඳහන් නොකර මුළු මිනිස් වර්ගයා ගැනම සඳහන් කර ඇත.

මුස්ලිම් ජාතිකයෙකු අසාධාරණ ලෙස මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළහොත් සහ මුස්ලිම් නොවන අයෙකු අසාධාරණ ලෙස මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කළහොත්, නීතියෙන් මරණීය දණ්ඩනය ප්‍රතිපාදන ලබා දී ඇතත්, නීතියෙන් පරිබාහිරව කිසිදු මනුෂ්‍යයෙකු ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර නොදේ.

මෙම සිද්ධියෙන් පසු නැවත වරක් අප විසින් අප පරීක්ෂණයට ලක් කර ඇති අතර, ශ්‍රී ලංකා කළමනාකරු ඝාතනයට සම්බන්ධ සියලු චූදිතයන්ට රජය දැඩි දඬුවම් දිය යුතුම වනවා.

එමෙන්ම යම් පුද්ගලයකුට දෙවියන්ට අපහාස කළ බවට චෝදනා එල්ල කරනු ලැබුවහොත් ඊට එරෙහිව ස්ථිර සාක්ෂියක් උසාවියට ඉදිරිපත් කළයුතු බවට වන පනතක් ජාතික සභාවට ඉදිරිපත් කළ යුතුය.

එවිට පකිස්ථානු නීතිය යටතේ ඔහුට මරණ දණ්ඩනය නියම කළ හැකි වනු ඇති.

අල්ලාහ් අප සැමට මග පෙන්වා සාතන්ගේ නපුරෙන් සදාකාලිකවම ආරක්ෂා කරත්වා.

ද පාකිස්ථාන් ඩේලි.

******************************************

ප්‍රමිතියෙන් තොර උපාංග ගෑස් පිපිරීම්වලට ප්‍රධාන හේතුවක් බව ජනපති කමිටුව කියයි

(07.12.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ක්‍රම ඔස්සේ සිලින්ඩරවල ගෑස් කාන්දු වීම් තිබේදැයි පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීම් පිළිබදව විමර්ශනය කිරීම හා ඒ පිළිබදව විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පවසනවා.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ, මෙම කමිටුවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට දිවයින පුරා වාර්තා වන ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම්වල සැලකිය යුතු අඩුවක් නිරීක්ෂණය කර ඇති බව අදාළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරා ජනතාව ඒ සම්බන්ධයෙන් දැක් වූ දැඩි උනන්දුව මත විවිධ ක්‍රමවේද ඔස්සේ සිලින්ඩර්වල තත්ත්වය පරීක්ෂා කිරීමට යාමේදී ගෑස් කාන්දුවීම නිසා ඒ පිළිබදව පැමිණිලි කර ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම මීට ප්‍රධාන ගැටලුවක් බවට කමිටුව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ‘ඊතයිල් මර්කැප්ටන්’ රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට ගෑස් සමාගම් පියවර ගෙන තිබුණා.

ඒ අනුව ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම් ඊයේ සිට යළි වෙළෙදපොළට නිකුත් කිරීමට පියවර ගැනුණේ නව ගෑස් සිලින්ඩර් හඳුනා ගැනීම සඳහා පොලිතින් මුද්‍රාවේ වර්ණ ද වෙනස් කරමින්.

මේ තුළින් මින් ඉදිරියට ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වනු ඇති.

පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස්වීමක් බලපෑවේ ද යන කරුණ සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතින බවයි ජනාධිපති කමිටුව සඳහන් කළේ.

බාල හා නියමිත කාලය ඉකුත් වූ රෙගියුලේටර් ඇතුළු උපාංග හා දිරාපත් වූ උඳුන් භාවිතය පිළිබදව ද ජනතාවගේ දැඩි අවධානය යළි යොමු කරවන බව ජනාධිපති කමිටුවේ සභාපතිවරයා කියා සිටියා.

පසුගිය දිනවල ඇති වූ ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසකට මෙලෙස ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතු වී ඇති බව ජනපති කමිටුවේ අදහසයි.

දෛනිකව වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව දැන් සැලකිය යුතු අන්දමින් පහළ බැසීමට හේතු වී ඇත්තේ ද දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ජනතාව නිසි ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිත කිරීමට පෙළඹීම බව ද කමිටුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිල දී ගැනීමටත් විශේෂයෙන් ගෑස් උඳුන් මිල දී ගැනීමේ දී පිළිගත් වගකීමක් සහිත ආයතනවලින් ගුණාත්මකභාවයෙන් යුතු ආරක්ෂිත ගෑස් උඳුන් මිල දී ගැනීමට යොමු වන ලෙසත් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

******************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ඇරේ

(07.12.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් දින 22 ක් තිස්සේ ක්‍රියා විරහිත කර තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (07) පෙරවරුවේ යලි ආරම්භ කෙරුණා. ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්.

පසුගිය මස 15 තාවකාලිකව වසා දැමුණු තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (07) ආරම්භ කිරීමට ප්‍රථම විෂය භාර අමාත්‍යවරයා සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරීන් අතර සාකච්ජාවක්, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පවත්වා තිබෙනවා.

ඉන් පසු සිදුකළ නිරීක්ෂණයකින් පසු තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුනා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ තෙල් පිරිපහදුවේ වැඩකටයුතු සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් වීමට පැය කිහිපයක් ගතවනු ඇති බවයි.

මේ අතර, ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී සිය විසඳුම් සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු බවයි එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ.

******************************************

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

(07.12.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

Covid-19 රෝගය වැළඳී කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට සිටි කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙක්. මිය යන විට රාජා කොල්ලුරේ මහතා 83 වැනි වියේ පසු වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *