ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පාකිස්තානුවන් 26 දෙනා 15 දක්වා රිමාන්ඩ්

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පාකිස්තානුවන් 26 දෙනා 15 දක්වා රිමාන්ඩ්

*********************************************

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පාකිස්තානුවන් 26 දෙනා 15 දක්වා රිමාන්ඩ්

(06.12.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හිදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු අද (06) ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය මගින් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔවුන් නැවතත් එදින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර 16 හැවිරිදි අයෙකු ද සිටින බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පන්ජාබ් ප්‍රාන්ත පොලීසිය අද (06) නිවේදනය කළ අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 131 දක්වා ඉහළ යනවා.

ඒ අතුරෙන් ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කොට, ප්‍රචණ්ඩත්වය අවුළුවා, අන් අය ඒ සඳහා උසි ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ ප්‍රධාන සැකකරුවන් 26 දෙනා විසින් බවයි පන්ජාබ් පොලීසිය සදහන් කළේ.

පකිස්ථානයේ දී අමානුෂික ලෙස අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය රැගත් යූ.එල්. 186 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ලාහෝර් නුවර ගුවන්තොටුපළෙන් මීට ස්වල්ප මොහොතකට පෙර පිටත් වී තිබෙනවා.

++++++++++++

ශ්‍රී ලංකා – පාකිස්ථානු මිත්‍ර සබඳතා ගැන එරට ශ්‍රී ලංකා මහකොමසාරිගෙන් ප්‍රකාශයක්

(06.12.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය පිළිබදව තෘප්තිමත් විය හැකි බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසනවා.

එමෙන්ම එම සිද්ධියෙන් දෙරට අතර මිතුරු සබඳතාවලට බලපෑමක් සිදු නොවන බවයි ඔහු අවධාරණය කළේ.

පාකිස්තාන ඉම්රාන් ඛාන් රජයේ නායකයන් පිරිසක් අද (06) ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එහිදී පවසා ඇත්තේ එවැනි සිද්ධීන් කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවයි.

එහෙත් එම සිද්ධිය අප රට, ආගම හෝ ජාතිය ඉලක්ක කරගෙන එල්ල කරන ලද්දක් නොවන බව සහතික යැයි මහකොමසාරිස්වරයා පැවසූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

එහිදී ඔහු එය හඳුන්වා ඇත්තේ හුදෙකලා සිද්ධියක් ලෙසයි.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම පිළිබදව ද ඔහු සිහිපත් කළා.

ශ්‍රී ලංකා – පාකිස්තාන සබඳතා නිදහස ලැබූ අවධිය දක්වා අතීතයට දිව යන අතර පාකිස්තානය සැමවිටම ශ්‍රී ලංකාවේ සහයට පැමිණි බවයි මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින්ට පාකිස්තාන රජයෙන් වන්දියක් ලබාදීම පිළිබදව මේ වන විට සාකච්ඡා කරමින් පවතින අතර, යුක්තිය ඉටු වන ආකාරයෙන් පාකිස්තාන රජය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බව ද මහකොමසාරිස්වරයා අවධාරණය කළා.

++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් කාදිනල් හිමි ශෝකය පළ කරයි

(06.12.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පකිස්ථානයේ සියල්කොටට් හීදි ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ශෝකය පළකර තිබෙනවා.

එම කුරිරු සහ අමානුෂික ඝාතනය දැඩි පිළිකුලෙන් යුතුවන හෙළා දකින බවයි කාදිනල් හිමි සදහන් කළේ.

ආගමට මුවාවී සිදදුකරන්නා වූ මෙවැනි බිහිසුණු අන්තවාදි සාහසික අපරාධයන් හේතුවෙන් උද්ගතවන ඛේදනීය තත්වයන් නවතාලීමට සෑම රටකම නායකයින් දැඩි පරිශ්‍රමයෙන් නීතිය ක්‍රියාත්මක කලයුතු බව අවධාරණය කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ශෝක පණිවුඩයේ දක්වා තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම අසාධාරණ මිනිස් ඝාතතය සම්බන්ධයෙන් පකිස්ථානයේ නායකත්ව කඩිනමින් ක්‍රියා කරනු ඇතැයි අපෙක්ෂාවෙන් බලා සිටින බවද කාදිනල් හිමි සදහන් කළා.

++++++++++++

ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික විද්වතාගේ දේහය මෙරටට ළඟා වේ

(06.12.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ දී අමානුෂික ලෙසින් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාරවරයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත ළඟා වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 186 දරණ ගුවන් යානයෙන් මෙරටට අද (06) පස්වරුවේ රැගෙන ආ බවයි.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

++++++++++++

‘ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය උග්‍ර ආගම්වාදී හැඟීමකින් සිදු කළ දෙයක්’ – පාකිස්ථාන ආරක්ෂක ඇමති

(06.12.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ – සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා සාමාන්‍යාධිකාරිවරයෙකු කෲර ලෙස වධහිංසා කර මරා දැමීම සැලසුම්සහගත ක්‍රියාවක් නොවන බවත්, උග්‍ර ආගම්වාදී පෙළඹවීමකින් හැඟුම්බරව සිදු කළ දෙයක් බවත්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය පර්වේස් බට්ටක් පවසනවා.

පාකිස්ථාන ආරක්ෂක ඇමතිවරයා මේ බව පවසා සිටියේ, සියල්කොට් ප්‍රදේශයේ මැර පිරිසක් විසින් ලාංකික කර්මාන්තශාලා සාමාන්‍යාධිකාරිවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට හේතු පැහැදිලි කරමින්.

එහිදී ජනමාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ, ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, අප වටා දැඩි ආගමික පරිසරයක් ඇති බවත්, මිනිසුන් එම ආගමික පරිසරය හා තදින් ග්‍රහණය වී ආගමික මනසක් ඇතිව ජීවත් වන බවක් හා වහා හැඟීම්බර වන බවත් ය.

මෙම කර්මාන්ත ශාලාවට රැස්ව සිටි තරුණයන් ඉස්ලාම් ආගමික පාඨ කියූ බවත් ඔහු අවධාරණය කළා.

එහි රැස්ව සිටි පිරිස් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා ඉස්ලාමයට විරුද්ධව ක්‍රියා කරන අයෙක් ලෙසින් සිතා සිට ඇති බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“මිනිස්සු හැඟීම්බර වෙලා ඒ පුද්ගලයා ඝාතනය කළා, නමුත් ඉන් අදහස් කරන්නේ නෑ පකිස්ථානය පාලනයෙන් මිදී යන බවක්.”

පෞද්ගලිකව තමාට ද ආගමික හැඟීම් ඇති බවත්, ඒ හැඟීම් තුළ වරදක් කළ හැකි බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඔහු පවසන්නේ, මේ අවස්ථාවේදී මිනිසුන්ගේ ආගමික හැඟීම් ඉහළ මට්ටමක පැවති අතර, ඒ නිසාම මේ ඝාතනය සිදු වන්නට ඇති බවයි.

මෙහිදී මාධ්‍යයටත් චෝදනා කළ පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය පර්වේස් බට්ටක් කියා සිටියේ, ආගම්වාදීන් සම්බන්ධයෙන් රජයට චෝදනා නොකර ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය සතු වගකීමක් බවයි ෴

++++++++++++

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය ගැන මල්වතු- අස්ගිරි මහනාහිමිවරුන් ශෝකය පළ කරයි

(06.12.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් සහ පූජ්‍ය ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ විසිනුයි, මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දැක්වුණේ ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ගිනි තබා ඝාතනය කිරීම, ශ්‍රී ලංකාව පමණක් නොව ලොවම කම්පා කරවන්නක් බවයි.

එසේම භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් පිරිසක් සහ සිවිල් සංවිධාන කණ්ඩායම් කිහිපයක් අද (06) කොළඹ පිහිටි පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයට පැමිණ ලිපියක් භාර දුන්නා.

එහි දැක්වුණේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණයක් ඉටු කරන ලෙස සහ ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලෝක නායකයින් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටයි.

******************************************

කිරිමැටිතැන්නේ පස් කන්දක් නායයයි

(06.12.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ ප්‍රදේශයට ඊයේ (05) ඇදහැලුණු අධික වර්ෂාවත් සමග බලංගොඩ වැලිගෙපොල ප්‍රධාන මාර්ගයේ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් අසල පස් කන්දක් මාර්ගයට කඩා වැටීම නිසා එම නිවස නායයෑමේ අවදානමට ලක් වී ඇති අයුරුයි මේ.

නිධන් සොරුන්ට බිලි වූ පොළොන්නරුව මැදිරිගිරිය වටදාගෙය

(06.12.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව මැදිරිගිරිය වට දාගෙය පුරා විද්‍යා භුමියේ නැගෙනහිර දෙසට වන්නට තිබෙන ගල්තලාවේ නිධන් හෑරීම් සිදු වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

නිධන් කොල්ලකරුවන් කලුගල මතට පොල්කටු අගුරු දමා රත්කර එහි තිබු යම් කිසිවක් ලබාගෙන ඇති බව නිරීක්ෂණය වන අතර එය වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණා.

******************************************

“කතානායකතුමාගේ අණසක මේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතුයි” – සභානායක

(06.12.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කතානායකවරයාගේ අණසක පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු බවත්, පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට එය සත්‍යද? අසත්‍යද? කියා පරික්ෂා කිරීම කතානායකවරයා සතු කාර්යයක් බවත්, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් අපිට අවසන් තීරණ ලබාදීමේ හැකියාවක් පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්ප්‍රදාය තුළ නොමැති බවයි සභානයකවරයා කියා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ 03 හා 04 දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් ආශ්‍රිත තත්ත්වය සම්බන්ධයෙන් අද (06) දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

එක් අවස්ථාවක, පාර්ලිමේන්තුවේ විදුලි බලය සම්පුර්ණයෙන් ඇනහිටි බව පැවසූ සභානායකවරයා, එය අති භයානක බවත්, එම යන්ත්‍ර සුත්‍ර නිතර දෙවේලේ සෝදිසියට ලක් කරන්නේ නම් එවැනි තත්ත්වයන් ඇති නොවන බවත් ප්‍රකාශ කළ සිටියා.

******************************************

‘කොස් උරුමයක පුනරුදය’ කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි

(06.12.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබුවා.

අද (06) දින මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක් වන බවයි.

නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් වැනි සමාජයට බලපෑමක් කරන ප්‍රසිද්ධ පිරිස් අගය එකතු කළ, කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නම් අගය කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම, වර්තමානයේ මෙරට රූපවාහිනී නාලිකාවල උදා වරුවේ විකාශනයන් ‘දරුවන් මරන – මව්වරුන් පිස්සු වට්ටන’ වරුවක් වී ඇති බවත්, එම වරුවෙන් එක් පැයක් හෝ මෙරට ආහාර සංස්කෘතිය නිසි මගට ගැනීම අරමුණු කරගත් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා යෙදවීමට හැකි නම් ඉදිරිපත් වන්නැයි අමාත්‍යවරයා මෙරට රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටියා.

කොස් ආශ්‍රිත පර්යේෂණ රැසක නියැලෙමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත මහතා මෙහිදී සමාරම්භක උළෙල ඇමතූ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ද අදහස් දක්වනු ලැබුවා.

‘කොස් උරුමයක පුනරුදය’ තේමා ගීතය එළි දැක්වීම, ‘KOS Heritage’ නමින් ෆේස්බුක් පිටුවක් සහ යූ ටියුබ් චැනලයක් එළි දැක්වීම හා ව්‍යාපෘතියෙහි ‘ඉදිරි දැක්ම’ ඇතුළත් සමරු කලාපය අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු වුණා.

එසේම, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සම්පත් දායකත්වය ලබා දෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අනෙකුත් පිරිසට තිළිණ හා සහතික පත් ප්‍රදානය සහ කොස් පැළ සංකේතාත්මකව බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදු කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *