බදාදා (08) සිට විදුලි සැපයුම යථා තත්ත්වයට

බදාදා (08) සිට විදුලි සැපයුම යථා තත්ත්වයට

*********************************************

බදාදා (08) සිට විදුලි සැපයුම යථා තත්ත්වයට

(05.12.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (07) වන විට විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

අධික විදුලි ඉල්ලුමක් නොමැතිවීම නිසා අද (05) දිනයේදී දිවයිනේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි එහි සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ද ඔහු කියා සිටියා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරය චීනයට ලබාදීමේ උත්සාහයක් පවතින බවයි ෴

++++++++++++

තවදුරටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විදුලි බිඳවැටීම් සිදු විය හැකියි

(06.12.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වී ඇති ජනන යන්ත්‍ර මේවනවිට යථා තත්වයට පත් කෙරෙමින් පවතිනවා.

එතෙක් තවදුරටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විදුලි බිඳවැටීම් සිදු විය හැකි බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර පසුගිය දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

අද (06) දින පස්වරු 2 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.

පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

******************************************

මාර්ගෝපදේශවලට අනුව ගෑස් බෙදන්න – රාජ්‍ය ඇමති සමාගම් වෙත දැනුම් දෙයි

(05.12.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශවලට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට ගෑස් සමාගම් කටයුතු කළ යුතු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඒ, ගෑස් සමාගම් සමග එම අමාත්‍යාංශයේ අද (05) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

ගෑස් සමාගම් සදහා අද (05) සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබා දී තිබුණා.

ඒ, ගෑස් සාම්පල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමුකර ලබාගත් වාර්තාවලට අනුව ගත් තීරණයකට අනුවයි.

++++++++++++++

යළි බෙදන ගෑස් සිලින්ඩර හදිසි පරීක්ෂාවට

(06.12.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

අලුතින් අලෙවිය සඳහා සූදානම් කර ඇති ලිට්රෝ ගෑස් සිලින්ඩර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (06) හදිසි පරීක්ෂාවට ලක් කළා.

ඒ, එම සමාගමට අයත් කෙරවලපිටිය අංගනයේදියි.

මෙහි දී ගෑස් සිලින්ඩර ඇතුළු උපාංගවල ප්‍රමිතිය පරීක්ෂා කෙරුණු අතර, ගෑස් කාන්දුවක් සිදු වන බවට හඳුනා ගැනීම සඳහා එක් කරන ‘එතිල් මර්කැප්ටන්’ රසායනිකය අදාළ සිලින්ඩරවලට නියමිත ප්‍රමාණයට එක්කර ඇත්දැ යි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඉන් අනතුරුව ගෑස් ඇසුරුම් කර බෙදාහැරීම සඳහා ලිට්රෝ සමාගමට අවසර ලබාදුන් බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර අකුරණ, ගාල්ල, අම්බලන්තොට, වලස්මුල්ල සහ මාතර ප්‍රදේශවලින් අදත් (06) ගෑස් කාන්දු වීමේ සිද්ධීන් වාර්තා වුණා.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කිරීමේදී කිසියම් සමාගමක් හෝ බලධාරියෙක් අත්තනෝමතිකව කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහි ව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (05) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

++++++++++++++

යළි වෙළෙඳපොළට එන ගෑස්

(06.12.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ගැටලුකාරී තත්ත්වයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩර භාවිත කිරීමට පෙර ඉවත් කරනු ලබන පොලිතින් ආවරණයෙහි වර්ණය මෙලෙස වෙනස් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

ලිට්රෝ ගෑස් සිලින්ඩරයෙහි පොලිතින් ආවරණය සුදු පසුබිමේ රතු ලාංඡනය සහිතව සකස් කර ඇති අතර, ලාෆ්ස් සමාගම සිය ගෑස් සිලින්ඩරවල පොලිතින් ආවරණයේ වර්ණය කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතව වෙනස් කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාගම් දෙකම (2) සිලින්ඩරයේ වර්ණය වෙනස් කිරීමක් සිදුකර නැහැ ෴

******************************************

මුලතිව්හිදී දියේ ගිළුනු අනෙක් තරුණයින්ගේ සිරුරුද හමුවෙයි

(06.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අතුරුදන්වූ අනෙක් තරුණයින් දෙදෙනාගේ (2) මේ වනවිට සොයාගෙන තිබෙනවා.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි තරුණයින් තුන්දෙනෙකු (03) ඊයේ (05) දිනයේ මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වූ අතර, එක් (1) අයෙකුගේ සිරුර ඊයේ (05) දිනයේදීම සොයාගනු ලැබුවා.

අනෙක් තරුණයින් දෙදෙනාගේ (2) සිරුරු සොයා නාවික හමුදාව මෙහෙයුම් කළ අතර, ඒ අනුවයි අද (06) උදෑසන ඔවුන් දෙදෙනාගේ (2) සිරුරුද සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගිය පුද්ගලයින් 26 සහ 27 හැවිරිදි වියේ පසුවන්නන්.

******************************************

ආබාධිත රණවිරුවෙකු තම රෝගි බිරිඳ ජීවත්කරවීමට පිහිට පතයි

(06.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වසර 22 කට ආසන්න කාලයක් තම ජිවිතය රට වෙනුවෙන් කැප කළ ආබාධිත රණවිරුවෙකු තම රෝගි බිරිඳ ජීවත්කරවීමට ඔබේ පිහිට ඇයද සිටිනවා. මේ පුවත අපට වාර්තා වුණේ ගලේවෙල ප්‍රදේශයෙන්.

******************************************

ජීවිතයක් බිලි ගන්නා තුරු බලධාරීන්ගේ දෑස් විවර නොවන කැප්පෙටියාගොඩ පාලම

(06.12.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මේ ගාල්ල – නාගොඩ ප්‍රදේශයෙන් ගිංගඟ හරහා ඉදිව ඇති කැප්පෙටියාගොඩ පාලමයි.

දශක 4 කට වඩා පැරණි මෙම පාලම මතින් ගම්මාන 4 ක ජනතාව දෛනිකව ගමන් කළ ද මේ වනවිට පාලම පවතින්නේ අබලන් තත්ත්වයකයි.

ජීවිත අවදානමක දරමින් පාසල් සිසුන් මෙන්ම ලොකු කුඩා සියලුම දෙනා සිය දෛනික කටයුතු වෙනුවෙන් මෙම පාලම භාවිතා කරනු ලබනවා.

උඩුවැලිවිටිය, උඩුවැලිවිටිතලාව, කැප්පෙටියාගොඩ, පාතවැලිවිටය ගම්මානවල ජනතාව බද්දේගම සහ ගාල්ල නගරවලට පැමිණීමට ඇති කෙටිම මාර්ගය ලෙස භාවිතා කරන්නේ මෙම පාලමයි.

අබලන් තත්ත්වයට පත්ව ඇති පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව අවස්ථා කිහිපයකදී නිහඬ විරෝධතාවල නියලුණ ද, මෙතෙක් කිසිදු බලාධාරියෙකුගේ දැස් විවර නොවිම කනගාටුවට කරුණක්.

******************************************

සජබ මන්ත්‍රීවරුන් නොමැති නිසා පාර්ලිමේන්තුව දහවලට පමණක් සීමා වේ

(06.12.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (06) පාර්ලිමේන්තුව වර්ජනය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද (06) දහවල් 12:30 දක්වා පමණක් සීමා වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය 12 වන දින වු අද (06) කපාහැරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සදහා නම් කර සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර සභා ගර්භයේ නොසිටි බැවින් ස්ථාවර නියෝග යටතේ සංශෝධන පමණක් ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

කපා හැරිමේ යෝජනාව ඉදිරිපත් නොවි කාරක සභා අවස්ථා විවාදය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බැවින් දහවල් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා හෙට (07) පෙරවරු 09:30 දක්වා සභාව කල් තැබීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ යෝජනාවට අනුවයි මූලාසනය ඊට අවසර ලබා දුන්නේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක් අද (06) විවාදයට ගැනීමට නියමිතව තිබු අතර, හෙට (07) දිනයේ පරිසර හා වනජීවි හා වන සංරක්ෂණ සහ ධීවර අමාත්‍යාංශයන් පිළිබද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතයි ෴

******************************************

පොළොන්නරුවෙන් හඳුනා නොගත් මළ සිරුරක් හමුවෙයි

(06.12.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පුරාවිද්‍යා කලාප කාර්යාලය ඉදිරිපිට පරාක්‍රම සමුද්‍රය වැව් රක්ෂිතයේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

පුරාවිද්‍යා කාර්යාලයේ සේවකයෙකු විසින් දැන්වීමෙන් අනතුරුව, පොලිස් නිලධාරින් විසින් මෙම නාදුනන මළසිරුර ගසක එල්ලා තිබියදී සොයා ගත් බවයි පොළොන්නරුව පොලීසියේ ප්‍රකාශ කළේ.

වයස අවුරුදු තිහත් හතළිහත් අතරේ (30-40) පසුවන මෙම පිරිමි පුද්ගල මළ සිරුර ගෙල වැළලාගෙන මිය යෑමක් ද? නැතහොත් ඝාතනයක් ද? යන්න සම්බන්ධයෙන් පොළොන්නරු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

දින තුන හතරකට (3-4) පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) දහවල් සිදු කිරීමට නියමිතයි.

පොළොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

******************************************

ප්‍රතිපාදන වෙන් කර තිබියදීත් සංවර්ධනය නොවන පාතදුම්බර හිඟුල් ඔය අමුණ

(06.12.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මහනුවර පාතදුම්බර ප්‍රදේශයේ සිට පොල්ගොල්ල මීගම්මන දක්වා ගමන් කිරීමට ඇති මාර්ගයක් වන හිඟුල් ඔය අමුණ මාර්ගය නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වී සිටිනවා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් මාර්ග සංවර්ධනය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇතත්, නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා තවමත් මාර්ගයේ කිසිදු සංවර්ධනයක් සිදු නොවු බවයි.

******************************************

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා එන්නත අනිවාර්ය කරන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

(06.12.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදිත කාන්තාවක් මෙරටින් වාර්තා වීමත් සමඟ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ නීති ගෙන ආ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේ, කොරෝනා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරන ලෙසටයි ෴

තවත් කොරෝනා මරණ 21 ක්

(05.12.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 21 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු මරණ ගණන 14,461 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 586 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝන ආසාදිතයින් ගණන 5,67,522 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 160 ක් මෙරටින් වාර්තා වීමත් සමඟ අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 746 ක්. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,67,682 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 746 දෙනෙකු ඊයේ (05) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,67,682 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (05) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 04 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි අය වනවා.

නව මරණ 21 ක් ඊයේ (05) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,461 ක් ලෙසයි.

මේ අතර, මෙරට එන්නත්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 13,43,160 ක් ඊයේ (05) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවීම සහ බොහෝ පිරිස් එන්නත්කරණයට ලක් නොවීම නිසා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එසේම රෝග ලක්ෂණ පවතින්නේ නම්, කඩිනමින් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යෑමක් ?

(06.12.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

එසේම මෙරට කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ 5.9% ක ආර්ථික වර්ධනයක් සහ එළඹෙන වසරේ 4.9% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි ඇමරිකාව හා ලොව ශක්තිමක් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල ආර්ථික වර්ධනය අනුව මෙම තත්වය තීරණය වනු ඇති.

මේ වනවිට රටවල් 40 කින් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය හමු වී තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *