පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ්

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ්

*********************************************

පාකිස්ථානයේ ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු රිමාන්ඩ්

(05.12.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු සියල්කොට් අධිකරණය විසින් රිමාන්ඩ් කර තිබෙනවා.

ඔවුන් හෙට (06) ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පාකිස්ථාන විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදෙස් අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මෘතදේහය හෙට (06) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි. ඒ අනුව රජයේ වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මළ සිරුර රැගෙන එනු ඇති.

මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් වෙත ලබාදීමට නියමිත වන්දි මුදල් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධ වී පාකිස්තාන බලධාරීන් සහ ඔහු රැකියාව කළ ස්ථානයේ නිලධාරීන් සමග මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටියා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවන් 120 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථානයේ සියල්කොට් නුවර ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇති බවයි එරට රැදී සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවට දැක්වෙන පුවරු රැගෙන පාකිස්තාන වැසියන් වීථි බැස සිය ශෝකය පළ කරනු දක්නට ලැබුණා.

එම පුවරුවල දැක්වුණේ ‘සොරි ශ්‍රී ලංකා’ යනුවෙනුයි. එලෙස ශෝකය පළ කරන පිරිස අතරට කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් ද එක්ව සිටියා.

+++++++++++++

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය ගැන ඉන්දීය මාධ්‍ය කරුණු රැසක් අනාවරණ කර ගනී

(05.12.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා පාකිස්ථානයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

මේ අතර දියුණුවෙමින් පවතින රාජ්‍යන්හි ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් ලබාදෙන ‘GSP ප්ලස් සහනය’ ඉදිරියේදී පාකිස්ථානයට අහිමිවීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මනුෂ්‍යත්වයට එරෙහි ද්වේශසහගත ක්‍රියාකාරකම් එරට තුළ ඉහළයාම බවයි විශේලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඉකුත් සිකුරාදා දිනයේදී මෙම ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුගේ ඝාතනයට සම්බන්ධ වී ඇත්තේ දැඩි මුස්ලිම් ආගමික මත දරන්නන් බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා එලෙස මහ මග පහරකෑමට ලක්ව ඝාතනය වී ඔහුගේ සිරුරට ම්ලේච්ඡ අයුරින් ගිනි තබන අවස්ථාවේදීද ඒ අවට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් රැදී සිටියත් සිද්ධිය පාලනයට ඔවුන් මැදිහත් වී නැහැ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ සිරුරට දැඩි ලෙස හානිවීමෙන් පසුව පාකිස්ථාන ගුජ්රන්වල් ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් සිද්ධිය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණ ඇති බවයි.

අදාළ කම්හල් කළමනාකරු ‘රාජ්කෝ’ කම්හලෙන් සිය මෝටර් රථයෙන් පිටතට පැමිණි පසු පුද්ගලයන් පිරිසක් ඔහුගේ මෝටර් රථය නවතා ඔහුව පිටතට ගෙන කම්හල ඉදිරිපිට මාර්ගයේදීම මෝටර් රථය පෙරළා දමා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

+++++++++++++

පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ මහතාගේ දේහය හෙට (06) පස්වරු 5 ට දිවයිනට

(05.12.2021 – 23:45 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුව අමානුෂික ලෙස පහරදී පුළුස්සා ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට දේහය මෙරටට රැගෙන එන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL186 දරණ යානයෙනුයි.

මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පාකිස්ථාන රජය විසින් වන්දි ලබාදීමට කටයුතු කරන බව පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ලොවපුරා හදවත් සසල කරමින් පාකිස්ථානයේ අන්තවාදී සංවිධානයක් විසින් සිදුකළ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මිලේච්ඡ ඝාතනය සැලවීමත් සමඟ හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායමක් පාකිස්ථානයේ සියල්කොට් නුවර බලා පිටත්ව ගියා.

සියල්කොට්හි රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා සේවය කර තිබූ අතර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සපයා ඇත්තේද මෙම ඇඟලුම් කර්මාන්තශාලාව මඟින්.

ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ දේහය තැම්පත් කෙරුණේ සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේයි.

එම රෝහලේදී සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හරහා අනාවරණ වන තොරතුරු වාර්තා කිරීම සඳහා හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම ඊයේ පස්වරුවේ සිටම සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ රැඳී සිටියා.

ඒ අනුව ගවේෂණය කළ තොරතුරු අනුව අප කණ්ඩායම මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට සමත් වුණා.

හිසේ සිට නිය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී තිබෙන අතර ඇතැම් ශරීර අභ්‍යන්තර කොටස් දැඩි ලෙස හානි වී තිබූ බවද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

කැපුම් තුවාල හේතුවෙන් වෙන් වී තිබූ සිරුරු කොටස් සකස් කර මෘත දේහය ලාහෝර් පොලිසියට බාරදීමට කටයුතු කළ බවද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඝාතනය කෙරුණු ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ දේහය සියල්කොට් නුවර කවාජා මුහමද් සෆ්දාර් රෝහලේ සිට පාකිස්ථානයේ ලාහෝර් නුවර දක්වා රැගෙන ගියා.

ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළගාවී පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍ය සහ රජයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්‍රි මහතා හමුවුණා.

ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හමුවුණේ ඉස්ලාමාබාද්හි පිහිටි ඔහුගේ නිල නිවසේදී.

මේ අතර අන්තවාදීන්ගේ අමානුෂික ඝාතනය හේතුවෙන් පාකිස්ථානයේ සියල්කොට් නුවර ජනතාව මේ වන විටත් දැඩි කම්පනයට පත්ව ඇති බව එහි රැඳී සිටින හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම සඳහන් කළා.

ිඒබා මච – පාකිස්ථානයේ සියල්කොට්හි ප්‍රදේශවාසීන් පටු අන්තවාදයට බිලි වී අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කොළඹට රැගෙන ඒමට නියමිතයි.

මේ අතර, ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ ඝාතනය සම්න්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ සියල්කොට් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, දැඩි ආරක්ෂාවක් යටතේයි.

පකිස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේල එහිදී සැකකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

ඔවුන්ව හෙට ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++

ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්ථාන ගැටුමක් ඇති කරන තැතක්.. – හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී

(05.12.2021 – 22:02 +0530 – lankacnews.com)

පාකිස්ථානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම බුද්ධි අංශ විසින් තදින් සොයා බැලිය යුතු බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා සඳහන් කරයි.

මෙය අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවද ඔහු සැක පල කරයි.

රට තුළ වාර්ගික කෝලාහලයක් ඇති කර අස්ථාවර කිරීමට කළා විය හැකි බවත් ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාර අනතුරක් ඇති බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

******************************************

මාමණ්ඩිය ඝාතනය කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

(05.12.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කළුතර – කොහොලාන – හෙට්ටිගොඩ ප්‍රදේශයේදී සිය මාමණ්ඩිය පහර දී ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්.

මාමණ්ඩිය සහ පොලිස් සැරයන්වරයා එකම නිවසක පදිංචිව සිටින අතර දෙදෙනා අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (04) මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන් ෴

******************************************

තවත් පුද්ගලයෙකුට සිරුරු කොටස් දන් දුන් නිලාවේලි කාන්තාව

(05.12.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කාන්තාවකගේ සිරුරු කොටස් පරිත්‍යාග කිරීමට ඇගේ දරුවන් සහ ඥාතීන් ඉදිරිපත් වීමේ සිදුවීමක් ත්‍රිකුණාමලය මහ රෝහලෙන් වාර්තා වුණා.

නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම කාන්තාව අධි රුධිර පීඩනය සහ ස්නායුව (සුසුම්නාව?) කැඩී යාම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ කාන්තාවගේ හෘදය සහ වකුගඩු තවත් රෝගියෙකුට ලබාදෙන අරමුණෙන් සාර්ථක සැත්කමකින් ලබාගත් බවයි.

******************************************

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඩකලපුවට

(05.12.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (04) මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහජන අදහස් විමසීම සිදුකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණු බවයි.

ආගමික නායකයින්, සමාජ ක්‍රියාකාරකයින්, වෘත්තිකයින් මෙහිදී අදහස් දැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව දින 3 ක් පුරා නැගෙනහිර පළාතේ සිදුකළ අදහස් විමසීම අදින් අවසන් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ෴

******************************************

ඉන්දියානු සාගරය සාපරාධි ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය – ගෝඨාභය රාජපක්ෂ

(05.12.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධි ක්‍රියාකාරකම්වල ස්ථානය බව ද පිළිගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

5 වන ඉන්දීය සාගර සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම කලාපයේ රටවලට සැලකිය යුතු ගැටලුවක් ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඬපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන් බව ජනාධිපතිවරයා පවසනවා.

මිනිස් ජාවාරම මැඬපැවැත්වීම සඳහා ද මේ හා සමාන සම්බන්ධීකරණයක සහ සහයෝගීතාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහි ව සටන් කිරීමට ද එවැනි ම සම්බන්ධීකරණයක අවශ්‍යතාව අවධාරණය කළ අතර ප්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නො කළ හොත්, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බව සඳහන් කළා.

******************************************

ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරේ

(05.12.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහෘද කලාකරුවන් සහ රසික පිරිසකගේ සහභාගීත්වයෙන් බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (05) පස්වරුවේ සිදුකෙරුණා ෴

******************************************

පරන්තන් හි මෝටාර් උණ්ඩයක් කැපීමට ගිය අයෙකු මරුට

(05.12.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී ඉවත දමන ලද මෝටාර් උණ්ඩයක් කැපීමට යාමෙන් සිදුවූ පිපිරීමකින් කිලිනොච්චිය – පරන්තන් – උමයාලපුරම් ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, එම ස්ථානයේ රැදී සිටි ඔහුගේ 13 හැවිරිදි බාල සොහොයුරා ද තුවාල ලබා තිබෙනවා.

******************************************

ශ්‍රී ලන්කන් – ගැන් දූපත් වෙත යළි ගුවන් ගමන් අරඹයි

(05.12.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මාලදිවයිනේ ගැන් දූපත් වෙත යළිත් වරක් ගුවන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතිපතා ‘ගැන් දූපත්’ වෙත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ ෴

******************************************

ගෑස් අර්බුදය, භාණ්ඩ මිල ඉහළයාම ගැන දේශපාලන වේදිකාවේ පළ වූ අදහස්

(05.12.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

ගෑස් අර්බුදය, භාණ්ඩ මිල ඉහළයාම සහ රටතුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් (05) දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *