සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

*********************************************

සතුන් හරහා නව කොරෝනා ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

(05.12.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සත්වයන් හරහා නව කොරෝනා වයිරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය සිදුකළ මෙම අධ්‍යයනයේදී බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන් වෙතින් කොරෝනා වයිරසය ආසාදනය වූ අවස්ථාවන් විශ්ලේෂණය කර ඇති බව සඳහන්.

එහිදි එම සත්වයන් වෙතින් මතුවන කොරෝනා ප්‍රභේද විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ නව ප්‍රභේද ඇතිවීමේ ඉහළ අවස්ථාවක් පවතින බවයි.

කොරෝනා වයිරසයේ විශේෂ ඇතිවීමේ පරාසය ඉහළ මට්ටමක පැවතීමද ඊට හේතුවක්.

මිනිසා වෙතින් බොහෝ සතුන්ට වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින අතර, එහිදී සත්වයන් හරහා විවිධ ප්‍රභේද මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

මිනිසා වෙතින් සියලු වර්ගයේ කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය විය හැකි නමුදු බළලුන් වෙතින් මිනිසාට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවස්ථා මෙතෙක් අනාවරණ වී නැහැ ෴

++++++++++++++++++

කොවිඩ් මර්දනයට සහාය වූ රාජ්‍ය නිලධාරින් ඇගයේ

(05.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

යාපනය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය වෙනුවෙන් කැප වූ රාජ්‍ය නිලධාරින් හා සෞඛ්‍ය සේවකයින් ඇගයීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදු කෙරුණා.

ඒ යාපනය, තල් සෙවන නිවාඩු නිකේතන ශ්‍රවණාගාරයේදී යි.

යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කටයුතු වෙනුවෙන් මැදිහත්ව කටයුතු කළ වෛද්‍යවරුන් 29 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් 86 දෙනෙකු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 210 දෙනෙකු වෙත උපහාර පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට යාපනය යුද හමුදා කඳවුරේ ප්‍රධාන නිලධාරින් රැසක් ද එක්ව සිටියා ෴

+++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 316 ක් සුවය ලබයි

(05.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ 316 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (05) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග වෛරසය ආසාදිතව සිට මෙරට සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,42,326 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝහ විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

දස (10) දිනක් කොවිඩ් ආසාදිතව නිවසේ සිර වුණු ජීවිතය

(05.12.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මාර්ග පහසුකම් නොමැතිකම හේතුවෙන් දින 10 කට අධික කාලයක් කොවිඩ් ආසාදිතව නිවසේ ගත කළ මාතර කනංකේ ප්‍රදේශයේ 92 හැවිරිදි පුද්ගලයෙකු, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් රෝහල්ගත කිරීමට කටයුතු කළේ මෙලෙසින්.

+++++++++++++++++

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වැඩියෙන් වියදම් කළොත් මන්ත්‍රීවරුන්ගේ අසුන අහිමි වන ලකුණු

(05.12.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති කෙටුම්පතට අනුව සීමාව ඉක්මවා අපේක්ෂකයෙකු මුදල් වියදම් කර ඇත්නම් ඔහුගේ ආසනය අහිමි වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

තවත් කරුණු රැසක් ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කෙටුම්පතට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වූ අතර, ඒ සඳහා සංශෝධන කිහිපයක් ද එක්කර ඇති බව සඳහන්.

ඒ අනුව සංශෝධන සහිත කෙටුම්පත යළි මැතිවරණ කොමිසමට ලැබීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය සඳුඳා රැස් වූ අමාත්‍ය මණ්ඩලයට මැතිවරණ වියදම් පාලනයට අදාළව සකස් කළ කෙටුම්පත ඉදිරිපත් වී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඉදිරිපත් කළ කෙටුම්පතට අනුව වියදම් කළ යුතු මුදල සීමා කර ඇති බවයි.

ඒ අනුව දිස්ත්‍රික්කය සහ ඡන්ද දායකයින් ප්‍රමාණය අනුව එහි යම් වෙනසක් සිදුවන අතර, එය පක්ෂය විසින් තීන්දු කළ යුතු වනවා.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සතියක් ගතව යෑමට පෙර වියදම් සම්බන්ධයෙන් ගිණුමක් සකස් කර ලැබෙන මුදල් සහ වැයවන මුදල් එහි සටහන් කළ යුතුයි.

මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව විගණකයන් යොදවා විගණන වාර්තාවක් සකස් කර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු වන අතර, පසුව කොමිසම විසින් එය ප්‍රසිද්ධ කෙරෙනවා.

යම් ආකාරයකින් අසත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් ඒ පිළිබඳව ඕනෑම පාර්ශ්වයකට විරෝධතා ඉදිරිපත් කළ හැකියි.

එසේම, මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාදෙන පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක, ලිපින සහ සියලු තොරතුරු ඇතුළත් කිරීම ද අවශ්‍ය වන අතර, තහනම් සංවිධානවලින් මුදල් ලබා ගැනීම සිදුකළ නොහැකියි.

එලෙස වංචාවක් සිදුකර ඇති බවට තහවුරු වුවහොත් අදාළ පුද්ගලයාගේ ආසනය අහිමි වනවා ෴

******************************************

විදුලි විසන්ධි වීම් අවම කර ගැනීමට විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිවලින් යෝජනාවක්

(05.12.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

රට තුළ විදුලි විසන්ධි වීම් අවම කර ගැනීම සඳහා අඩු වියදම් බලාගාර ස්ථාපිත කිරීමට වහා පියවර ගත යුතු බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් විදුලි ජනනයක් ඇති කිරීම ගැටලු සහගතවීමේ අවදානමක් පවතින බවයි.

පසුගිය 03 වැනිදා මුළු දිවයිනටම සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර 2 යථා තත්ත්වයට පත් කරන තෙක් සවස 6 ත් රාත්‍රී 09:30 ත් අතර පැයක (1) කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය ඊයේ (04) නිවේදනය කළා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, එලෙස විදුලි සැපයුම සීමා කිරීමට සිදුව ඇත්තේ එක් ප්‍රධාන බලාගාරයක් අක්‍රීය වූ සැනින් රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි විදුලිය ලබාදීම ගැටලු සහගතවීම හේතුවෙන් බවයි ෴

අද (05) දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පවසනවා ෴

******************************************

ලිට්රෝ – ලාෆ්ස් සභාපතිවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ සූදානමක්

(05.12.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ගෑස් අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ගෙන් ඉදිරි සතියේ ප්‍රකාශ ලබා ගන්නා බව ජනාධිපතිවරයා පත් කළ ගෑස් අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුව පවසනවා.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ඔවුන් කමිටුව හමුවට කැඳවා එලෙස ප්‍රකාශ ලබා ගන්නා බවයි.

එමෙන්ම ඉදිරි දින 2 තුළ මූලික විමර්ශන පිළිබඳව කමිටුව මගින් ප්‍රකාශයක් නිකුත් කරන බව ද ඔහු සඳහන් කළා.

ගෑස් අනතුරු පිළිබඳ කමිටුවේ විමර්ශනයට අදාළව මේ වන විට ලිට්‍රෝ සමාගමේ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.

කමිටුව මගින් බියගම – මාබිම පිහිටි ලාෆ් ගෑස් සමාගමේ ගබඩා සංකීර්ණය තුළ ස්ථානීය පරීක්ෂණ ඊයේ (04) සිදු කිරීමට නියමිතව තිබුණත් ඊයේ (04) එම කටයුතු සිදු කෙරුණේ නැහැ.

ඒ පිළිබඳව අප කළ විමසීමක දී කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා කියා සිටියේ, ලාෆ් සමාගමේ ගෑස් නිෂ්පාදන කටයුතු අඩු ධාරිතාවයක පැවතීම හේතුවෙන් එහි ස්ථානීය පරීක්ෂණ කල් දැමීමට තීරණය කළ බවයි.

ආන්දෝලනාත්මක ලෙස මෑතකදී ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරු ඉහළ යාමත් සමග ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කමිටුව පත් කළේ, පසුගිය 30 වනදායි.

ගෑස් අනතුරුවලට හේතුව සහ ඒවා වළක්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරමින් සති 2 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත්තේ.

මේ අතර අද (05) සිට ගෘහස්ත ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ ගෑස් සාම්පල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමු කර ලබා ගත් වාර්තාවන්ට අනුව තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් පදනම් කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ෴

******************************************

ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු අවසන්

(05.12.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

සිදු කරන වැරදිවලට අනුව ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළේ ඉතිරි කටයුතු පොලිස් නිලධාරීන් සතුව පවතින බවයි.

එසේම, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර, ඇය ප්‍රකාශ කළේ බස් රථවල තරගය අවම කිරීම සහ අනතුරු අවම කිරීම උදෙසා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ෴

******************************************

කාබනික පොහොර පර්යේෂණ තවත් ඉහළට

(05.12.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ජාතික වී පර්යේෂණායතනය මගින් කාබනික පොහොර වගාවට අදාළ පර්යේෂණ ප්‍රමාණය වැඩි කර තිබෙනවා.

බතලේගොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත බණ්ඩාර සේනානායක මහතා සඳහන් කළේ, මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොරවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කිරීමට අදාළ පර්යේෂණ ද මේ අතර වන බවයි.

එසේම, මීට පෙර රසායනික හා කාබනික වගාව වෙනුවෙන් සකසා තිබූ බීජ කාබනික ක්‍රමය යටතේ වගා කීරීමට ඇති යෝග්‍යතාවය පිළිබඳව මෙහි දී පර්යේෂණයට ලක් කෙරෙනු ඇති.

රෝග හා පලිබෝධ පාලනයට කාබනික පොහොර තුළ ඇති යෝග්‍යතාවය පරීක්ෂා කිරීම ද මේ වනවිටත් සිදුවන බවයි වී පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත බණ්ඩාර සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(05.12.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කෙසෙල්වත්ත – පරණ යොන් වීථියේදී මෝටර් රථයකින් පැමිණ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු සමග ඝාතනයට තවත් දෙදෙනෙකු (2) පැමිණ ඇති අතර, ඔවුන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

මෙලෙස හදුනාගැනුණු පුද්ගලයා, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙසෙල්වත්තේ දිනුක’ සමග සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ අදාළ ඝාතනය සිදුව තිබූ අතර, ඉන් මියගියේ 33 හැවිරිදි කෙසෙල්වත්ත – පරණ යොන් වීථියේ පදිංචි ‘කෙසෙල්වත්තේ ෆවාස්’ ලෙස හඳුන්වන අයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ඝාතනයට ලක්වූ එම පුද්ගලයා බන්ධනාගාර ගතව සිට මීට ටික කලකට පෙර නිදහස ලබා පැමිණි අයෙකු බවයි ෴

+ https://www.youtube.com/watch?v=d_Ca6tTE8Co

******************************************

කින්නියා පාලම් පාරු අනතුර තවත් ජීවිතයකට සමු දේ

(05.12.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ දී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව සිටි කාන්තාවක් අද (05) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 42 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව කින්නියා පාලම් පාරු ඛේදවාචකයෙන් මේ වනවිට අහිමි වූ සමස්ත ජීවිත සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ‍යනු ඇති ෴

******************************************

ජනපති එක්සත් අරාබි එමීරයේ පාලකයන් හමුවෙයි

(05.12.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්තුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්තුම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඩුබායි එක්ස්ෆෝ ප්‍රදර්ශන භූමියේදී ඊයේ (04) සිදු වී තිබෙනවා.

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා සුබපැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙරට කොරෝනා මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

ප්‍රදර්ශනය නරඹමින් සිටි ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් හමු වූ ජනාධිපතිවරයා මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

කොළඹ ගෑස්පහ හන්දියේ වෙළඳසලක ගින්නක්

(05.12.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට ගින්න පාලනය කර ගැනීමට කොළඹ ගිනි නිවන ඒකකය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් නොවන බව ද මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

එම වෙළඳසල තුළ පොල්කටු අඟුරු, ප්ලාස්ටික්, ගල් අඟුරු, හිස් බැරල්, ප්ලාස්ටික් බාල්දි ඇතුළු ද්‍රව්‍ය අලෙවි කිරීමට තබා තිබූ ස්ථානයක්.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට මේ වන විට සොයාගෙන ඇති අතර, වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අවට වෙළෙඳසැල්වලට ගින්න පැතිරී යාමට නොදී පාලනය කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බව ද වාර්තා වනවා ෴

******************************************

වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත පණ ගැන්වේ

(05.12.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා තාවකාලිකව නතර කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අනිද්දා (07) එම කටයුතු ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

පසුගිය නොවැම්බර් 15 වනදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනේ ප්‍රමාණවත් බොරතෙල් සැපයුමක් නොමැතිවීම හේතුවෙන්.

මේ අතර සපුගස්කන්ද බලාගාරය සඳහා බොරතෙල් ලබා ගැනීමට නයිජීරියානු තෙල් සමාගම සමග ඇති කරගත් ගිවිසුම අවලංගු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමිත් අබේසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නයිජීරියානු කොන්සිස්කෝ සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව මාස 9 ක කාලයක් සඳහා බොරතෙල් ලබා ගැනීමට නියමිතව තිබූ බවයි.

ඒ අනුව මේ වසරේ ජූනි මාසයේ සිට ලබන පෙබරවාරි මාසය දක්වා බොර තෙල් බැරල් 20,62,500 ක් ලැබීමට නියමිත වුවත්, ඉන් එක නැව්ගත කිරීමක් හෝ මෙතෙක් සිදු වී නැහැ.

සපුගස්කන්ද බලාගාරයේ බොරතෙල් සැපයුම අඩාල වීමට මෙලෙස නයිජීරියානු බොරතෙල් සැපයුම ක්‍රියාත්මක නොවීම ද ප්‍රධාන හේතුවක්.

වසර 51 ක් පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ද, ජෙට් ඉන්ධන සියයට 19 ක් ද නිපදවෙන අතර, නිෂ්පාදනය කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රතිශතය සියයට 43 ක් ෴

******************************************

විදේශ සංචිතය ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1.4 ක්

(05.12.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ විනිමය සංචිතය ශක්තිමත් කරලීම සඳහා ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් විනිමය හුවමාරු ක්‍රමය යටතේ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මෙම අරමුදල් අපේක්ෂා කෙරෙන්නේ ඉන්දියාව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති ඩොලර් මිලියන 500 ක ණය මාර්ග ගිවිසුමට අමතරවයි.

ඩොලර් බිලියන 1.4 ක විනිමය හුවමාරුව සඳහා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතර, එම සාකච්ඡා නිමාවට පත් වූ පසු එහි කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විදේශ විනිමය හුවමාරු කරන පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි කිරීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

විශේෂයෙන් විදේශීය විනිමය ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා ඩොලරයකට රුපියල් 10 ක අමතර මුදලක් ලබාදීමට ද මහ බැංකුව පසුගියදා තීරණය කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *