ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස්

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස්

*********************************************

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස්

(04.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

විකෘතිතා රැසකින් සමන්විත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ජානමය කොටස් අඩංගු වන බවට විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඇමරිකාවේ මැසචුසෙට් හි දත්ත විශ්ලේෂණ ආයතනයක් මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව, මේ හේතුවෙන් ඔමික්‍රොන් වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යා හැකියි.

ප්‍රතිශ්‍යා වෛරසයේ අදාළ ජාන කොටස් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට ආගන්තුක නොවන ලෙසින් මිනිස් සිරුරට ආසාදනය වීමේ හැකියාව ලැබී තිබෙනවා.

ඔමික්‍රොන් හි ශීඝ්‍ර ව්‍යාප්තිය තහවුරු වුවත් එමඟින් දැඩි ආබාධ තත්ත්වයක් ඇති වන්නේ ද යන්න තහවුරු කරගැනීමට තවත් පැති කිහිපයක් ගතවනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

+++++++++++++++++++

කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ එකම රටෙන් කොවිඩ් අසාදිතයෙක්

(04.12.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ එකම රට වන ‘කුක් දූපත්’ (Cook Islands) රාජ්‍යයෙන් අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ් නිවේදනය කළේ වයස අවුරුදු 10 ක දරුවෙකුට මෙලෙස කොවිඩ් ආසාදනයවී ඇති බවයි.

කුක් දූපතේ (Cook Islands) පදිංචිකරුවෙකු වන මෙම දරුවා මීට දින කිහිපයකට පෙර නවසීලන්තයේ සිට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුක් දූපත් සමූහය (Cook Islands) දකුණු පැසිපික් කළාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ත ජනගහනය 17,000 ක් පමණ වනවා.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදෙස් රටවල සිට පැමිණෙන්නන් සඳහා මෙම රට වසා තැබූ අතර මීට දින කිහිපයකට ඉහතදී නවසීලන්තය සමග පමණක් සීමිත සංඛ්‍යාවක් ගුවන් ගමන්වාර ආරම්භ කරනු ලැබුවා.

කුක් දූපත් (Cook Islands) හි මේ වනවිට කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණය යටතේ එන්නත් ලබාගෙන ඇති ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 96 ක් ෴

+++++++++++++++++++

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ගත් 474 දෙනෙකුට සුවය

(04.12.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ගත් 474 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,42,010 ක් ෴

තවත් කොරෝනා මරණ 21 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු මරණ ගණන 14,440 ක් ෴

මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 541 ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 5,66,737 ක් දක්වා ඉහළ යනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 199 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,66,936 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සජබේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිට ව යයි

(04.12.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අද (04) සහ පෙරේදා (02) ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභා ගර්භයෙන් පිටව ගිය බවයි වාර්තා වෙන්නේ.

******************************************

නිලාවේලි වෙරළ තීරයේ දිය නෑමට ගිය පිරිමි දරුවන් දෙදෙනෙකු (2) මරුට

(04.12.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

නිලාවේලි වෙරළ තීරයේ දිය නෑමට ගොස් දිය වැලකට ගසාගෙන ගිය පිරිමි දරුවන් දෙදෙනෙකු (2) මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත් දරුවන් දෙදෙනා (2) වයස අවුරුදු 13 සහ 14 ක් බවට සදහන් ෴

******************************************

මඟි ප්‍රවාහන ඔරුවක් පෙරළී පුද්ගලයෙකු අතුරුදන්

(04.12.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කළුතර හොරණ මාර්ගයේ ගල්පාත සිට හා කළුතර කෙත්හේන මාර්ගයේ බොලොස්සගම සිට කළුගඟ හරහා මඟින් එතෙර කෙරන ඔරුවක් ඊයේ (03) රාත්‍රියේ පෙරළී ගොස් තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් සිව්දෙනෙකු (4) සිට ඇති අතර, යුද හමුදාව මැදිහත්ව ඉන් තිදෙනෙකු (3) බේරාගෙන තිබෙනවා.

තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

******************************************

චීන පොහොර යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටව යයි

(04.12.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගයක් මෙරටට රැගෙන ආ චීන නෞකාව යළි මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් තිබෙනවා.

අදාළ කාබනික පොහොර තොගය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම නෞකාව මෙරට මුහුදු සීමාවේ සැරිසරමින් තිබුණා.

නෞකා සමාගමට සහ එහි දේශීය සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇති අතර, බේරුම්කරන ක්‍රියාවලියකට යොමුවන බව පවසමිනුයි නෞකාව පිටව ගොස් ඇත්තේ ෴

******************************************

ගාල්ලේ නිවසක පිළිස්සුණු කාන්තා මළ සිරුරක්

(04.12.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මියගිය කාන්තාව 72 හැවිරිදි තැනැත්තියක් වන අතර, මරණය සැක සහිත බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා ෴

******************************************

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට (05) සිට ගෑස් වෙළඳපොලට

(04.12.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට (05) දින සිට යළි ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

  1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීමටත්,
  2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවද හදුනා ගැනීම සදහා මාර්කප්ටන් අඩංගු කිරීමටත්,
  3. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100 කින් එකක්ම පරීක්ෂා කර Searial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම මෙම නිර්දේශවලට ඇතුලත්.

මාධ්‍ය නිවේදනය

******************************************

ආරක්ෂාව ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවෙන් යයි

(04.12.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ඊයේ (03) සහ අද (04) ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු යළි පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අයවැය විවාදය අතරතුර අද (04) පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියා.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් බාධා කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ සංවාදාත්මක තත්ත්වයක් නිසා අද (04) පෙරවරුවේද පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව ගියද අද (04) දිනට නියමිත අයවැය කාරක සභා අවස්ථා විවාදය පවත්වාගෙන යාමටයි පියවර ගැනුණේ.

පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසලට ගොස් විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ඊයේ (03) පස්වරුවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මූලාසනයට කරන ලද තර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීම සඳහා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි ෴

******************************************

විදුලි ඉංජිනේරුවන්ගෙන් සී.අයි.ඩී. ය ප්‍රකාශ ගනී

(04.12.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ගතවූ සතිය තුළ සිදුවූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිවලින් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව තම නියෝජිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අදාළ ප්‍රකාශ ලබාදුන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලමින් ඊයේ (03) දිනය දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.

එහිදී අදාල ගිවිසුම සහ ගතවූ සතිය තුල සිදුවූ විදුලි බිඳවැටීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ වන විට විදෙස් සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවයි වෘත්තීය සමිති නියෝජිතයන්ට එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊයේ (03) දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමේදී නොරොච්චෝලේ බලාගාරයට නිසි සේවාවන් ලබා නොදීම, එහි ජනන යන්ත්‍ර 2 ක් අක්‍රීය වීමට හේතු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ බලාගාරයට අදාළ සේවා සැපයීමට කටයුතු නොකල පිරිස් වලට එරෙහිව පියවර ගත යුතු බවයි.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර 2 යථා තත්වයට පත් කරන තෙක් ඉදිරි දින 4 තුල සවස 6 ත් රාත්‍රී 09:30 ත් අතර පැයක කාලයක් ඇතැම් ප්‍රදේශ වලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (03) මුලු දිවයිනටම සිදුවූ විදුලි බිඳවැටීමෙන් තම දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වූ බව පවසමින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණිල්ලක්ද භාර දුන්නා ෴

******************************************

සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 47 යි

(04.12.2021 – 23:15 +0530 – hirunews.lk/sinhala)

1974 දෙසැම්බර් මස 04 වෙනිදා එනම් මීට වසර 47 කට පෙර අද වැනි දිනක මක්කම බලා පියාසර කරමින් තිබූ ඕලන්ද රාජ්‍යට අයත් මාර්ටින් එයාර් ඩි සි 08 ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කඳුවැටියේ ගැටී අනතුරට පත් වූ අතර එම අනතුරින් මිය ගිය කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 190 දෙනා සිහි කිරීමේ වැඩසටහනක් අද (04) නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසලදී පැවැත්වුණා ෴

******************************************

70 ලක්ෂයකට අධික කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

(05.12.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට රහසිගතව මෙරටට ගෙන ආ කේරළ ගංජා තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි, මිනුවන්ගොඩ – ගල්කන්ද හන්දියේ දී අත් අඩංගුවට ගැනුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි, ග්‍රෑම් 673 ක්, ජංගම දූරකථනයක් සහ ඔහුට අයත් ලොරි රථයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කේරළ ගංජා තොගයෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 70 කට අධික බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට සැකකරු සහ භාරයට ගත් කේරළ ගංජා තොගය ඇතුළු නඩු භාණ්ඩ මිනුවන්ගොඩ පොලීසියට භාර දී තිබෙනවා ෴

******************************************

වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

(05.12.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය – කෝපායි පොලිසිය පැවසුවේ, වෑන් රථය පාපැදියක ගැටීමෙන්, පාපැදියේ ගමන්ගත් පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඥානසිංහම් සුදන් නමැති පුද්ගලයෙක්.

මෙම රිය අනතුරින් පාපැදිකරු ජීවිතක්ෂයට පත් වීමත් සමග එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් වෑන් රථයේ රියැදුරු අල්ලාගෙන නොසන්සුන්කාරී අයුරින් හැසිරී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

කෙසේවෙතත් කෝපායි පොලීසිය අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය සම‍ථයකට පත් කර ඇති අතර, ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර යාපනය මෘතශරීරාගාරය වෙත යොමු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

***************************************

මෙරට ළමුන්ගෙන් 1% ක් ශ්‍රම දායකත්වය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

(05.12.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ළමයින්ගෙන් 1% ක් යම් ආකාරයක හෝ ශ්‍රම දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අනතුරුදායක බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමකාලීන වහල්භාවය පිළිබඳ විශේෂ නියෝජිත තොමෝයෝ ඔබොකටා ප්‍රකාශ කරනවා.

ඒ, මෙරට ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින්.

දිවයිනට පැමිණ ඇති ඔහු ඒ.පී. පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ළමයින්, කාන්තාවන් ඇතුළු පාර්ශ්වයන්ගේ අදාළ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

වතුකරයේ ළමයින්ට පාසල් හැරයාම සහ පවුල් නඩත්තු කිරීමේ කටයුතුවලට දායකවීමට සිදුව ඇති බවත්, ඔවුන් විවිධ වෙනස්කම්වලට මුහුණදෙන බවත්, ජගත් සංවිධාන නියෝජිතයා ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *