එල්.පී. ගෑස් පිපිරීම් : වරද සමාගම් භාර ගත යුතුයි – පාරිභෝගික රාජ්‍ය ඇමති කියයි

එල්.පී. ගෑස් පිපිරීම් : වරද සමාගම් භාර ගත යුතුයි – පාරිභෝගික රාජ්‍ය ඇමති කියයි

*********************************************

එල්.පී. ගෑස් පිපිරීම් : වරද සමාගම් භාර ගත යුතුයි – පාරිභෝගික රාජ්‍ය ඇමති කියයි

(03.12.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

දැනට නිවෙස්වල භාවිතයට ගැනෙමින් තිබෙන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට අවශ්‍ය ‘එතිල් මර්කැප්ටන්’ රසායනිකය නියමිත පරිදි අඩංගු නොවීම හේතුවෙන් මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවීමට පියවර ගැනුණා.

එල්.පී. ගෑස් සිලින්ඩරවල බියුටේන් සහ ප්‍රොපේන් සංඝටකයන්ට අමතරව ‘එතිල් මර්කැප්ටන්’ නමැති රසායනිකය එක්කර ඇත්තේ ගෑස් කාන්දුවක් ඇත්නම් එය හඳුනාගැනීම සඳහායි.

එමඟින් ගෑස් කාන්දුවක් ඇතිවන අවස්ථාවන්හිදී දුර්ගන්ධයක් ඇතිවන අතර, සිලින්ඩරයක එතිල් මර්කැප්ටන් රසායනික ඒකක 14 ක් අඩංගු විය යුතු වනවා. එහෙත් ලිට්රෝ ගෑස් සිලින්ඩරවල එම රසායනිකය පවතින්නේ ඒකක 5 ක් පමණක් බවටයි හෙළි වී ඇත්තේ.

මේ අතර, ගෑස් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (03) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් වගකීම අදාළ සමාගම් භාර ගත යුතු බවයි.

අමාත්‍යවරයාගේ දැනුම්දීම අනුව දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.

දැනට නිවෙස්වල භාවිත කරන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු දැනගැනීමට ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අප අවස්ථා කිහිපයකදීම උත්සහ ගත්ත ද, ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ අතර ඒ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය ගෙන්ද හිරු ප්‍රවෘත්ති විමසා සිටි අතර, ඔහු සඳහන් කළේ තම සමාගමේ ගෑස් අලෙවිය සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

‘එතිල් මර්කැප්ටන්’ ප්‍රතිශතය තම සමාගම නිසි ආකාරයෙන් පවත්වාගෙන යන බවත් ඔහු කියා සිටියා.

මේ අතර, දෛනිකව ගෑස් භාවිත කරන ජනතාව සහ හෝටල් ව්‍යාපාරිකයින් පවසන්නේ ගෑස් බෙදා හැරීම සහ අලෙවිය අත්හිටුවීමට ගෙන ඇති තීරණය නිසා ගැටලුකාරි තත්ත්වයකට මුහුණදී ඇති බවයි.

ගෑස් ආශ්‍රිත අනතුරු අදත් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබුණා. මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් අද (03) මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් ප්‍රධාන පර්යන්තය නිරීක්ෂණයකට එක්වුණා.

මෙම කමිටුව ඊයේ (02) දිනයේදී ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුවූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදු කළා ෴

++++++

විඩියෝ : අම්මලාට මරණ බය ගෙනා ගෑස් මගඩිය (03.12.2021)

******************************************

පාකිස්ථානයේ දී මෙරට පුරවැසියෙකු ඝාතනය කර, පුළුස්සා දමයි

(03.12.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් එම කර්මාන්ත ශාලාවේ අපනයන කළමනාකරුට අමානුෂික ලෙස පහර දී වධ හිංසා පමුණුවා මරා දමා ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානයේ ‘ඩෝව්න්’ වෙබ් අඩවියට අනුව මෙලෙස අමානුෂික පහරදීමට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්.

ඔහුට පහර දුන් කර්මාන්ත ශාලා සේවකයින් ඔහු මියගිය පසු එම සිරුරට ද ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධියත් සමග ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් ද එම ප්‍රදේශයට යොදවා තිබෙනවා.

සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි කර්මාන්ත ශාලවක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේ මෙම සිද්ධියට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු වූ බවට සැලකෙන සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ, සිය ගණනක් පුද්ගලයින් එම ස්ථානය වටා රැස්ව සිටිමින් යම් සටන් පාඨ කියමින් සිටින ආකාරයයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය පිටුපස ඇති අරමුණ කුමක්ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

මේ අතර සියල්කොට් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මූලික විමර්ශනයෙන් පසු සියලු තොරතුරු මාධ්‍ය සමග බෙදා ගන්නා බවයි.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් විසින් පන්ජාබ් පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් කැඳවා අපි අතර මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමටත් නියෝග කර තිබෙනවා.

“සිද්ධිය සම්බන්ධයෙන් සෑම අංශයකින්ම සොයා බලා අදාල වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. නීතිය අතට ගන්නා අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණා.

පන්ජාබ් පොලිස්පති රාඕ සර්දාර් අලි ඛාන් ද සිද්ධිය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අතර සිද්ධියේ සියලුම පැති ගැන සොයා බැලිය යුතු බවට ගුජ්රන්වාලා ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබෙනවා.

2010 වසරේදී ද සියල්කොට් ප්‍රදේශයේ සිදුවූ මෙවැනිම සිදුවීමක් නිසා මැර පිරිසක් විසින් සොහොයුරන් දෙදෙනකු (2) පොලිසිය ඉදිරිපිටදීම ඝාතනය කර මරා දැමුණු අතර පසුව එම කුරිරු ඝාතනවල ජංගම දුරකථන දර්ශන රට පුරා පැතිර යාමත් සමග එය මහජනතාවගේ මහත් කම්පනයට හා භීතියට හේතුවක් වුණා ෴

පාකිස්ථානයේ – සියකොට් හීදී ශ්‍රී ලාංකිකයෙකුට වධ හිංසා පමුණුවා පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජය විසින් විමර්ශනය කිරීමට සහ යුක්තිය සහතික කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශය පවසනවා ෴

+++++++++++++

නබි වාක්‍ය ඉරුවැයි පාකිස්තාන ඇඟළුම් කම්හලේ සාමාන්‍යධිකාරී ප්‍රියන්ත ප්‍රසිද්ධියේ මරා පුළුස්සලා

+++++++++++++

ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම ගැන පාකිස්ථාන අගමැතිගෙන් දැඩි විවේචනයක්

(03.12.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කරන බව, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම පණිවිඩයේ සඳහන් වන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානය රටක් ලෙස ලැජ්ජවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් ඉතා දැඩි අවධානයෙන් බලා සිටින බවත්, කිසිදු මග හැරීමකින් තොරව, මෙම සිද්ධියට වගකිව යුතු සැමට උපරිම දඬුවම් ලබාදීමට කිසිසේත් පසුබට නොවන බවයි, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

සිද්ධියට වගකිව යුතු අය මේ වනවිටත් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි, එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

******************************************

ප්‍රහාර 3 ක් එකට සැසඳෙයි

(03.12.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ කාත්තන්කුඩියේ නිවසකට සහ ජාතික පෙරමුණ පක්ෂ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරවල බෝම්බ කොටස් සහ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් සඳහා යොදා ගත් බෝම්බ කොටස් සමාන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළව ඊයේ (02) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

2018 වසරේ පෙබරවාරි මාසයේ කාත්තන්කුඩියේ මෙම බෝම්බ ප්‍රහාර සිදු වූ අතර, වැඩිදුර පරීක්ෂණවලදී ඒවා කාල බෝම්බ බව තහවුරු වී තිබුණා.

සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් එම වසරේම අගෝස්තු මාසයේ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ අතර, එහිදී සොයා ගත් බෝම්බ කොටස් ද පාස්කු ප්‍රහාරයේ දී යොදා ගත් බෝම්බ සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

(03.12.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන (5) ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත වුණා.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී ‘ඉන්දියානු සාගර සමුළුව’ ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහි සිව්වන (4) සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර, එහිදී ‘ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග’ පිළිබඳ පුළුල් සංවාදයට ද ලක් වුණා.

‘පරිසරය, ආර්ථිකය, වසංගතය’ යන්න තේමා කර ගනිමින් පස්වන (5) සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වෙන අතර, මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන පිරිස් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා ෴

******************************************

විදුලි රැහැනක් ස්පර්ශ කළ දරුවෙකු විදුලි සැර වැදී මරුට

(03.12.2021 – 22:16 +0530 – hirunews.lk/sinhala)

විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසක උඩුමහලක සිට විදුලි රැහැනක් ස්පර්ශ කරමින් සිටි 18 හැවිරිදි දරුවෙකු, යළි විදුලිය සැපයීමත් සමග, විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බවයි පොලිසීය පවසන්නේ ෴

******************************************

සරත් – සරත් මත ගැටුමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

(03.12.2021 – 20:02 +0530 – sinhala.adaderana.lk)

අද (03) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

මේ අතර මහාවංශයේ හය වන වෙළුමෙහි හතරවන ඊළාම් යුද්ධය ගැන ලියා ඇති සටහන් පිළිබඳ සැහිමකට පත් නොවන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

“මට කතාකරලා සෙබලු කිහිපදෙනෙක් කියනවා හැමදාම අඹ කරියක් දෙනවලු වේල් දෙකටම. හාල්මැස්සෝ කීරමින් දෙනවාලු. කැකිරි හැමදාම දෙනවාලු. බීට්රූට්, බෝංචි දකින්නවත් නැහැලු. කුකුල් මස් දෙන්නේ සතියට එකපාරයිලු. කුකුළු මස් සතියකට එකපාරක් කාලා යුද්ධ කරන්න වෙන්නේ නැහැ.. නිදාගන්න වෙන්නේ. හමුදාපතිට දොස් කියන්න බෑ. ආරක්ෂක ලේකම්ට දොස් කියන්න බැහැ. මුදල් අමාත්‍යංශයට තමයි දොස් කියන්න ඕන.”

“නායකතුමා මට කිව්වා SJB රජයක ඔබතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමති කියලා. SJB රජයක් අනිවාර්යයෙන් එනවා. මම අනිවාර්යෙන් ආරක්ෂක ඇමති වෙනවා. අපේ රජයකදී පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණය කරනවා.”

“මහජන ආරක්ෂක ඇමතිගේ මූණටම කියන්න ඕන, ‍මේ කාලයේ අපි දකිනවා අත්අඩංගුවට ගන්න අය අතන මෙතන වෙඩි තිබ්බා කියනවා. ඒක නින්දිත ක්‍රියාවක්. ඒවා නවත්තන්න.”

මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර,

“මම දැනගෙන හිටියේ නෑ සරත් ෆොන්සේකා කියන්නේ ‘ටින්කරින් ලසන්ත’ගේ සමීප මිතුරෙක් කියලා. ‘සන්ෂයින් සුද්දව’ මැරුවා. මංකොල්ලා 11 ක් කළ අයෙක්. ‘ටින්කරින් ලසන්ත’ව අත්අඩංගුවට ගන්න නොකිව්ව ෆොන්සේකා ඝාතනය කළාම දුක් වෙන්න හදනවා. සගවාගත් ආයුධ ගෙනියන්න යද්දියි ඝාතනය වුණේ. අහන් ඉන්න බැරිද?”

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

“මහාවංශයේ 6 වැනි වෙළුම. මේකෙ ලියලා තියෙනවා 4 වැනි ඊළාම් යුද්ධය ගැන. ශවේන්ද්‍රගේ නම සඳහන් වෙලා තියෙන්නේ පිටු 71 කම දෙපාරයි. ශවේන්ද්‍රට පස් බැම්මක් හම්බුණා කියලා තියෙනවා. අහගෙන ඉන්නකොට හිනා යනවා ඇති. කමල් ගුණරත්නගේ නම තියෙන්නේ එක තැනකයි. මේකට විරුද්ධව අලුත් සටනක් කරන්න වෙනවා. අනාගත පරම්පරාවට සුරංගනා කතාවක් කියන්න නොදී මහාවංශය විහිලුවක් නොකර, මේක ගැන අඩුම ගානේ මං පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා පිටු 750 ක.”

******************************************

මහ මඟ සිදුවූ බිහිසුණු අනතුරක්

(03.12.2021 – 18:41 +0530 – sinhala.adaderana.lk)

මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

සුභාග්‍යා විද්‍යාලයට සිය දරුවා ගැනීමට පැමිණි මවක් බස් රථයෙන් බැස එම රථය ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ ගැනීමේ දී තවත් බස් රථයක ගැටෙන අයුරු CCTV දර්ශනවල සටහන්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු අදාළ කාන්තාව මේ වනවිට මොනරාගල දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පැවසීය.

එලෙස තුවාල ලබා ඇත්තේ, බුත්තල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ඩී.එම්. කුසුමාවතී නැමති මවකි.

අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන බෙහෙවින් සංවේදී බැවින් අප එම දර්ශන සංස්රණය කර ඇත.

https://www.youtube.com/watch?v=X59Y6q1ZgUc

******************************************

තමන්ගේ බරපතළ අසනීප තත්ත්වය ගැන නිරෝශා විරාජිනී කියූ කතාව (29.11.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 412 ක් පූර්ණ සුව අතට

(03.12.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 412 දෙනෙකු අද (03) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග වයිරසය ආසාදනය වී සිට මෙරට පූර්ණ සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,41,536 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය හොබවන රාජා කොල්ලුරේට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (03) දිනයේදී තහවුරු වී තිබෙනවා ෴

කොරෝනා වයිරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ මරණ අද (03) දිනයේදී සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

+++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 508 ක් වාර්තා වේ

(03.12.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 508 දෙනෙකු අද (03) දිනයේදිත් හඳුනාගෙන තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, එම වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව සමග මෙරට මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,65,979 ක් දක්වා ඉහළ යන බවයි.

මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 10,024 ක්.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,419 ක් වන අතර, වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 5,41,536 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 217 දෙනෙකු අද (03) දිනයේදී සොයාගෙන තිබෙනවා. ඒ සමග අද (03) දිනට පමණක් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 725 ක්. මෙම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 5,66,196 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

ඔමික්‍රෝන් ආසාදිතයා ගැන PHI සංගමයෙන් චෝදනාවක්

(03.12.2021 – 22:15 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් අද (03) දිනයේ හමුවූ බවය.

“අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඒ ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවකගේ PCR සහ ඇයගේ ආශ්‍රිතයින්ගේ PCR කරලා එවන්න කියලා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දැනුම්දීලා තිබුණා. ඒ මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බලප්‍රදේශයට අයත් නිවසකින්. අපි ඒක යවලා තියෙනවා.”

“මේ කියන කාන්තාව පසුගිය 24 වනදා නයිජීරියාවේ සමුළුවකට සහභාගී වෙලා ඇයගේ ස්වාමි පුරුෂයාත් එක්ක තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *