කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට

කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට

*********************************************

කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට

(30.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසුවා.

එම අනුමැතිය ලබා ගන්නේ අපනයනයට පමණක් බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සම්ප්‍රදායික ඖෂධ නීතිගත කරන බවත් කංසා මගින් පිළිකා සුව කළ හැකි යැයි සොයාගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නිපදවීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා විදේශ විනිමය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද සඳහන් කළා.

******************************************

කිලිනොච්චිය පොලීසිය තවමත් නොදත්, පලෛ ප්‍රදේශයේ චණ්ඩි ප්‍රහාරය

(30.11.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය , පලෙයි ප්‍රදේශයේ රාත්‍රී ආපණ ශාලාවකට ඇතුළු වු පිරිසක් ආපණ ශාලාවේ රැඳී සිටිමින් ආහාරගත් පිරිසට හා ආපණ ශාලාවේ මුදල් අයකැමි වෙත පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතිනවා.

පසුගිය 24 වැනිදා පොලු රැගෙන කඩා වැදුණු පිරිසක් ආපණ ශාලාවේ රැඳී සිටි පිරිස වෙත එලෙස පහර දී ඇති අතර, මුදල් අයකැමිවරයා හට පහර දෙන අයුරු ආපණ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මුව ආවරණ නොපැළඳ සිටි බවට පවසමින් එලෙස පහරදුන් බවත්, ආපණ ශාලාවේ රැඳී සිටි බහුතරයක් මුව ආවරණ පැළඳ සේවය කරමින් සිටි අවස්ථාවේ පහරදීම සිදු කළ බව ආපණ ශාලාවේ සිටි පිරිස් ප්‍රකාශ කළා.

පලෙයි ගම්වාසීන් පැවසූවේ, ආරක්ෂක අංශයකට අයත් පිරිසක් අදාළ පහරදීම සිදු කළ බවට ආරංචියක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය දිසාව භාර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී පැවසූවේ, පලෙයි ප්‍රදේශයේ සිදුවීම සම්බන්ධව සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත්, සිද්ධිය පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් ද සිය පොලිස් ස්ථානය වෙත ලැබී නොමැති බවයි.

******************************************

මත්පැන් අලෙවිසැලට එල්ල වූ ගම්වැසි විරෝධය

(30.11.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමේ සුදානමකට විරුද්ධව ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) කිලිනොච්චිය – කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් පැවසුවේ, පෙරියපරන්තන් ගම්මානයේ බහුතරයක් ජනතාව කුලී වැඩ කරමින් ජීවත්වන පිරිසක් වන අතර, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් ජනතාවගේ මුදල් ගැරීම සඳහා මත්පැන් අලෙවිසැළක් විවෘත කිරීමට සූදානම් වන බවයි.

ගම්මානයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවත්, මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම තුළින් ජනතාවගේ ආර්ථික ගැටලු ඉහළ යන බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

පාසල් හා කෝවිල් කිහිපයක් ආසන්නයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම ප්‍රදේශයේ ළමුන්ට ද එය ගැටලුවක් බව‍යි ඔවුන් කියා සිටියේ.

විරෝධතාව පැවැත්වෙන ස්ථානයට සුරාබදු නිලධාරීන් පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය දැක්වූවා.

ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා මගින් නිසි විසඳුමක් ලබාදෙන බවට කරච්චි ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

යුද සමයේ අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් විරෝධතා අරඹයි

(30.11.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේ යුද්ධයෙන් අතුරුදහන් වූ, උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ගැටලුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමින් අද (30) උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයක විරෝධතා පැවැත්වුණා.

යාපනය දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් යාපනය පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය ඉදිරිපසදීයි, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතා වැඩසටහන් පැවැත්වූවේ.

යුද්ධය නිමා වී වසර 12 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම කනගාටුවට කරුණක් වන බව ද විරෝධතාකරුවන් කියා සිටියා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ, යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් වසර පහකට (5) ආසන්න කාලයක් අඛණ්ඩ උපවාස පැවැත්වුව ද කිසිදු රජයක් හරහා තමන්ගේ ගැටලු වෙනුවෙන් නිසි විසඳුමක් නොලැබුණ බවයි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ උතුරේ හා දකුණේ දේශපාලන නියෝජිතයින් කිසිවෙකු තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් තම දූ දරුවන් හා ඥාතීන් සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබී ඇති බව ද ඔවුන් චෝදනා කළා ෴

******************************************

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

(30.11.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 72 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ මෙන්ම උතුරු සහ දකුණු අන්දමන් මුහුදේ ගැඹුරු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන්.

එසේම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසද දැනුම්දීමක් කෙරෙනවා.

අනිද්දා වනවිට, අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

ආරක්ෂක අංශවලට එරෙහිව උතුරේ විරෝධතා

(30.11.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මාදගල් දකුණ, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ ඉඩම් කොටසක් ආරක්ෂක අංශ වෙත පැවරීමේ සුදානමකට විරුද්ධව අද (30) දෙවැනි (2) දිනටත් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා.

යාපනය, මාදගල් දකුණ, ජේ. 150 ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ඉඩම් කොටසක් එලෙස ආරක්ෂක අංශ වෙත පවරාදීමේ සුදානමකට විරුද්ධවයි ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වූයේ.

මාදගල් ප්‍රදේශයේ ඉඩමක මිනුම් කටයුතුවලට පිරිසක් පැමිණි අවස්ථාවේදී ඊයේ (29) දිනයේදීත් විරෝධතාවක් පැවැත්වු බව ද විරෝධතාකරුවන් සඳහන් කළා.

විරෝධතාකරුවන් පැවසූවේ, පෞද්ගලික ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරාදීමේ ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු බවයි.

විරෝධතාවය පැවැත්වූ අවස්ථාවේ අදාළ ස්ථානය වෙත නාවික හමුදා නිලධාරින් දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

විරෝධතාවය පැවැත්වූ ස්ථානයට දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ද පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

******************************************

පාස්කු පෙත්සමක් ගැන හිටපු ජනපතිගේ ඉල්ලීමක් ගැන අධිකරණයේ නියෝගය ජනවාරි 07

(30.11.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම් 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනුකර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන වසරේ ජනවාරි මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලකිකව ආබාධිතවූවන් සහ තුවාල ලැබූවන් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා කියා සිටියේ, මීට පෙර ත්‍රස්ත ප්‍රහාර සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරයට නඩු පවරන්නේ නම් අදාළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ට ද නඩු පැවරිය යුතු බවයි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබූ බැවින් මෙලෙස නඩු පැවරිය හැකි බව අගතියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරා සඳහන් කළා ෴

******************************************

විදේශ සංචිතය පහත වැටී ඇති බවට විපක්ෂයෙන් යළි චෝදනා

(30.11.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිත අඩුවීමට හේතුව රජයේ අකාර්යක්ෂම මූල්‍ය පාලනය බව විපක්ෂය චෝදනා කරනවා.

සමගි ජනබලවේගය අද (30) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මේ බව කියා සිටියා.

******************************************

කාබනික වගාවට එරෙහිව පැවති කුමන්ත්‍රණය ගැන කියන ඇමති මහින්දානන්ද

(30.11.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමඟ ඉහළ ගිය එළවළු මිල පොහොර යළි ආනයනයට අවසර දී දින දෙකකින් (2) විශාල ලෙස පහළ යෑම හරහා කාබනික වගාවට එරෙහිව පැවති කුමන්ත්‍රණය මනාව පැහැදිලි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කොළඹදී අද (30) පෙරවරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

******************************************

උත්සව සමයට මෙරටට එන මියන්මාර සහල්

(30.11.2021 – 22:07 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලර් මිලියන 9.2 ක් පමණ වටිනා සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් මියන්මාරයෙන් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාම සඳහා මෙම සහල් තොගය මෙරටට ආනයනය කරන බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

හෙට (01) ක්‍රියාත්මක වන අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් වේ

(30.11.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) නිකුත් කර තිබෙනවා.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.

සම්පුර්ණ මාර්ගෝපදේශ මාලාව :
[පිටුව 1][පිටුව 2][පිටුව 3][පිටුව 4]

******************************************

ඔමික්‍රොන් ජපානයටත්

(30.11.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන්ට රෝග ලක්ෂණ මතුවී ඇත්තේ වෙනස් ආකාරයකින් බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

අද (30) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයන් 527 ක් වාර්තාවී ඇති අතර, මරණ 18 ක් සිදුව තිබෙනවා.

මේ අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ජපානයෙන් හඳුනාගෙන තිබෙනවා.

හොනෙඩා ගුවන් තොටුපළේදී හඳුනාගත් මෙම පුද්ගලයා 30 හැවිරිදි නැමීබියාවේ සිට පැමිණි විදේශිකයෙක්.

කෙසේ වෙතත්, මෙම කොරෝනා ප්‍රභේදය පැතිරයාම වළක්වාගැනිම සඳහා විදේශිකයින්ට අද (30) සිට ජපානයට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා.

******************************************

කොරෝනා ආසාදිතයින් 347 ක් සුවය ලබයි

(30.11.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 347 දෙනෙකු අද (30) සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,40,387 ක් ලෙසයි. මෙරට මේ වන විට සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,552 ක් ෴

කොරෝනා වයිරසය ආසාදිතව ඊයේ දින (29) සිදු වූ මරණ 18 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,346 ක් ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 527 දෙනෙකු අද (30) දිනයේදිත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 5,63,794 ක් ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 195 දෙනෙකු අද (30) දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඒ සමග අද (30) දිනට පමණක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 722 ක්. එම ආසාදිතයින් 722 ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,63,989 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *