දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක්

දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක්

*********************************************

දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක්

(28.11.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතිනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01:00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාණ සිට වයඹ දක්වා වන දිශාවලින් හමා එන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමා එනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ අගයක් ගන්නා අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැකියි ෴

++++++++

ඉහළ ගිය මාඔයෙහි ජල මට්ටම ගැන අනතුරු ඇඟවීමක් !

(28.11.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

මාඔය ජලාශයේ ජල මට්ටම අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අතර, පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් යුතුව සිටින ලෙසයි ආපදා හා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දෙනු ලබන්නේ.

මේ අතර, ඒ අනුව ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල, නාඋල්ල, දිවුලදෙණිය සහ වැලිහිඳ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පහත්බිම්වල සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඊට අමතරව මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතිනවා.

අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිස්ත්‍රික්ක 8 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++

තවත් දින 3 ක් වැසි

(28.11.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වය තවත් දින 3 ක් පමණ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (28) දිනයේත් සවස් කාලයේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

වර්ෂාවත් සමග ජලාශ රැසකම ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ජලාශ දෙකක (2) වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ.

ගංඟාවල ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ.

එසේම දැදුරුඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කළා.

පහත්බිම්වල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු අතර, මාර්ග කිහිපයක් ද අද (28) පස්වරුවේ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක නිවාසවලට පස්කඳු කඩාවැටීම් ද වාර්තා වූ අතර, නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබුණා.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුරය, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි ෴

පැවති අධික වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

නායයෑමේ අවදානමක් හේතුවෙන් මීට පෙරද එම මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර පසුව එය යළි විවෘත කෙරුණා.

කෙසේ වෙතත් ඊයේ (28) රාත්‍රියේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම රාත්‍රී 12 ට පමණ මාර්ගය යළි වසා දැමීමට පියවර ගත්තා.

තත්ත්වය යහපත්වීම හේතුවෙන් අද (28) පෙරවරු හයට එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

පිටරට කසළ කන්ටේනර් 40 ක් තවමත්

(28.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ කසළ බහාලුම් අතරින් තවත් බහාලුම් 40 කට අධික ප්‍රමාණයක් ප්‍රතිඅපනයන නොකර මෙරට තුළ පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා.

ඔවුන් චෝදනා කළේ අදාළ කසළ ගෙන්වූ සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා රේගුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළ ද මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රේගුවේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ අතර, ඔහු ප්‍රකාශ කළේ අදාළ බහාලුම් ප්‍රතිඅපනයනය කර නොමැති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඇති බවයි.

ඊට අදාළ සුදුසු ක්‍රියාමාර්ග නීතිපති විසින් ලබා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව රේගුවට දැනුම් දෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ගෙන් ද ඒ පිලිබඳව විමසිමට අප කිහිපවිටක් උත්සාහ කළ නමුත්, ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ ෴

******************************************

ගෑස් අවුල විසඳන්නත් කමිටුවක් එන ලකුණු

(28.11.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය හා සංයුතිය පරීක්ෂා කිරීමට තවත් දිස්ත්‍රික්ක 7 කින් අද (28) සාම්පල් ලබාගෙන ප්‍රමිති ආයතනය වෙත යොමු කිරීමට නියමිතයි.

පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගෑස් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

මේ අතර තිරිඟු පිටි හිඟයට සහ මිල ඉහළ යාමට හේතුව ලෝක වෙළඳපොලේ පවතින තත්ත්වය බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (27) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එසේම තොග වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ වෙළඳපෙලේ තවදුරටත් තිරිඟු පිටි හිඟයක් පවතින බවයි.

එම නිසා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ නංවන බව පිටකොටුව තොග වෙළඳසැල් හිමියන් කියා සිටියා ෴

******************************************

රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් පළමු වැනිදා (01)

(28.11.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් පළමු වැනිදා (01) සිදු කෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 18,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 22,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

අධික වේගය මහවැලි ගං පතුලෙන් නවතියි

(28.11.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

වේගය පාලනය කරගැනිමට නොහැකි වූ මෝටර් රථයක් මහනුවර – ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟට පෙරළී එහි ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙකු (3) ගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අනෙක් පුද්ගලයා (1) සහ මෝටර් රථය සොයා පොලීසිය සහ නාවික හමුදාව මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

අදාළ මෝටර් රථය මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබියදියි මෙම අනතුර සිදුව ඇත්තේ ෴

******************************************

රුහුණු කුමාරියෙහි ගැටුණු වෑන් රථය

(28.11.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – කන්දෙගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයේ දී වෑන් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටී තිබෙනවා.

අද (28) උදෑසන හතට (7) පමණ ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී මෙම වෑන් රථය අනතුරුදායක ලෙස හරස් මාර්ගය හරහා ධාවනය කර ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

******************************************

කින්නියා පාලම් පාරු අනතුරෙන් තවත් ජීවිතයක් (1) මරු වැළඳ ගනියි

(28.11.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පසුගිය 23 වනදා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය (6) හැවිරිදි දැරියක මියගොස් තිබෙනවා.

එම දැරිය ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස මියගොස් ඇත්තේ.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව හත (7) දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

******************************************

බාධක මැද මහවිරු සැමරුම උතුරේ ප්‍රදේශ කිහිපයක දී පැවැත්වේ

(28.11.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතේ ස්ථාන කිහිපයක ඊයේ (27) සවස මහවිරු සැමරුම් වැඩසටහන් පවත්වා තිබෙනවා.

මුලතිව්, යාපනය, මන්නාරම, කිලිනොච්චිය හා වවුනියාව යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක එලෙස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අංශවලින් බාධා එල්ල වුව ද, යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීම එහිදී සිදු කළ බව ද උතුරේ ජනතාව ප්‍රකාශ කළා.

උතුරු පළාත නියෝජනය කරන ද්‍රවිඩ දේශාපාලන පක්ෂ නියෝජිතයින් ද සිය නිවෙස් හා කාර්යාල තුළ දි යුද්ධයේ මියගිය ඥාතීන් සැමරීම සිදු කළ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කොට තිබෙනවා.

යාපනය සාට්ටි, මුලතිව් මුල්ලිවයික්කාල් හා වැල්වැටිතුරෙයි ප්‍රදේශයන්හි මහවිරු සැමරුම් පැවැත්වීමට ගිය පිරිසක් වෙත ආරක්ෂක අංශ බාධා එල්ල කළ බවත්, ප්‍රදේශවාසීන් සඳහන් කළා.

යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් සැමරීමේ මහවිරු සැමරුම සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා සවස 06:05 ට පැවැත්වීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.

එල්.ටි.ටි.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවධියේ උතුරු පළාතේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව එවකට එල්.ටි.ටි.ඊ. නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පවත්වනු ලැබුවා.

යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට, මියගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම එහිදී සිදු කෙරුණා ෴

******************************************

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක් ගින්නකට හසු වේ

(28.11.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක පහත මාලයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ හටගත් ගින්න මැඩපැවැත්වීමට දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ දෙකක් (2) යොදාගෙන ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙන අතර, මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බව ද සඳහන් ෴

******************************************

සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

(28.11.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයකට (6) පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට නිරෝධායනය වීමකින් තොරව දෙසැම්බර් 16 සිට සිංගප්පූරුවට ඇතුලු වීමට අවසර ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා ෴

******************************************

කොත්තු ඇතුළු කෙටි ආහාර මිල ද ඉහළට

(28.11.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

හෙට (29) සිට කොත්තුවක් රුපියල් 10 කින් හා කෙටි ආහාර වර්ග සියල්ලෙහිම උපරිම මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට පියවර ගත් බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා ෴

******************************************

හඳුනා නොගත් පුද්ගල මළ සිරුරු දෙකක් (2) උතුරුකරයෙන් හමු වේ

(28.11.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි වෙරළ ප්‍රදේශයන්හි තිබී ඊයේ(27) නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් (2) සොයාගත් බව වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව පොලිස් ස්ථාන පවසනවා.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු එලෙස හමු වූ බවයි.

මළ සිරුරු දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයින්ගේ විය හැකි බවට සැක කරන අතර, මළ සිරුරුවල අනන්‍යතාව හඳුනාගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය, පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාර වෙත යොමු කොට ඇති බව ද, පොලිසිය සඳහන් කළා.

සිදුවීම් සම්බන්ධයෙන් පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

දිනෙන් දින ඉහළ පහළ යන එළවළු මිල

(28.11.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබු එළවළු මිලෙහි අඩුවක් දක්නට ලැබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීක්ස්, බෝංචි ආදී උඩරට එළවළු තොග වෙළෙඳාම සඳහා අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් 150 ත් 200 ත් අතර මිලකටයි.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට එළවළු මිල දී ගැනීමට පැමිණි තොග වෙළෙඳුන් එහි කළමනාකාර භාරයේ සඳහන් කරන මිල ගණන් සැබවින්ම දක්නට නොමැති බවයි.

හිරු ප්‍රාදේශිය වාර්තාකරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (28) පෙරවරුවේ සංචාරය කළ අවස්ථාවේ තොග වෙළෙඳුන් සහ ගොවීන් අතර සංවාදයක් ඇතිවුණා.

කැප්පෙටිපොල, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලට සහ මැනිං වෙළඳපොලේද එළවළු මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *