අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

*********************************************

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

(27.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ‘ඔමික්‍රෝන්’ නව ප්‍රභේදයේ බලපෑම අවම කිරීමට බූස්ටර් එන්නත ලබා ගත යුතු බවයි.

මේ අතර, දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් ‘ඔමික්‍රොන්’ නව කොරෝනා වයිරසය ප්‍රතිශක්තීකරණයට දැඩි බලපෑම් එල්ල කරන බවට මත පළ වී ඇති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහ බූස්ටර් එන්නත ලබා ගැනීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අද (27) දිනයේ මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 519 මේ දක්වා වාර්තා වී ඇති අතර, ඊයේ (26) සිදුවූ මරණ 20 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,278 ක් දක්වා ඉහළ ගියා.

එසේම, ‘ඔමික්‍රොන්’ නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල සිට පැමිණෙන මගීන්ට අද (27) මධ්‍යම රාත්‍රියෙන් පසු සංචාරක තහනමක් ක්‍රියාත්මකයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල පසුගිය දින 14 තුල සංචාරය කර ඇත්නම් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු මෙරටට ඇතුළු වීමට අවසර නොලැබෙන බවයි.

මේ අතර, දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ගුවන්තොටුපල වෙත ඊයේ (26) පැමිණි ගුවන් යානා දෙකක (2) සිටි 600 ක් පමණ වන පිරිස අතුරින් 61 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ‘ඔමික්‍රොන්’ ලෙස හැඳින්වෙන නව කොරෝනා ප්‍රභේදය ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

+++++++++++++++++++

රටවල් කිහිපයක සිට මෙරටට ඒම තහනම් කෙරෙයි

(27.11.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපයේ රටවලට සංචාරක තහනමක් පැනවීමට මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළා.

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගැනුනු ‘ඔමික්‍රොන්’ කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපීය රටවල් හයක (6) පසුගිය දින 14 තුළ රැඳී සිටි පුද්ගලයන්ට අද (27) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එමෙන්ම දැනටමත් එම රටවලින් පැමිණි පුද්ගලයන් සිටිත්නම් වහා නිරෝධායනයට ලක්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

නව කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් මෙලෙස දකුණු අප්‍රිකානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා සංචාරක තහනමක් පැනවීමට නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

ඒ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවක්ද ඔහු විසින් ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලුම සෞඛ්‍ය අංශ වෙත නිකුත් කර තිබෙනවා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන නිසා මෙරට ගුවන් තොටුපල මෙහෙයුම් සඳහා එමඟින් බලපෑමක් සිදු නො වන බව කටුනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් භාර නිලධාරියෙකු සඳහන් කළා.

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ‘ඔමික්‍රොන්’ නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ ඉහළ පෙළේ නිලධාරින් සමග විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙන් ඕස්ට්‍රේලියාව ද දකුණු අප්‍රිකානු රටවල් සඳහා සංචාර තහනමක් ප්‍රකාශයට පත් කළා.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින්ද ‘ඔමික්‍රොන්’ කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුලු කලාපීය රටවල් හතකට (7) එරෙහිව සංචාරක තහනමක් පැනවූ අතර, එම රටවල් සමඟ ගුවන් සබඳතාද අත්හිටවනු ලැබුවා.

මෙතෙක් සොයා ගැනුනු විකෘතිතා වැඩිම සංඛ්‍යාවක් සහිත කොරෝනා ප්‍රභේදය ලෙස සැළකෙන මෙම නව දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘ඔමික්‍රොන්’ ලෙස නම් කෙරුණේ ඊයේ (26) දිනයේදියි.

ග්‍රීක හෝඩියේ 15 වන අක්ෂරය වන අතර, තාරකා විද්‍යාවේදී තරු මඩලේ 15 වන තාරකාවද නම් කර ඇත්තේ ‘ඔමික්‍රොන්’ ලෙසින්.

දකුණු අප්‍රිකාවේ සොයා ගැනුනු නව කොරෝනා ප්‍රභේදය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවලින්ද මේ වනවිට හමු වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුල්වරට මෙම වෛරසය පිළිබඳ වාර්තා කළේ පසුගිය 24 වනදායි.

වෛරසයක වෙනස්වීම් සහ විකෘතිතා ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත්, ‘ඔමික්‍රොන්’ ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ලෙස විකෘතිතා විශාල සංඛ්‍යාවක් ඇතිවී තිබෙන්නේ එහි සම්ප්‍රේෂණ හැකියාව සහ එන්නත් ප්‍රතිශක්තිකරණය වළක්වාලීම ඉහළ නංවමින්.

B-1-1-529 ලෙස මුලින් නම් කෙරුණු මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම ප්‍රාන්තවලට පැතිරී ඇති බවට දැන් විශ්වාස කෙරෙනවා.

කෙසේ නමුත් එය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලැබීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ප්‍රතිශක්තියට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම මට්ටමක පවතින බවට බ්‍රිතාන්‍යය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදු කළා.

මෙරට වයිරස් විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන නිර්දේශ අනුව නව වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ, නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී මල්කාන්ති ගල්හේන මහත්මිය කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නව වයිරස් ප්‍රභේදවලින් ආරක්ෂාවීමට නම් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුනු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් සංවර්ධනය කරන බව මොඩර්නා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනය කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධානය යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලැබූ ‘ඔමික්‍රොන්’ ප්‍රභේදයේ විකෘතිතා රැසක් පැවතීම විශේෂත්වයක්.

එම විකෘතිතා පිළිබඳ අවධානය යොමු කරමින් ‘ඔමික්‍රොන්’ ප්‍රභේදයට මුහුණදීම සඳහා වර්ධක එන්නතක් නිෂ්පාදනය කිරීමේ ක්‍රමෝපාය දියත් කරන බවයි මොඩර්නා ප්‍රධාන විධායක නිලධාරී ස්ටොෆාන් බන්සෙල් සඳහන් කළේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දස දහසේ (10,000) දීමනාව ඉල්ලා අධ්‍යාපන සමුපකාර සේවකයින් තවදුරටත් වර්ජනයේ

(27.11.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දස දහසක (10,000) මාසික දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කරගෙන අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 4 ක් පසුගිය දා ආරම්භ කළ වර්ජනයද අද (27) 11 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ එම සංගමයේ සභාපති නන්දන හේවගේ මහතා කියා සිටියේ, අද (27) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්ද පැවැත්වෙන බවයි ෴

******************************************

රන් මිලත් ඉහළට

(27.11.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් වසංගත අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (26) දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින් (20) පමණ ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 1,804 යි ශත 30 ක් ලෙසයි ෴

******************************************

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පස්දෙනෙකු (5) අත්අඩංගුවට

(27.11.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව වෑන් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින් පස්දෙනෙකු (5) පදවිය – ආරියදාසගම ප්‍රදේශයේදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබූ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 53 ක්, සේවා නූල් අඩි 2,192 ක්, ජෙලග්නයිට් කූරු 178 ක්, ඩෙටනේටර් 320 ක් සහ ගල් විදීමට යොදාගන්නා උපකරණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

ගෑස් අර්බුදය මැති සබයටත් – ටැංකි පුපුරා ගොස් නැතැයි රාජ්‍ය ඇමති කියයි

(27.11.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතනවල මතය අනුව ගෑස් සිලින්ඩර පුපුරා යාමක් පසුගිය දිනවල කිසිදු ස්ථානයක සිදුව නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (27) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිලිතුරු ලබාදෙමින්.

එහිදී විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම ගෑස් සිලින්ඩර හේතුවෙන් ඇතිවූ ගිනිගැනීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසටයි.

******************************************

ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයට ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වාදෙයි

(27.11.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පළමු වරට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා අධිතාක්ෂනික ඩ්‍රෝන කැමරා භාවිතය ආරම්භ කර තිබෙනවා.

තෙල් ගබඩා කරන ටැංකිවල තත්වය එමඟින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි අතර, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය නිසි තොරතුරුද පහසුවෙන් ලබාගත හැකි බවයි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ.

මෙමඟින් ලංකා ඛනිජ තෙල් පර්යන්තය සතු තෙල් ටැංකි සංකීර්ණවල පමණක් නොව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම සතු ඉන්ධන ගබඩා සංකීර්ණවලද ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාව පවතිනවා ෴

******************************************

පොහොර නොමැතිව මිණිපේ ගොවීන් අසීරුතාවක

(27.11.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මිණිපේ ව්‍යාපරයේ දෙවැනි පියවරේ ගොවීන් පොහොර නො මැති ව දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බව වාර්තා වෙනවා.

පොහොර ලබා දෙනවා යැ යි පැවසුව ද මේ වන තෙක් කිසිඳු පොහොරක් තමන්ට ලැබී නැති බවට යි ඔවුන් මැසිවිලි නගන්නේ.

කළු කඩ මිලට පොහොර ලබාගත් මිණීපේ ගොවින් පවසන්නේ, එක් (1) පොහොර මිටියක් සඳහා තමන්ට රුපියල් දස දහසක් (10,000) පමණ වියදම් කිරීමට සිදු වූ බව යි.

“කළු කඩෙන් දහ දාහට අරං ගහලා අපිට අත පිහිදගන්න බෑ” යනුවෙන් අපහසුතාවට පත් වූ මිණිපේ ගොවින් පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ව්‍යාපාරය දෙවන පියවරට අයත් ගොවියන් 12,000 ට අධික ප්‍රමාණයක් සිටින අතර, මෙම මස පහළොස් වැනි දින (15) මිණිපේ ව්‍යාපාරයේ ජලය නිකුත් කර ඇතත් ලබාදෙනවා යැයි කියන පොහොර කිසිවක් ඔවුන්ට ලැබී නැහැ.

ගොවීන් වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසුවේ, රුපියල් දස දහසක් (10,000) වැනි මුදලක් වැයකොට තමන්ට පොහොර ලබාගත නො හැකි බවත් එසේ පමා වී අසීරුවෙන් ගොවිතැන් කිරීම, ගොවිතැන අසාර්ථක වීමටත් හේතුවක් වනවා යනුවෙන් ෴

******************************************

නිදහස් පක්ෂය බරපතළ සාකච්ඡාවක

(27.11.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණවල දී තරග කළ යුතු ආකාරය ගැන පක්ෂ අභ්‍යන්තරය තුළ බරපතළ සාකච්ඡාවක් සිදු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ, මහනුවර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

දඹුල්ලෙත් එළවළු මිල බසී – ප්‍රදේශ රැසක තිරිඟු පිටි හිඟයක්

(27.11.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසක තිරිඟු පිටි හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පවතින තත්වය හමුවේ අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ නංවන බවයි පිටකොටුව තොග වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.

මේ වන විට වෙළඳසැල් වල තිරිඟු පිටි නොමැති තත්වයක් පවතින බව බේකරි හිමියන්, ආපන ශාලා හිමියන් මෙන්ම පාරිභෝගික ජනතාවද පෙන්වා දුන්නා.

තිරිඟු පිටි හිඟය සම්බන්ධයෙන් පිටකොටුවේ තොග වෙළඳුන් කිහිපදෙනෙකු අදහස් පළ කළ අතර, ඔවුන් පැවසුවේ තිරිඟු පිටි මිල රුපියල් 17 කින් ඉහළ නැංවීමට පියවර ගත් බවයි.

එමෙන්ම ගෘහස්ථ ගෑස් හේතුවෙන් සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ආපනශාලා හිමියන්ගේ සංගමය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර දින ගණනාවකින් පසු වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද (27) දිනයේදී පහත වැටී තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ ඉහළ මිලක පැවති කන්ද උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලින් ලැබෙන එළවලු ද කිලෝ එකක මිල රුපියල් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 450 ත් 500 ත් අතර ඉහළ අගයක පැවති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල අද (27) උදෑසන වනවිට රුපියල් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබුණා.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් ඇතුලු ඉන්ධන වල ප්‍රමිතිය වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

******************************************

පෙබරවාරි මාසයේ දී නව සීනි කර්මාන්තශාලාවක් ඇරඹේ

(27.11.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

සීනි මිල අඩු අගයක පවත්වා ගනිමින් මෙරට සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ලබන පෙබරවාරි මාසයේ දී වේලිඔය ප්‍රදේශයේ නව සීනි කර්මාන්තශාලාවක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

අද (27) පාර්ලිමේන්තුවේදී සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තශාලාවේ කටයුතු ද ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *