විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ

*********************************************

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ

(26.11.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (26) 2වන දිනටත් ක්‍රියාත්මක වුණා.

එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරමින් තවදුරටත් අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කරන බවයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී සිදුවන විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කළ නොහැකි වන තත්ත්වයක් රට තුළ උද්ගත විය හැකි බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් ජල සැමයුමට ද බාධා එල්ල විය හැකි බවයි.

මේ අතර, යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට අද (26) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කළා.

අදාළ පෙත්සම් ලබන 29 වන සඳුදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි ෴

******************************************

මහින්දානන්දගෙන්, අදත් (26) මෛත්‍රීට චෝදනා

(26.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

තම දේශපාලනය රැක ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රසායනික පොහොර භාවිතය වෙනුවෙන් පෙනී සිටින බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) පාර්ලිමේන්තුවේදී යළි චෝදනා කළා.

ඒ මේ වනවිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වන කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිලිබඳ විවාදයේදියි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට විරෝධය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළ ද එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වුණා ෴

******************************************

“මහින්දානන්ද අකුණු ගහද්දි එළියට දාන යකඩ වගේ” – මන්ත්‍රී මනූෂ කියයි

(26.11.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රට තුළ පවතින්නේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක්.

එවන් පසුබිමක 2022 අය වැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වැනි (4) දිනය වූ අද (26) මැතිසබයේදී විවාදයට ගැනුණේ ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයි.

******************************************

පක්ෂය බිඳ දැමීමට කිසිවෙකුටත් නොහැකි බව ඇමති දුමින්ද කියයි

(26.11.2021 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළුකොට තැකීමට ඇතැමුන් කටයුතු කළත්, පක්ෂය බිඳ දැමීමට කිසිවෙකුටත් නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ එය බොහෝ දෙනාගේ මහ ගෙදර බව සිහිපත් කරමින්.

කෙසේ වෙතත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ආණ්ඩු පක්ෂයෙන් කවුරුන් ඉවත් වුව ද ආණ්ඩුවේ ඉදිරි ගමන වළක්වාලිය නොහැකි බවයි.

******************************************

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

(26.11.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සැපයුම් ගිවිසුමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච (5) පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබෙනවා.

අද (26) ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිය ද අමාත්‍යවරුන් තිදෙනෙකු (3) පුද්ගලික නීතීඥයින් ඊට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

මෙලෙස පුද්ගලික නීතිඥවරුන් පෙනී සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන්.

******************************************

පනාමුර පොලිස් කලහට සම්බන්ධ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට

(26.11.2021 – 22:40 +0530 – hirunews.lk/sinhala)

පනාමුර පොලිස් වසමේ පනාමුර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියට සම්බන්ධව පනාමුර හන්දිය, ඇඹිලිපිටිය , කොළොන්න, මිද්දෙණිය, රංවමඩම යන ප්‍රධාන මාර්ග අවහිර කරමින් එදින පිරිසක් විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

එහිදී ඔවුන් විසින් පොදු දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, වැඩිදුර විමර්ශන පවත්වා අද (26) දින මෙම සිද්ධියට සම්බන්ධව හඳුනාගත් සැකකරුවන් 08 දෙනෙකු පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 ත් 53 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් වැලිපොතයාය, වෑඅතුර හා වලව්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සැකකරුවන් අද (26) දින ඇඹිලිපිටිය, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 10,000 ක බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප කොන්දේසි මත මුදා හැරුණා.

පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි ෴

******************************************

මිහිතලය වනසන කූට බහුජාතික සමාගම

(26.11.2021 – 23:45 +0530 – hirunews.lk/sinhala)

ටයර් නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙස බැහැර කෙරෙන ආසනික්, කැඩ්නියම්, කෝමියම් ආදී පරිසරයට අහිතකර බැර ලෝහ අඩංගු බව පැවසෙන කුඩු විශේෂයක් විවෘත පරිසරයට මුදාහරින කුරුණෑගල – මැටියගනේ ප්‍රදේශයේ සැකකටයුතු පොහොර කර්මාන්ත ශාලාවක් පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ පොහොර කම්හලෙන් පිටත් කර යැවූ ලොරි රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම විමර්ශන ආරම්භ කෙරුණේ ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මතයි.

******************************************

ඔය කතාව හෑදුවේ චමුදිත – මම පියුමි හංසමාලි දෑකලවත් නැහැ (25.11.2021)

******************************************

අංකුඹුර නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට

(27.11.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

අංකුඹුර පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

ඊයේ (26) වැනි දින අංකුඹුර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදු වී තිබෙනවා.

සිද්ධිය සිදු වෙන අවස්ථාවේ නිවස තුළ මියගිය කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර, අනතුරින් රෝහල්ගත කිරීමෙන් පසු, අදාළ කාන්තාව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

පියා සහ දියණිය බොක්කාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ, රඹුකේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක කාන්තාවක්.

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය බොක්කාවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අංකුඹුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

******************************************

පාසල් යලි වසා නො දමන්නැ යි කාදිනල් හිමිපාණන් කියයි

(27.11.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පාසල් යලි වසා නො දමන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

කෑගල්ලේ ඊයේ (26) පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ.

******************************************

පුරවැසි අධ්‍යාපන විෂයට නීතිය එක්වන ලකුණු

(27.11.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කළ මුදලට අමතරව, අතිරේක රුපියල් මිලියන 31 ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යාපන උපදේශන කාරක සභාවේදීයි.

එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව ද කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබූවා.

එමඟින් යෝජනා කර ඇත්තේ, දැනට අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපන විෂය මෙම ප්‍රතිසංස්කරණවලින් පසු ව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමටයි ෴

******************************************

විදුලි ඉංජිනේරුවන් තවදුරටත් අකුරට වැඩ

(27.11.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (27) 3 වන දිනටත් ක්‍රියාත්මකයි.

එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී සිදු වන විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත් කළ නො හැකි වන තත්වයක් රට තුළ උද්ගත විය හැකි බව ඔහු කියා සිටියා.

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කළා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය ‘ඔමික්‍රොන්’ ලෙස නම් කෙරේ

(27.11.2021 – 06:26 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු නව කොරෝනා ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) නම් කරනු ලැබුවා.

මෙතෙක් සොයා ගැනුණු විකෘතිතා වැඩි ම සංඛ්‍යාවක් සහිත කොරෝනා ප්‍රභේදය ලෙස සැළකෙන මෙම නව දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කෙරුණේ ‘ඔමික්‍රොන්’ ලෙසින්.

ග්‍රීක හෝඩියේ 15 වන අක්ෂරය වන අතර, තාරකා විද්‍යාවේදී තරු මඩලේ 15 වන තාරකාව ද නම් කර ඇත්තේ ‘ඔමික්‍රොන්’ ලෙසින්.

එමෙන්ම නව කොරෝනා ප්‍රභේදය, ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන ලොව ප්‍රචලිත කොරෝනා ප්‍රභේද මෙන් අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සොයා ගැනුනු නව කොරෝනා ප්‍රභේදය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවලින්ද මේ වනවිට හමු වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුල්වරට මෙම වෛරසය පිළිබඳ වාර්තා කළේ පසුගිය 24 වනදායි.

වයිරසයක වෙනස්වීම් සහ විකෘතිතා ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත්, ‘ඔමික්‍රොන්’ ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ලෙස විකෘතිතා විශාල සංඛ්‍යාවක් ඇති වී තිබෙන්නේ එහි සම්ප්‍රේෂණ හැකියාව සහ එන්නත් ප්‍රතිශක්තිකරණය වළක්වාලීම ඉහළ නංවමින්.

B-1-1-529 ලෙස මුලින් නම් කෙරුණු මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම ප්‍රාන්තවලට පැතිරී ඇති බවට දැන් විශ්වාස කෙරෙනවා.

කෙසේ නමුත් එය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලැබීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ප්‍රතිශක්තියට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම මට්ටමක පවතින බවට බ්‍රිතාන්‍යය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදු කළා.

එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යුහාත්මක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් නයිස්මිත් කියා සිටියේ එය, අසුබ පුවතක් වුවද ලෝක විනාශය සේ නොසැළකිය යුතු බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් 714 ක් ඊයේ (26) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,61,059 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 26 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළා. ඒ සමඟම මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,258 ක් දක්වා ඉහළ යනවා ෴

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 434 දෙනෙකු අද (27) දිනයේදීත් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග වයිරසය ආසාදිතව මෙරට සුවය ලද සමස්ත පුද්ගලයින් ගණන 5,29,240 ක්. එමෙන්ම තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17,561 ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 14,258 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට වාර්තා වූ මරණ 20 ක් අද (27) දිනයේදිත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව වයිරසය ආසාදනය වීමෙන් මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,278 ක් ෴

මෙරටින් කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 519 කු අද (27) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,61,578 ක් දක්වා ඉහළ යනු ඇති.

වයිරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස් වලට වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18,060 ක්.

මේ වන විට 5,29,240 කු වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 14,278 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 199 ක් අද (27) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝහ විද්‍යා අංශය පවසනවා. ඒ සමග අද (27) දිනට මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 718 ක්. මෙම ආසාදිතයින් 714 ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,61,777 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *