දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය

*********************************************

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය

(26.11.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ප්‍රභේදය මෙරටට පැතිරීමේ අවදානම පිළිබඳව අද (26) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙතෙක් සොයා ගැනුණු ප්‍රබලතම කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස සැළකිය හැකි නව ප්‍රභේදය වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන්. බී-එක-එක-පන්සිය විසි නවය (B.1.1.529) ලෙස හඳුන්වන මෙම නව කොරෝනා ප්‍රභේදය මෙතෙක් සොයා ගැනුණු වැඩිම පරිණාමයට ලක් වූ කොරෝනා ප්‍රභේදයයි.

නව ප්‍රභේදය, ඇල්ෆා, ඩෙල්ටා ආකාරයට ග්‍රීක හෝඩියේ අකුරකින් නම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (26) දිනයේදී සිදුකිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු වසංගත රෝග ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටුලියෝ ඩි ඔලිවේරා සඳහන් කළේ, මෙම නව කොරෝනා ප්‍රභේදයේ විකෘතිතා 50 කට අධික සංඛ්‍යාවක් පවතින බවයි.

ඉන් 30 ක් එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වයිරසයේ ප්‍රෝටීන් කොටස ඉලක්ක කරගත් ඒවායි.

මෙලෙස ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා සහිත නව ප්‍රභේදය එන්නත්වලින් ලබන ප්‍රතිශක්තිය මග හරිමින් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සඳහන්.

නව ප්‍රභේදය වාර්තා වීමත් සමඟ දකුණු අප්‍රිකානු කළාපයේ රටවල් 6 ක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්ස්වානා, ලෙසතෝ සහ එස්වටිනි යන රාජ්‍යයන්ගෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටවනු ලැබුවා.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙතෙක් සොයාගැනුණු දරුණුතම කොරෝනා වයිරස් ප්‍රභේදය විය හැකි බවයි.

හොංකොං රාජ්‍යයෙන්ද නව ප්‍රභේදයේ ආසාදිතයන් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති අතර, ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කළේ අප්‍රිකානු රටවලින් පැමිණ සංචාරකයන් සඳහා තම දේශසීමා වසා දැමීම් පිළිබඳව අවධානය යොමු කරන බවයි.

මෙම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධයෙන් අද (26) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා පවතින නව ප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර ඊට, එන්නත්කරණ ප්‍රතිශක්තිය පහසුවෙන් මගහැර යා හැකියි.

මේ වනවිට B.1.1.529 දරණ නව ප්‍රභේදයේ ආසාදිතයන් 59 දෙනෙකු දකුනු අප්‍රිකානු කලාපයෙන් සොයාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

එන්නත්කරණ බලපත්‍රයට යුරෝපා සංගමයෙන් මාස 9 ක සීමාවක්

(26.11.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයේ රටවලට පැමිණෙන සංචාරකයන් සඳහා වූ කොරෝනා එන්නත් සහතිකයේ වලංගුභාවය මාස 9 කට සීමා කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ලබන ජනවාරි 19 වැනි දා සිට යුරෝපා සංගමයේ රටවල් විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා විවෘත කරන අතර, එහි දී ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කොරෝනා එන්නතක් ලබා ගැනීම අවශ්‍යතාවක්.

එහෙත් එම එන්නත් මාස 9 කට පෙර ලබාගත් ඒවානම් යුරෝපා සංගමයට ඇතුළු වීමේ වලංගු සහතිකයක් ලෙස නොගැනීමටයි යෝජනා කර ඇත්තේ.

කෙසේ නමුත් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබා ඇත්නම් ඔවුන්ගේ එන්නත්කරණ සහතිකයේ වලංගුභාවය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනු ඇති ෴

@@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@@

පොලිස්පතිවරයාට සිතාසි

(26.11.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින්.

ඒ අනුව ලබන 29 වැනිදා සඳුදා අදාළ සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පතිවරයාට පැමිණෙන ලෙස නියෝග කර තිබෙනවා.

එම නඩුව අද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අතර, පැමිණිල්ල වෙනුවෙන් අද (26) සිව්වන (4) දිනටත් සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙන් සාක්ෂි ලබාගැනීම අවසන් කළා.

******************************************

කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදය

(26.11.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (26) විවාදයට ගැනෙනවා.

විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විවාදය ආරම්භ කළ අතර, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ අමාත්‍ය චමල් රාජපක්ෂයි.

******************************************

අද (26) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

(26.11.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයින ආසන්නයේ ස්ථානගතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඉදිරි දිනවලදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර තත්වයක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

******************************************

ටී-56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාර දෙයි

(26.11.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ටී-56 ගිනි අවියක් සහ හිස් පතොරම් ගැබක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මුතූර්හි පදිංචි 46 හැවිරිදි අයෙකු බවයි.

සැකකරු විදේශ ගත වී වසර කිහිපයකට පසු යළි මෙරටට පැමිණ යකැදුරෙකු ලෙස පෙනී සිට ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව, අදාළ පුද්ගලයාට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය පිළිබඳ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයය විමර්ශන පවත්වනු ඇති ෴

******************************************

පාලම් පාරු අනතුරේ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බවට ආණ්ඩුකාරවරියගෙන් ප්‍රකාශයක්

(26.11.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කින්නියා කලපුවේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ වගකීම කින්නියා නගර සභාව භාරගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කින්නියා නගර සභාවේ සභාපතිවරයා සහ පාරුවේ හිමිකරු ඇතුළු 4 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

******************************************

ආර්ථිකය නැංවීමේ ක්‍රම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(26.11.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කිසිදු ආර්ථික ක්‍රියාදාමයකට ලක් නො වූ වත්කම් හරහා නව ආයෝජන සිදු කිරීම මගින් මෙරට ආර්ථිකය නංවාලීමේ විශාල හැකියාවක් පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

නාගරික සංවර්ධන අධිකාරිය සංවිධාන කළ ‘ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021‘ ආයෝජක සමුළුව අමතමින් මහ බැංකු අධිපති මේ බව සදහන් කළා.

******************************************

රජයේ පොහොර අරමුණ පාරිශුද්ධයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(26.11.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් කාබනික වගාවට යොමු කිරීමේ රජයේ අරමුණ කෙතරම් පාරිශුද්ධ වුවත් බුද්ධිමය සංවාදයක් නොමැතිව එවැනි ක්‍රියාවලියකට සමාජය තුළ ඉඩක් නොමැති බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත ‘තවමත් හමු නො වූ සාධාරණය සොයා’ නම් කෘතිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

******************************************

මුජිබර් බරපතළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි

(26.11.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

අය වැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වැනි (4) දිනය වන අදත් (26) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර මතුව ඇති මතභේදය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අදහස් පළ කළා.

මේ අතර වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ, අධිකරණ අවසරයකින් තොරව තම ජංගම දුරකතන සංවාදවලට සවන් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

******************************************

මෙරට පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව අහිමි වෙයි

(26.11.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

දශක ගණනාවක් තිස්සේ මෙරට පොලිසියට ලබාදුන් ස්කොට්ලන්ත පොලිස් පුහුණුව නවතා දමන්නට ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරනවා.

මීට හේතු වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ දිගින් දිගට ම සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් බවයි වාර්තා වන්නේ.

ස්කොට්ලන්ත පොලීසිය ශ්‍රී ලංකාවට ලබාදෙන පුහුණුව සම්බන්ධයෙන් අලුත් කරගත යුතු ගිවිසුම පසුගිය මාර්තු මාසයේ දී කල් ඉකුත් වූ අතර, එය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නො කරන බවයි ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉයන් ලිවින්ග්ස්ටන් පවසන්නේ.

ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම යෝජනා ක්‍රමය අලුත් නො කරන බවට උපදෙස් දෙන ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද ලිඛිත ව දැනුම් දී ඇති බවයි.

2021 වසරේ පළමු භාගයේ සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අඛණ්ඩ ව පිරිහෙමින් පවතින බව මෑත කාලීන ස්කොට්ලන්ත විදේශ කාර්යාල වාර්තාවක සඳහන් වී තිබුණා.

එහි සඳහන් ව තිබුණේ, ආරක්ෂක අංශ විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ඔවුන් බිය ගැන්වීම් වැඩි කර ඇති බව එහි සඳහන් වනවා.

මේ සම්බන්දයෙන් බීබීසීය සිදු කළ විමසීමක දී ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානී ඉයන් ලිවින්ග්ස්ටන් “අපි ඇත්ත වශයෙන්ම ලොව පුරා පොලිස් සේවාවන්හි ජාත්‍යන්තර සංවර්ධනයට සහාය වීමට කැපවී සිටිමු, එවිට අපට මානව හිමිකම් වැඩි දියුණු කිරීමට සහ සක්‍රීය කිරීමට හැකි වන අතර ස්කොට්ලන්තයේ අඛණ්ඩතා ව, සාධාරණත්වය සහ ගෞරවය පිළිබඳ අප අගය කරන වටිනාකම් අවධාරණය කළ හැකිය යනුවෙන් පවසා සිටියා ෴

******************************************

අල්ලස් ගත් තෙල්දෙණිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය රිමාන්ඩ්

(26.11.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනම් කිරීමට රුපියල් දසදහසක (10,000) අල්ලසක් ලබා ගැනීමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගත් තෙල්දෙණිය දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඇය අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 17 වනදා ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුට ගනු ලැබුවේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදීයි ෴

******************************************

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් තිළිණයක්

(26.11.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ප්‍රදානය කෙරේ

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ‘ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය’ මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ තොගයක් භාර දීම ඊයේ (25) දින පාර්ලිමේන්තුවේදී සිදු වුණා.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ තොගය භාරදීම සිදු කරනු ලැබුවා.

ගුවන් ආරක්‍ෂක කටයුතු තහවුරු කිරීම සඳහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්‍ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත්.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එම්.ඩී.ඒ.පී පායෝල ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රුපියල් මිලියන 19 කට ආසන්න මුදලක් වැය වන අතර, එහෙත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ‘ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය’ මගින් දේශීය වශයෙන් මෙම උපකරණ තොගය නිපදවූ හෙයින්, සදහා වැයවී ඇත්තේ රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක් බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

දියුණු තාක්ෂණයෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ තොගය ලබාදීම පිළිබඳ කථානායකවරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සිය ස්තුතිය ද පළ කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *