අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

*********************************************

අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

(26.11.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භක පියවරක් පමණක් බවත්, තවත් පියවර 2 ක් සිය සංගමය සතුව පවතින බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (25) දහවල් 12 සිට අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය අද (26) උදෑසන 7 ට අවසන් වීමට නියමිතයි.

******************************************

‘ටින්කර් ලසන්ත’ පොලිස් වෙඩි පහරින් මරුට

(26.11.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala)

‘සන්ෂයින් සුද්දා’ ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන ‘හේවාලුනුවිලගේ ලසන්ත’ හෙවත් ‘ටින්කර් ලසන්ත’ කළුතර, දියගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් ඇති බව වාර්තා වනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

******************************************

අදත් (26) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි

(26.11.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනු ඇති අතර, මධ්‍යම කඳුකර ප්‍රදේශයේ, විශේෂයෙන් උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි වාර්තා වෙන්නේ.

උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති වෙන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

අද (26) උදෑසන කොළොඹ නගරය අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ම මීදුමෙන් වැසී ගොස් තිබුණු අයුරු දැක ගන්නට ලැබුණා ෴

******************************************

හරිත ප්‍රතිපත්තියේ වෙනසක් නැතැ යි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් ප්‍රකාශයක්

(26.11.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයේ බලපෑම්, අධික වර්ෂාව නිසා ජන ජීවිතයට ඇති වූ ගැටලු යනාදී තත්ත්ව‍යන් මත, ආහාර සුරක්ෂිතතාවට අනපේක්ෂිත බලපෑම් ඇති වීම නිසා, රසායන පොහොර තහනම ඉවත් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ කෙසේ වෙතත් රජය මුල සිට ම අනුගමනය කළ හරිත ශ්‍රී ලංකාවක් යන සංකල්පය හා තීන්දුව කිසිවිටක ආපසු හරවන්නේ නැති බව යි අමාත්‍යවරයා පැවසුවේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා ෴

******************************************

කොළඹ කොටුව දක්වා පැමිණෙන මාර්ග අබලන් බව අමාත්‍යාංශ ලේකම් පිළිගනී

(26.11.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාව මගින් පාලනය කරන කොළඹ කොටුව දක්වා පැමිණෙන ඇතැම් මාර්ග අබලන් යැයි තමන්ද පිළිගන්නා බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ, මෙරට ප්‍රධාන වාණිජ කේන්ද්‍රය වන කොළඹ නගරයේ මාර්ග අබලන්ව තිබීම සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදීයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දෙමින්.

කොටුව ජනාධිපති මන්දිරය වෙත මෙන්ම විදේශ අමාත්‍යංශය වෙත ගමන් කළ හැකි ශ්‍රීමත් බාරෝන් ජයතිලක මාර්ගය ද මෙලෙස අබලන් වී තිබීම සම්බන්ධයෙන් එහි දී ප්‍රශ්න කෙරුණා.

කොළඹ – පුත්තලම මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන බවයි ඔහු සඳහන් කළේ.

ඇතැම් පළාත් පාලන ආයතන කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා වර්ෂා තත්ත්වයත් සමග මාර්ග ජලයෙන් යට වන බවයි මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ෴

******************************************

සුරේෂ් සලෛගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට සී.අයි.ඩී.ය සූදානම්

(26.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු පාර්ශව කිහිපයක් සිදු කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳ කරුණු වාර්තා කරමින්.

විමර්ශන කටයුතු තවදුරටත් අවසන්ව නොමැති බවද එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙහි දී අධිකරණය නියෝග කර ඇත්තේ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴

******************************************

කොළඹ, ගම්පහ නිවාස 37 ක දිගුකාලීන පදිංචි පුද්ගලයින්ට සින්නක්කර ඔප්පු

(26.11.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස 37 ක දිගු කාලීන ව පදිංචි ව සිටි පිරිස් සඳහා සින්නක්කර ප්‍රතිලාභ ඔප්පු ප්‍රදානය කිරීම නිවාස සංවර්ධන අධිකාරියේදී ඊයේ (25) සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ෴

******************************************

රුපියල් මිලියන විස්සකට (20) අධික හස්ත කර්මාන්ත නිර්මාණ නැව්ගත කෙරේ

(26.11.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

දේශීය භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරනු ලබන වැඩපිළිවෙළෙහි අවසන් අදියර ලෙසින් ලක්සල සන්නාමය යටතේ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමක් සහිත පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළු අයිතම වර්ග 1200 ක් නැව්ගත කිරීම සඳහා මුදා හැරීම සිදු කෙරුණා. බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, තේ, කෝපි, කුළු බඩු සහ ආයුර්වේද නිෂ්පාදන ද ඊට ඇතුළත් ෴

******************************************

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචිය අද (26) සිට

(26.11.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස් පෙළ සිසුන් ලියාපදිංචිය අද ආරම්භ වෙනවා. එය දෙසැම්බර් 05 වැනි දා දක්වා ක්‍රියාත්මකයි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඩ් අගයන් ඔක්තෝම්බර් 29 වැනි දා නිකුත් කෙරුණා ෴

******************************************

පොලිස් නිලධාරීයෙකුට පහර දුන් 6 දෙනෙකු අත්අඩංගුවට

(26.11.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ධර්මපුරම් – පිරමන්දාරු ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් සමතයකට පත්කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර, නිලධාරියෙකුට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමකදී නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් මෙම සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 28 ත් අතර වයස්වල පසු වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී මොවුන් මෙලෙස පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එක් පොලිස් නිලධාරියෙකුට පහර දී තිබුණේ පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා යි ෴

******************************************

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

(26.11.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන මහතා පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස දැනට කටයුතු කරන සනත් පූජිත මහතා විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමේ ක්‍රමවේදය යටතේ ඉල්ලුම් පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව එල්.එම්.ඩී. ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලබන සඳුදා (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි ෴

******************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දීය ගුවන් ගමන් පුළුල් කරයි

(26.11.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් කොවිඩ් මට්ටමේ වුව ද ඉන්දීය ගුවන් ගමන් සීමා නොකර පවත්වා ගැනීමට ශ්‍රී ලංකා එයාර්ලයින්ස් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

නොවැම්බර් 25 නවදිල්ලිය වසංගත තත්ත්වය මත තාවකාලිකව වසා දැමුණු අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දැමුණා.

නමුත් කොවිඩ් මට්ටමේ යම් පාලනයක් සිදු වෙන මෙවැනි මොහොතක, නවතා දැමූ ගමනාන්ත වෙත ගුවන් ගමන් වැඩි කිරීමටත් ඉන්දීය සංචාරකයින්ට ලංකාව පුළුල් ව විවෘත කිරීමටත් තීරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හි සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපොළක් වන ඉන්දියානු වෙළෙඳපොළ සමඟ පූර්ණ පරිමානයේ මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීම මෙහි අරමුණ වන බවයි.

ගෝලීය සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් සංචාරකයින් අතර විශ්වාසය ගොඩනගා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් බව යි අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් පැවසුවේ ෴

******************************************

යුගදනවි පෙත්සම් ලබන සඳුදා (29)

(26.11.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාල ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

එම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (26) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටින බව අද (26) අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර, යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්.එන්.ජී. අධිකාරිය ඇමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ට ලබාදීමට අත්සන් කර ඇති ගිවිසුම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (26) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නො හරින බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුවත් පස්වරු 4 න් පසු රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථානවල හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් සොයා බලන බවයි එම සංගමය සඳහන් කළේ.

එමෙන්ම, අද (26) පෙරවරුවේ ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනේදී ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් බවට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා චෝදනා කරනවා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා කියා සිටියේ තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන තුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි ෴

******************************************

‘ඩොලර් හිඟයක් ඇත් නම් වහා ම මට කියන්න’ කබ්රාල් වෙළෙඳ ඇමතිට දන්වයි

(26.11.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ කිසිඳු කන්ටේනරයක් හිර නො වෙන පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මහ බැංකු සමඟ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කර සිටියා.

වරාය තුළ කන්ටේනර් සිර වී ඇති බව තමා ඊයේ (25) පුවත් පත් තුළ පළ වී ඇති ආකාරය දුටු බවත් ඒ පිළිබඳ වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ගෙන් විමසා සිටි බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

ඩොලර් හිඟය හේතුවෙන් මෙසේ කන්ටේනර් වරායේ සිර වී ඇති නම්, ඒ බව වහා ම මහ බැංකුවට දැනුම් දෙන ලෙසට යි මහ බැංකු අධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට දන්වා තිබෙන්නේ.

කිසිවිටකත් එවැනි අර්බුධයක් ඇති නො වීමට, මහ බැංකුව වග බලා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා ෴

******************************************

නිදහස් පක්ෂය, දේශපාලන අයිතිය ගැන කථා කරයි

(26.11.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටිය ද එම පක්ෂයේ දේශපාලනය කිරීමේ අයිතිය කිසිවෙකුට නතර කළ නොහැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

මිහින්තලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (25) තමාගේ නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශය මුල් කරගෙන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, අද (26) පාර්ලිමේන්තුව ආරම්භයේදී අදහස් දක්වා සිටියා.

ඊට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද එක්වුණා.

******************************************

පැලියොගොඩ මැනිං වෙළෙඳපොළේ පලතුරු වෙළෙන්දන් අසීරුතාවක

(26.11.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු වෙළඳුන්, පලතුරු විකිණීමේ ද යෙදීම හේතුවෙන් එහි පළතුරු වෙළඳුන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය ඉදිකිරීමෙන් පසු එහි කඩ කාමර ලබා දීමේදී පළමු මහල එළවළු වෙළඳුන්ටත්, ඉහළ මහල පළතුරු වෙළඳුන්ටත් වෙන් කරනු ලැබුවා.

එලවළු වෙළඳුන්, පළතුරු ද විකිණීම නිසා, පාරිභෝගිකයින් සිය ආහාර ද්‍රව්‍ය ගැනීමට පහළ මහලට පමණක් පැමිණෙන බවයි පළතුරු වෙළඳුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ නිසා තමන්ට පළතුරු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔවුන් කියා සිටියා.

මේ අතර සිය ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා පළතුරු වෙළඳුන් ඊයේ (25) පස්වරුවේ මැනිං වෙළඳ සංකීර්ණයේ ඉහළ මහලේ සාමකාමී විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර, අමු තේ දලු සපයන්නන් වෙත පොහොර ලබාදීම සඳහා තේ කොමසාරිස්වරයා විසින් ලබා දී ඇති නිර්දේශ ඇතුළත් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගාල්ල, කළුතර වතු හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරණයට ලිපියක් ද යොමුකර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *