විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක

*********************************************

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක

(25.11.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද (25) දහවල් 12 සිට අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවක දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ, විසදුම් නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය හෙට (26) උදෑසන 7 ට අවසන් වීමට නියමිතයි.

ඊයේ (24) ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතුවලට බලපෑම් එල්ල වුණා.

******************************************

තැන තැන ගෑස් ටැංකි පිපිරීමට හේතුව ගැන හෙළිදරව්වක්

(25.11.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

තැන තැන ගෑස් ටැංකි පුපුරා යාමට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීමයි රජයේ රස පරීක්ෂක වාර්තාවක් තහවුරු කරයි.

පසුගියදා කොළඹ, වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදු වූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දු බවට තහවුරු වන බව රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පෙන්වා දෙනවා.

පිළිගත හැකි පැහැදිලි හේතුවක් නොපෙන්වා මෙරට ගෘහස්ථ භාවිතය සඳහා ගන්නා එල්.පී. ගෑස් සංයුතිය වෙනස් කිරීමට පළමුව ලිට්රෝ සමාගම තීරණය කළේ එහි සිලින්ඩරයේ ගෑස් පරිමාණය අඩු කර එයට නව වෙළඳ නාමයක් ද එක් කරමින්.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් විසින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් ද තොරව සිලින්ඩරයක ගෑස් සංයුතිය බියුටේන් සහ ප්‍රොපේන් 50:50 ලෙස වෙනස් කළා.

ඒ එතෙක් පැවති අඩුවෙන් ගිනි ගන්නා බියුටේන් 80 සහ වැඩියෙන් ගිනිගන්නා ප්‍රොපේන් 20 පිළිවෙළ (80:20) වෙනස් කරමින්.

මෙම පියවර සාධාරණීකරණය කිරීමට ලිට්ට්‍රෝ සමාගමේ එවක පාලනාධිකාරිය කියා සිටියේ මෙම ගෑස් සංයුති වෙනස හරහා වඩාත් අධික තාපයක් නිකුත් කිරීම හේතුවෙන් අඩු ගෑස් පරිභෝජනය කින් එදිනෙදා කටයුතු සිදුකර ගත යුතු හැකි බවයි.

කෙසේ වෙතත් මෙසේ සිදු කෙරුණු ගෑස් සංයුති වෙනස හරහා බරපතල අනතුරු දායක තත්වයක් නිර්මාණය විය හැකි බවට දිගින් දිගටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි සහ චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සාධනීය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රමිති ආයතනයට ද චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජය ඔස්සේ දිගින් දිගටම මතුවූ විරෝධයන් හමුවේ අදාළ ගෑස් සමාගම් දෙකටම (2) සිදුවූයේ ඔවුන්ගේ නව හඳුන්වාදීම හකුලා ගැනීමටයි.

නමුත් ඔවුන් සිය ගෑස් සංයුතිය තුළ සිදුකළ වෙනස යථාවත් කළේ ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු රසායනාගාර පරීක්ෂණයක් සිදු වී නොමැති වීමත් පුදුමයට කරුණක්.

මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට LP ගෑස් සඳහා සම්මත සංයුතියක් හඳුන්වාදීම සඳහා රෙගුලාසි ගෙන එන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආචාර්‍ය සිද්ධිකා සේනාරත්න කළ ඉල්ලීම ද මෙම සමාගම් වල ප්‍රමාණවත් සැලකිල්ලක්ට යොමු වූයේ නැහැ.

මේ අතර පසුගිය කාල සීමාව තුලදී දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර කපාට කාන්දු වන බවට තොරතුරු වාර්තා වුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු කියා සිටියේ මෙම සියලු පිපිරීම් ගෑස් සංයුතිය වෙනස් වීම නිසා සිදුවූවන් බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි. “මෙවැනි අන්තරායන් පිළිබඳව අපි මේ වසරේ ජුනි මාසයේදී පුරෝකථනය කළේ, ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් අපේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩියි. ඒ නිසා LP ගෑස් සංයුතියේ
අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුයි” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්තගෙන් බියුටේන් සහ ප්‍රොපේන් එල්පී ගෑස් සංයුතිය 80:20 අනුපාතයේ සිට 50:50 අනුපාතයට වෙනස් කළේ මන්දැයි කළ විමසීමේදී ඔහුට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් නොතිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ගෑස් සමාගම් අධික ලාභ ඉපයීම සඳහා සංයුතිය වෙනස් කිරීමෙන් පුරවැසියාගේ ජීවිත අවදානමට ලක් කර ඇති බවත් ඒ අනුව පාරිභෝගික ආරක්ෂක ආඥා පනතේ 72 වගන්තිය යටතේ ඒ සඳහා නියමිත පියවර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද අපොහොසත් වී ඇති බව බවයි ඔහු චෝදනා කළේ ෴

++++++++

පන්නිපිටිය නිවසක පිපිරිමක්

(25.11.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව – පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද (25) පෙරවරුවේ සිදු වූ පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (25) අලුයම 4 ට පමණ නිවැසියන් නිදා සිටි අවස්ථාවේදී මෙම පිපිරුම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පුද්ගලයන් සිව් (4) දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් පිපිරුමෙන් හානියක් සිදුව නැහැ.

පිපිරීම හේතුවෙන් නිවසේ වහලයට සහ බිත්ති කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මේ අතර ගතවූ දින කිහිපය තුල ගෑස් පිපිරිම් සිදුව ඇත්තේ එහි සංයුතිය වෙනස්වීම් හේතුවෙන් බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ පසුගියදා මැක්ඩොනල්ඩ් අවන්හලේ ඇති වූ ගින්නට හේතුව එම අවන්හල තුල ගෑස් කාන්දු වී අදාළ වායු කලාපය තුල පුපුරා යාම බවයි.

මීට පෙර රත්නපුර, අලව්ව, වැලිගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද මෙවැනිම ගෑස් කාන්දු වීම් නිසා ඇති වූ ගිනි ගැනීම් වාර්තා වු අතර එහි ආසන්තම සිදුවීම අද වාර්තා වුණේ කොට්ටාව – පන්නිපිටිය ප්‍රදේශයෙන්.

අද (25) අලුයම නිවසක සිදු වූ මෙම පිපිරීම ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් සිව් (4) දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් එමගින් හානියක් සිදුව තිබුණේ නැහැ.

[සේයාරූ]

+++++++

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරිම සිදුව ඇත්තේ එහි සංයුතිය වෙනස්වීම නිසා බවට රස පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වන බව සඳහන් කරමින් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ රස පරීක්ෂකවරයා නිවේදනය කරයි. (25-11-2021)

+++++++

ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

(25.11.2021 – 22:22 +0530 – lankacnews.com)

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරති.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමී බවත් ශ්‍රී ලංකාවේ ගෑස්වල ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.

25-11-2021

++++++++

22-11-2021

++++++++

22-11-2021

******************************************

ආණ්ඩුවේ ජනතා අප්‍රසාදයට මහින්දානන්ද අලුත්ගමගේ වගකිව යුතු බවට මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්

(25.11.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

“මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මතයි”

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය දයාසිරි ජයසේකරට සිදු කළ පිළිතුරු කතාවෙන් පසු නැගී සිටි හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන් ජනාධිපතිවරයා ලෙස රටට සැලකිය යුතු ආදර්ශයන් රැසක් ලබා දී ඇති බවයි.

ආණ්ඩුව තුළ පවතින මත ගැටුම පාර්ලිමේන්තුව තුළ හොඳින් විද්‍යමාන වූ මෙම සංවාදයේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කරගත යුතු නැති බවයි.

එමෙන්ම ආණ්ඩුව මේ වනවිට පත් ව ඇති අප්‍රසාදයට සෘජුව ම වගකිව යුතු පුද්ගලයා කෘෂිකර්ම අමාත්‍යවරයා බවත් චෝදනා කළ හිටපු ජනපතිවරයා සිය දේශනය අවසන් කළේ ආණ්ඩුවක් විදියට කටයුතු කරන්නේ නම් අප සැම මිත්‍රශීලී ව කටයුතු කළ යුතු බවටයි.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “මම හැමදේ ම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අහිංසක මිනිහෙක්. අපිට ගහගෙන පුරුදු නෑ” යනුවෙනු යි.

කාන්තා හිංසනයට එරෙහි ව පාර්ලිමේන්තුවේ දී විරෝධතාවක්

(25.11.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

‘කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් පැලඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (25) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.

ඊට අමතර ව මන්ත්‍රීවරුන් අතෙහි තැඹිලි පැහැති පටියක් ද පැලඳ සිටිනවා.

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය තැඹිලි පැහැති සාරියකින් සැරසී පැමිණ සිටීම ද විශේෂත්වයක්.

‘කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය’ ද අදට (25) යෙදී තිබෙනවා.

එම දිනය සහ පසුගිය සෙනසුරාදා අයවැය කථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියට දැක් වූ ප්‍රතිචාරවලට විරෝධය දැක්වීම සඳහායි මෙලෙස පැමිණ ඇත්තේ ෴

******************************************

08 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ ඇබිත්තයාට වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්

(25.11.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

පන්සලට ගිය අවස්ථාවේ, කතුරක් පෙන්වා බිය ගන්වා වසය අවුරුදු 08 ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇබිත්තයෙකුට වසර 10 ක බර වැඩ සහිත සිර දඩුවමක් හිමි වී තිබෙනවා.

මීට අමතර ව රුපියල් ලක්ෂ 05 ක වන්දියක් හා රුපියල් 50,000 ක දඩයක් ගෙවන ලෙසත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු පෙරේ දා (24) සවස නියෝග කළා.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ, සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇබිත්තයෙකු ලෙස කටයුතු කළ ගෝතමීගම – කතරගම ප්‍රදේශයේ පදිංචි මදවන් ආරච්චිගේ මහේෂ් මදුෂංක නැමති 27 හැවිරිදි චුදිතයෙකුටයි ෴

******************************************

මහබැංකු අධිපතිගෙන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දීමක්

(25.11.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පීඩාවට පත් ව්‍යාපාර සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව, බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබා දී ඇති උපදෙස් නොපිළි පදින්නේ නම්, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් සමග ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබදව මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1200 ක් පමණ කොළඹ වරායේ සිරව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙම බහලුම් තුළ පවතින බවයි.

මේ වන විටත් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස අදාළ අංශ වෙත දැනුවත් කර ඇති බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

******************************************

මෛත්‍රී – දයාසිරි, මහින්දානන්ද සමඟ මැතිසබයේදී වාදයක පැටලේ

(25.11.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විමත් සමගින්.

ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැදිහත්වීමෙන් පසු, සභාවේ ඇතිවුයේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක්.

මේ අතර, කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු මැයෙන් සඳහන් ස්ටිකරයක් පැළඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (25) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.

ඊට අමතරව මන්ත්‍රීවරුන් අතෙහි තැඹිලි පැහැති පටියක් ද පැළඳ සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය තැඹිලි පැහැති සාරියකින් සැරසී පැමිණ සිටීම ද විශේෂත්වයක්.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ද අදට යෙදී ඇති අතර ඊට සමඟාමීව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ හැසිරීමට විරෝධය දැක්වීම සඳහායි මෙලෙස පැමිණ ඇත්තේ.

******************************************

පළාත් 7 කට මිලිමීටර් 100 වැඩි වැසි

(25.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර, ඌව, සරබගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ට වඩා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (25) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇරෑපොළ ප්‍රදේශයට වාර්තා වී ඇති අතර, එය දැක්වෙන්නේ මිලිමීටර් 219 ක් ලෙසයි.

පැවති වැසි තත්ත්වය හමුවේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් බිංගිරිය, රස්නායකපුර, නිකවැරටිය, කොබෙයිගනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් කලාපවල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම පුත්තලම නිකවැරටිය මාර්ගයේ නිකවැරටිය පාලම අසලින් යට වීමට ආසන්න තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ ද වාන් දොරටු දෙකක් (2) ඊයේ (24) රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සර්ධා වීරකෝන් කියා සිටියේ, එක් මන්තීරුවකට පමණක් ධාවනය සීමා කර ඇති කඩුගන්නාව ප්‍රදේශයේ රථ වාහන ධාවනය නුදුරේදී ම මන්තීරු දෙක (2) සඳහාම විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *