දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

*********************************************

දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

(25.11.2021 – 08:08 +0530 – sinhala.adaderana.lk)

දෙසැම්බර් 08 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල විදෙස්රටවලට විකිණීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

මේ සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයින් ද සහයෝගය ලබාදෙන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“පසුගිය 03 වනදා ආයතන 3 ක් තෙල්, වරාය, විදුලි, විරෝධාතා ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට ඇනතුරු ඇඟවීමක් කළා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්තා. එළඹෙන දෙසැම්බර් 08 වනදා ලංකා විදුලබල මණ්ඩායේ සමස්ත සේවකයෝ පැය 24 ක් ලෙඩවෙනවා. එක පැත්තකින් වරාය සේවකයා රොද බැඳගෙන කොටුව දුම්රියපොළ ඉදිරියට දහවල් 12 ට එනවා. ලංකා විදුලිබල මණ්ඩලය එදාට ලෙඩ නිවාඩු වාර්තාකරලා දෙසැම්බර් 08 වනදා කොටුව දුම්රියපොළ ඉදිරියට එනවා. ඒ වාගේම තෙල් සංස්ථාවේ සේවකයෝ කොටුව දුම්රියපොළ ළඟට එනවා. දැවැන්ත උද්ඝෝෂණයක්. සේවකයින්ගේ විරෝධය, සේවකයින්ගේ වෛරය, සේවකයින්ගේ අප්‍රසාදය පළකරන සේවකයින්ගේ පෙත්සම අරගෙන අපි එනවා ජනාධිපති හමුවෙන්න. අපි මේක භාරදීලා කියනවා වරාය, විදුලිබලය, තෙල් රටේ ජනතාවගේ හෘද සාක්ෂිය විකුණන්න එපා කියලා අපි ආණ්ඩුවට බලකරලා කියනවා.”

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දින දෙකේ (2) සංකේත වැඩවර්ජනය අද (25) දිනයේත් ක්‍රියාත්මක කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, ඊයේ (24) පෙරවරු 07:00 ට ආරම්භ කළ එම සංකේත වැඩ වර්ජනය හෙට (26) පෙරවරු 07:00 දක්වා ක්‍රියාත්මක කරන බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

******************************************

A.T.M. කාඩ් භාවිත කර මුදල් කොල්ලකන අලුත්ම ක්‍රමය එළියට

(24.11.2021 – 16:04 +0530 – sinhala.adaderana.lk)

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව බැංකු කළමනාකරුවන් පැවසීය.

මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි.

එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව පවසන බව අනාවරණ වී තිබේ.

අනතුරුව A.T.M. යන්ත්‍රය තුළට දැමූ කාඩ්පත සඟවාගෙන ඔවුන් සොරකම් කර සන්තකයේ තබාගෙන සිටින වෙනත් අවලංගු කාඩ්පතක් ගිණුම් හිමියා වෙත ලබාදෙයි.

පසුව අදාළ A.T.M. කාඩ්පත භාවිත කර වෙනත් ස්ථානයකින් අදාළ ගිණුමේ ඇති මුදල් ලබාගැනීම සිදුකරයි.

මෙලෙස සොරකම් කරන ලද කාඩ්පත් භාවිත කර කොළඹ සහ ගාල්ල වැනි ප්‍රදේශවලින් මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව බැංකු කළමනාකරුවන් අප සමඟ පැවසීය.

මෙලෙස තම ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මෙම සංවිධානාත්මක පිරිස් විසින් මේ වන විට රුපියල් ලක්ෂ ගණනක් සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව කළමණාකරුවන් වැඩිදුරටත් පවසයි.

මෙලෙස මුදල් අතුරුදන්ව ඇති ගිණුම් හිමිකරුවන් විසින් මේ වනවිට හැටන් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

අප මේ සම්බන්ධව හැටන් පොලීසියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය ෴

******************************************

සිංහරාජයේ ආදරණීය හිතවතා ‘මාටින් අයියා’ අභාවප්‍රාප්ත වෙයි

(24.11.2021 – 14:58 +0530 – sinhala.adaderana.lk)

සිංහරාජයේ වනස්පති මිනිසා නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මාටින් විජේසිංහ මහතා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය.

රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු එලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

කලවානේ සිංහරාජයට යාබද පෙතියාකන්ද ගම්මානයේ ජීවත් වූ මාටින් මහතා සිය ජීවිත කාලය පුරාවටම සිංහරාජ වනාන්තරය රැකබලා ගැනීම වෙනුවෙන් කැපවී සිටියේය.

ඒ නිසාම එදාමෙදා තුර හැමදාමත් ඔහු සිංහරාජයට යන එන සැමට ‘මාටින් අයියා’ විය.

සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නැමැති යුවලගේ පවුලේ වැඩිමලා ලෙස 1939 දෙසැම්බර් මස 24 දා උපන් මාටින් විජේසිංහ ට බාල සහෝදරයකු සහ සහෝදරියක ද වෙයි.

******************************************

බසයක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට – CCTV

(24.11.2021 – 09:07+0530 – sinhala.adaderana.lk)

කළුතර උතුර, තොටුපල මංසන්ධිය අසල මාර්ගයේ ධාවනය වූ බස් රථයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

කොළඹ සිට අම්බන්ලන්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් තිබේ.

******************************************

කින්නියා නගරයේ අද (25) ශෝක දිනයක්

(25.11.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ශෝකය පළ කිරීම සඳහා අද (25) කින්නියා නගරයේ වෙළෙදසල් වසා දැමීමට සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.

එමෙන්ම කින්නියා නගරයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු නො කරන ලෙස ද ඉල්ලීමක් කර ඇති බවයි කින්නියා හිරු වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරේදා (23) පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් ළමයින් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුළු 03 දෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (24) ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාලම්පාරුව අනතුරට ලක් වීමෙන් පසු එහි අයිතිකරු සහ පැදිකරු පළා ගොස් තිබුණා.

පසුව ඔවුන් ඊයේ (24) ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊට අමතරව, පාලම් පාරුවේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කළ පුද්ගලයා ද කින්නියා පොලිසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයේ අද (25) සිට නාවික හමුදාව විසින් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ මගීන් 20 දෙනෙකු පමණ රැගෙන යා හැකි බෝට්ටුවක් මේ සඳහා යොදවන බවයි ෴

******************************************

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද (25) විවෘත කෙරේ

(25.11.2021 – sinhala.news.lk)

මෙරට දෙවන (2) විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර (බී-පැකේජය) අද (25) විවෘත කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ව්‍යාපෘතියේ දෙවන (2) අදියර (බී-පැකේජය) විවෘත කිරීමට නියමිතව තිබේ.

දැනට මිලියන හයක් (6) වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාවය සමස්ථ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මගීන් මිලියන පහළොවක් (15) දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.

ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ බී-පැකේජ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුළුමුදල රුපියල් බිලියන 6.1 කි. සමස්ථ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන සියය (100) ඉක්මවයි.

2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

යහපාලන රජය සමයේ අත්හැර දමා තිබූ මෙම ව්‍යාපෘතියේ ඒ-පැකේජයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමත් සමගම සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කෙරුණ අතර ඉදිකිරීම් මන්දගාමීව සිදුකෙරුණු බී-පැකේජයේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද පියවර ගැණිනි.

නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49 ක් දක්වා වැඩිවන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් (x2) වනු ඇත .

මෙහිදී බැහැරුම් පථ දිගු කිරීම තුළින් ගුවන් යානා වලට නව පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.

බී-පැකේජය යටතේ දුරස්ථ අංඟනය නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර් 269,000 සිට වර්ග මීටර් 479,000 ක් දක්වා පුළුල් වන අතර මෙමගින් අනාගතයේදී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම් වළට ඉහල පහසුකම් සැළසේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ සමස්ථ ව්‍යාපෘතිය අවසන් වන විට පිරික්සුම් කවුළු 53 සිට 149 ක් දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛයාව 21 සිට 53 ක් දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83 ක් දක්වාත් වැඩිකෙරෙයි. දැනට අටක් (8) වන ‘එයා සයිට්’ ආරක්ෂක පාලන ස්ථාන තිහක් (30) වන අතර සම්බන්ධතා දොරටු 24 ක් දක්වා වැඩිවේ. පවතින ගුවන් බස් දොරටු සංඛ්‍යාව 6 සිට 16 ක් දක්වා වැඩිවන අතර ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාව 4 සිට 10 ක් දක්වා ඉහල යයි. නව ව්‍යාපෘතිය යටතේ ගංවතුර ඵලදායි ලෙස පාලනය කළ හැකි වන පරිදි ඉදිකර ඇති ජල රැඳවුම් පොකුණු මගින් භූගත ජලය ස්ථානගත කිරීමට පියවර ගෙන ඇත.

ලොව නැගෙනහිර සහ බටහිර යාකෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි ෴

******************************************

මහ කැලෑවක් මැද්දෙ කැම්පස් එකක් හදපු කිරිවන්දෙණියේ පොඩි අප්පුහාමි – තාම මේ රට මගෙන් හරියට වැඩක් අරන් නෑ (25.11.2021)

******************************************

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අදත් (25) වර්ජනයේ

(25.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (25) 2 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තීය සමිති 16 ක් ඊයේ (24) මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, වැටුප් සහ දීමනා ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ඊයේ (24) පෙරවරු 7 ට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුණා ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට පාර්ලිමේන්තු පනතකින්, නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනපති කියයි

(25.11.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනයට, පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවෙන් හෙළිකර ඇති වැරදිකරුවන්ට පාර්ලිමේන්තු පනතකින් නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ, මෙම කොමිසම් සභාව මඟින් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව, ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බවයි.

අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම ගුවන් පාලම වන නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයට ඊයේ (24) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, එම නිර්දේශ පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම පාලම නම් කර ඇත්තේ, ‘කල්‍යාණි රන් පිවිසුම’ ලෙසයි.

2014 වසරේ දී එහි මූලික වැඩ කටයුතු ආරම්භ වූයේ ‘ජපන් අන්තර් ජාතික සහයෝගීතා ආයතනයේ’ මූල්‍ය දායකත්වය මතයි.

මීටර් 380 ක් දිග මෙම නව කැලණි පාලම ඉදිකර ඇත්තේ, අධි තාක්ෂණික රැහැන් යොදා ගනිමින් ෴

******************************************

පාසල් සහ නිවාස ආශ්‍රිත කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩි වීමක්

(25.11.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පාසල් තුළ සහ නිවාස ආශ්‍රිතව කොරෝනා ආසාදිත දරුවන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, ඊයේ (24) දිනයේත් මෙරටින් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මෙරටින් ඊයේ (24) හඳුනාගත් නව ආසාදිතයින් 745 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,59,605 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 17,471 ක්.

එමෙන්ම නව මරණ 23 ක් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,205 ක් ලෙසයි.

රිඡ්වේ ආර්යා ළමා රෝහල තුල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, සියලු ගුරුවරුන් සහ සිසුන් පන්ති කාමර තුළ මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කළ යුතු බවයි ෴

******************************************

කුරුණෑගල – අනුරාධපුරය මාර්ගයේ ගමනාගමනයට බාධා

(25.11.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කුරුණෑගල සිට පුත්තලම මාර්ගය ඔස්සේ පාදෙනිය හරහා නිකවැරටිය, දළදාගම, ඔස්සේ මෙන්ම කුරුණෑගල සිට වැල්ලව ඔස්සේ පොල්පිතිගම හරහා මහව ප්‍රදේශයට පැමිණ අනුරාධපුරයට ගමන් කළ හැකි බව පොලීසිය ප්‍රකාශ කළා ෴

******************************************

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘතයි

(25.11.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් (2) ඊයේ (24) රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ ද වාන් දොරටු 8 ම මේ වනවිට විවෘත කර ඇති බැවින් ජලාශය පහළ කොටසේ සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *