කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට

කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට

*********************************************

කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට

(23.11.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කන්ද උඩරට වගා කෙරුණු එළවළු තොග ඊයේ (22) රාත්‍රිය වන විට ප්‍රමාණවත් පරිදි ලැබුණු බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය දෙදින (2) තුළම ප්‍රමාණවත් පරිදි එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත නොලැබුණේ ගොවීන් විසින් එළවළු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද (23) උදෑසන තවත් එළවළු තොග ලැබෙනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි.

මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 600 ත්, 400 ත් අතර අගයකට අලෙවි වූ අතර, තක්කාලි සහ වම්බටු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 280 ත්, 320 ත් අතර අගයකටයි.

රාබු සහ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 ත්, 440 ත් අතර මිලකට පැවති අතර, සෙසු එළවළුවල මිල ගණන් ද ශීග්‍ර ලෙස ඉහළ ගොස් තිබුණා ෴

******************************************

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවත් කෙරේ

(23.11.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5 ක් භාවිතය සහ අලෙවිය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් ඊයේ (22) නිකුත් කෙරුණා.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් එම නිවේදනය නිකුත් කර ඇත්තේ, පළිබෝධනාශක පනත යටතේ ඔහු වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරවයි.

පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මහජන යහපත උදෙසා එම පියවර ගනු ලැබූ බවයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සිය ගැසට් නිවේදනයේ සදහන් කර ඇත්තේ.

අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද සහ කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5 ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ 2014 වසරේ දෙසැම්බර් 22 වන දායි.

නව ගැසට් නිවේදනය මගින් එම නියෝගය අවලංගු කර තිබෙනවා.

ග්ලයිෆොසෙට් මෙන්ම ප්‍රොපනිල් වල්නාශකය, සඳහා පැනවූ තහනම මෙලෙස ඉවත් කර ඇති අතර, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘමිනාශක සඳහා පැනවූ තහනම ද මෙලෙස ඉවත් කෙරෙනවා.

1977 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ග්ලයිෆොසෙට් මෙරට කෘෂිභෝග රැසක පළිබෝධනාශකයක් ලෙස භාවිත කෙරුණා.

2014 වසරේ දී තහනම් කිරීමත් සමඟ එය විශේෂයෙන් මෙරට තේ වගාව සඳහා ඇති කළේ විශාල බලපෑමක් ෴

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ ගැසට් නිවේදනය හකුළා ගැනෙයි

(23.11.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ (22) රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් සඳහන් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් අනතුරුව එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවයි.

තමා තනතුරෙන් ඉවත් කළ බවක් පිළිබදව මෙතෙක් දැනුවත් වී නොමැති බව පැවසූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, අද (23) පස්වරුවේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වැඩිදුරටත් කියා සිටියා.

******************************************

ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් දිවයිනට

(23.11.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙරට ජගත් සංවිධාන නියෝජිත කාර්යාලය නිවේදනය කළේ මැදපෙරදිග, ආසියානු සහ පැසිෆික් කලාපීය සහකාර මහලේකම් ඛාලිඩ් කියාරි මෙලෙස තුන් (3) දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ඔහු එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

ජගත් සංවිධාන සහකාර මහලේකම් ඛාලිඩ් කියාරි මෙරට දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ නියෝජිතයන්, ආගමික නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව මුණ ගැසෙන බවයි ජගත් සංවිධාන ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජගත් සංවිධාන සහකාර මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය මේ වසරේ සැප්තැම්බරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අතර පැවති සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙසයි එමගින් හැදින්වූයේ.

ජනාධිපතිවරයා සහ ජගත් සංවිධාන මහලේකම්වරයා අතර සාකච්ඡාවේදී කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයන් මෙන්ම දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධානය යොමු වුණා ෴

******************************************

පාලම් පාරුවක් පෙරලී ළමයින් ඇතුළු 6 දෙනෙකු මියයයි

(23.11.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ කුරිඤ්ඤංකේනි හිදී පාලම් පාරුවක් පෙරලීමෙන් ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අතර ළමයින් 4 දෙනෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සිටින බවයි.

එසේම තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම හේතුවෙන් මෙම පාලම් පාරුව පෙරළීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

ඉන්දියාවට හොර රහසේ රත්තරන් රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දහදෙනකු (10) කොටුවෙයි

(23.11.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ බෙන්ගලරූ හී කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු අංශ නිලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා සිදු කළ පරීක්ෂාවකදී කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය කාන්තාවන් අට දෙනකු (8) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු (2) නීති විරෝධී ලෙස රත්තරන් රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් සිය ගුද මාර්ගය තුළ මෙම රත්තරන් සඟවාගෙන ඉන්දියාවට ඇතුළුවීමටයි උත්සාහ දරා ඇත්තේ.

අදාල පිරි පසුගිය සෙනසුරාදා කොළඹින් බෙන්ගලරූ වෙත පිටත් වූ යූ.එල්. 11 දරණ ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.

එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙක හමාරකට (2,50,00,000) අධිකයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඔවුන් සමග ඉන්දියාවේ දී සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ ෴

******************************************

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(23.11.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1,40,60,000 ක් වටිනා දේශීය හා විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි රාජ්‍යය වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු කොළඹ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

අලුයම 02:55 ට ඩුබායි බලා නික්මීමට නියමිතව තිබූ ඒ.කේ. 649 දරණ යානයෙන් විදේශගතවීමට පැමිණි මොහුගේ අත්බෑගය තුළ සැගවූ රුපියල් කෝටියක (1,00,00,000) මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් හමුවූ බවයි රේගුව ප්‍රකාශ කළේ ෴

******************************************

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට රාජතාන්ත‍්‍රික අභියෝගයක්.. නි. මහ කොමසාරිස් යාපනේ කොටි සමරුවකට යයි.. කොටි සංකේත පලදියි..

(23.11.2021 – 10:00 +0530 – lankacnews.com)

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.

යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී පසුගිය 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී නොවැම්බර් මාසයට යෙදී ඇති පැල සිටුවීමේ මාසය නිමිති කරගනිමින් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් ප්‍රධානත්වයෙන් සංගිලියන් උද්‍යානයේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන්ය.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු ආරාධියන්ට කොටි සිංවිධානයේ පුෂ්පය වන නියගලා මලක් පළන්දවා සංවිධායකයන් විසින් ඔවුන් පිළිගෙන තිබුණි.

අනතුරුව සංවිධානය කොට තිබූ පැල බෙදාදීමේ වැඩසටහනටද නියඟලා මලද සමගින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහභාගී විය.

මෙම වැඩසටහන 20 වනදා සිටි 26 වනදා දක්වා සංගිලියන් උද්‍යානයේදී පැවත්වෙන අතරම කොටි සංවිධානයේ මහවිරු සතියද එදිනයන්ට යෙදී තිබීම විශේෂත්වයකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

******************************************

රට තුළ ආහාර හිඟයක් – ලංකාවට ආහාර සැපයීම සීමා කෙරේ

(23.11.2021 – 09:37 +0530 – aruna.lk)

රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් දහස (1000) ඉක්මවා පවතින බවයි.

මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු ​නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවෝ රජයට අනතුරු අඟවති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100 ත් 110 ත් අතර මුදලක් වැයකරනු ලබයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ 4 ක් අද (23) දිවයිනට

(23.11.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනයේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

එසේම, ඊයේ (22) දිනයේ කොරෝනා ආසාදිතයින් 735 ක් සහ මරණ 31 ක් ද වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,57,361 ක් වන අතර 16,093 ක් තවදුරටත් නිවෙස්ගතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, අද (23) දිනයේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එසේම ලබන මාසයේ සිට සෑම සතියකම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් මෙරටට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, මූලාශ්‍ර අනාවරණ නොවන කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ෴

+++++++++++++++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නන් සොයා, බස්නාහිර විශේෂ මෙහෙයුමක්

(23.11.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම නිසියාකාරව සිදු වන්නේ ද පිළිබදව විශේෂ පරීක්ෂා කිරීමක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ අද (23) දිනයේ සිට එය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මුව ආවරණ පැළද නොසිටින පුද්ගලයින්, දුරස්ථභාවය නිසියාකාරව තබා නොගන්නා පුද්ගලයින් පිළිබදව මෙන්ම පොදු මගී ප්‍රවාහන සේවා රියදුරන් හා සේවකයින් හා රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ඇතුළු සියලු පිරිස් පිළිබදව මෙහි දී දැඩි අවධානයට ලක්වනු ඇති ෴

+++++++++++++++++++++

ෆයිසර් එන්නතෙන් යෞවනයන්ට දිගුකාලීන ප්‍රතිශක්තියක්

(23.11.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් කොරෝනා එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාදුන් වයස අවුරුදු 12 ත්, 15 ත් අතර යොවුන් වියේ ළමයින්ට මාස 4 කට පසුව ද කොරෝනා වෛරසයට එරෙහිව සියයට 100 ක ප්‍රතිශක්තියක් දක්නට ලැබෙන බව එම සමාගම ප්‍රකාශ කළා.

එමගින් මෙලෙස ෆයිසර් එන්නතේ දිගුකාලීන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ එම වයස් කාණ්ඩය සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවලින් පූර්ණ අනුමැතිය ලබා ගැනීමේ අරමුණෙන්.

වයස අවුරුදු 12 න් ඉහළ ළමයින් සඳහා මයික්‍රොග්‍රෑම් 30 ක එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා ‘ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම’ මෙලෙස අනුමැතිය අපේක්ෂා කරනවා.

වයස අවුරුදු 12 ත්, 15 ත් අතර, වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ෆයිසර් එන්නතට පසුගිය මැයි මාසයේදී අනුමැතිය ලබාදුන්නා.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූවන්ට එන්නත පූර්ණ වශයෙන් භාවිත කිරීම සඳහා එමගින් අනුමැතිය ලබාදුන්නේ අගෝස්තු මාසයේදියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *