කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි

*********************************************

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි

(21.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර හෝ වල් නාශක ආනයනය කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් අදත් ප්‍රකාශ කළේ පොහොර නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

රසායනික පොහොර අවශ්‍ය බවට ඇතැම් ගොවීන් ප්‍රකාශ කළ ද තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර යොදා ගනිමින් සිය වගා කටයුතු සාර්ථක කරගෙන ඇති අවස්ථාවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටළුව විසදීමේ අරමුණින් නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ කියා සිටියේ.

මේ අතර, වගාවන් කිහිපයකට රසායනික පොහොර ආනයනය කිරීමට පියවර ගත් බවට ප්‍රචාරය වීමත් සමඟ දේශපාලනඥයින් ඒ පිළිබදව විවිධ අදහස් පළ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එවැනි තීරණයක් ගැනීමට සමගි ජන බලවේගය විසින් එල්ල කළ බලපෑම හේතුවූ බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද සදහන් කළේ රසායනික පොහොර ආනයනයට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර දිලීර හා පළිභෝධනාශක සදහා පමණක් එවැනි තීරණයකට එළඹ ඇති බවයි.

******************************************

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා, මීගමුවේ දේව කන්නලව්වක්

(21.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් මීගමුව – තම්මිට පිලිප් නේරි දේවස්ථානය ඉදිරිපිට දී පැවැත්වුණා.

මීගමුව – නැගෙනහිර කතෝලික තරුණ සංවිධානය විසිනුයි එය සංවිධාන කර තිබුණේ.

දේව කන්නලව්වට එක්වූ තරුණ තරුණියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් මේ දක්වා ඉටු වී නොමැති බැවින් යුක්තිය ඉටු වන තෙක් තමන්ට මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුව ඇති බවයි ෴

******************************************

03 වන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් හෙට CID යට

(21.11.2021 – 21:05 +0530 – hirunews.lk/sinhala)

03 වන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් හෙට (22) පෙ:ව: 09:30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

******************************************

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා හෙට (22) සිට දිනයකට 150 ක උපරිමයකට පමණයි

(21.11.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව විදේශ අමාත්‍යාංශය කාරුණිකව දන්වා සිටිනවා.

මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර සිටිනවා ෴

******************************************

උඩරට ගොවීන් විරෝධතාවක – නුවරඑළිය ආර්ථිකයත් වැසේ

(21.11.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳපොළට සහ දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු තොග අද (21) නොලැබුණු බව එම වෙළඳ සංගම් නියෝජිතයින් පවසනවා.

මේ අතර, ගොවීන් විසින් එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා කියා සිටියේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ලැබීම සීග්‍ර ලෙස පහත වැටීමත් සමග මේ වන විට වෙළදපොළේ එළවළු මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

බොහෝ එළවළු වල තොග මෙන්ම සිල්ලර මිලද ඉහළ අගයක් ගන්නා අතර ඇතැම් එළවළු වල සිල්ලර මිල ග්‍රෑම් 250 රුපියල් සියය (100) ඉක්මවූ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොහොර හිඟයට විසදුම් ඉල්ලා නුවරඑළිය සහ කඳපොළ නගරවල කඩ වසා දමා ගොවීන් විරෝධතාවක ද නිරත වුණා.

නුවරඑළියේ එළවළු වගා ගොවීන්ට අවශ්‍ය කරන රසායනික පොහොර ලබා නොදීම හමුවේ ඵලදාව අඩුවීමත් සමග ඊට විරෝධය පා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලබාදීමෙන් වැළකී සිටින බවයි ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය වෙත ද දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 90 කින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා මහතා ප්‍රකාශ කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය සඳහන් කළේ හෙට (22) සිට නුවරඑළිය ප්‍රදේශයෙන් එළවළු නොලැබීමත් සමඟ එළවළු මිල තවත් ඉහළ යා හැකි බවයි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට අද (21) දින පැමිණි ගොවීන්ගේ සහ වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

******************************************

ඉන්ධන පිරිමහන්න රාජ්‍ය ඇමති දයාසිරිගෙන් යෝජනාවක්

(21.11.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, කුරුණෑගල අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු (3) හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

******************************************

ආණ්ඩුවේ පසුබෑම ගැන කියන සජිත්

(21.11.2021 – 22:19 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර දින 5 ක් ගතවීමටත් මත්තෙන් ආණ්ඩුවට පසුබැසීමට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි විහිදුම් බලගනය සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

******************************************

පොලිසියෙන් ඉල්ලීමක්

(22.11.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා දන්නා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙමින් තිබූ ප්‍රකාශයට අනුව තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (22) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව පසුගිය 16 වැනි දින පියතුමන් විසින් දැනුම් දෙනු ලැබුවා.

2021 ඔක්තෝම්බර් මස 23 වන දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ දෙස් විදෙස් ජනතාව අමතමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ තොරතුරු පියතුමන් විසින් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ තුළ මෙම පාස්කු ප්‍රහාරයේ සැලසුම් හා ප්‍රහාරය සම්බන්ධව වැදගත් තොරතුරු ඇතුළත්ව තිබූ බව ද නිවේදනයේ සඳහන්.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔක්තෝම්බර් මස 25 වැනි දින පැමිණිල්ලක් ලැබී තිබූ අතර, ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ කැඳවන ලද දිනවලදී පැමිණීම ප්‍රතික්ෂේප කෙරුණා.

සිරිල් ගාමිණී පියතුමන් කැඳවීම පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබූ අතර, උන්වහන්සේ මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවට ඉදිරිපත් වෙමින්, නීතිපතිවරයා විසින් ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි, අධිකරණය දැනුවත් කෙරුණේ.

මෙසේ ප්‍රකාශයක් ලබාදීමට කැඳවීම් සිදු කරනු ලැබුවේ, පියතුමන් අත්අඩංගුවට ගැනීමට හිරිහැර කිරීමට හෝ අපහසුතාවයට පත් කිරීමට නොවන අතර, එම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂි වීමත්, විමර්ශනයේදී ඒවා වැදගත් වීම නිසා බව ද පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර, පවතින මෙම පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සඳහා වැදගත් වන ප්‍රබල සාක්ෂි, ප්‍රකාශයක් ලෙස වාර්තාගත කිරීම නෛතික අවශ්‍යතාවක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමක් ලෙස හෝ හිරිහැර කිරීමට කටයුතු කිරීමක් ලෙස අර්ථකථනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදිසහගත කරුණක්.

මේ හේතුවෙන් සිරිල් ගාමිණී පියතුමන් දන්නා සියලු ප්‍රබල සහ වැදගත් තොරතුරු පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙත කඩිනමින් යුක්තිය ඉටු කිරීමේ කාර්ය සඳහා අද (22) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලබාදෙනු ඇතැයි අපේක්ෂාව බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම මෙම ප්‍රකාශ සටහන් කිරීම පිළිබඳව වැරදි අර්ථකථනයන් සිදු නොකරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර, ඔවුන් ද සතුව යම් තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දෙන ලෙස ද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 381 ක් පූර්ණ සුවයට

(21.11.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 381 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (21) දිනයේදී පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,26,734 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ වනවිටත් වයිරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 15,087 ක්.

සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව ද 14,108 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 508 ක්

(21.11.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 508 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,56,437 ක් ෴

තවත් කොරෝනා මරණ 19 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 14,127 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 189 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,56,626 ක් ෴

+++++++++++++++++

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට (3) කොරෝනා

(21.11.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු (3) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කණ්ඩායම් 9 ක් එම තරගාවලිය සඳහා සහභාගී වන අතර එය අද (21) ආරම්භ වුණා.

එක් (1) ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා (3) හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(22.11.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් අද (22) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත තුන්වන (3) එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අද (22) අලුයම ගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 5,055 ක්.

මේ අතර සිම්බාබ්වේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (21) තහවුරු වුණා.

මේ අතර නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන්ගේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ, නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම ඊයේ (21) දිනයේ නව ආසාදිතයන් 697 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,56,626 ක් දක්වා ඉහළ ගියා.

නව කොරෝනා මරණ 19 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,127 ලෙසයි ෴

+++++++++++++++++++

පාසල් ඇරඹේ

(22.11.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (22) සිට පැවැත්වෙනවා.

ඒ මෙතෙක් ආරම්භ නොවු 06, 07, 08 සහ 09 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමත් සමගයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කළ අතර පළමු (1) අදියරේදී ළමුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් පසුගිය මස 21 වනදා විවෘත කෙරුණා.

දෙවන (2) අදියරේ දී දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වනදා ආරම්භ කෙරුණු අතර 03 වන අදියරේදී සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි පසුගිය 08 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කලා ෴

++++++++++++++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ පිරිසකට අවවාද

(22.11.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් 224 ක හා වායු සමනය කළ බස් 71 ක රියැදුරන්ට පොලිසිය විසින් අවවාද කර තිඛෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ වෙලදසැල් 485 ක හිමිකරුවන්ටද අවවාද කළ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කලේ.

බස්නාහිර පළාත කේනද්‍ර කර ගත් මෙම මෙහෙයුම ඊයේ (21) දහවල් 12 සිට පස්වරු 2 දක්වා පැවැත්වුනා.

ඊට පොලිස් නිළධාරින් 439 ක් එක් වූ අතර මගී ප්‍රවාහන බස් 764 ක්, වායු සමනය කළ බස් 121 ක් හා වෙලෙදසැල් 1112 ක් ද මෙහිදී පරීක්ෂාවට ලක් කර තිඛෙනවා ෴

+++++++++++++++++++

ජනපති පුටින් නව රුසියානු කොවිඩ් ඖෂධ‍ය අත්හදා බැලීමකට සැරසෙයි

(22.11.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ‘ස්පුට්නික් ලයිට්’ covid-19 මර්දන එන්නත ලබාගෙන ඇති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් (vladimir putin) එරට නිෂ්පාදනය කරනු ලබන නව covid-19 මර්දන ඖෂධයක් අත්හදා බැලීම සඳහා සිය කැමැත්ත පළ කර ඇති බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ වන විට සායනික අත්හදා බැලීම් තත්ත්වයේ ඇති රුසියානු ‘ඉන්ට්‍රානසාල්’ covid-19 මර්දන එන්නත අත්හදා බැලීම සඳහා රුසියානු ජනාධිපතිවරයා ද කැමැත්ත පළ කර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *