පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට

*********************************************

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට

(21.11.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් ආරම්භ වී නොමැති හයවන (6) ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා.

එසේම මීට පෙර පළමුවන (1) ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.

ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට ජනවාරි මාසයේදී විසඳුම් නොලැබුණහොත්, යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා.

+++++++++++++++++++

ෆයිසර් එන්නත් තොගයක් හෙට (22) සහ අනිද්දා (23) දිවයිනට

(21.11.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 1.9 ක් හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළදී මෙරටට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

+++++++++++++++++++

තවත් පශ්චාත් කොරෝනා රෝගයක් පිළිබඳ තොරතුරු හෙළි වේ

(21.11.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා උප ප්‍රභේදය පාසල් ළමයින් හා තරුණ ප්‍රජාව අතර පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ පර්යේෂණයන්ට අනුව සොයා ගත් ‘නව ඩෙල්ටා කොරෝනා උප ප්‍රභේදය’ පාසල් දරුවන් අතර සුලබව පැතිර යාමේ අවදානමන් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පාසල් තුළදී සහ ඉන් පිටතදී දරුවන්ගේ හැසිරීම් පාලනය කරමින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා පියවර ගැනීම වැදගත් බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී .විජේසූරිය මහතා සඳහන් කළේ.

කොරෝනා රෝගය වැළදෙන පුද්ගලයන්ට ඇතිවන නව පශ්චාත් කොවිඩ් රෝගයක් පිළිබඳව අනාවරණ වී තිබෙනවා.

පාදයේ ඇඟිලිවල ලේ කැටිති ඇතිවීම එහිදී දැකිය හැකියි.

එවැනි රෝගී තත්වයක් බටහිර රටවලින් වාර්තාවී ඇති අතර ශ්‍රී ලංකාවෙන් ද එවැනි රෝගීන් 10 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කළේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කළ සිද්ධියක් ගැන හෙළිදරව්වක්

(21.11.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමකින් තොරව ව්‍යාපෘති 4 ක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වැය කර ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

2017 – 2019 මූල්‍ය වර්ෂ සඳහා වන විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීමට පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ගිණුම් කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ වුණා.

මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 9.96 ක් වටිනා ව්‍යාපෘති 3 ක් සඳහා යුරෝ මිලියන 8.6 ක් වටිනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවට හඳුනාගෙන තිබෙනවා.

එහෙත් ඒ පිළිබඳ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර නොතිබූ බවයි හෙළි වුණේ.

එසේම රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පරිසරයට මුසු වීම සම්බන්ධයෙන් ද, අවධානය අවම මට්ටමක පවතින බව කමිටුව හමුවේ අනාවරණය වී ඇති බව සඳහන් ෴

******************************************

පහළ කඩුගන්නාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරන්තර පරීක්ෂාවට

(21.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගයේ සහ දුම්රිය මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ නිරන්තර පරීක්ෂණ සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

එහි තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ ප්‍රදේශය ආශ්‍රිතව නායයාමේ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා බවයි.

පසුගියදා පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මෙම අවදානම් තත්ත්වය උග්‍ර වුණා.

ඒ අනුව නොවැම්බර් 10 වනදා රාත්‍රී 10 සිට සතියක් මාර්ගය වසා දැමීමටයි පියවර ගැනුණේ.

ඒ අතරතුර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අදාළ පරීක්ෂණ ආරම්භ කළා ෴

******************************************

ජල ගාස්තු වැඩිකිරීම පිළිබඳ තීරණයක් ගෙන නැති බව ජලසම්පාදන මණ්ඩලය කියයි

(21.11.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර දක්වා ජල ගාස්තු වැඩි කිරීමට මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් එහි වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග මහතා සඳහන් කළේ.

එමෙන්ම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බවයි.

ගතවූ වසර 40 ක කාලයක් තුළ මෙරට ජනතාවගෙන් සියයට 45 කට ජල සැපයුම ලබා දී තිබෙනවා.

ලබන වසර 4 ක කාලය තුළ එය සියයට 80 දක්වා ඉහළ නැංවීමට සිය ඉලක්කය බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් පිළිතුරු

(21.11.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එය එතරම් ගැටලුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසඳය සමග පසුගියදා පැවති සාකච්ඡාවකදි එම පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ අවශ්‍ය අවස්ථාව පැමිණි පසු ඊට අදාළ තීන්දු තීරණ ලබා ගන්නා බවයි.

එසේම එම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ මධ්‍යම කාරක සභාව තීරණය කරන ඕනෑම මොහොතක සියලු තනතුරු අතහැර දමා ඉවත් වීමට සූදානම් බවයි.

මේ අතර අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා ෴

******************************************

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම උෂ්ණත්වය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්

(21.11.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර (24) තුළ වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා.

එය සෙල්සියස් අංශක 33.2 ක් වන අතර, අඩුම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 12.4 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වැඩිම වර්ෂාපතනයක් අඹේපුස්ස ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර 74.3 ක් ෴

******************************************

ඇමරිකාවෙන් මන්නාරම වෙරළට ගසාගෙන ආ දේ

(21.11.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ඊයේ (20) සවස ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට හඳුනානොගත් සන්නිවේදන පෙට්ටියක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ අදාළ සන්නිවේදන පෙට්ටිය පරික්ෂා කිරීමට පියවර ගත්තා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ, එය බියවිය යුතු අන්දමේ කිසිවක් නොමැති අතර, කාලගුණික විපර්යාස සහ කාලගුණික තත්ත්වයන් පරික්ෂා කිරීම් සඳහා යොදාගත් එකක් බවට සැක කරන බවයි.

එම උපකරණය මුහුදේ නොගිලෙන අයුරින් සෘජිෆෝම් පෙට්ටියකට සවිකොට ඇති අතර, එය කවුරුන් විසින් මුහුදට දැමුවේ දැයි, යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

බොහෝ සෙයින් මෙම පෙට්ටිය නැව්වලින් දමන්නට ඇති බවට ද එම උපකරණය ඇමරිකාවේ නිෂ්පාදනයක් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් උපකරණය මේ වන විට දැඩි අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් දවස් කිහිපයක් මුහුදේ පාවීම නිසා මෙලෙස උපකරණයට හානි සිදු වන්නට ඇතැයි ද ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරන බව ද මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

******************************************

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැලසුම්

(21.11.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් සේවා වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයිනට පැමිණි ඉන්දීය සමාජ මාධ්‍ය වෙබ් අඩවි ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එලෙස පැමිණි එම වෙබ් අඩවි ක්‍රියාකාරීන් 25 දෙනා යාල, කතරගම ඇතුළු දිවයිනේ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශ රැසක සංචාරයන්හි නිරතවුණා.

ඔවුන් සමග පැවති හමුවේදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ 2019 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 18 ට වැඩි ප්‍රතිශතයක් ඉන්දියානුවන් බවයි.

මේ වසරේදීද මේ වනවිට ඉන්දීය සංචාරකයින් 85,000 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා ෴

******************************************

වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

(20.11.2021 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750 ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර ‍මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750 ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ජාවාරම් කරුවන් විසින් රැගෙනවිත් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පවත්තා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

******************************************

හම්බන්තොට වරාය පරිශ්‍රයේ අධිකරණ බලය තහවුරු කරයි

(21.11.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය ආශ්‍රිත ගොඩබිම් සහ ජල ප්‍රදේශ සීමාවන්හි අධිකරණ බලය නිශ්චිත ලෙස දක්වමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1978 අංක දෙක දරණ අධිකරණ සංවිධාන පනතේ වගන්ති ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත යටතේ දක්වා ඇති හම්බන්තොට වරායේ ගොඩබිම් සහ ජල ප්‍රදේශ සීමාවන් මෙන්ම එහි නිශ්චිතව දක්වා ඇති මුහුදු සීමාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අධිකරණ බලයයි මෙහි සඳහන් කොට ඇත්තේ.

ඒ අනුව එලෙස දක්වා ඇති හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දේශසීමා සහ එහි දේශීය ජල තීරය තුළ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා හම්බන්තොට අධිකරණ කලාපය සම්බන්ධයෙන් කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරයා වෙත බලය පවරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් මීට පෙර පසුගිය අගෝස්තු 06 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

එහි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දේශසීමාව සහ එහි ජල තීරය පිළිබඳ සඳහන් කර තිබුණ ද අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පරිශ්‍රය නිශ්චිතව දක්වා තිබුණේ නැහැ ෴

******************************************

චීන සමාගමෙන් වෙනත් පොහොර තොගයක් ගෙන්වීමේ සූදානමක්?

(21.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමෙන් වෙනත් පොහොර තොගයක් මෙරටට ගෙන්වීමේ සූදානමක් පිළිබඳව සතිඅන්ත පුවත්පත් වාර්තාකර තිබුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී ප්‍රකාශ කර තිබුණේ අදාළ සමාගමෙන් නව පොහොර තොගයක් මිලදී ගැනීමට අදහස් කරන බවයි.

කෙසේ නමුත් මතභේදයට තුඩුදුන් හානිකර බැක්ටීරියා සහිත බවට අනාවරණ වූ පොහොර තොගය භාර ගැනීමට සූදානම් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මතභේදයට තුඩුදුන් පොහොර තොගය නැවත භාරගැනීමටත් සාම්පල පරීක්ෂාවකින් අනතුරුව නව පොහොර තොගයක් සැපයීමටත් චීන සමාගම එකඟ වූ බවයි.

මෙවැනි අවස්ථාවකදී රට තුළට පොහොර තොග භාර ගන්නේදැයි අවසන් තීන්දුව ගනු ලබන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

ඉහත මතභේදයට තුඩුදුන් පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමේදීද කෘෂි අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා නොදීම තීරණාත්මක සාධකයක් බවට පත්වුණා.

1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ ආඥා පනතට අනුව එහි සඳහන් ප්‍රමිතීන් ආරක්ෂා වන්නේ නම් පමණක් මෙවැනි පොහොර තොගයක් රට තුළට ඇතුළු කළ හැකියි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ යම් හෙයකින් අදාළ සමාගම අලුත් පොහොර තොගයක් එවනු ලැබුව ද, එය මෙරටට භාරගැනීම සිදු වන්නේ පෙර පරිදිම සිදු කරනු ලබන දේශීය තත්ත්ව පරීක්ෂාවකින් පසුව පමණක් බවයි ෴

******************************************

වැටුප් ගැටලුවක් ගැන රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිති ඒකාබද්ධ සාකච්ඡාවක

(21.11.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිති, ඒකාබද්ධ සාකච්ඡාවක් හෙට (22) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මීට පෙර පෞද්ගලික අංශයේ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති මාධ්‍ය හමුවක් කැඳවමින් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සති අන්ත පුවත්පත් වෙත ප්‍රකාශ කර තිබුණේ, අයවැයෙන් නොලැබුණු වැටුප් වැඩිවීම ලබා ගැනීමේ අරමුණින් කඩිනම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට අපේක්ෂා කරන බවයි ෴

******************************************

උත්සව සමයට බේකරි නිෂ්පාදන සැපයීමේ ගැටලුවක්

(21.11.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයින් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එමගින් පෙන්වා දෙන්නේ තිරිඟු පිටි බෙදාහැරීමේ සමාගම් විසින් නිකුත් කරන තිරිඟු පිටි ප්‍රමාණය සියයට 25 කින් පමණ අඩුකර ඇති බවයි.

ඒ හේතුවෙන් බේකරි නිෂ්පාදන ද පහත වැටී ඇති අතර, එළඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළට බේකරි නිෂ්පාදන සැපයීම ගැටලුවක් වී ඇති බව ද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *