කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්…

කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්…

*********************************************

කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්…

(21.11.2021 – 15:00 +0530 – lankacnews.com)

කොවිඩ් එන්නත් ලබාගෙන අතුරු ආබාධ ඇතිවන පුද්ගලයින් සදහා පැවැත්වූ දේශීය වෛද්‍ය සායනයක් සදහා ඉගිනියාගල පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගැනීම නිසා පොලීසිය, ප‍්‍රදේශවාසීන් සහ දේශීය වෛද්‍යවරු අතර උණුසුම් ගැටුම්කාරී තත්වයක් හටගත්තේය.

‘කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව’ විසින් ‘වැක් රිකවර්’ නමින් කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වන දේශීය වෛද්‍ය සායනයක් අම්පාර, ඉගිනියාගල, නාමල්තලාව ශ‍්‍රී ශෛල්‍යබිම්බාරාමෙයේදී සංවිධානය කර තිබුණි. මෙම වෛද්‍ය සායනය පැවැත්වීම වලක්වන ලෙසට ඉගිනියාගල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගය ලබාගෙන තිබුණි.

එහෙත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන පැමිණීමට පෙර සිටම ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණි. සායනය සදහා කොවිඩ් එන්නත ලබාගෙන සංකූලතා ඇතිවූ පුද්ගලයින් තුන්සියයක් (300) පමණ ලියාපදිංචිවී සිටි අතර අධිකරණ නියෝගය ඉදිරිපත් කිරීමට පෙර සිටම සායනයට පැමිණෙන පුද්ගලයින් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබුණි.

මේ අවස්ථාවේදී පොලීසියත් ප‍්‍රදේශවාසීන් හා දේශීය වෛද්‍යවරුනුත් අතර ගැටුම්කාරී තත්වයක් වර්ධනය විය. ගැටුම්කාරී තත්වය පවතින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගයක් රැගෙන පැමිණ එය කියවන ලදී.

අධිකරණ නියෝගය නොතකා හරිමින්, ‘කොඩිව් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින්’ සදහා ප‍්‍රතිකාර ලබාදුනහොත් දේශීය වෛද්‍යවරු අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය දැනුම් දුන් අතර ඒ සමගින් වෛද්‍යවරු එතැනින් ඉවත්ව නාමල්තලාව වෙද මැදුරේදී වෛද්‍ය සායනය පැවැත්වූහ.

මෙම වෛද්‍ය සායනය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර තිබූ බවත්, අධිකරණ නියෝගයට ගරු කරමින් සායනය ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වීම වෙනුවට අසල තිබූ වෙද මැදුරේදී පැවැත්වූ බව දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි මහත්මිය සදහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කළාය :

“නොමිලේ බෙහෙත් දෙන්න හැදුවේ අහිංසක රෝගීන්ගේ රෝගාබාධවලට. අපි සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළා. කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින් තුන්සියයක් (300) පමණ කල් ඇතිව මෙහි ලියාපදිංචිවී සිටියා. අපි අධිකරණ නියෝගයට ගරු කරමින් විහාරස්ථානයේ සායනය නොපවත්වා සිටියා. ඒත් ලියාපදිංචිවූ සංකූලතා ඇතිවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දේශීය වෛද්‍යවරු ලෙස අපිට තිබෙන වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ නිසා තමයි අසල තිබූ දේශීය වෙද මැදුරේදී රෝගීන් සදහා සායනය පැවැත්වූවේ”

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්.. – හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

(20.11.2021 – 22:22 +0530 – lankacnews.com)

පසුගිය පසළොස්වක පොහොය දිනයේ (18) සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්තූපයක් හදන්නැයි පසුව පැවසූ බව ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

******************************************

පරණ දේශපාලන සූදුවෙන් ගොඩ යන්න හදන අයට ඇමති විමල්ගෙන් හොඳ පාඩමක්

(19.11.2021 – facebook.com/WimalWeerawansa.sl)

• පරණ දේශපාලන සූදුවෙන් කිසිවකුටත් ඉදිරියට යන්න බැහැ..! අලුතින් සිතා දැවැන්ත නිෂ්පාදන පුනරුදයකට යා යුතුයි..!
• හරිත කලාපයෙන් යළි රතු කලාපයට මේ රට ඇදගෙන යන අපරාධය කරන්න එපා..!
• නව යථාර්ථයට ගැලපෙන විරෝධතා පැවැත්වීමේ ක්‍රමවේදයක් සකසා ගන්න චින්තන පරාසයක් නැති පිරිසක් යළි ආණ්ඩු බලය ඉල්ලන්නේ ද මොකටද?
• මතක තබාගන්න, අපි මේ ආණ්ඩුවේ අපාය සහායක මිත්‍රයන් නොවෙයි, ආණ්ඩුව නිසි මග ගෙනයන්නන්..!
• ජනතා අපේක්ෂාවන් සුරැකීම හැර රට වළ පල්ලට යැවූ ‘නසරානි රැලක්’ චූන් කරන්න අපට ඕනෙ නැහැ..!

  • පරණ දේශපාලන සූදුවෙන් ගොඩ යන්න හදන අයට ඇමති විමල්ගෙන් හොඳ පාඩමක්
    (2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය/2021-11-17)

******************************************

යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට අත්සන් කළ ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාව අමාත්‍යයධූරයෙන් සහ මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට නඩුවක් ගොනු කර තිබෙනවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

(20.11.2021 – 20:35 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍යධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද දැරීමට අයිතියක් නැති බව පවසා සිටියේය.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට මෙරට සතු වත්කම් වෙන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැති බවයි.

“යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කළ ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින්නැයි අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඇමරිකානු සමාගම් විසින් ඇමරිකානු පුරවැසියන් බයකර මහරෑ මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරනවා.”

******************************************

කාබනික වගාවේ දේශපාලන පැතිකඩ – වෛද්‍ය වසන්ත බණ්ඩාර (15.11.2021)

******************************************

රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් කැදවති.. ජනාධිපතිටත් දැන්වා අවසන්..

(21.11.2021 – 13:20 +0530 – lankacnews.com)

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් සිදු නොකරන්නේ නම් එළඹෙන විසි නව වැනි දා (29) සිට රාජ්‍ය සේවකයන් අඛණ්ඩව වැඩවර්ජනයකට යන බව ‘ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය’ පවසා සිටියි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ආමන්ත්‍රණය කරමින් පසුගිය දහතුන් වැනිදා (13) ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් නොසලකා හැර ඇති බවත් ඒ නිසාම රාජ සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බවත් ය.

ඒ නිසා ඔවුන් පිළිබඳව අවධානය යොමු කොට මාසිකව රුපියල් 16,000 ක දීමනාවක් හෝ වැටුප් වැඩි වැඩි වීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් සති දෙකකට (2) පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොදන්වා යොමුවන බවද දන්වා සිටියා.

ඒ අනුව ඒම වෘත්තිය සමිති සම්මේලනය නැවත වතාවක් ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කරමින් ලිපියක් ලියමින් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් එළඹෙන 29 වනදා සදුදා සිට ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මෙම ක්‍රියාමාර්ගයට රජ්‍ය අංශයේ සියලු නිලධාරින් සම්බන්ධ වෙන බවද රාජ්‍ය කාර්යාලයන්හි කණිෂ්ඨ නිලධාරින් ග්‍රාමසේවා කෘෂි පර්යේෂණ, ක්ෂේත්‍ර නිලධාරින්ද සම්බන්ධ වෙනබවද දන්වා සිටිති.

ඒ බව දන්වා ලියන ලද ලිපියේ තවදුරටත් දන්වා සිටිනුයේ මෙවර අයවැය මගින් නිලධාරීන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කරමින් ඔවුන්ගේ කතා කිරීමේ නිදහස කප්පාදු කරමින් ලියා ඇති රාජ්‍ය පරිපාලන ලේකම් ගේ චක්‍රලේඛය අහෝසි කරන ලෙසය.

මේ අන්දමට රාජ්‍ය නිලධාරීන් මර්දනය කරමින් රාජ්‍ය නිලධාරින් අපහසුතාවයට පත් කරමින් විවිධ පුද්ගලයෙන් සිදු කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව ද ඔවුන්ගේ විරෝධතාවය ද ජනාධිපතිතුමා වෙත දන්වා සිටී.

ඔවුන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ට ජිවත් වීමට ඇති අයිතිය සහතික කරමින් නිසි වැටුපක් සහ ඔවුන්ට විශ්‍රාම යෑමට ඇති අයිතිය ඛණ්ඩනය නොකර කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.

එසේ නොවන්නේ නම් මේ මාසයේ 29 වන දින සිට අඛණ්ඩව වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුවන බව ද ‘ශ්‍රී ලංකා රාජ්‍ය නිධාරි වෘත්තීය සමිති සම්මේලනයේ’ ජාතික සංවිධායක බි.ඒ.පි. බස්නායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දන්වා ඇත.

මහින්ද උදයසිරි

******************************************

පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා.. නගර රැසක් වසා දමති..

(21.11.2021 – 15:50 +0530 – lankacnews.com)

නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් මහ සංඝ රත්නයද එක්ව කළු කොඩි අතැතිව මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (21) දින නුවරඑලිය නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය, කදපොල, මිපිලිමාන, නානුඔය යන ප්‍රදේශවල නගරද වසා දමමින් එම ප්‍රදේශවල එලවළු ගොවින් , වෙළදුන් සහ ගොවිපොලවල් වල සේවය කරන කම්කරුවන් එක්වයි මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුවේ.

උද්ඝෝෂණයට සමගාමිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අද (21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවීන් එලවළු තොග ලබා නොදිම නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමිමට එහි පාලන අධිකාරියට සිදු විය.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිටින් ගොවීන් උද්ඝෝෂණය ආරම්භ කර ප්‍රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් පැමිණ ගොවීන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.

මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදිම, ගොවීන්ගේ වගාවන්ට අවශ්‍ය පලිබෝධ නාශක, දියර පොහොර, බීජ ඇට, දිලිර නාශක වර්ග හිඟයකින් තොරව සාධාරණ මිලට ලබාදිම, ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදිම ඇතුළු ඉල්ලිම් අටක් (8) මුල් කර ගනිමින් නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන සමාජිකයන් ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

මෙම ගැටළුවලට සතියක් ඇතුලත විසදුමක් නොලද හොත් දැනට තම ගොවිපොලවල් වල වගා කර ඇති නිසරු එලවළු වගාව වෙලදපොලට නිකුත් කිරිම සම්පුර්ණයෙන්ම අත්හිටවන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවීන් තමන් වෙත දැනුම් දි ඇති බව ‘සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ’ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ ගොවීන් වගා කරන උඩරට එලවළු අද (21) දින වෙළඳපොලට නිකුත් නොකිරිම නිසා වෙළඳපොලේ උඩරට සහ පහතරට එලවළු වල තොග සහ සිල්ලර මිලගනන් වෙනදාට වඩා වැඩි වි ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

******************************************

ජනාධිපති නියමයෙන් CID විමර්ශයක් ! – නැනෝ පොහොර ගෙනා ඒජන්ත CID යට

(21.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒමේදී කෝටි ගණනක් අති විශාල වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා පෞද්ගලිකව ම නියෝගකර ඇත.

ඒ අනුව අදාල විමර්ශන මේවනවිට ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අවස්ථා කිහිපයකදීම ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවට එන ලෙස දැනුම් දී ඇතත් ඔහු කට්ටි පනිමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඉහලින්ම ආ බලපෑම් මත පසුගියදා රාත්‍රී කාලයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතත් කට උත්තරයක් ලබාදීමට පසුදා එනබව දැනුම් දී පිටව ගොස් ඇත්තේ තමා බලවත් ආතතියකින් පසුවන බව පවසමිනි.

කෙසේවුවද හෙට (22) දිනයේ අමාත්‍යංශ ලේකම්වරයා 4 වෙනි තට්ටුවට නොපැමිණියහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එහි සභාපති අනිල් යාදව් පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශ තුලින් නැනෝ පොහොර මගඩිය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා තහවුරු විය.

ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ම පැවසුයේ පොහොර ආනයන කටයුතු වලට තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. නැනෝ දියර පොහොර ගෙන්වනු ලැබුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයෙන් බව ඔහු එහිදී කියා සිටියේය.

එසේම මෙරටට පොහොර ගෙන්වීමට සම්බන්ධ වූ ‘සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට්’ සභාපති මොහාන් පෙරේරා ද හෙට (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි ෴

******************************************

නැනෝ පොහොර මිල තවත් අඩුකළ නොහැකියි

(21.11.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ආනයනික නැනෝ පොහොරවල මිල තවදුරටත් අඩු කිරීමට හැකියාවක් නොමැති බව එම පොහොර මෙරටට ගෙන්වන ලද දේශීය නියෝජිත සමාගම වන ‘යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගම’ පවසනවා.

එහි සභාපති මොහාන් පෙරේරා මේ බව සඳහන් කළේ ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් 5 යි, ශත 25 අලෙවි වන නැනෝ පොහොර බෝතලයක්, මෙරටට මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 12 යි ශත 75 ක මිලකටයි.

මේ අතර පොහොර නොමැතිව වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් අදහස් පළ කරනවා ෴

******************************************

පොහොර සහ කෘෂි රසායනික ආනයනයට යළි අවසර

(21.11.2021 – 18:59 +0530 – lankaleadnews.com)

වී, බඩ ඉරිගු , එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලුව විසදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේය.

“මේ මහ කන්නය තුළ තමයි ලංකාවේ වැඩියෙන් ම ගොවිතැන් කටයුතුවල නිරතවෙන්නේ. වී, බඩඉරිඟු වගාව, එළවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තයේ තේ, පොල්, රබර් කියන සියල්ල. ඒ සඳහා විෂදායක නොවන ඉහළ ප්‍රමිතියෙන් යුත් නියමිත ප්‍රමාණයන් රෙජිස්ටාර් ගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය සහ කමිටු අධීක්ෂණය යටතේ, කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා, ඒ ප්‍රමාණවලින් අපිට රජය මඟින් බලතල දීලා තියෙනවා ආනයනය අපනයන අවශ්‍ය ප්‍රමාණයට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. අපි දැනටමත් වැඩපිළිවෙල සකස් කරලා විශේෂයෙන් ම අපි සමග ලියාපදිංචිවෙලා තියෙන සමාගම් හරහා අධීක්ෂණය හරහා ගෙන්වීමට දැනටම කටයුතු කරලා තියෙනවා. ඉතිරි සියල්ල අපි මේ සතිය ඇතුළත අවශ්‍ය ප්‍රමාණයෙන් රටට ගෙන්වනවා. විශේෂයෙන් ම වැසි තත්ත්වය අවසන් වුණාම අපිට හිතා ගන්න පුළුවන් මේවා හේදිලා ගිහින් තියෙන්න පුළුවන්. මේකේ දාන්නේ මොනවාද කියලා නෙමෙයි වැදගත්. දැම්ම දේට වෙච්ච දේ. ඒ නිසා අපි ක්‍රියාත්මක වෙනවා අමාත්‍යාංශයක් විදියට මේ කියන තත්ත්වය වහාම නිවැරදි කරලා රටේ ආහාර සුරක්ෂිතාව සහ ගොවි ජනතාවට තමන්ගේ ගොවි බිම් ඇවිල්ලා නිදහසේ වගා කටයුතුවල නිරත වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවැනි ශාක පෝෂක සහ අපි ආරක්ෂා කරගන්නා කෘමිනාශක සහ පළිබෝධනාශක නිසි ප්‍රමාණවලින් නිර්දේශිතව ගෙන ඒමට කටයුතු කරනවා.”

ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවද අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

“කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තමයි නිර්දේශ කරන්නේ, ඒ ගොල්ලන්ගේ කමිටුවක හරහා අත්‍යාවශ්‍ය ඒවා කුමන ආකාරයකින්ද ගෙන්නන්නේ කියලා. අපි අවුරුදු 3-4 මේව ගෙන්නලා තියෙනවා. ගෙන්නපු එවාගෙන් ඉහළ පරම්පාරවාට අයිති නිර්දේශිත එවා පමණයි ගෙන්නන්නේ. තේ, පොල්, රබර්වලට ඉහළ පෙළේ ඒවා තමයි ගෙන්නන්නේ.”

ප්‍රශ්නය – යුරියා වගේ ඒවා ද‍?

“ඔව්, මේ යුරියා කියන්නේ මහා භායානක පොහොර ද්‍රව්‍යක් නොවේ. භයානක චිත්‍රයක් මවලා තියෙනවා, මගේ අම්මෝ යූරියා කියලා. යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය අධිකයි. බොහොම බාල ඒවා ගෙනත් ලාබෙට දීලා නිකනුත් දුන්නම මේක ‘මිස්යූස්’ කරනවා. ‘මිස්යූස්’ කරාම හානිය වෙන්නේ අර හොඳ පොහොරට. අපි නිවැරදි කරන්න යන්නේ, යූරියා කියන්නේ මේ අති භායානක පොහොරක් නොවේ. ඕනෑම පොහොරක් අනවශ්‍ය විදියට දැම්මොත් විසයි. අපි බෙහෙත් බිව්වා වගේ තමයි. වැඩිපුර බිව්වොත් විසයි. අඩුවෙන බිව්වොත් වැඩක් නෑ. යූරියා ලෝකයම භාවිතා කරන පොහොරක්. එකේ ඇති වරදක් නෑ. ඇමෝනියම් සල්ෆේට්වලටත් වඩා හොඳයි කියන එක මට සඳහන් කරන්න පුළුවන්.”

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීම සිදුවුණේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවය.

ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගනයට ගැනෙන භාණ්ඩ ආනයනය තහනම් කරමින් පසුගිය මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.

රජයේ එම තීරණයට ගොවි ජනතාව සිය විරෝධය පලකළ අතර රටපුරා උද්ඝෝෂණවල නිරතවුණ් මහකන්නයේ වගාවන්ගෙන්ද ඉවත් වෙමිනි ෴

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *